“අපිට තවමත් ස්ථිර වාසස්ථානයක් නැහැ” දිට්වා සුලිකුනාටුවෙන් අවතැන් වූ මාවතුර ඉහලගම වැසියෝ කියති

නොවැම්බර් 28 වෙනිදා ට දිට්වා  සුලිකුනාටුවෙන් ඇති  වූ ව්‍යසනයට වසරක් සපිරෙයි. විපතට පත් මිලියනයකට අධික ජනයාට පදිංචියට නව වාසස්ථාන, නිවාස, ජීවනෝපායන් යලි ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇතුලු සියලු පහසුකම් කඩිනමින් සම්පාදනය කරන බවට ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව පොරොන්දු වූ නමුත් ඔවුන්ගෙන්  බොහෝ දෙනෙකුට තවමත් එම පහසුකම් සැපයීමට ආන්ඩුව අසමත් වී තිබේ. 

ඒ වෙනුවට දිට්වා සුලිකුනාටුවෙන් ව්‍යසනයට පත් ජනයා ද ඇතුලු කම්කරු-පීඩිත ජනතාව මුහුන දී සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්)  විසින් නියම කර ඇති කප්පාදු පිලිවෙත් සහ අධිරාජ්‍යවාදී යුද්ධයෙන් තීව්‍ර කෙරෙන ලෝක ධනවාදී ආර්ථික අර්බුදයේ බර පටවනු ලබන ආන්ඩුවේ රුදුරු ප්‍රහාරයකටයි.

2025 නොවැම්බර් 28 දිට්වා සුලිකුනාටු වේ ව්‍යසනකාරී බලපෑමට දිවයිනේ දිස්ත්‍රික් 25 තුල මිලියන 2.2 ජනයා ගොදුරු වූහ. අවතැන් වූ සංඛ්‍යාව 233,000 ට අධික වේ.  පුද්ගලයින් 646 ක් මිය ගිය අතර 173 ක් අතුරුදහන් වුහ.  නිවාස 6000 ක් මුලුමනින් විනාශ වූ අතර 110,000 ට පමන  අර්ධ වශයෙන්  හානි සිදු විය.  කෘෂිකාර්මික හා වගාබිම් හෙක්ටයාර් 125, 600 ක්  විනාශ වීම හේතුවෙන් ග්‍රාමීය ආර්ථිකයට සහ ආහාර සුරක්ෂිතතාවයට දිගුකාලීන බලපෑම් එල්ල වී තිබේ. ලෝක බැංකු ඇස්තමේන්තු අනුව සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් පමන  වන අතර, සම්පූර්න  ප්‍රතිසංස්කරන  පිරිවැය ඩොලර් බිලියන 6ක් ඉක්මවනු ඇතැයි සැලකේ. 

අවතැන්වුවෝ දහස් ගනනක් තවමත් තාවකාලික කුඩාරම්, ඥාති නිවෙස් හෝ කුලී නිවාස වල ජීවත් වෙති.  නිවාස අහිමි වූ සහ හානි සිදු වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ගෘහ භාන්ඩ මිල දී ගැනීමට රුපියල් 50,000 ක දීමනාවක් ද, නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000 ක දීමනාවක් ද, අනාරක්ෂිත යැයි හඳුනා ගත් ප්‍රදේශවල ජීවත් වන පවුල් සඳහා නව ඉඩමක් මිල දී ගැනීමට රුපියල් මිලියන 5 ක මුදලක් හෝ නව ඉඩමක් ද, නිවසක් ඉදිකිරීම සඳහා තවත් රුපියල් මිලියන 5 ක මුදලක් ද,  හානි වූ නිවාස ප්‍රතිසංස්කරනය  කිරීම සඳහා   හානියට අනුව රුපියල් මිලියන 2.5 දක්වා  මුදලක් ද  ලබා දෙන බවට ආන්ඩුව පොරොන්දු විය. එහෙත් තමන්ට එම සහන තවමත් නොලැබුන බවට බොහෝදෙනෙකු චෝදනා කරති.

***

දිට්වා සුලි  කුනාටුවෙන් ව්‍යසනයට පත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවතුර, ඉහලගම ප්‍රදේශයේ මුහුන දී සිටින ඛේදනීය තත්වය එම චෝදනා සනාථ කරන බලගතු සාක්ෂියකි.

දල බෑවුම් සහිත කඳුවැටියක් පාමුල පිහිටා ඇති මෙම ප්‍රදේශයට වර්ෂාපතනය පවතින සෑම විට ම කිලෝමීටරයකට වඩා උසින් පිහිටි කඳු මුදුනේ සිට සැඬ ජලපහරක් ගම්මානය හරහා ගලා යන බව ගම්වැසියෝ පැවසූහ.  2025 නොවැම්බර්  27 වෙනි දා අලුයම 2.00 පමන  ගස්-වැල්, ගල්, පස් කුට්ටි මහ ජල කඳක් අහස් යානාවක මෙන් හඬක් පතුරවමින් ගම්මානයට පතිත වූ බව ද, මොහොතකින්  මිනිසුන් දුසිම් ගනනකගේ ජීවිත,  නිවාස භව-භෝග විනාශ වූ බවත් ප්‍රධාන ප්‍රවේශ  මාර්ග භාවිත කල නොහැකි ලෙස මඩෙන් වැසී ගිය බවත්, ඔවුහු පැවසුහ.  

මෙම ගම්මානයේ   පවුල් 71ක් වාසය කල අතර, එයින් පවුල් 17ක්  ඔවුන්ගේ නිවාසත් සමග සම්පූර්නයෙන් නාය යාමට ගොදුරු වී ඇත.  පුද්ගලයින් 36දෙනෙකු මිය ගිය අතර, ඉන් 6 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි ව නැත. විනාශ වූ ප්‍රදේශයේ ඉදිකල බුදු පිලිමයක් අසල  මියගිය 36 දෙනාගේ පිංතූර සහ ශෝක ප්‍රකාශ සහිත විශාල බැනරයක්  ප්‍රදර්ශනය කර තිබේ. 

මිය ගිය 36 දෙනාගේ ඡායාරූප සහිත බැනරය

ගම්වැසියන්ගෙන් බොහෝදෙනෙකු  දෛනික වැටුපට තේ වතුවල සහ වෙනත් කුලී වැඩවල නිරතවූවන් සහ ඇඟලුම් කම්කරුවන්  වු  අතර කිහිප දෙනෙක් රජයේ රැකියාවල නිරත ව සිටි අය වෙති.  

රතු නිවේදන නිකුත් කල පවුල් 54 ක් ගමෙන් ඉවත් කර ඇත. ඔවුහු බහුතරයක් කොත්මලේ මහවැලි අධිකාරියේ නිවාසවල කුලී පදනම මත  දැනට පදිංචි ව සිටිති. 

ත්‍රීවීල් රියදුරෙකු ව සසංක, ව්‍යසනයෙන්  දිවි ගලවා ගත්  ගම්වැසියන් මුහුන දී සිටින දුෂ්කර කොන්දේසි ගැන  විස්තර කලේ ය:

සසංක

“නාය යාමෙන්  බේරුනේ අනූ නවයෙන්. අපි නොමැරුනත් සියල්ල විනාශ වුනා. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දැන් අවුරුද්දක් වෙනවා. අපට ස්ථිර පදිංචියට තැනක් ලැබුන් නැහැ. ගෙවල් කුලිය මාසෙට රුපියල් 10,000 යි ලැබෙන්නේ. ඒකත් දෙසැම්බර්වල දී අවසන් වෙනවා. මෙච්චර බරපතල නාය යාමක් අපට හිතාගන්නත් බැහැ. හීනයක් වගේ,  සමීප ඥාතීන් පනපිටින් ම වැලලිලා ගියා. රජයේ වගකිව යුතු ආයතන මේ තත්ත්වයන් ගැන කලින් සොයලා බලලා දැනුවත් කලා නම් මෙච්චර විනාශයක් වෙන්නේ නැහැ” යැයි ඔහු පැවසී ය.

කුනාටුවෙන් ව්‍යසනයට පත්වූවන් ගැන මෙන් ම, දුප්පත් මහජනයා ගැන තැකීමක් නොකිරීම ගැන ඔහු ආන්ඩුව දැඩි ව විවේචනය කලේ ය. “අලුත් ක්‍රමයක්, ජනතාවගෙ ආන්ඩුවක්  කිව්වට  ජනතාව ගැන බලන ආකාරය මෙහෙම ද කියලා හිතෙනවා.මේ ත්‍රීවීලයෙන් තමා කීයක් හරි හොයා ගන්නෙ. මීට පෙර බිම්මල් වගාවක් කලා. එලුවෝ ඇති කලා. ඒ සේරම අසාර්ථක උනා. මෙතන අපට ජීවත් වෙන්න හුරු නැහැ.  ගමේ ජිවත් වෙන කොට  අන්‍යෝන්‍ය ආරක්ෂාවක් තිබුනා. මෙතන එහෙම නැහැ.  නිතර ගෙදර දරුමල්ලො ගැන බලන්න ඕන. සවස් වෙනකොට ගෙදර එන්න ඕන.  මේවා  තමයි අපට තියෙන ගැටලු ” ඔහු   පැවසී ය.

මහවැලි  අධිකාරියට අයත් තවත් නිවාස අත්හැර දමා තිබෙන බවත් ඒවා නිවාස අහිමි වූ අයට ලබා දිය හැකි නමුත් ආන්ඩුව එසේ නොකරන බව ඔහු කීවේ ය.  “ඇත්තෙන් ම අපි ගැන බලන්න කවුරුවත් නැහැ. මේක අපි ගැන බලන ආන්ඩුවක් නෙමෙයි. තියෙන අයට (පොහොසතුන්ට) හොඳයි මේ  ආන්ඩුව.  බලන්න බඩු මිල. ඒවා ඉහල දාන්නෙ කිසිම බයක් සැකක් ලැජ්ජාවක් නැති ව” යයි ඔහු ආන්ඩුවට චෝදනා කලේ ය.

ඥාතින් හිත-මිතුරන් ඇස් ඉදිරිපිට වැලලුන බවත් එම  අත්දැකීම දරා ගැනීමට ඉතා  අපහසු බවත් රෝහල් සේවිකාවක වන  ආර්. එල්. රාජපක්ෂ පැවසුවා ය.   

ආර්. එල්. රාජපක්ෂ

“ඒ ඛේදවාචකය  අපේ දරුවන්ට හොඳට ම දැනුනා. සියලු දේ විනාශ වුනා. මාස තුනක් පන්සලේ කඳවුරේ හිටියෙ. ඊට පස්සෙ මේ ගෙදරට ආවෙ. රැකියාව කලාට පලක් නැහැ. ගන්න මුලු පඩිය ම බැංකු නය වලට ගෙවනවා. අතිකාලත් දැන් අඩුයි. හරි ම දුෂ්කරතාවකට පත් වෙලා ඉන්නෙ. ලක්ෂ 50ක් දෙනවා කිව්වට  ඒ ගානට කොහොමද ගෙයක් හොයා ගන්නෙ? අවුරුද්දක්  ගත වුනා. තාමත් එහෙම ගෙයක්  හොයා ගන්න බැරි වුනා. අපි  මුහුන දෙන මේ ගැටලු ගැන  ආන්ඩුවවත් සැලකීමක් දක්වන බවක් පෙනෙන්නේ  නැහැ. බඩු මිලත් හැමදා ම වැඩි වෙනවා. ඔබ  කියන විදිහට යුද්ධයත් ඒකට බලපානවා. අපිත්  ඡන්දය දුන්නේ මේ ආන්ඩුවට. නමුත්  දුප්පතුන් ගැන බලන්නේ නැහැ,” ඇය පැවසුවා ය.

තේ දලු එකතු කරන සංගමයේ හිටපු සභාපති කුලසිරි ද නාය යාමට හසු ව මරනයට පත් වී ඇත. ඔහුගේ නිවස පිහිටා තිබූ ස්ථානයේ දී හමු වූ චන්ද්‍රලතා සහ ඇගේ මිතුරිය මල්ලිකා සඳහන් කලේ, නාය යාමෙන් කුලසිරිගේ නිවසත් ඔහු සතු සියලු දේපලත් විනාශ වූ බවයි.

චන්ද්‍රලතා සහ මල්ලිකා

“මේ බුදු පිලිමය හැදුවේ ඊට පස්සේ.  මේ අවට හැම තැන ම ගෙවල් තිබුන. දැන් කැලේට යට වෙලා තියෙන්නෙ ගෙවල් තිබුන තැන්.  අපි ටිකක් දුරින් ඉන්නෙ. එදා උදේ මෙතන අමු සොහොනක් වගේ.  මේ අවට  කිසි කෙනෙකුට පදිංවීම තහනම් කරලා තියෙන්නෙ.  මිනිස්සු කොහෙ යන්න ද? එහෙම තහනම් කරනවා නම්  පදිංචියට සුදුසු තැනක්  හරි ගෙවල් හරි දෙන්න ඕන. අපි එදිනෙදා වතුවල දලු කඩලා ජීවත් වුනේ. දැන් ඒ ඔක්කොම ඇහිරිලා. හැමෝ ම හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ. අපි ඡන්දෙ දුන්නට ආන්ඩුව අපිට කරන දෙයක් නැහැ,” යනුවෙන් චන්ද්‍රලතා පැවසුවා ය.

නම සඳහන් කිරීමට අකමැති වූ  ඉහලගම වැසියෙක් ව්‍යසනයට පත් වුවන්  ගැන නොතැකීම සම්බන්ධයෙන් ධනේශ්වර දේශපාලන පක්ෂ කෙරෙහි දැඩි කලකිරීමෙන් සහ අප්‍රසාදයෙන්  මෙසේ පැවසී ය:

“මොනවා ලිව්වත්, මොනවා කලත් වැඩක් නැහැ. ආන්ඩු  පක්ෂයේත්, විපක්ෂයේත් දේශපාලනඥයෝ ඇවිත් සෝබනේට බලලා යනවා විතරයි. අපේ ප්‍රශ්න විසඳන්න කිසි ම පියවරක් ගන්නේ නැහැ. ඔවුන් ආයෙත් එන්නේ ඡන්ද කාලෙට විතරයි.”  

කම්පාකාරී ව්‍යසනය සිදු වූ දවසේ ආන්ඩුවේ කිසි ම දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙකු නොපැමිනි බවත් මිය ගිය ඥාතීන්ගේ  සිරුරු ගොඩ ගත්තේ ගම් වැසියන් මුදල් එකතු කරලා යන්ත්‍රෝපකරන කුලියට අරගෙන බවත් ඔහු කීවේ ය.

“දැන් ගමත් ඉවරයි මිනිස්සුත් ඉවරයි.  අවතැන් වූ අය දැන් කුලී නිවැසියන් වෙලා. ඔවුන්ගෙ ආරක්ෂාව ගැන ඔවුන්ට ම බලා ගන්න වෙලා තියෙන්නෙ. මමත් තාවකාලික ව පදිංචි වෙලා ඉන්නෙ. මෙහෙන් ඉවත් වෙන්න කියලා තියෙනවා. අපි කොහෙද  යන්නෙ? හැමෝට ම තියෙන ප්‍රශ්නය තැනක් නැතිකම. මේ වාගේ විනාශයක දී නිවාස පහසුකම් ආන්ඩුව සපයල දෙන්න ඕනෑ. අපිත් ඡන්දෙ දීලා මේ ආන්ඩුව බලයට පත් කර ගත්තේ පොඩි මිනිහගෙ-දුප්තාගෙ ආන්ඩුවක්, අපේ ම  ආන්ඩුවක් කියල හිතාගෙන. නමුත් සිද්ධ වුනේ අපි තවත් රැවටිල්ලකට අසු වීමක් විතරයි” යනුවෙන් ඔහු දැඩි කෝපයෙන් පැවසී ය.

දිට්වා ව්‍යසනය හුදෙක් ස්වාභාවික සංසිද්ධියක් නොවන බව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් ඔහුට පෙන්වා දුනි. ධනේශ්වර ලාභ පද්ධතිය විසින් නිර්මානය කෙරෙන දේශගුනික විපර්යාස ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවගේ සෞඛ්‍යයට, ජීවිතවලට සහ ජීවනෝපායන්ට දැඩි තර්ජනයක් එල්ල කරන බව  පැහැදිලි කල ඔවුහු අනාගත පරම්පරාවන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් සුරක්ෂිත කර ගැනීම සඳහා ධනවාදයට, එනම් ලාභය මත පදනම් වූ සමාජ ක්‍රමයට එරෙහි ව  සටන් කිරීමේ අවශ්‍යතාවය  අවධාරනය කලහ. 

දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සුදුසු වාසස්ථාන සැපයීම, අවශ්‍ය පහසුකම් සහිත නිවාස ඉදිකිරීම සහ ඔවුන්ගේ ජීවනෝපායන් යලි ගොඩනැඟීම සඳහා රුපියල් බිලියන ගනනක මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය බව ද වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නැංවීමටත්, ආයෝජකයන්ගේ ලාභ අවශ්‍යතා සපුරාලීමටත් කැප වී සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව එ වැනි දැවැන්ත සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් වෙන් කිරීමට සූදානම් නැති බව ද ඔවුහු පැහැදිලි කලහ. 

කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ සමාජ හා ආර්ථික ගැටලුවලට සැබෑ විසඳුම් ලබා දිය හැක්කේ, ලාභය වෙනුවට මානව අවශ්‍යතා මත පදනම් වූ සමාජවාදී ආර්ථික ප්‍රතිසංවිධානයක් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීමෙන් පමනක් බව ද වාර්තාකරුවෝ අවධාරනය කලහ.   

වැඩිදුර කියවන්න

Loading