ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා තමන් ඇතුලු රාජ්‍ය අංශයේ බහුතරයක් සමිති නායකයන් එක් වූ බව පලාත් කලමනාකරන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න දියුනුගේ නොවැම්බර් 18දා සිදු කල ප්‍රකාශයක දී හෙලිදරව් විය. ඒ, 2027 අයවැයෙන් රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වැටුප් සහ දීමනාවලට එල්ල කර ඇති ප්‍රහාරයට විරෝධය දැක්වීමට නොවැම්බර් 23 පැවත්වූ, රාජ්‍ය සහ පලාත් රාජ්‍ය සේවකයන්ගේ උද්ඝෝෂන පිලිබඳ ව නිවේදනය කිරීම සඳහා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
දියුනුගේ එහි දී මෙසේ පැවසී ය: “ආන්ඩුව ගෙනෙන්න වැඩ කරපු වෘත්තීය සමිති විශාල ගනනක් මේ වෙන කොට එලියට බැහැල තියෙනවා. ඔබට අමතක ද අපිත් එක්ක කතා කරලා පසුගිය ආන්ඩු පෙරලන්න කරපු දේවල්.”
ඔහු නිශ්චිත ව සඳහන් කරන්නේ 2024 මැතිවරනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව පරාජය කොට ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා ජවිපෙ සමග එක් ව කටයුතු කිරීම ගැනයි.
2024 ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් වීමේදී ජවිපෙ වෘත්තීය සමිති සහ ඔවුන් සමග පෙල ගැසුනු අනෙකුත් වෘත්තීය සමිති නායකයන් පෙලගැසෙමින් සිටින ආකාරය සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) එවක දී ම පෙන්වා දුන්නේ ය.
2024 ජූලි 8-9 දෙ දින, වැටුප් හා දීමනා වැඩි කිරීමක් ඉල්ලා රාජ්‍ය අංශයේ සේවකයන් හා ගුරුවරුන් දශ ලක්ෂයක් පමන සම්බන්ධ වූ සංකේත වර්ජනයක් පැවැත්වුනි. දියුනුගේ නායකත්වය දුන් පලාත් පාලන කලමනාකාර සේවක සංගමය ද ඊට සහභාගී විය. වික්‍රමසිංහ ආන්ඩුව එම ඉල්ලීම් දීම ප්‍රතික්ෂේප කලේ ය.
මෙම වර්ජනයට දින දෙකකට පසු, වත්මන් ආන්ඩුවේ ඇමතිවරයෙකු ද වන කේ. ඩී. ලාල් කාන්ත වෘත්තීය සමිති රැස්වීමක දී ජනාධිපතිවරනය අත ලඟ “වර්ජන පැවැත්වීම “ප්රතිගාමී ක්‍රියාවක්” යයි සඳහන් කරමින් මෙසේ ද පැවසුවේ ය: “අපේ දර්ශනය විය යුත්තේ, මැතිවරන සටන් බිම ශක්තිමත් කිරීමයි. මේ වෙනසට අනුව වෘත්තිය සමිතිවලට හැඩ ගැහෙන්ඩ බැරි එක අපරාධයක්.” ඔහු නිදහසට කරුනු වශයෙන් දැක්වූයේ, වර්ජනවලින් තමන්ට ඇතිවන පීඩා නිසා ජවිපෙ සමග මහජනයා විරසක වනු ඇති බවයි.
සැබවින් ම ලාල් කාන්තට අවශ්‍ය වී තිබුනේ, ජවිපෙ/ජාජබ වර්ජන විරෝධී මහත්මා තත්වයට පත් ව සිටින බව පමනක් නොව, තම ආන්ඩුවක් යටතේ කම්කරුවන්ගේ වර්ජන ඇතුලු කාර්මික ක්‍රියාවන් නතර කෙරෙන බව මහ ව්‍යාපාරිකයන්ට පෙන්වා දෙමින් ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීම හා සාධාරන කම්කරු අරගල “ප්රතිගාමී ක්‍රියා” ලෙස හංවඩු ගසන ධනපතියන්ගේ ප්‍රචාර අවුස්සා ගැනීමයි. ලාල් කාන්තගේ මේ ප්‍රහාරයත් සමග ජූලි දින දෙකේ වර්ජනය කැඳවූ සියලු සමිති නායකයන් සියලු කාර්මික ක්‍රියා නවත්වා දමා, ජවිපෙ නායකත්වය දෙන ආන්ඩුව බලයට ගෙන ඒමේ ප්රචාරයට එක් වූහ. දියුනුගේ මතක් කරන්නේ තමන් ද සහභාගී වූ එම ද්‍රෝහී ක්‍රියාව ගැනයි.
මෙම පාවා දීමට හවුල් වූ, සමස්ත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ වත්මන් ආන්ඩුවේ නියෝජ්‍ය කම්කරු ඇමති පදවියකින් හා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ එවක නායකයා වූ චන්දන සූරියාරච්චි මන්ත්‍රී පදවියකින් පිදුම් ලබා ගෙන කම්කරු අරගලවලට බුරා පැනීම වේගවත්කර තිබේ. ජවිපෙ සමිති නායකයෝ ආන්ඩුවට පන්දම ඇල්ලීමේ කොටසක් ලෙස වර්ජන තහනම දිගට ම පවත්වා ගෙන යති. කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය ගැන ඔත්තු සොයා දීම හා ඒවා මැඬීමට ක්‍රියාකිරීම ඔවුන්ගේ රාජකාරිවල කොටසකි. පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නිලධරය ආන්ඩුව ගැන ව්‍යාජ විවේචනවල යෙදෙමින් සේවක විරෝධය වාෂ්ප කර දැමීමේ අභ්‍යාස වල යෙදෙයි.
වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දමා ඉල්ලීම් දිනා ගැනීමට හැකි ය යන මිත්‍යාවට කම්කරුවන් කොටු කිරීමේ යෙදුනු අනෙකුත් සමිති නායකයන් පසුගිය අවුරුදු දෙකේ හීන් කෙඳිරිලි වල යෙදුනේ, ජවිපෙ නායකත්වය දෙන ආන්ඩුව කම්කරු ලැදි ප්‍රතිපත්ති ගෙන යනු ඇතැයි බොරු දෙසා බාමිනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) නියෝග අනුව ක්‍රියාකරන ආන්ඩුව, කිසිදු සාධාරන පඩි හෝ දීමනා වැඩි කිරීමක් තුන්වන අයවැයෙන් ද ප්‍රකාශයට පත් නොකිරීමත් සමග, තමන් තොරොම්බල් කල බොරුව පුපුරා ගොස් තම සමිති සාමාජිකයන්ගේ කෝපය නැගී ඒමත් සමිති නිලධරය විසින් වත්මන් සීමිත විරෝධතා කැඳවා ඇත.
ජීවන වියදම් බර එන්න-එන්න ම කඳු ගැසෙන තතු තුල රාජ්‍ය අංශයේ වෘත්තිකයන් හා අනෙකුත් සේවකයන් අතර වැඩෙන කෝපය මධ්‍යයේ අරගලවලට එලැඹී සිටින්නේ තම අයිතීන් දිනා ගැනීමේ අව්‍යාජ වුවමනාව නිසා ය. එසේ වුව ද, සමිති නිලධරය ක්‍රියා කරන්නේ ඊට ඉඳුරා ම පටහැනි ව බව අපි ඔබට අනතුරු අඟවමු. මෙම සමිති නායකයන්, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට පක්ෂ ය.
නොවැම්බර් 18 දා පුවත්පත් සාකච්ඡාවේ දී “ඔබ ජනතාවාදී ආන්ඩුවක් නම් ජනතාවත් එක්ක ඉන්න ඕන. සමස්ත රාජ්‍ය සේවයත් සමග ඉන්න ඕන” යනුවෙන් ප්‍රකාශයක් කල පලාත් කලමනාකාර සේවා සංගමයේ සභාපති දියුනුගේ මෙසේ සද්දයක් ද දැම්මේ ය: “එහෙම නොවේ නම් ඔබත්, මේ ආන්ඩුවත් ගෙදර යවන්න වෙන බව, ඔබත් එක්ක එකට කම්කරු ව්‍යාපාරය සහ වෘත්තීය සමිති අරගලයේ ඉඳපු අපට කියන්න වෙනවා.” නොවැම්බර් 23දා උද්ඝෝෂනයෙන් විසඳුමක් නැති නම් 30 දින වැඩවර්ජනයක් කරන බව සඳහන් කල දියුනුගේ, ප්‍රශ්න විසඳා ගැනීම සඳහා දෙසැම්බර් 7 අයවැය සම්මත කිරීමට පෙර දින දක්වා කාලය තිබෙන බව ද “අපි සාකච්ඡා කරලා විසඳගමු” යැයි ද ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.
විරෝධතා මධ්‍යයේ ආන්ඩුවෙන් සාකච්ඡාවක් ද ලබා ගෙන, ඉදිරියේ ඉල්ලීම් ලබා ගැනීමේ හැකියාව ගැන දෙසා බාමින් රාජ්‍ය සේවකයන් අතර පැන නැගී ඇති විරෝධය වාෂ්ප කර දැමීමට සමිති නායකයන් ක්‍රියා කලොත් එය පුදුමයක් නොවේ. තමන් කර බදු වී පිහිටුවා ගත් ජවිපෙ/ජාජබ ධනපති ආන්ඩුව ගෙදර යැවීම ගැන කතා කරන දියුනුගේ තවත් ධනපති පක්ෂයකට කර බදු වුව හොත් එය ද මවිතයට කාරනයක් නොවේ.
සමිති නායකයෝ, රාජ්‍ය අංශයේ විවිධ සේවක කොටස් වෙන වෙන ම විරෝධතා වලට කැඳවති. සියලු සේවක කොටස්වල අයිතීන්ට පහර දීම සිදු වන්නේ ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩපිලිවෙලට අවැසි ආකාරයට වුවත්, ඊට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් කැඳවීමට ඔවුහු විරද්ධ ව සිටිති.
රජයේ සේවකයන්ගේ හා සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ජීවන, සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් දිනා ගැනීමට නම්, ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමන අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල පරාජය කල යුතු ය. මෙය සරල සත්‍යයකි. එ මෙන් ම මෙම අරගලය, ආන්ඩුවට හා ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනක් වන බව ද වෛෂයික සත්‍යයකි. එ නිසා, කම්කරුවන් තමන්ගේ අයිතීන් දිනා ගැනීමේ අව්‍යාජ අරගලයකට මෙහෙය වුව හොත්, එය දේශපාලන සටනක් වන බව දන්නා සමිති නායකයෝ එය වැලක්වීමට ක්‍රියා කරති.
පලාත් කලමනාකරන සේවා නිලධාරි සංගමයේ නායකයන් විසින් සිය සාමාජිකයන් වෙත ඒවා ඇති වට්ස්ඇප් පනිවිඩයක සඳුදා(23) උද්ඝෝෂනය තුල දේශපාලන ප්‍රශ්න මතු කිරීමට වාරනයක් පනවා තිබුනි. “මෙම උද්ඝෝෂන ව්‍යාපාරය කිසිදු දේශපාලන අරමුනක් සඳහා භාවිතා කිරීමට හෝ දේශපාලන වේදිකාවක් බවට පත් නොකෙරෙන බවට වගබලා ගැනීමට” කටයුතු කරන ලෙස සඳහන් කරන එම පනිවිඩය, “දේශපාලන පක්ෂවල ලාංඡන, පක්ෂ ප්‍රචාරන, දේශපාලන සටන් පාඨ හෝ පෞද්ගලික දේශපාලන මතවාද මෙම පොදු වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොකරන ලෙස දන්වා සිටිමු” යැයි තව දුරටත් සඳහන් කර තිබිනි.
මෙසේ “දේශපාලනය එපා” යයි කියන්නේ, ජවිපෙ ද ඇතුලු ධනේශ්වර පක්ෂ සමග එලිපිට සහ රහසේ දේශපාලන ගනුදෙනුවල යෙදෙන සමිති නායකයන් ය; එ මෙන් ම, වැඩවර්ජන එපා යැයි තර්ජනය කරන, වර්ජකයන් ද්‍රෝහීන් ලෙස එලිපිට ම හංවඩු ගැසීමට ආන්ඩුව ක්‍රියාකරන පසුබිමක ය. ස්වාධීන ව තමන්ගේ දේශපාලන ශක්තිය මෙහෙයවා කරන අරගලයක් මගින් ආන්ඩුවේ ධනපති වැඩපිලිවෙල පරාජය කිරීමකින් තොර ව, තම අයිතීන් රැක ගැනීමට හෝ දිනා ගැනීමට නොහැකි බව කම්කරු පන්තිය වටහා ගත යුතු ය.
ලෝක ධනවාදය අර්බුදයක ගිලෙන තතු තුල අධිරාජ්‍යවාදී මහා බලවතුන් ලෝක යුද්ධයක් පෙරමුනු විවෘත කරමින් සිටියි. ලංකාව, මේ ලෝක අර්බුදය තුල දුර්වල ම පුරුක්වලින් එකකි. 2022 ලංකාවේ ධනපති පන්තිය ආර්ථික කඩා වැටීමකට පාත්‍ර විය. එය විසඳී නැත. ධනපති පන්තිය, වෘත්තීය සමිති නායකයන්ගේ හා ජවිපෙ ජාජබ සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උදව්වෙන් මහජන නැගිටීම අන්තර්වාර ආන්ඩු උගුලකට සිර කිරීම නිසා වික්‍රමසිංහ බලයට ගෙන ආවේ ය.
ඔහුට මහජන විරෝධය මැඬලා දැමීම අපහසු වූ තතු යටතේ, වෘත්තීය සමිති නායකයන්ගේ ද උදවු ඇති ව ජවිපෙ/ජාජබ ආන්ඩුව ධනපති ක්‍රමය රැකීමට බලයට පැමින සිටියි. රාජ්‍ය අංශය කපා හැරීම, පුද්ගලීකරනය, නිදහස් සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය දිය කර දැමීම ඇතුලු අයිඑම්එෆ් වැඩපිලිවෙල ක්‍රියාවට දමා, විදේශ නය ආපසු ගෙවීම සහතික කිරීම හා දේශීය හා විදේශීය ආයෝජනවල ලාභ තර කිරීම ආන්ඩුවට පැවරී ඇති කාර්යයි. කම්කරු පන්තියට ධනපති ක්‍රමය තුල තම අයිතීන් සුරක්ෂිත කර ගත නොහැකි ය.
මීට පෙර පැවති ආන්ඩුවලට මෙන් ම මෙම ආන්ඩුවට බලපෑම් දමා කම්කරුවන්ට තම අයිතීන් දිනා ගත නොහැකි බව සසප අවධාරනය කරන්නේ මේ නිසා ය. ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව බංග්ලාදේශ් ආදී රටවල ද කම්කරුවන් හා තරුනයන් වීදි බැස සිටින්නේ සෑම රටක් ම අලලා ගත් අර්බුදය හේතු කොට ගෙන ය.
වෘත්තීය සමිති නිලධාරි තන්ත්රය මත රැඳී සිටීමෙන් කම්කරුවන්ගේ සමාජ හා ප්රජාතන්ත්රීය අයිතීන් දිනා ගත නොහැක. තම අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීමේ වගකීම කම්කරුවන් සියතට ගත යුතු ය. ඒ සඳහා වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රවලින් හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන ව, සෑම වැඩපොලක ම සාමාජික මට්ටමේ ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙසත්, එම කමිටු ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය හරහා ජාත්‍යන්තර ව සම්බන්ධීකරනය කරන ලෙසත් සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
වෘත්තීය සමිති නිලධාරයේ පාවා දීම් කපා හැර, එ ලෙස කම්කරු පන්තියේ ශක්තිය බලමුලු ගැන්වීමට කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා සෑම සහයෝගයක් ම දීමට සසප සුදානමින් සිටි. ආන්ඩුවේ ප්‍රහාරවලට සහ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව කම්කරු පන්තියේ මහ වැඩවර්ජනයක් සංවිධානය කිරීම හා එම අරගලයට ග්‍රාමීය දුගීන් හා තරුනයන්ගේ සහයෝගය බලමුලු ගැන්වීමට මෙම ක්‍රියාකාරී කමිටු සටන් කල යුතු ය.
සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් ව, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටන සඳහා මෙම අරගලය ආරම්භක ස්ථානය කර ගන්නා ලෙස, සසප කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටියි.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකාවේ 2027 අයවැය වැඩ කරන ජනතාවට එරෙහි අයිඑම්එෆ් කප්පාදු තීව්ර කරයි
- ජවිපෙ/ජාජබ කප්පාදු අයවැයට එරෙහි පොදු අරගලයකට කම්කරු පන්තිය බලමුලු ගන්වනු! කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කරනු!
- පාලක ජවිපෙ තම අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි විරෝධය තලා දැමීමට වෘත්තීය සමිති සූදානම් කරයි
- ජවිපෙ සමිති නායකයාගේ වර්ජන-විරෝධයට අනුගත වෙමින් ගුරු-විදුහල්පති සන්ධානය වැටුප් සටන අකුරට වැඩ කිරීමකට සිඳවයි
- පොලිස්පති වෘත්තීය සමිති "පිලිකාවක්" ලෙස හංවඩු ගසයි: කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්
- වැඩවර්ජනවල නොයෙදෙන ලෙස ජවිපෙ/ජාජබ කම්කරුවන්ට කර ඇති නිර්දේශයට විරුද්ධ වනු!
- ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයින් වැටුප් සම්බන්ධයෙන් ජාතික කාර්මික ක්‍රියාමාර්ගයක නියැලෙති
