ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ 2027 අයවැයට එරෙහි ව කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව අතර පුලුල් විරෝධයක් පැන නැගී තිබේ.
නොවැම්බර් 12 දා ජනාධිපති සහ මුදල් ඇමති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද අයවැය, සැබෑ වැටුප් තියුනු ලෙස ඛාදනය වී ඇති රාජ්‍ය අංශයේ සේවකයන්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක් ලබා දීම ප්‍රතික්ෂේප කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කරන ලද රාමුව තුල මුලුමනින් ම සකස් කර ඇති මෙම අයවැය, මහා ව්‍යාපාරිකයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ අවශ්‍යතා ආරක්ෂා කරන අතර ම ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් සහ වැඩකරන ජනතාව මත පටවයි. මෙය තවත් පන්ති යුද්ධයේ අයවැයකි.
මෙම සතිය ආරම්භයේ සිට රාජ්‍ය අංශය පුරා විරෝධතා සහ කාර්මික ක්‍රියා මාලාවක් පැන නැගී තිබේ. රාජ්‍ය අංශයේ ඉංජිනේරුවන් සහ රජයේ විධායක නිලධාරීන්, වාරිමාර්ග තාක්ෂනික සහායකයන්, ආපදා සහන නිලධාරීන් සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් 10,000කට අධික පිරිසක් මේ වන විට විරෝධතාවල නිරත වී සිටිති. නොවැම්බර් 23 දා, විවිධ සේවා ශ්‍රේනිවල සේවකයන්, පාසල් ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයන් ඇතුලු තවත් රාජ්‍ය සේවකයන් සිය දහස් ගනනක් මෙම විරෝධතාවට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අතීතයේ දී මෙන් ම යලිත් වරක් වෘත්තීය සමිති නිලධරය මෙම සීමිත විරෝධතා කැඳවා ඇත්තේ, කම්කරුවන්ගේ සාධාරන ඉල්ලීම්වලට එකඟ වන ලෙස ජනාධිපති දිසානායක ආන්ඩුවට බලපෑම් කල හැකි ය යන ව්‍යාජ කියාපෑම් ප්‍රචාරය කරමිනි.
මෙම බංකොලොත් වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කරන ලෙසත්, මහා ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරන දිසානායක ආන්ඩුව තමන්ට අවනත කරගත හැකි යැයි කිසිදු බලාපොරොත්තුවක් නොතබන ලෙසත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. තම ඉල්ලීම් දිනා ගැනීමේ වැඩපිලිවෙලක් සහිත ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සෑම වැඩපොලක ම ප්රජාතන්ත්රවාදී ව තෝරා පත් කරගත් සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, අරගලය තමන්ගේ ම අතට ගත යුතු ය.
තැනින් තැන පැවැත්වෙන, එකිනෙකින් හුදකලා වූ විරෝධතාවලට වෙනස් ව, මෙම කමිටු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කම්කරුවන් එක්සත් කල යුතු අතර, ආන්ඩුවේ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට සහ එය ආරක්ෂා කරන ධනේශ්වර පද්ධතියට එරෙහි පොදු දේශපාලන අරගලයකට ග්‍රාමීය ජනතාව බලමුලු ගැන්විය යුතු ය. මෙම මූලිකත්වය ගැනීම සඳහා කම්කරුවන්ට ඇති අවශ්‍යතාව දැන් හදිසි කාරනයක් බවට පත් ව තිබේ.
මහ වැඩවර්ජනයක් සඳහා සූදානම් වීමට තම ක්‍රියාකාරී කමිටු ගොඩනැංවීමේ පියවර ගන්නා ලෙස සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.
ජීවත් වීමට සරිලන වැටුපක් සඳහා වන සටන, පුද්ගලීකරනයට, අනියම් සහ කොන්ත්‍රාත් ශ්රමයට සහ විශ්‍රාම වැටුප්වලට එල්ල කරන ප්‍රහාරවලට, විදුලි මිල ඉහල දැමීමට සහ සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමට එරෙහි සටන සමඟ සම්බන්ධ කල යුතු ය. කම්කරුවන්ගේ කිසිදු කොටසකට තනි ව ම ජයග්‍රහනය කල නොහැක. වතු කම්කරුවන්, නිදහස් වෙලඳ කලාපවල (නිවෙක) සේවකයන් ඇතුලු පෞද්ගලික සමාගම්වල සේවකයන්, සෞඛ්‍ය සේවකයන්, දුම්රිය සහ වරාය සේවකයන්, රාජ්‍ය සේවකයන්, ගුරුවරුන්, රැකියා විරහිත තරුනයන් සහ ග්‍රාමීය දුගීන් ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ එහි අයිඑම්එෆ් වැඩපිලිවෙලට එරෙහි ව එක්සත් ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය.
වෘත්තීය සමිති නිලධරය හිතාමතා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය වන්නේ, අතීතයේ දී මෙන් ම, තම සමාජීය සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියට අව්‍යාජ ස්වාධීන පොදු අරගලයක් වර්ධනය කර ගැනීම අවහිර කිරීමයි. එවැනි බලමුලු ගැන්වීමකට ඔවුන් මුලුමනින් ම සතුරු වන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා ය. පලමු ව, ධනවාදයට පක්ෂපාතී මෙම වෘත්තීය සමිති නිලධරයෝ සියලුදෙනා ම අයිඑම්එෆ් වැඩපිලිවෙලට පූර්න සහාය දෙති. දෙ වනු ව, ඕනෑ ම අව්‍යාජ අරගලයක් අනිවාර්යයෙන් ම ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට සහ ධනවාදයට ම මුහුන දෙන දේශපාලන අරගලයක් බවට වර්ධනය වනු ඇතැයි ඔවුහු බිය වෙති.
දැනටමත් පවතින දරිද්‍රතා තත්ත්වයන්ට අමතර ව, සියයට 8ට ඉහල මට්ටමක පවතින අඛන්ඩ උද්ධමනයටත්, දිගින් දිගට ම පනවනු ලබන ආදායම් බදුවල බරටත් කම්කරුවෝ මුහුන දෙමින් සිටිති. රාජ්‍ය ව්‍යවසායයන් (එස්ඕඊ) පුද්ගලීකරනය කිරීම සහ වානිජකරනය කිරීමත් සමඟ දැවැන්ත රැකියා අහිමිවීම් සහ වැටුප් කප්පාදුවල තර්ජනය මතු ව තිබේ.
එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම ආරම්භ කල 2023 මාර්තු මාසයේ සිට, මෙම ප්‍රහාරවලට එරෙහි ව කම්කරු අරගල නැවත නැවතත් පැන නැගී තිබේ. බලයට පත් වීමෙන් පසු දිසානායක ආන්ඩුව මෙම ප්‍රහාර තීව්ර කරමින් සිටී. ජවිපෙ/ජාජබ ආන්ඩුව ජනතාවට හිතැති ආන්ඩුවක් ලෙස ව්‍යාජ ලෙස හුවා දක්වමින් එය බලයට ගෙන ඒමට වෘත්තීය සමිති නායකයෝ සියල්ලන් ම පාහේ සහාය දැක්වූහ.
වික්‍රමසිංහ ආන්ඩුව පැවති සමයේ දී ත් දැන් දිසානායක පාලනය යටතේත් වෘත්තීය සමිති නිලධරය විසින් ප්‍රචාරය කරන ලද මිථ්‍යාවන් කම්කරුවන්ගේ අත්දැකීම් හමුවේ සුනුවිසුනු වී තිබේ.
නොවැම්බර් 7 දා කොලඹ පැවති ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (එන්ටීයූසී) සම්මේලනයක දී දිසානායක සහ එහි සභාපති මෙන් ම ඇමතිවරයකු ද වන කේ.ඩී. ලාල් කාන්ත, ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අනුකූල ව කම්කරුවන් පාලනය කිරීමේ කාර්යභාරය තම වෘත්තීය සමිති විසින් ඉටු කල යුතු බව ඉල්ලා සිටියහ. සීමිත විරෝධතා කැඳවීම, කම්කරුවන් අතර පවතින කෝපය දිය කර හැරීම සහ ඔවුන් පාවා දීම යන අනෙකුත් වෘත්තීය සමිති නායකයන්ගේ කාර්යභාරය, තමන්ට එරෙහි ව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට ජවිපෙ කරන කැඳවුම සමඟ අනුකූල වේ. එ වැනි ක්‍රියාමාර්ග ගත හොත් ඒවා මර්දනය කරනු ඇති බවට ද ඔවුහු ඉඟි කරති.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විශේෂයෙන් ම ද්‍රෝහී භූමිකාවක් ඉටු කරමින් සිටී. කම්කරු අරගලය පීලි පැන්නවීම අරමුනු කරගත් සීමිත විරෝධතා සංවිධානය කිරීම සඳහා එය අනෙකුත් වෘත්තීය සමිති සමඟ එක් වී තිබේ.
ජවිපෙ/ජාජබ බලයට පත් වූ අවස්ථාවේ දී, පෙරටුගාමී සමාජවාදී පක්ෂය එය “ජනතා අපේක්ෂාවන්ගේ ප්රකාශනයක්” ලෙස ප්‍රශංසාවට ලක් කලේ ය. දැන් ආන්ඩුවට එරෙහි මහජන විරෝධය වර්ධනය වෙමින් පවතින තත්ත්වය තුල, කම්කරු අරගල පීලි පැන්නවීමේ උත්සාහයක් ලෙස පෙසප ආන්ඩුවේ කප්පාදු පියවර පිලිබඳ වාචාල විවේචන ඉදිරිපත් කරමින් සිටී.
තම ආන්ඩුව ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර තිබෙන බවත්, දැන් එහි අයවැය “ආර්ථික පරිවර්තනය” කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති දිසානායක අවධාරනය කර තිබේ. මෙම පරිවර්තනයට කම්කරුවන්ගේ සහ අනෙකුත් පීඩිත ජනතාවගේ ජීවන තත්ත්වයන් වැඩිදියුනු කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නැත.
ඊට වෙනස් ව, ආන්ඩුව ජාත්‍යන්තර නය හිමියන්ට දැවැන්ත විදේශ නය ආපසු ගෙවීම් සහතික කරයි. රුපියල් මිලියන 1,000ක් ආයෝජනය කරන සංචාරක සහ අපනයන ඉලක්ක කරගත් කර්මාන්තවල දේශීය හා විදේශීය ආයෝජකයන්ට සියයට 200ක ඉහල ප්‍රාග්ධන බදු සහන පිරිනමයි. කාර්මික ජනපද සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත් ව නීති ප්‍රවර්ධනය කිරීම ඇතුලු වෙනත් පියවර ද ගනිමින් සිටී.
දිසානායක තමන් අත්පත් කරගෙන ඇතැයි කියා සිටින “ආර්ථික ස්ථාවරත්වය” යනු කුමක් ද? එයින් අදහස් වන්නේ වැඩකරන ජනතාවගේ සොච්චම් ආදායම් මත බදු පැනවීමෙන් මහා භාන්ඩාගාරයට දැවැන්ත ආදායමක් උපයා ගැනීම, අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවල මිල ඉහල දැමීම, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා වන අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම සහ අස්වැසුම වැනි දැනටමත් සීමිත මට්ටමක පවතින සුබසාධන වැඩසටහන් තව දුරටත් කප්පාදු කිරීමයි. 2026 ජූනි මාසයෙන් පසු, අවදානමට ලක් ව සිටින පවුල් ආසන්න වශයෙන් 425,000කට අස්වැසුම ගෙවීම් ආන්ඩුව විසින් අත්හිටුවන ලදී.
මෙම කප්පාදු පිලිවෙතේ සමාජීය ප්‍රතිවිපාක ලෝක බැංකුවේ 2026 ඔක්තෝබර් තක්සේරුවෙන් පිලිබිඹු වේ. එම තක්සේරුවට අනුව, 2025 වසරේදී ශ්‍රී ලාංකිකයන් දස දෙනෙකුගෙන් හය දෙනෙකු පමන, ඉහල මැදි ආදායම් ලබන රටවල් සඳහා එය නිර්නය කර ඇති දරිද්‍රතා සීමාවට පහලින් ජීවත් වූහ.
ධනේශ්වර පද්ධතිය තුල වැඩකරන ජනතාවට කිසිදු විසඳුමක් නැත.
සසප ඉදිරිපත් කරන්නේ ධනවතුන්ගේ ලාභය මත නොව, වැඩකරන ජනතාවගේ අවශ්‍යතා මත පදනම් වූ වැඩපිලිවෙලකි:
- අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත එපා! රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීමට සහ ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි වෙමු!
- සියලු රාජ්‍ය ව්‍යවසායයන් සහ අනෙකුත් ප්‍රධාන සමාගම්, බැංකු, මූල්‍ය ආයතන සහ වතු කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතට පත් කරනු!
- ජීවන වියදමට සම්බන්ධ කරමින් සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල කම්කරුවන්ට සැලකිය යුතු වැටුප් වැඩි වීම් ලබාදෙනු!
- සියලු දෙනාට රැකියා! රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරනු! කොන්ත්‍රාත්, අනියම් සහ අස්ථාවර රැකියා ක්‍රම අවසන් කරනු!
- ජාත්‍යන්තර නය හිමියන්ගෙන් ලබා ගෙන ඇති සියලු විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරනු! එ මගින් වැඩකරන ජනතාව මත පටවා ඇති නය බර අහෝසි කරනු!
- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ), අත්‍යවශ්‍ය මහජන සේවා පනත සහ හදිසි නීති රෙගුලාසි ඇතුලු සියලු මර්දනකාරී නීති අහෝසි කරනු! ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත් කෙටුම්පත වැනි නව මර්දනකාරී නීති එපා!
- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!
කම්කරුවන්ට සහ අනෙකුත් දුගී ජනතාවට අත්‍යවශ්‍ය වන මෙම ඉල්ලීම් දිසානායකගෙන්, පාර්ලිමේන්තුවෙන් හෝ අයිඑම්එෆ් වෙතින් ඉල්ලීම් කිරීමෙන් දිනා ගත නොහැක. ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ සමස්තයක් ලෙස ධනේශ්වර පාලනයට එරෙහි දේශපාලන අරගලයක් අවශ්‍ය වේ. එම අරගලයේ අරමුන විය යුත්තේ සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වූ කම්කරු සහ ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීමයි. එ වැනි ආන්ඩුවක් බැංකු, ප්‍රධාන වතු සහ සමාගම් කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතට පත් කරමින්, පෞද්ගලික ලාභයට ඉහලින් වැඩකරන ජනතාවගේ සමාජීය අවශ්‍යතා තබනු ඇත.
දිවයින පුරා කම්කරුවන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවලින් ප්රජාතන්ත්රවාදී ව තෝරා පත් කර ගන්නා නියෝජිතයන් මත පදනම් වූ කම්කරුවන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් (ඩීඑස්සී) ගොඩනගන ලෙස සසප කැඳවුම් කරයි. ග්‍රාමීය ජනතාව සමඟ සන්ධානයකින් කම්කරු බලය සඳහා සටන් කිරීම එහි අරමුනයි. මහජන නැගිටීම පැවති 2022 ජූලි මාසයේ දී සසප විසින් ඉදිරිපත් කරන ලද ඩීඑස්සී කැඳවුම වැදගත් මූලෝපායික පියවරක් විය.
ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට සහ අනෙකුත් දුගී ජනතාවට ජාතික විසඳුමක් නැත. ගෝලීය ධනේශ්වර අර්බුදය සහ අධිරාජ්‍යවාදී යුද්ධ විසින් මෙහෙයවනු ලබන, තම අයිතීන්ට එරෙහි ප්‍රහාරයකට ඔවුහු මුහුන දෙති. ගෝලීය ධනේශ්වර අර්බුදයේ සහ යුද වියදම්වල බර වැඩකරන ජනතාව මත පැටවීමට උත්සාහ කරන පාලක පන්තීන් විසින් පනවනු ලබන කප්පාදු පියවරවලට එරෙහි ව එක්සත් ජනපදයේ සහ යුරෝපයේ කම්කරුවෝ සහ තරුනයෝ විරෝධතා හා වැඩවර්ජනවලට එක් වී සිටිති.
ශ්‍රී ලංකාවේ කම්කරුවන් තම අරගලය දකුනු ආසියාව පුරා සහ ජාත්‍යන්තර ව කම්කරුවන් ගෙන යන අරගලය සමඟ සම්බන්ධ කල යුතු ය. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දුගීන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු, තම අරගල ගෝලීය මට්ටමින් සම්බන්ධීකරනය කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) ගොඩනැගීමට එක්විය යුතු ය.
ධනපති පන්තියේ සහ එහි ආන්ඩුවේ ප්‍රහාරයට එරෙහි අරගලයේ දී, කම්කරුවන් සහ තරුනයන් 2022 මහජන නැගිටීමේ කටුක අත්දැකීමෙන් පාඩම් උකහා ගත යුතු ය. තරුනයන් සහ ග්‍රාමීය ජනතාව සමඟ මිලියන ගනනක් කම්කරුවෝ සිය විප්ලවවාදී ශක්තිය ප්‍රදර්ශනය කලහ. එම නැගිටීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට සහ ඉල්ලා අස්වීමට බල කල අතර ඔහුගේ ආන්ඩුව බිඳ දැමී ය.
අද සීමිත විරෝධතා කැඳවන එම වෘත්තීය සමිති, ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු පක්ෂවලින් සමන්විත අන්තර්වාර ආන්ඩුවක් ඉල්ලා සිටි ජවිපෙ සහ තවත් ධනේශ්වර පක්ෂයක් වන සමගි ජන බලවේගය (සජබ) සමඟ පෙල ගැසෙමින් විනාශකාරී භූමිකාවක් ඉටු කලේ ය. පෙසප ද මෙම උද්ඝෝෂනයට උද්යෝගයෙන් එක් විය. එහි ප්‍රතිඵලය වූයේ වැඩකරන ජනතාවට පසුබෑමක් අත්කර දෙමින්, ධනේශ්වර පර්යාය සහ අයිඑම්එෆ් හි කුරිරු වැඩපිලිවෙල තාවකාලික ව ස්ථාවර කිරීමයි.
කම්කරු පන්තිය මුහුන දුන් මූලික ගැටලුව වූයේ විප්ලවවාදී නායකත්වයක් නොතිබීමයි. කම්කරුවන් සහ තරුනයන් අවශ්‍ය පාඩම් උකහා ගත යුතු ය: ඔවුන් අද දවසේ මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදය මත පදනම් වූ විප්ලවවාදී පක්ෂය වන සමාජවාදී සමානතා පක්ෂයට එක්විය යුතු ය.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!
- සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි සමාජවාදී මූලෝපාය සාකච්ඡා කරයි
- පාලක ජවිපෙ තම අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි විරෝධය තලා දැමීමට වෘත්තීය සමිති සූදානම් කරයි
- ශ්‍රී ලංකාවේ 2027 අයවැය වැඩ කරන ජනතාවට එරෙහි අයිඑම්එෆ් කප්පාදු තීව්ර කරයි
- ආන්ඩුව සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් කුරිරු පනත් කෙටුම්පතක් හඳුන්වා දෙයි
