ශ්‍රී ලංකාවේ සසප අසාන්ජ් සහ මැනිං ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනයක් පවත්වයි

මෙම ලිපිය 2020 මාර්තු 5 දින ඉංග්‍රීසියෙන් පල විය.

ජූලියන් අසාන්ජ් සහ චෙල්සි මැනිං නිදහස් කරන ලෙස බල කරමින්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) 3දා සවස කොලඹදී උද්ඝෝෂනයක් පැවැත්වීය.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂනයට පක්ෂ සාමාජිකයින්, ආධාරකරුවන් ඇතුලු කම්කරුවන් හා තරුනයින් 60 ක් පමන එක් විය. යුද්ධයෙන් විනාශ වූ යාපනයේ පක්ෂ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට කිලෝමීටර් 400 ක් දුර ගෙවා පැමින සිටියහ. හැටන්හි වතු කම්කරුවන් පිරිසක් ද සහභාගී වූහ. සසප, සසජාතශි උද්ඝෝෂනය, රැකියා හා අධ්‍යයන කටයුතු අවසන්ව ආපසු පැමිනෙමින් සිටි දහස් ගනන් කම්කරුවන්ගේ හා තරුනයින්ගේ අවධානය දිනා ගත්තේය.

රැලියේ අවස්ථාවක්

“ජූලියන් අසාන්ජ් නිදහස් කරනු,” “ චෙල්සි මැනිං නිදහස් කරනු, “ කතා කිරීමේ නිදහස හා අයිතිය ආරක්ෂා කරනු,” “අන්තර්ජාල වාරනය නතර කරනු,” “අධිරාජ්‍යවාදී ලෝක යුද්ධය එපා”, “ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරන්න ” සහ “ සසප ගොඩනඟන්න” වැනි සටන් පාඨ උද්ඝෝෂකයින් විසින් සිංහල හා දෙමල භාෂා වලින් උද්‍යෝගිමත්ව  හඬ නැඟීය.  “පිටුවහල් කිරීමේ නඩු විභාගයට පෙරාතුව ජූලියන් අසාන්ජ් සඳහා වැඩෙන සහයෝගය” යන  / පෙබරවාරි 20 ලෝසවෙඅ ඉදිරිදර්ශනයේ පිටපත් සසප හා සසජාතශි සාමාජිකයින් විසින් බෙදා හරින ලදී.

රටේ ප්‍රධාන දෙමල දිනපතා පුවත්පත වන වීරකේසරි, අයි24 නිව්ස්, ඊස්රායලය පදනම් කරගත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති හා රූපවාහිනී කන්ඩායමක්,  යුරෝපීය ප්‍රෙස්ෆොටෝ ඒජන්සිය සහ සන්ඩේ මෝනිං ඇතුලු, මාධ්‍ය සංවිධාන ගනනාවක් මෙම අවස්ථාව ආවරනය කරන ලදී.

කේ. රත්නායක

ලෝසවෙඅ හි ජාතික කර්තෘ කේ. රත්නායක උද්ඝෝෂනයෙන් පසුව කථා කලේය. බ්‍රිතාන්‍ය අධිකරන නඩු විභාගය ආරම්භ වීමත් සමඟ, ඔත්තු බැලීමේ පනත යටතේ චෝදනා කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් පැමිනවීමට අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කිරීමට එරෙහිව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝසවෙඅ ගෙන යන උද්ඝෝෂනය තීව්‍ර කර ඇත. 

“එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිදුකරන ලද යුද අපරාධ හෙලිදරව් කිරීම නිසා අසාන්ජ් සහ මැනිං දඩයම් කර ඇත.  එබැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වන අරගලය, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, නිදහසේ කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමේ අත්‍යවශ්‍ය අංගයකි. ”

විකිලීක්ස් ප්‍රකාශන පලකෙරුන දා සිට, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ස්වීඩනය ඇතලු එහි සහචරයින් විසින් දශක ගනනාවක් තිස්සේ අසාන්ජ් පීඩාවට පත්කල ආකාරය ඔහු සමාලෝචනය කලේය.

රත්නායක තවදුරටත් මෙසේ පැවසීය: “ඔහු නිදහස් කිරීම සඳහා පාලක පන්තියට සදාචාරාත්මක ආයාචනා කිරීම නිෂ්ඵල ය. අසාන්ජ් නිදහස් කිරීම සඳහා වන අරගලය කම්කරුවන්, සිසුන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අගය කරන සියලු දෙනා තම අතට ගත යුතුය. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වන්නේ, සිය අතීත අපරාධ සඟවා තැබීම සඳහා අසාන්ජ් සහ මැනිං නිහඬ කිරීමට  පමනක් නොවේ. ඔවුන් නව අපරාධ සඳහා සූදානම් වෙමින් හා දරුනු යුද්ධ සඳහා මාවත සකසමින් සිටින  බැවිනි. ”

උද්ඝෝෂනයේ අවස්ථාවක්

එවැනි ඉදිරිදර්ශනයක පදනම ලෙස කම්කරු පන්තියේ ජාත්‍යන්තර නැගීම රත්නායක විසින් පෙන්වා දෙන ලදී.

අසාන්ජ් දඬු ගැසීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහි පුලුල්ම ප්‍රහාරයක තියුනු ප්‍රකාශනය බව කථිකයා පැහැදිලි කලේය.

බලයේ සිටි කොලඹ පාලකයන්,  30 වසරක් පුරා පැවති දෙමල විරෝධී සිවිල් යුද්ධයේදී අනුගමනය කල  පොලිස් රාජ්‍ය පියවර මේ ආන්ඩුව විසින්, මුවාත් කරමින් සිටී. 

ආන්ඩුව විවේචනය කල දේශපාලන විරුද්ධවාදීන් සහ මාධ්‍යවේදීන් අමානුෂික ගොදුරු බවට පත්වූ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පැවති ආන්ඩුව යටතේ ඝාතනය වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ද ඇතුලු, ඔවුන්ගෙන් සමහරු ඝාතනයට ලක්විය. 

බෞද්ධ සංස්ථාපිතයේ සමහර කොටස්වල උසිගැන්වීම් හේතුවෙන්, ශක්තික සත්කුමාර සහ මාලක දේවප්‍රිය වැනි කලාකරුවන් දඩයමට ලක් විය. ගැඹුරු වන අර්බුදයකට මුහුන දී සිටින පාලක පන්තිය, කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඬ, සිය පන්ති පාලනය සුරක්ෂිත කර ගැනීම පිනිස යුද අපරාධවලට සෘජුවම සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කලේය.

මෙරට තුල අසාන්ජ් පිලිබඳ ප්‍රශ්නය මතු කරන එකම පක්ෂය සසප බව රත්නායක පැහැදිලි කලේය. ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම කම්කරු පන්තියේ සමාජ අයිතීන් සඳහා වන අරගලය සමඟ නොවෙන්කල හැකි ආකාරයකින් බැඳී ඇති බව ලොව පුරා සමාජවාදී සමානතා පක්ෂ විසින් තිරසාර ලෙස තහවුරු කර තිබේ.

කපිල ප්‍රනාන්දු

රැලිය අමතමින් සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු, අසාන්ජ් සහ මැනිං නිදහස් කිරීමේ අරගලයට එක්වන ලෙස සිසුන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටියේය. මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන තුන්වන ලෝක යුද්ධයක් සඳහා ප්‍රධාන බලවතුන් විසින් කොන්දේසි නිර්මානය කරන බවට ඔහු අනතුරු ඇඟවීය. ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයේදී කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුවේ අවශ්‍යතාව මෙයින් අවධාරනය කෙරේ.

ලෝසවෙඅ වාර්තාකරුවන් පැමින සිටි සමහර අය සමඟ කතා කලේය.

තරුන කම්කරුවෙකු වන අර්ජුන් අයින්කරන් පැවසුවේ, “මේ වගේ උද්ඝෝෂන පැවැත්වීම ඉතා වැදගත්. ඇත්ත වශයෙන්ම බොහෝ අය දන්නේ නැහැ මේ ආකාරයේ ප්‍රහාර සිදුවන බව. සත්‍යය එලිවේ යයි සියලු ආන්ඩු බියපත්ව සිටිති. අසාන්ජ් හෙලි කල දේ දන්නේ නම්, මිනිසුන් ඇමරිකානු අධිරාජ්‍යවාදයට වෛර කරනු ඇත. ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ප්‍රධාන ඉරාන අන දෙන නිලධාරියෙකු මිය ගිය බව මම ප්‍රවෘති මාධ්‍යයෙන් දුටුවෙමි. එය බරපතල සිදුවීමකි.

“(එක්සත් ජනපද බුද්ධි අංශ විසින් සිදු කරන ලද දැවැන්ත නිරීක්ෂන මෙහෙයුම් හෙලි කල) එඩ්වඩ් ස්නෝඩන් ගැන මම මීට පෙර කියවා ඇත්තෙමි. මම දැන් චෙල්සි මැනිං ගැන අසන විට ඇය ද ස්නෝඩන් සේම නිර්භීත කාර්යයක් ඉටු කර ඇති බව මට වැටහුනි. අසාන්ජ් සහ මැනිං සඳහා නිදහස ඉල්ලා සිටින අතර මම ඉදිරියේදී තවත් මෙවැනි සිදුවීම් වලට සම්බන්ධ වෙමි. ”

සෝරෙස්ම්

ප්‍රන්සයේ සිට පැමිනි තරුනයෙකු වන සෝරෙස්ම් මෙසේ පැවසීය. “ජූලියන් අසාන්ජ් නිදහස් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ගොඩනැගීම වැදගත් ය. නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා මෙම සටන ඉදිරියට ගෙන යා යුතුය. ප්‍රන්ස ජාතිකයන් ඔහුට (අසාන්ජ්ට) ප්‍රන්සයේ රැකවරනය ලබා දීමට කැමති නමුත් ධනපති පන්තිය එයට ඉඩ නොදේ. ඔහු නිදහස් කිරීමට ව්‍යාපාරයක් පහලින් ගොඩනැගිය යුතු බව පැහැදිලිය. ”