වසංගතය පැතිරීම ගැන මහජනතාවට දොස් පැවරීම අසමර්ථභාවය පිලිගැනීමක් බව වෛද්‍ය විශේෂඥයා පවසයි

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුනු රට අදියර කීපයකින් යලි විවෘත කිරීමේ අරමුනෙන්, දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන දා සිට ඉවත් කරන බව, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව අප්‍රේල් 15 දා නිවේදනය කලේය. එහෙත්, ඉක්බිති සති අන්තයේ සිට ආසාදිත රෝගීන් සංඛ්‍යාව පෙර නුවූ ආකාරයෙන් ක්ෂනිකව ඉහල ගියේ නාවික භටයන් 200 කට ආසන්න ගනනක් ද අන්තර්ගත කර ගනිමිනි. 

වසංගත ව්‍යාප්තියේ මෙම ක්ෂනික නැග්ම පිලිබඳව මහජනතාවට වරද පටවමින්, එම වගකීමෙන් ආන්ඩුව මුදාලීමේ උද්ඝෝෂනයක්, ආන්ඩුවේ මැති ඇමතියන්, කොරෝනා මර්දන ජාතික මධ්‍යස්ථානය සහ  විවිධ මාධ්‍ය එක්ව ගෙනයමින් පවතීි. 

විවිධ වෛද්‍ය විශේෂඥයන් මෙම උද්ඝෝෂනයට විරුද්ධත්වය පල කරමින් එහි ඇති ප්‍රෝඩාකාරී ස්වභාවය පෙන්වා දෙයි. ප්‍රකට වෛද්‍යවරයෙකු වන  රවී රන්නන් එලිය එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය සමග කල සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ,  රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තිය මහජනතාවගේ “නැහැදිච්චකමකට” බැර කිරීම යනු, බලධාරීන් විසින් තම අසාර්ථකත්වය පිලිගැනීමක් බවයි. 

රන්නන් එලිය මෙසේ පැවසීය: “හොඳ මහජන සෞඛ්‍ය  ප්‍රතිචාරයකට තම අසාර්ථකත්වය ගැන මහජනතාවට දොස් පැවරිය නොහැකියි. දොස් පවරන්නේ නම් එය තම අසාර්ථකත්වය සහ තම ප්‍රතිපත්ති නිවැරදි නොවන බව පිලිගැනීමකි.”

ඔහු තම බ්ලොග් අඩවියේ පල කල ලිපි කීපයකින් ම රෝගීන් සංඛ්‍යාවේ ඉහල යාමකට වැරදි ප්‍රතිපත්ති හේතු වූයේ කෙසේ දැයි පැහැදිලි කර ඇත. 

තදබදයෙන් යුත් නිවාසවල ජීවත්වන ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාවගේ සමාජ කොන්දේසි සලකනවිට ඇඳිරි නීතිය සහ නිවෙස්තුල නිරෝධායනය සාර්ථක පිලියම් නොවන බවත් විධිමත් ව සැලසුම් කල නිරෝධායන මධ්‍යස්ථාන පවත්වා ගෙන යා යුතු බවත් වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන තුල රෝගය පැතිර ගිය අවස්ථා පැහැදිලි කරමිනි. 

බොහෝ රෝගීන් රෝග ලක්ෂන ප්‍රකට කර ඇත්තේ සති තුනක කාලයකට පසු නිසා හුදෙක් දින 14ක නිරෝධායන කාලයක් පමනක් ප්‍රමානවත් නොවන බවද ඔහු පෙන්වා දෙයි. එම නිසා නිරෝධායනය සමග පරීක්ෂා කිරීම් අනිවාර්යෙන් ම අත්වැල් බැඳ ගත යුතු යැයි පවසන ඔහු මෙසේ පවසයි: “අවසාන වශයෙන්, සමස්ත අසාර්ථකත්වයට වගකිව යුත්තේ ආක්‍රමනශීලී පරීක්ෂා කිරීමේ මූලෝපායකට යොමු නොවීමයි.” දිනකට කෙරෙන පරීක්ෂන ගනන 5000 කට වඩා ඉහල නැංවිය යුතු බව ඔහු අවධාරනය කලේය.

පසුගිය සති දෙකක කාලය තුල රෝගීන්ගේ ඉහල යාම සලකා බලන කල වෛරස් ව්‍යාප්තියේ පාලනයට යොදවා ඇති සීමා ලිහිල් කිරීම් යුක්ති යුක්ත නොවන බව, “අපි ඇත්ත කතා කල යුතුය-ලොක්ඩවුන් එක අසාර්ථක වී ඇත. දැන් අලුතින් සිතිය යුතු ව ඇත” යන මැයෙන් රන්නන් එලිය අප්‍රේල් 26 දා ලියූ බ්ලොග් සටහනක සඳහන් වෙයි. 

20 වැනි දා, දි අයිලන්ඩ් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් වෛද්‍ය ප්‍රසන්න කුරේ, වෛරස ව්‍යාප්තිය පාලනය කර ඇතැයි යන්න දැඩි ලෙස සැකයට භාජනය කලේ ය. කොවිඩ්-19 සාමාන්‍ය මරන අනුපාතිකයට වඩා ශ්‍රී ලංකාවේ මරන අනුපාතිකය  ඉහල අගයක් ගන්නා බව ඔහු පෙන්වා දෙයි. 

තවමත් දැවැන්ත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී රෝහල් පද්ධතියේ ධාරිතාවන් ඉක්මවා ගොස් නොතිබූ තත්ත්වයක දී එය අසාමාන්‍ය ප්‍රතිශතයක් බව පෙන්වා දුන් ඔහු එයට හේතුව වශයෙන් නිගමනය කලේ සැබෑ ආසාදිතයන් ගනන, නැතහොත් සැබෑ ව්‍යාප්තිය හඳුනා ගෙන නොතිබීමයි.

ඔහුගේ සැකයේ නිරවද්‍යතාව තහවුරු කරමින් එතැන් පටන් ඉහල සංඛ්‍යාවලින් රෝගීන් වාර්තා වන්නට වූයේ, ධනපති නිෂ්පාදන  ක්‍රියාවලිය යලි විවෘත කිරීමට සමගාමී ව වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශවලින් එල්ල වුනු පීඩනය මැද, සීමිත ආකාරයෙන් පරීක්ෂන ඉහල නංවන්නට වීමත් සමඟයි. 

අප්‍රේල් 20 වැනි දා වන විට දිනක දී වාර්තා වී තිබූ ඉහල ම රෝගීන් සංඛ්‍යාව වූ 33 දෙනෙකු වාර්තා වීමත් සමඟ ම සමස්ත වාර්තාගත ආසාදිතයන් ගනන 303ක් දක්වා ඉහල ගියේ ය. ඊලඟ රෝගීන් 100 දෙනා වාර්තා වීමට දින 4ක් ගත වූ අතර පසු ව දින 4ක් තුල ආසාදිතයන් ගන 200කින් ඉහල ගියේ ය. 

රෝගීන් ගනන ඉහල යාමත් සමග ම රෝහල් පද්ධතියේ ධාරිතාවන් ප්‍රමානවත් නොවීමේ අර්බුදයක් ඉස්මතු වෙමින් ඇත. අප්‍රේල් 29 දා කොලඹ උන රෝහලේ අධ්‍යක්ෂක පැවසුවේ, රෝහලේ සමස්ත ඇඳන් 170ක ධාරිතාව සම්පූර්න ව ඇති බැවින් අලුතින් හඳුනා ගනු රෝගීන් වෙනත් ස්ථානයකට ඇතුලත් කර ගත යුතු බව යි.

අප්‍රේල් 22 වැනි දා වැලිසර නාවික කඳවුරට අයත් සෙබලෙක් ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගනු ලැබීම කොවිඩ්-19 වසංගත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආන්ඩුවේ නරුම සහගත ආකල්පය වැඩිදුර නිරාවරනය කරන අවස්ථාවක් විය. අප්‍රේල් 23 දා තවත් නාවික සෙබලුන් 30 දෙනෙකු රෝගීන් වශයෙන් හඳුනා ගනු ලැබින. අප්‍රේල් 24 දා වැලිසර නාවික කඳවුරු හුදෙකලා ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරුනේ නාවිකයන් සහ ඔවුන්ගේ පවුල්වල 4 000කට අධික පිරිසක් කඳවුර තුල නිරෝධායනය කරමිනි. 

අප්‍රේල් 28 වැනි දා වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ ආසාදිතයන් පොකුර 209 කි. ඉන් 148 ක් කඳවුර තුලින් ම වාර්තා වූ අතර තවත් 45 දෙනෙකු නිවාඩු ගොස් සිටිය දී ආසාදිතයන් වශයෙන් හඳුනා ගනු ලැබූහ.

මෙම නාවික සෙබලුන් පොලොන්නරුව, බදුල්ල ආදී දිස්ත්‍රික්ක   ගනනාවකට සංචලනය වී තිබුනි. ඒ අනුව මේ වන විට ප්‍රදේශ     ගනනාවක් හුදෙකලා බවට පත් කර ඇත. අප්‍රේල් 28 වැනි දා වන විට මෙම නාවුක සෙබලුන්ගෙන් තවත් 13 දෙනෙකුට රෝගය ආසාදනය වී තිබුනි.

චීනයේ වූහාන් නගරයේ වසංගත රෝගයට එරෙහි ව සටන් කල වෛද්‍යවරුන් හතර දෙනෙකු සමග ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ දී ඔවුන් පැවසුවේ, රෝගීන් සමග කටයුතු කල සමස්ත කාර්ය මන්ඩලය එම සම්පූර්න කාලය පුරා සෙසු සමාජයෛන් හුදෙකලා කර තැබීමට හෝටල් පහසුකම් සපයා තිබූ බවයි. එමෙන් ම ඔවුන් ප්‍රමානවත් තරම් පුද්ගල ආරක්ෂිත උපකරනවලින් සන්නද්ධ කර තිබුනි. 

නිරෝධායන නීති ගැන දැඩි සැලකිල්ලක් දක්වන බවක් පෙන්නුම් කල ද එය මවාපෑමක් බව, නාවික සෙබලුන් නිරෝධායනය නොකර ඔවුන්ට දිස්ත්‍රික්ක හරහා නිදහසේ ගමනාගමනයට ඉඩ සැලසීමෙන් පැහැදිලි වෙයි. කෙසේනමුත් නිරෝධායන නීති කඩ කලා යැයි වෝදනා කරමින් 40,000කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඇත්තෙන් ම, සෞඛ්‍ය සේවාවන් පිලිබඳ කවර හෝ දැනීමක් නොමැති මෙම සෙබලුන් අදාල ආරක්ෂක ආම්පන්න පවා නොමැතිව නිරෝධායන කටයුතු වලට යෙදීමෙන් ධනපති ආන්ඩුව එම සෙබලුන් සහ මහජනයා දැනුවත්ව අනතුරේ හෙලා ඇත. දශක තුනක සිවිල් යුද්ධයේදී මෙන්ම මෙහිදීද, ධනපති පන්ති අවශ්‍යතාවන් ආරක්ෂා කර ගැනීමට සෙබලුන්ගේ ජීවිත ඇපයට තබා ධනපති ආන්ඩුව කටයුතු කර ඇත.

ධනපති නිෂ්පාදනය සඳහා කොලඹ නගරය විවෘත කිරීමේ     අභිප්‍රායෙන් සිටින ජනාධිපති රාජපක්ෂ යුද්ධ සමයේ මෙන් හමුදා සෙබලුන් යොදා මහජනතාව විනයගත කර එම කටයුත්ත සිදු කිරීමට අදහස් කරන බව අප්‍රේල් 20 වැනි දා තම උපදේශක ලලිත් වීරතුංග සමග රූපවාහීනි සාකච්ඡාවක දී පැවසී ය. 

කෙසේ නමුත්, සෞඛ්‍ය සේවාවන්හි නිරත කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ කවර හෝ උවමනාවක් ධනපති ආන්ඩුවට නැත. කෙසෙල්වත්ත බන්ඩාරනායක මාවතේ රාජකාරී කටයුතු කල මැද කොලඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සහ තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 12 දෙනෙකු තමන් පීසීආර් පරීක්ෂනවලට භාජනය කරන මෙන් සිදු කල ඉල්ලීම සෞඛ්‍ය බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් සේවයෙන් ඉවත් වී ස්වයං නිරෝධායනයට යොමු වීමට තීරනය කර ඇත්තේ මෙම තතු තුලය.

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොලඹ ජනයා “විනයගත කිරීමට” මිලිටරිය යොදනබව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කරයි

ආන්ඩුව රට යලි විවෘත කිරීමට සැරසෙද්දී කොරෝනා රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහල යයි

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයෝ කොරෝනා වෛරස් පරීක්ෂන ධාරිතාව විශාල වශයෙන් ඉහල නංවන්න යැයි ඉල්ලති

 

 

Loading