චීනයට එරෙහි උද්ඝෝෂන එපා! වසංගතයට සහ ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා!

මෙම ලිපිය  මැයි 22 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

කොරෝනා වසංගතය හේතුවෙන් සිදුව ඇති විශාල ජීවිත හානිවල වගකීම ඇමරිකානු පාලක පන්තියෙන් ඉවතට හරවා චීනය දෙසට හැරවීම අරමුනු කරගත්  චීන විරෝධී ඇමරිකානු ස්වෝත්තමවාදී ප්‍රහාර, සමාජවාදී සමානතා පක්ෂය සහ මගේ මැතිවරන ව්‍යාපාරය ප්‍රතික්ෂේප කරයි.

චීනය හිතාමතාම හෝ නොසැලකිලිමත්කමින් යුරෝපයේ සහ ඇමරිකාවේ වෛරසය “වැපිරීමට” ඉඩ හැර ඇති බවට ව්‍යාජ චෝදනා නැගීමේ  චීන විරෝධී උද්ඝෝෂනයේ  පෙරමුන ගෙන සිටින්නේ ට්‍රම්ප් පරිපාලනයයි. මිචිගන් හි ෆෝඩ් කම්හලකදී ඊයේ එනම් 21දා ට්‍රම්ප් කියා ඇත්තේ, එක්සත් ජනපද ආර්ථිකය අඩපන කිරීමේ අරමුනින් චීනය හිතාමතාම වෛරසය ගෝලීයව පැතිරෙන්නට ඉඩ හැර ඇති බවයි.

චීනයට එරෙහි, ඇමරිකානු ස්වෝත්තමවාදී උද්ඝෝෂනයේදී ඩිමොක්‍රටිකයින් ට්‍රම්ප්ට නොදෙවෙනි ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරයි. ට්‍රම්ප්, චීනයේ නායකයන් කෙරෙහි විශ්වාසය තබනවා පමනක් නොව, චීනයට පක්ෂපාතී වීමට ද නැඹුරුවක් දක්වන බවට චෝදනා කරමින් ඩිමොක්‍රටික් අපේක්ෂක, හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන් විසින් ප්‍රචාරක දැන්වීම් මාලාවක් නිකුත් කර තිබේ.

මිචිගන්හිදී ඩිමොක්‍රටික් සෙනෙට් සභික ගැරී පීටර්ස් චීනය එල්ල කරගෙන දැන්වීම් මාලාවක් නිකුත් කර තිබේ. සෙනෙට් ස්වදේශ ආරක්ෂක කමිටුව නියෝජනය කරන ඉහල පෙලේ ඩිමොක්‍රටික් සාමාජිකයෙකු වන  පීටර්ස්, “මම සෑම විටම චීන ආන්ඩුව කෙරෙහි දැඩි පිලිවෙතක් අනුගමනය කර ඇත” යනුවෙන් පැවසීය. "චීන සංචාරක තහනමට සහය දක්වමින් ද කෝවිඩ් වසංගතය පැතිරීම පිලිබඳ සත්‍යය හෙලි කරන මෙන් චීනයට බල කරමින් ද මම සටන් කරන්නේ, ජීවිතාරක්ෂක ඖෂධ සහ වෛද්‍ය සැපයුම් චීනයෙන් ඉවතට ගෙනයාමටයි. එබැවින් අප කිසි විටෙකත් ප්‍රාන ඇපකරුවන් නොවනු ඇත." යනුවෙනි.

අප්‍රේල් මාසයේ පටන් ඩිමොක්‍රටික්  පක්ෂය අනුගමනය කරන පිලිවෙත පැහැදිලි කරන  ජාතික අභ්‍යන්තර කමිටු සංදේශයක් මෙසේ පවසයි: “චීනය  වග කිව යුතු බවට කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් ට්‍රම්ප් ඔහුගේ නොහැකියාව ඔප්පු කර තිබේ. අර්බුදය වර්ධනය වෙත්ම, ඔහු චීනයට එරෙහි විකාර සහගත කයිවාරු ගැසීමටත් එහි විනිවිදභාවය පිලිබඳව වගකීම් විරහිත ප්‍රශංසා නිකුත් කිරීමටත් සතිගනන් කාලය නාස්ති කරමින් සිටියි.

චීන විරෝධී උද්ඝෝෂනය අන්තර් සම්බන්ධිත අරමුනු තුනකින් යුත් අති මූලික මුසාවකි. කොරෝනා වසංගතයේ ව්‍යසනකාරී බලපෑම පිලිබඳ වගකීම ට්‍රම්ප් පරිපාලනයෙන් සහ ඇමරිකානු පාලක පන්තියෙන් ඉවතට හැරවීම එහි පලමු අරමුනයි.

කොවිඩ්-19 වසංගතයට හේතු වන වෛරසය හඳුනාගෙන සතියකට පසු, එනම් ජනවාරි 13 වන දින චීන ආන්ඩුව, වෛරසයේ ජාන අනුක්‍රමය පිලිබඳ ප්‍රසිද්ධ වාර්තාවක් නිකුත් කලේය. ජනවාරි  මැද සිට අග භාගය වන විට,  සමස්ත ලෝකයටම වෛරසය පැතිරීමේ අන්තරාය පැහැදිලිව තිබුනි. ජනවාරි 28 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවීමේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “සමකාලීන සමාජයේ දැවැන්ත අනාරක්ෂිත බව බෝවන රෝගවල නව ප්‍රවනතාවන්ට නිරාවරනය වී ඇති අතර, කිසිදු ධනවාදී ආන්ඩුවක් ප්‍රමානවත් ලෙස ඊට මුහුන දීමට සූදානම් නොවීමේ අන්තරාය වෛරසය මඟින් හෙලිදරව් කර ඇත” යනුවෙනි.

කෙසේ වෙතත් වෛරසය පැතිරීමට ප්‍රතිචාර වශයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. පෙබරවාරි 28 වන විට ද ට්‍රම්ප් කියමින් සිටියේ කොරෝනා  වෛරසය “ප්‍රාතිහාර්යයක්” මෙන් “අතුරුදහන් වනු ඇති” බවයි. මාර්තු 4දා වන විටත් එක්සත් ජනපදය තුල සිදු කර තිබුනේ කොරෝනා වෛරස් පරීක්ෂන 1,000 ක් පමනි. ඒ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ තර්ජනය පිලිබඳ චීනය විසින් සිදු කරන ලද පලමු අනතුරු ඇඟවීමෙන් මාස දෙකකටත් පසුවය.

වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරය කිසිදු පියවරක් නොගත්තේ එයට වෝල් වීදිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වූ බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස දස දහස් ගනනක් මිය ගොස් ඇත.

දෙවනුව, ඇමරිකානු පාලක පන්තියට අවශ්‍ය වන්නේ, කම්කරුවන් ආපසු වැඩට දැක්කීමේ ව්‍යාපාරයෙහි ප්‍රතිඵලයක් ලෙස මරන සංඛ්‍යාව නොවැලැක්විය හැකි ලෙස ඉහල යන විට එහි වගකීම පැටවීමට දේශපාලන බිල්ලකි.

මාර්තු අග දී ඩිමොක්‍රටික සහ රිපබ්ලිකානුවෝ, ඩොලර් ට්‍රිලියන ගනනක ඇපයක් වෝල් වීදියට දීම නිර්දේශ කල කෙයාස් පනත ඒකමතිකව සම්මත කලහ. ට්‍රම්ප් පරිපාලනය සහ ධනපති මාධ්‍ය, වසංගතයේ අනතුර පසෙක හෙලා, “ප්‍රතිකාරය රෝගයට වඩා නරක නොවිය යුතුය” යන අනතුරු ඇඟවීම් වෙත පැනගත්තේය. ධනවතුන් වෙත දැවැන්ත ධනස්කන්ධයක් මාරු කිරීම වෙනුවෙන් කඹුරන්නට කම්කරුවන් නැවත වැඩට යා යුතු විය.

ට්‍රම්ප් පරිපාලනය, රට පුරා රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන් සමඟ එක්ව අපරික්ෂාකාරීව සහ සාපරාධී ලෙස නිෂ්පාදන ආයතන සහ ව්‍යාපාර නැවත විවෘත කරමින් සිටී. කොරෝනා වෛරසයට චීනය වගකිව යුතු යැයි කියා සිටීමෙන් පාලක පන්තිය උත්සාහ කරන්නේ, දස දහස් ගනනින් නැතහොත් ඉදිරියේදී ලක්ෂ ගනනින් සිදු වීමට නියමිත මරන සදහා චීනයට දොස් පැවරිය යුතු බවට ආඛ්‍යානයක් නිර්මානය කිරීමට ය.

තෙවනුව පාලක පන්තිය, චීනය සමඟ ඇති භූ-මූලෝපායික ගැටුම උත්සන්න කිරීම සඳහා වසංගතය ගසාකෑමට උත්සාහ කරයි. ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරය, ලෝක ආර්ථිකය තුල චීනය මතුව ඒම, තම ආර්ථික අවශ්‍යතාවන්ට විශාල තර්ජනයක් ලෙස දකී. ආසියා පැසිෆික් කලාපය සහ ඉන් ඔබ්බට සිය ආධිපත්‍යය තහවුරු කිරීමේ අරමුනේ කොටසක් ලෙස  ඇමරිකානු අධිරාජ්‍යවාදය,  චීනය වැටලීම සඳහා මිලිටරි බලය යොදාගෙන තිබේ.

ඔබාමා පරිපාලනය යටතේ මෙම පිලිවෙත ක්‍රියාත්මක කලේ “ආසියාවට හැරීමේ” වැඩ පිලිවෙල යටතේ ය. ට්‍රම්ප් පාලනය  චීන විරෝධී ගැටුම, වෙලඳ යුද්ධයේ පිලිවෙත උත්සන්න කර ඒ සමඟ යොදාගන්නා අතරම, මිලිටරි මැදිහත්වීම් පිලිබඳව තර්ජන ද එල්ල කර තිබේ. එක්සත් ජනපද මිලිටරි මූලෝපායඥයින් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” අවසානය නිවේදනය කරමින් ඒ වෙනුවට චීනය හා රුසියාවට එරෙහි යුද්ධයකට සූදානම් වීම ඇතුලු “මහ බලවතුන් අතර යුද්ධය ”  ප්‍රතිස්තාපනය කර ඇත.

පසුගිය වසර තුනහමාරක කාලය තුල ඩිමොක්‍රටික් පක්ෂය, බුද්ධි අංශ සහ මිලිටරිය විසින් මෙහෙයවන ලද ප්‍රතිගාමී රුසියානු විරෝධී උද්ඝෝෂනය පිටුපස, ට්‍රම්ප් පරිපාලනයට එරෙහි මහජන උද්ඝෝෂන ගැටගැසීමට උත්සුක විය. දැන් එය චීන විරෝධී ආඛ්‍යානයට පැනගෙන සිටී. 

සමාජවාදී සමානතා පක්ෂය චීන විරෝධී උද්ඝෝෂනය ප්‍රතික්ෂේප කරයි. කොරෝනා වෛරස් වසංගතයේ දැවැන්ත   හානි වලට ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරය වගකිව යුතු බව අපි අවධාරනය කරමු. වසංගතයට එරෙහි අරගලය සහ පාලක පන්තියට හා එහි ආර්ථික, දේශපාලන ආඥාදායකත්වයට එරෙහි කම්කරුවන්ගේ අරගලය, එකිනෙකින් වෙන් කල නොහැකි ලෙස බැඳී තිබේ. එබැවින් ධනවාදයට එරෙහි සටන  සමාජවාදය සදහා සටනකි. ඒ යටතේ එය, පුද්ගලික ලාභය මත නොව සමාජ අවශ්‍යතාවයේ පදනම මත සමාජය ප්‍රතිව්‍යූහගත කිරීමේ සටනකි.

සසප කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව වෙනුවෙන් සටන් කරයි. වසංගතය ගෝලීය අර්බුදයක් වන අතර එයට එරෙහිව සටන් කල හැක්කේ කම්කරුවන්ගේ සහ මානව සංහතිය ආරක්ෂා කිරීමට කැපවී සිටින සියලු දෙනාගේ ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් පමනි.

වසංගතයට එරෙහි සටනේදී කම්කරුවන්, වාර්ගික, ජනවාර්ගික හා ජාතික රේඛා ඔස්සේ තමන් බෙදීමට ගන්නා සියලු උත්සාහයන් ප්‍රතික්ෂේප කල යුතුය. විශේෂයෙන් ම ඇමරිකානු පාලක පන්තිය, අර්බුදය සදහා චීනයට දොස් පවරා තමන්ගේ සාපරාධී ක්‍රියා පිලිවෙතින් අවධානය වෙනතකට හැරවීමේ උද්ඝෝෂනයට විරුද්ධ විය යුතුය.

කතුවරයා පහත ලිපි ද නිර්දේශ කරයි.

කොවිඩ්-19 වසංගතය: ලෝක ඉතිහාසයේ ප්‍රේරක සිදුවීමක්

ඇමරිකානු කතිපයාධිකාරය මරනය සඳහා තීන්දු ගනියි

ට්‍රම්ප් හා පොම්පියෝගේ “ගජබින්නය”

Loading