ත්‍රී රෝද රථ සමිති නායකයා ලීසිං ආයතනයක මැරයන් විසින් ඝාතනය කෙරෙයි

ජූනි 10 වැනි දා ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන (53) මහරගම ඇඹුල්දෙනිය ප්‍රදේශයේ ලීසිං ආයතනයක් ඉදිරිපිට දී ඝාතනය කරනු ලැබී ය. මෙම ඝාතනය කොවිඩ්-19 ගෝලීය වසංගතයෙන් විපතට පත්වූවන්ට ආන්ඩුවේ සහන ප්‍රදානයේ පන්තිමය ස්වභාවයත් ප්‍රෝඩාකාරීත්වයත් හෙලිදරවු කරන සිදුවීමකි.

තිදරු පියෙකු වන ජයවර්ධන පොලු මුගුරුවලින් පහර දී මරා දමනු ලැබුවේ සවස 6ට පමන වාහන තදබදයෙන් යුත් ජනාකීර්න වීදියක දී ය. සීමා සහිත චන්මිල් ඉන්වෙස්ට්මන්ට් ලීසිං ආයතය ඉදිරිපිට දී එහි සේවය කල ‘සීසර්ලා’ (ලීසිං ආයතන වාරික ගෙවීම පමා වන වාහන පැහැර ගැනීමට යොදවන මැරවර කන්ඩායම්) පිරිසක් විසින් ඔහු ඝාතනය කරනු ලබනු ඇසින් දුටුවෙකු එම සිද්ධිය සිළුමිණ පුවත්පතට ප්‍රකාශ කලේ මෙසේ ය:

“අට දෙනෙක් පමන වටවෙලා අතින් පයින් පොලුවලින් පහර දෙන විට බිම වැටුනු දුරකථනය ඇහිඳ ගන්න ඔහු බිමට නැමුනා. ඒ වෙලාවේ මැරයෝ ඔහුව උස්සලා ෆිනෑන්ස් සමාගමේ ඉස්සරහ ගේට්ටුවේ ගැහුවා. බිම වැටුන ඒ මහත්තයාගෙ ඔලුව එතැන කොන්ක්‍රීට් බිමේ වැදුනා.” ඊට පසු ව එම මැර කල්ලිය ජයවර්ධන පයින් පාගමින්, කොසු පොල්ලකින් මාරාන්තික ලෙස පහරදුන් බවත්, අවට පදිකයෝ ප්‍රහාරයේ වියරු බවින් තැති ගැන් වී සිටි බවත් ඔහු පැවසීය.

ජයවර්ධනගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 8 දෙනෙක් අත්තඩංගුවට ගනු ලැබ ඇත.

ඔහු සභාපතිත්වය දැරූ ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයෙකු වන මංජුල කිත්සිරි ගේ ත්‍රී රෝද රථය මාස තුනක කාලයක් වාරික නොගෙවීම හේතුවෙන් සිද්ධිය සිදු වීමට දින හතරකට පෙර උක්ත කල් බදු සමාගම විසින් පැහැර ගෙන ගොස් ඇත. වසංගතය හේතුවෙන් අගුලු ලෑම පැවති මාස දෙක හමාරක කාලයේ දී කිසිදු ආදායම් මාර්ගයක් නොපැවති නිසා තමුන්ට මෙම ගෙවීම කල නොහැකි බවත් ආන්ඩුවෙන් ත්‍රී රෝද රථ රියදුරන්ට ලබා දුන් මාස හයක නය සහන කාල සීමාව සලකා තම වාහනය නැවත ලබා දෙන මෙන් ඔහු ඉල්ලා ඇතත් සිදු වූයේ ආයතනය ඔහුව පලවා හැරීම පමනි. 

එම නිසා, මෙම සිද්ධියට මැදිහත් වන මෙන් ඔහු තම වෘත්තීය සංගමයේ සභාපති ගෙන් කල ඉල්ලීමකට අනුව සුනිල් ජයවර්ධන ජූනි 10 වැනි දා කිත්සිරි සමග එම ස්ථානයට ගියේ ය. 

එම ස්ථානයේ දී අදාල කල්බදු ආයතනයේ අයකැමි වශයෙන් පෙනී සිටින්නෙකු සමඟ ජයවර්ධන සහ කිත්සිරි කල සංවාදයේ විඩීයෝවක් සමාජ මාධ්‍ය තුල සංසරනය වෙයි. එහි දී කිත්සිරි සඳහන් කරන්නේ තමන් පෙබරවාරි නියමිත දිනට වාරිකය ගෙවා ඇති බවත් මාර්තු, අප්‍රේල්, මැයි මාසවල වාරික ගෙවා ගැනීමට නොහැකි වූ නිසා ඒ ගැන කතා කිරීමට මැයි 16 වැනි දින පොලිසියෙන් ඇඳිරි නීති අවසර පත්‍රයක් ලබා ගෙන පැමිනි බවත් ය. 

ලබන මාසයේ සිට මාස තුනේ හිඟ මුදල වන රුපියල් 31 000කට ආසන්න මුදලත් සමඟ නැවතත් වාරික ගෙවන බවට ඔහු සඳහන් කර ඇතත් වාහනය පැහැර ගනු ලැබ ඇත්තේ නියමිත කාලයටත් පෙර බව එම සංවාදයේ දී හෙලි වෙයි. පැහැර ගත් වාහනය නැවත ලබා දීමට නම් හිඟ වාරික සමඟ “සීසර්ලාගේ” රුපියල් 4 700ක කුලිය ද ගෙවිය යුතු යැයි සමාගම ඔහුට පවසා ඇත.

කොරෝනා අගුලු ලෑම ඉවත් කෙරුනත් තවත් සති දෙකක කාලයක් කොලඹ සහ ගම්පහ අගුලු ලෑම දිගට ම පැවතුනු අතර ශාරීරික දුරස්ථකරනය පවත්වා ගැනීම යන කාරනය උඩ ත්‍රීරෝද රථ රියදුරන්ට එම කාලය තුල ධාවනය කිරීමට අවසර ලබා දෙනු නොලැබුනි. එම කාලය තුල ධාවනය සඳහා අවසර ලැබුනේ පික්මී සහ උබර් වැනි ජාත්‍යන්තර සමාගම් සඳහා පමනි.

මාර්තු 23 ආන්ඩුව මූල්‍ය සහන ප්‍රකාශ කලත් ඔවුන්ගේ සැබෑ උත්සුකය පැවතියේ අපනයන කර්මාන්තකරුවන්ට නය පහසුකම් සහ නය සහන සම්පාදනය කිරීමටයි. මෙම පන්ති ස්වභාවය වසන් කිරීමටත්, සමාජ පුපුරා යාමක් වලක්වා ගැනීමේ අටියෙනුත් ස්වයං රැකියාවල නියුතුවූවන් ඉලක්ක කර ගෙන ලබාදුන් සොච්චම් සහනවලින් කවරයක් සම්පාදනය කර ගනු ලැබුනි. 

නිසි සමාජ සහනාධාර වැඩපිලිවෙලකින් තොර ව හදිසියේ ප්‍රකාශයට පත් කරනු ලැබූ අගුලු ලෑමේ වැඩසටහනින් කම්කරුවන් ද ඇතුලු ව දෛනික ආදායම් උපයන ස්වයං රැකියාවල නියුතුවන් විශාල වශයෙන් ඒ වන විටත් පීඩාවන්ට පත් ව සිටියහ.

අගුලු ලෑමෙන් පසු කම්කරුවන් මුහුන දෙමින් සිටින්නේ ජීවන සහ රැකියා තත්ත්වයන්ගේ කප්පාදුවකටයි. මෙ බඳු තත්ත්වයක් තුල ගොඩ ගැසුනු නය වාරික ගෙවීමේ තර්ජනයට මහජනතාව මුහුන දී සිටිති. සමාජ මාධ්‍ය වෙත නිකුත් කල වීඩියෝවක ජයවර්ධන සඳහන් කරන්නේ පෞද්ගලික මූල්‍ය ආයතන පමනක් නොව රජයේ මූල්‍ය ආයතනවලින් පවා සහන පිරි නැමෙන්නේ නැති බවයි.

ජයවර්ධනගේ ඝාතනයට මඟ පැදූ සමාජ කොන්දේසිවල නිර්මාපකයන් වන සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන සහ ජනතා විමුක්ති පෙරමුන වැනි පක්ෂවල ධනපති නායකයන් ම දැන් ඔහුගේ මරනය වෙනුවෙන් කිඹුල් කදුලු හෙලති. සංස්ථාපිතයේ සියලු ම දේශපාලන පක්ෂ ධනපති පන්තියේ වුවමනාවන් වෙනුවෙන් කොරෝනා වසංගත අගුලු ලෑම මැද සර්ව පාක්ෂික සමුලුවක් තුල ආන්ඩුව සමග ඒකාබද්ධ ව මෙම කොන්දේසි මහජනතාව මත පැටවීමට කටයුතු කලහ.

ජනාධිපති රාජපක්ෂ ජූනි 15 වැනි දා මූල්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවක දී නිලධාරීන් සියලු දෙනා ම ඉවත් කර දමා හෝ මහජනතාව වෙත සහන ලබාදියයුතු බවට “තර්ජනයක්” කලේ ය. 

වසංගතය හේතුවෙන් මුහුන දීමට සිදුව ඇති බරපතල ආර්ථික දුෂ්කරතා පිලිබද රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීම සම්බන්ධයෙන් මහජනයා අතර වැඩී ඇත්තේ දැවැන්ත කෝපයකි.  ජනාධිපති රාජපක්ෂගේ මෙම “තර්ජනය”, එම කෝපය අපසරනය කිරීමට කරන මවාපෑමක් මිස ඉන් මහජනතාවට කවර හෝ සහනයක් නොලැබෙනු ඇත. 

කම්කරුවන් සහ පීඩිතයන් එසේ  නොතකා හරින ආන්ඩුව මහා ව්‍යාපාරයන්ට නය සම්පාදනය කිරීම සඳහා  මිලින සංඛ්‍යාත මුදල් අච්චු ගැසීමේ යෙදී සිටී. 

ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගය ජූනි 14 වැනි දා පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී ජවිපෙ සාමාජික සුනිල් වටගල, “වාහනයක් ගන්න යනකොට ලීසිං සමාගමක් පොලිසියේ පැමිනිල්ලක් දාලා නඩු භාන්ඩයක් විදිහට ඒ අදාල වාහනය අධිකරනයට ගෙන යා යුතුයි. ඒ හැර පොලීසියේ පැමිනිල්ලක් දාලා කොල්ලකාරයෙකුට ඇවිල්ලා වාහනයක් අරන් යන්න කිසිම පදනමක් නැහැ.. … වගකිව යුතු සංවිධානයක් හැටියට මෙවැනි දේවල් ගැන සමාජය දැනුවත් කරන්න අපි ඉදිරියේදී ක්‍රියා කරනවා.” යැයි ප්‍රකාශ කර සිටියේ ය.

ආන්ඩුව මෙන් ම ජවිපෙ වැනි කන්ඩායම්වල ද උත්සුකය යොමු වී ඇත්තේ වාහන පැහැර ගැනීමේ ක්‍රියාවලියට මැරවරයන් වෙනුවට රාජ්‍යයේ නිල බලාත්කාරය යොදවන ආයතනය වන පොලිසිය සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් මිස දුගීන්ගේ සැබෑ ජීවන කොන්දේසි සම්බන්ධයෙන් නොවේ. එමෙන් ම මහ බැංකු නිලධාරීන්ට එරෙහි ජනාධිපතිගේ තර්ජන පිටුපස පෙල ගැසීමට ද ජවිපෙ කටයුතු කරමින් සිටින්නේ නොදැනුවත්කම ගැන මහජනතාවට දොස් පවරමිනි. 

අනුප්‍රාප්තික ආන්ඩු යටතේ, දශක ගනනාවක් පුරා, මෙම ලීසිං ආයතන දුගීන්ගේ ලේ උරා බොමින් මැරවරකමෙහි යෙදී සිටී. ජයවර්ධන මරා දැමූ ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි වූවක් ද නොවේ. 

ආන්ඩුව සහන දෙන බව පවසමින් මහජනතාව මුලා කල බව සුනිල් ජයවර්ධන තම වීඩියෝව තුල චෝදනා කරන අතර, මේ සම්බන්ධයෙන් විරෝධතාව පල කිරීමට, නුගේගොඩ ජනාධිපතිගේ පෞද්ගලික නිවෙසට ඉදිරිපිටට පැමිනෙන බවට ප්‍රකාශ කරයි. නමුත් ඔහුගේ ඝාතනයත්, වාහන කල්බදු ගැටලුවලට ඇතුලු ව වසංගතය නිසා පැන නැගි තත්ත්වයෙන් බැට කන සෙසු පීඩිතයන්ගේ ශෝචනීය තත්ත්වයත්, ධනපති නායකයන්ට ආයාචනයන් කිරීමේ, ඔවුන් කෙරෙහි බලාපොරොත්තු රඳවා සිටීමේ නිශ්ඵල බව පෙන්වයි.‍

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

ආන්ඩුවේ “සහන පැකේජයේ” ප්‍රෝඩාකාරී බව හෙලිදරව් වෙයි

[5 අප්‍රේල් 2020]

මාලිගාවත්ත මූල්‍යාධාර වැඩසටහනක දී කාන්තාවෝ තිදෙනෙක් මියයති: ධනවාදයේ තවත් අපරාධයක්

[4 ජූනි 2020]

Loading