ඉදිරිදර්ශන

කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටනේ දී මෝටර් රථ කම්කරුවෝ නව අරගල රැල්ලක් ආරම්භ කරති

මෙම ලිපිය ජූනි 29 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

කොවිඩ්- 19 රෝගීන් ඉහල යාම හා වෛරසය පාලනය කිරීම සඳහා වන මොන යම් හෝ නිල ක්‍රියාමාර්ගයක් හෝ අත්හැර දමා තිබීම කම්කරුවන්ගේ නව අරගල රැල්ලකට තුඩු දී ඇති අතර, ඩෙට්‍රොයිට් හි මෝටර් රථ කම්කරුවෝ තම ජීවිත ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර ඉල්ලා මෑත දිනවල වැඩවර්ජන දියත් කලහ.

කෝවිඩ් 19 වසංගතය පාලනය කල නොහැකි ලෙස වර්ධනය වෙමින් තිබේ. එක්සත් ජනපදය සිකුරාදා හා සෙනසුරාදා දිනවල වැඩිම හා දෙවන වැඩිම නව රෝගීන් සංඛ්‍යාවන් වාර්තා කල අතර පැය 48 ක් තුල 90,000 කට අධික පරීක්ෂන ධනාත්මක විය. එක්සත් ජනපදයේ මරන සංඛ්‍යාව මේ වන විට 125,000 ඉක්මවා ඇති අතර වර්තමාන වේගයෙන් ජූලි මස අවසානය වන විට 200,000 ඉක්මවා යනු ඇත. ගෝලීය වශයෙන්, මුලු රෝගීන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇති අතර සති අන්තයේ දී මරන සංඛ්‍යාව 500,000 ඉක්මවා ගියේ, රෝගය වේගවත් වීමේ අවසානයක් පෙනෙන තෙක් මානයේ නොමැතිවය.

ට්‍රම්ප් පරිපාලනය හා ඩෙමොක්‍රටික් ප්‍රාන්ත ආන්ඩුකාරවරුන් විසින් පසුගිය මාසය තුල බලහත්කාරයෙන් ආපසු වැඩට ගෙන්වීම හේතුවෙන් කොරෝනා වෛරසය කර්මාන්තශාලා, ගබඩා  හා වෙනත් සේවා ස්ථාන පුරා නිහඬව හා වේගයෙන් ව්‍යාප්ත වී තිබේ. සමාගම් කලමනාකරනය හා වෘත්තීය සමිති නිලධාරීන් එක සේ කම්කරුවන්ගෙන් නව රෝගීන් පිලිබඳ තොරතුරු හිතාමතා ම වසන් කරමින් සිටින්නේ, පුපුරන සුලු කෝපය හා විරෝධය අවුස්සමිනි.

බ්‍රහස්පතින්දා ඩෙට්‍රොයිට් හි ෆියට් ක්‍රයිස්ලර් (එෆ්සීඒ) ජෙෆර්සන් නෝත්   එකලස් කිරීමේ කම්හලේ කම්කරුවෝ කොවිඩ් 19 නව රෝගීන් පිලිබඳ වාර්තා ඇසීමෙන් පසු නිෂ්පාදනය නතර කලේ, වැඩ පේලියේ සිටි නමුත් වාහන හැසිරවීම ප්‍රතික්ෂේප කරමිනි. වැඩ නැවැත් වීමේ පියවර ඊලඟ දින එකහමාර තුල බලාගාරයේ වැඩ මුර තුන පුරා ම පැතිරුනු අතර කම්කරුවෝ ෆේස්බුක් හා ට්විටර් හරහා අරගලයට සහාය ඉල්ලා සිටියහ.

වොරන් ට්‍රක් හි මෝටර්රථ කම්කරුවන්.අනුග්‍රහය:ලෝසවෙඅ

සෙනසුරාදා රාත්‍රියේ ඩෙට්‍රොයිට් නගරයට උතුරින් පිහිටි එෆ්සීඒ ස්ටර්ලිං හයිට්ස් එකලස් කිරීමේ කම්හලේ කම්කරුවෝ තමන්ගේ ම වැඩ නැවැත්වීමක්  දියත් කලේ, අමුද්‍රව්‍ය හැසිරවීමේ සගයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂන මගින් තහවුරුවීමෙන් පසු ය. කම්හලේ කම්කරුවෝ  ජෙෆර්සන් නෝර්ත් හි කාර්මික ක්‍රියාමාර්ග පිලිබඳ වාර්තා සමීපව අනුගමනය කර තිබිනි.

ජෙෆර්සන් නෝර්ත් සහ ස්ටර්ලිං හයිට්ස් හි කම්කරුවන් තමන්ගේ ම අවශ්‍යතා තහවුරු කර ගැනීම සඳහා ස්වාධීන සාමාජික ආරක්ෂක කමිටු ආරම්භ කර ඇත්තේ, සමාගම් කලමනාකරනය හා එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය මූලික ආරක්ෂන ක්‍රියාමාර්ග හෝ නව රෝගීන් පිලිබඳ තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ ය.

සිකුරාදා රාත්‍රියේ ජෙෆර්සන් නෝර්ත් කම්හලේ සාමාජිකයින්ගේ ආරක්ෂක කමිටුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් “සංගත වල ලාභ සඳහා, කම්කරුවන්ගේ සෞඛ්‍යය අවදානමට ලක් නො විය යුතු” බව පැවසූ අතර “මෝටර් රථ කම්කරුවන් මෙන් ම සෑම තැනකම කම්කරුවන්, අවශ්‍ය නම්, වැඩවර්ජනය කරනු” යැයි ඉල්ලා සිටි අතර “ආරක්ෂිත පරිසරයක් සඳහා මෙන් ම මෙම වසංගතය අපගේ ආදරනීයයන් වෙත ගෙන නො ඒමට අපට අයිතියක් ඇත. අප එය ලැබිය යුතු ය” යි පැවසුවේ ය.

මෑත දිනවල මෝටර් රථ කම්කරුවන් විසින් ගනු ලැබූ ස්වාධීන ක්‍රියාමාර්ග එක්සත් ජනපදයේ හා වෙනත් රටවල කම්කරුවන්ගේ පන්ති අරගලයේ නැගීමක පූර්ව ආරක්ෂාව වන්නේ ය.

කැලිෆෝනියාවේ රිවර්සයිඩ් හි හෙදියන් ප්‍රමානවත් ආරක්ෂක උපකරන හා කාර්ය මන්ඩලයක් ඉල්ලා එක්සත් ජනපද රෝහල් සමාගමේ රෝහල් දාමයට එරෙහිව පසුගිය සතියේ වැඩ වර්ජනයක් දියත් කල අතර ඉලිනොයිස්හි ජොලියට් නගරයේ හෙදියන් ජූලි 4 වන දින වැඩ වර්ජනයක් නියම කර ගෙන ඇත. මේන් ප්‍රාන්තයේ බාත් අයන් වර්ක්ස් හි නැව් සාදන කම්කරුවන් 4300ගේ වැඩ වර්ජනය අද වන විට දෙවන සතියට පිවිසෙමින් තිබේ. උබර් සහ ලයිෆ්ට් රියදුරන්, ඩිස්නිලන්ත කම්කරුවන්, කැලිෆෝනියා විශ්වවිද්‍යාල සේවා කම්කරුවන් හා නෙවාඩා හි රජයේ කම්කරුවන්ගේ ද ඇතුලුව, විවිධ කම්කරුවන්ගේ විරෝධතා පසුගිය සතිය තුල මතුවී ඇත. 

ගෝලීය වශයෙන් කම්කරුවන් උත්සාහ ගනිමින් සිටින්නේ ඔවුන් මුහුන දෙන පොදු ගැටලුවලට: එනම් වසංගතයට එරෙහිව ආරක්ෂක පියවරයන් නො මැතිකම, මහා විරැකියාව සහ සමාජ අසමානතාව ඉහල නැංවීමට එරෙහිව සටන් කිරීමට යි. සැලසුම්ගත රැකියා කප්පාදුවට එරෙහිව නෙදර්ලන්තයේ ටාටා වානේ කම්කරුවෝ ඉරිදා වැඩ වර්ජනය කලහ. නයිජීරියාවේ, නසරාවා ප්‍රාන්තයේ සෞඛ්‍ය කම්කරුවෝ තම සගයන් 50 දෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව වැඩ වර්ජනයක් දියත් කලෝ ය.

අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන නැවත ආරම්භ කර සමාජ දුරස්ථ පියවර ආපසු හැරවීමට ගත් තීරනය මහජන සෞඛ්‍ය සලකා බැලීම් හෝ වෛරසයේ පසුබැසීම පදනම් කරගෙන විද්‍යාඥයින් හා වෛද්‍ය විශේෂඥයින් විසින් ගනු ලැබුවා නො ව, ඊට වෙනස් ව තම ධනය තව දුරටත් ඉහල නැංවීමේ උත්සුකයෙන් වෝල් වීදිය සහ මූල්‍ය හා සංගත වංශාධිපතිත්වය විසින් ගනු ලැබින.

මහා සංගත හා බැංකු වෙත ඩොලර් ට්‍රිලියන ගනනක් මාරු කිරීම සඳහා වසංගතය විසින් අවුලුවන ලද ආර්ථික අර්බුදය භාවිතා කිරීමෙන් පසුව, ට්‍රම්ප් පරිපාලනය සහ ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකන් නිලධාරීහූ ආර්ථිකය  වසා දැමීම අවසන් කිරීමට හා ලාභ ප්‍රවාහය අලුත් කිරීමට එක සේ වග බලා ගත්හ.

පාලක ප්‍රභූව විසින් අතිවිශාල මුදල් ප්‍රමානයක් උරාගෙන ඇතත්, අර්බුදය මගින් තම ආදායමට බලපෑම් කෙරී ඇති මෝටර් රථ සමාගම් හා වෙනත් සමාගම් ද සිය මෙහෙයුම් දිගට ම කරගෙන යාම සඳහා විශාල නය ප්‍රමානයක් ලබා ගෙන ඇත. දල වශයෙන් සති අටක අගුලු දැමීම තුල දී මෝටර් රථ කර්මාන්තය ඩොලර් බිලියන 72 ක නය මුදලක් ලබා ගත්තේ ය. ෆෙඩරල් සංචිතය විසින් ම මේ වසරේ ප්‍රථම වතාවට සංගත බැඳුම්කර මිලදී ගැනීම ආරම්භ කර ඇත්තේ, විශේෂයෙන් ම අඩමාන බැඳුම්කර වෙලඳපොල ඇද වැටීම වැලක්වීමට යි.

මෙම නය ගෙවනු ලබන බව සහතික කිරීම සඳහා, කොපමන ජීවිත අහිමි වුව ද, කම්කරු පන්තියෙන් නිෂ්පාදනය හා අගය නිස්සාරනය කිරීමේ ක්‍රියාවලිය අඛන්ඩව පැවතිය යුතු අතර, ආර්ථික අගුලු දැමීම් වෙත ආපසු නොයා යුතු ය- පාලක පන්තිය පවසයි.

නමුත් සියලු කම්කරුවන්ගේ පන්ති අවශ්‍යතා, එනම් තමන්ගේ හා තම පවුල්වල ජීවිත ආරක්ෂා කිරීම මෙම ප්‍රතිපත්ති සමඟ පෑහිය නො හැකි ගැටුමක පවතී. වසංගතය පාලනය කර මිලියන ගනනක් ජීවිත බේරා ගත යුතු නම්, එය කම්කරුවන් විසින් පන්ති අරගල හරහා සිදු කෙරෙනු ඇත.

ජෙෆර්සන් නෝර්ත් සහ ස්ටර්ලිං හයිට්ස් හි මෝටර්රථ කම්කරුවන්  පලමු පියවර ගෙන තිබේ. ඔවුන්ගේ ප්‍රකාශවල දී, කම්කරු කමිටු කොවිඩ්-19ට එරෙහිව මූලික ආරක්ෂාව සඳහා පහත සඳහන් ඉල්ලීම් නිකුත් කරන ලදී.

1.කම්හලේ නව රෝගීන් පිලිබඳ වහා ම දැනුම් දීම

2.රෝගියෙකු තහවුරු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා පැය 24 පුරා බලාගාරය වසා දැමීම

3.විවේක හා වැඩමුර වෙනස්වීම් අතරතුර සැබෑ සමාජ දුරස්ථභාවය.

4.ඒ මගින් කම්කරුවන්ට සන්සුන් වීමට සෑම පැයකට ම මිනිත්තු දහයක විවේකයක්.

5.කොරෝනා වෛරසය සඳහා නිතිපතා විශ්වීය පරීක්ෂන

6.කොන්දේසි අනාරක්‍ෂිත යැයි ඔවුන් විනිශ්චය කරන්නේ නම්, පලිගැනීමකින් තොරව වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීමට කම්කරුවන්ට ඇති අයිතිය

 කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා වන මෙම මූලික අවශ්‍යතා ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකානු පක්ෂවල දේශපාලන නියෝජිතයන් විසින් දරුනු ලෙස ආරක්ෂා කරනු ලබන සංගතවල ලාභ අවශ්‍යතාවන්ට විරුද්ධ ය.

සමාජවාදී සමානතා පක්ෂය “කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂනය වීම වලකා ජීවිත රැක ගැනීමට සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල් හා වැඩපොල කමිටු පිහිටුවනු! ” යන ප්‍රකාශයේ ලියා ඇති පරිදි:

වසංගතයට එරෙහි සටන පාලක පන්තියට - සංගත හා මූල්‍ය කතිපයාධිකාරයට - ද, ආර්ථික හා දේශපාලන ජීවිතය මත එය පවත්වන ආඥාදායකත්වයට ද එරෙහිව කම්කරු පන්තිය කරන අරගලය සමඟ වෙන් කල නොහැකි පරිද්දෙන් බැඳී ඇතැයි සසප ය අවධාරනය කරයි. එය, එබැවින්, ධනේශ්වර ක්‍රමයට එරෙහිව, සමාජවාදය වෙනුවෙන්, සමාජය පෞද්ගලික ලාභයේ පදනම මත නොව සමාජයීය අවශ්‍යතාවයේ පදනම මත ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් කෙරෙන අරගලයකි.   

එබැවින් තම ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වන කම්කරුවන්ගේ අරගලය දේශපාලන එකකි. එය, ධනවාදයට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් ව, සමාජයේ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීම සඳහා සටන් වදින කම්කරු පන්තියේ පක්ෂයක් වර්ධනය කිරීම ඉල්ලා සිටී.

Loading