රත්මලාන බ්‍රැන්ඩික්ස් කම්හලෙන් කම්කරුවන් 60ක් දොට්ට දමයි

රත්මලාන බ්‍රැන්ඩික්ස් කම්හල් සංකීර්නයේ රෙදි සෝදන හා වේලන අංශයෙන් මේ වන විට ස්ථිර සේවයේ සිටි සේවකයින් 60 ක පිරිසක් නෙරපා හැර ඇත. මෙම නෙරපීමට භාජනය වී ඇති සේවකයින් කිහිප දෙනෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූවේ ජූලි 10දින කලමනාකරනය ඔවුන් කැඳවා වන්දියක් දී නෙරපීමට තීන්දු කර ඇතැයි දැන්වූ බවයි. 

පරිපාලනයේ තීරනය ප්‍රතික්ෂේප කලහොත් දුර බැහැර කම්හලකට මාරුකිරීම වැනි තත්වයකට මුහුනදී කිසිම ගෙවීමකින් තොරව ෆැක්ටරියෙන් ඉවත් වීමට සිදු වන කොන්දේසි පැවති බැවින් වන්දිය ලබා ගෙන ඉවත් වූ බවත් තමන් සිය කැමැත්තෙන් අස්වූ බවට ලිපියකට අත්සන් ගත් බවත් නෙරපා හැරුනු කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.

අවුරුදු 10 – 15 අතර හෝ ඊට වැඩි සේවා කාලයක් ඇති සේවකයින් මෙලෙස ඉවත් කර ඇත්තේ සොච්චම් වන්දි මුදලක් ලබා දීමෙනි. අඩු පාරිතෝෂික මුදලකට අමතරව කම්කරුවන්ට ගෙවා ඇත්තේ සේවය කල පලමු වසර පහට මාස දෙකහමාරක වැටුප ද, ඊලඟ වසර පහට මාස දෙකක හා ඉතිරි වසර පහ සඳහා මාස ඒක හමාරක ද වසයෙන් ගනන් බලන ලද වන්දියකි. මේ අනුව වසර 10ක සේවා කාලයක් ඇති සේවකයෙකුගේ වන්දි මුදල රුපියල් ලක්ෂ 5ක් පමනවූ බව කම්කරුවෝ සඳහන් කලහ. බඩු මිල එක දිගට ඉහල දැමෙන තතු තුල, මෙම මුදල හතර දෙනෙකුගේ පවුලකට වසරක කෑමබීමට පවා නොසෑහේ. 

බ්‍රැන්ඩික්ස් සමාගමේ ක්‍රියාවට දැමෙන්නේ ආන්ඩුවේ  අනුමැතිය සහ සමිතිවල එකඟත්වය උඩ, මහ ව්‍යාපාරිකයන් විසින්, වසංගතයෙන් ගැඹුරු කෙරුනු අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමට ගෙනයන ප්‍රහාරයයි. මෙය, සෑම රටකම කම්කරුවන් මතට දැන් එල්ල කෙරෙමින් පවතින ප්‍රහාරයක කොටසකි. රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුව ගැන කම්කරුවන් අතර ඇත්තේ බරපතල විරෝධයකි. 

ඇඟලුම් ක්ෂේත්‍රයේ අන් කම්හල්වල මෙන්ම බ්‍රැන්ඩික්ස් හි ද සූරා කෑම උග්‍ර කරමින් කම්කරුවන්ගේ නිෂ්පාදන ඉලක්ක කොඳු කැඩෙන මට්ටම් වලට ඉහල දමා තිබේ. නිදසුනක් ලෙස බ්‍රැන්ඩික්ස් සංකීර්නයේ එක් කම්හලක කොරෝනා වසංගතය පැමිනීමට පෙර සේවකයින් 28ක් පැයට කෑලි 150ක්, එනම් දිනකට කෑලි 1500ක් සැපයිය යුතුව තිබුනු අතර දැන්, සේවකයින් 38ක් පැයට කෑලි 230ක්, එනම් දිනකට කෑලි 2300ක් සැපයිය යුතුය.

මෙම ඉලක්ක ලබා දීමට නොහැකි නම් රැකියාවෙන් ඉවත් වන ලෙසට කම්කරුවන්ට බල කෙරෙන බව කම්කරුවෝ පවසති. කුඩා අතපසු වීම් ආදියට තියුනු ලෙස පරිභව කරන කලමනාකාරිත්වය තමන්ව රැකියාවෙන් ඉවත් කිරීම සඳහා හිතා මතා ක්‍රියා කරන බව තමන්ට හැඟෙන බව කම්කරුවෝ ලෝසවෙඅ වාර්තා කරුවන්ට පැවසූහ.

ජලය පානය කිරීමටවත් විවේකයක් නොගෙන වැඩෙහි නිරත වන කම්කරුවන්ගෙන් සමහරෙකු රෝග පීඩාවන්ට ලක්වී තිබේ. මෙලෙස කම්කරුවන්ට වැඩ කිරීමට සිදුව ඇත්තේ තම රැකියාව ආරක්ෂා කර ගැනීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බව කී රත්මලාන බ්‍රැන්ඩික්ස් කම්හල් සමූහයේ කම්කරු කාන්තාවක් තමන් වෙනත් රැකියාවක් සොයමින් සිටින බව පැවසුවාය.

රත්මලාන බ්‍රැන්ඩික්ස් කම්හලේ දැනට සේවයට කැඳවා නැති 50ක් පමන කම්කරුවන්ට මසකට රු 14,500 ක වැටුපක් ගෙවනු ලැබේ. මෙම වැටුප් කප්පාදුව ක්‍රියාවට දැමී ඇත්තේ ආන්ඩුවේ  නියමය හා වෘත්තීය සමිතිවල  එකඟත්වය මතය. එම මුදල එක් අයෙකුට මසක වියදමටවත් නොසෑහෙයි. 

එහෙත්, එලියේ සිටින මෙම කම්කරුවන් සතියකට දින දෙකක් අනිවාර්යයෙන් මානව සම්පත් කලමනාකරු සමග කතා කල යුතු ය. මේ දුෂ්ට නියමය පනවා ඇත්තේ නිවසට වී සිටින්නන් සමාගමෙන් දෙන කප්පාදුකල වැටුප ලබන අතරතුර වෙනත් රැකියාවක නිරත වන්නේදැයි තහවුරු කර ගැනීමට ය. මේ අතර බ්‍රැන්ඩික්ස් ආයතනයේ රිදීගම ශාඛාවේ 200ක් තවමත් වැඩට කැඳවා නැති බව දැනගන්නට ලැබී තිබේ.

බ්‍රැන්ඩික්ස් සමූහයට අයත් කටුනායක සීදුව බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයෙක් ලෝසවෙඅට මෙසේ පැවසූවේ ය:   “සුපර්වයිසර්ලා බනින එක ඉවස ගන්න බැරුව ගෑනු ලමයි දිගට ම අස්වෙවී යනවා. පඩියත් අනික් කම්හල් එක්ක බලද්දි ගොඩක් අඩුයි. මට ගිය මාසේ දවස් 22 ක් වැඩ කරලා ලැබුනේ රුපියල් 22,000 ක මුදලක්. පැමිනීමේ දීමනාව දැන් දෙන්නේ නෑ. ටාගට් වැඩි කරලා තියෙන්නේ.”

රුපියල් 22,000 සිට 18,500 දක්වා පැවති කම්කරුවන්ගේ මූලික වැටුප නව බඳවා ගැනීම් සඳහා දැන් 14,500 දක්වා කප්පාදු කර ඇති අතර 2,500ක්වූ පැමිනීමේ දීමනාවද 1,000ක් දක්වා කප්පාදු කර අති කාල ගෙවීම්ද අඩු කර ඇතැයි කම්කරුවෝ චෝදනා කරති. ස්ථිර සේවකයන් දොට්ට දමන්නේ මෙලෙස සොච්චම් වැටුපට කම්කරුවන් බඳවා ගැනීමට විය හැකි බවත් බංග්ලාදේශය වැනි රටවල වසංගත තත්වය නිසා ඊටත් වඩා අඩු මුදලට කම්කරුවන් සූරා කෑමට අවස්ථාව ඇති නිසා සිය ඇනවුම් ඒ් රටේ තිබෙන බ්‍රැන්ඩික්ස් සමූහයේ ෆැක්ටරි වලට ගෙනයාම කලමනාකාරීත්වයේ එල්ලය විය හැකි බවත් කම්කරුවෝ පැවසූහ. 

 රත්මලාන බ්‍රැන්ඩික්ස්හි දැනට සේවය කරන  කම්කරුවෙකු තමන් මුහුන දෙන අත්දැකීම් විස්තර කලේ මෙසේය:  “වෙනදා අපේ අංශයේ අටදෙනෙක් සේවය කලා, නමුත් දැන් දෙන්නෙකුට අඩු කරල තියෙන්නෙ. හැබැයි ඉස්සර වැඩ ප්‍රමානයම ගන්නවා. අතිකාල දීමනා ලැබෙන්නේ නැහැ අවශ්‍යම කීපදෙනෙකුට විතරක් සමහර සෙනසුරාදා දින වල අතිකාල ලැබෙනවා. උදේ ෂිෆ්ට් එක  උදෑසන 6.30 සිට හවස 6.45  දක්වා යනවා. රාත්‍රී ෂිෆ්ට් එක 7.30 සිට උදේ 7.30 දක්වා. එලි වෙනකම් වැඩ කලත් ඒවට අති කාල  ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට සෙනසුරාදා නිවාඩු දිනයක් ලැබෙනවා. මං වැඩ කරන සේදීම් අංශයේ කලමනාකරුවන් උදේට ටෙලිෆෝන් කරලා බලලා එදිනට වැඩ තිබේනම් පමනයි කම්කරුවන්ට කැඳවීම් කරන්නේ. ”

වෙනදා මෑන් පවර් කොන්ත්‍රාත්  කම්කරුවන් වැඩට ගත් නමුත් ප්‍රමානවත්  වැඩ නැති නිසා දැන් එලෙස ගන්නේ නැති බව ඔහු පැවසිය. ආන්ඩුව සමාගම්වලට සේවක ප්‍රමානය තීන්දු කිරීමට ඉඩදී තිබෙන බවට චෝදනා කල ඔහු පඩි ලබන්නේ වැඩ කරන ප්‍රමානයට කප්පාදු කර බව ද සඳහන් කලේය. 

කෙසේ වුවද, සෑම වසරකම අගෝස්තු -සැප්තැම්බර් මාසවලදී ඇමරිකානු දැවැන්ත ඇඟලුම් වෙලඳ සංගතයක් වන “වික්ටෝරියා සීක්‍රට්” ආයතනයෙන් බ්‍රැන්ඩික්ස් සමාගමට ලැබෙන ඇනවුම් ලැබී නැති බවද දැන ගන්නට ඇතැයි කම්කරුවෝ සඳහන් කලහ. 

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රෙහාන් ලඛානි මාධ්‍යයට පවසා ඇත්තේ කොරෝනා වෛරස් අර්බුදයේ ආරම්භයේ දී බිය වූවාට වඩා තත්වය හොඳ වුවත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය සඳහා ඇති ඉල්ලුම තවමත් දුර්වල බවත් පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂක උපකරන (පීපීඊ) වල පවා තරඟකාරිත්වය දකින බවත්ය. කර්මාන්තයේ මූලික අවධානය යොමු වී ඇත්තේ ඉදිරි මාස කිහිපය තුල දිවි ගලවා ගැනීම සහ 2021 දී ඉහල යතැයි බලාපොරොත්තු වන ගෝලීය ඉල්ලුමට සූදානම් වීම බව ඔහු පවසා තිබේ. (economy next 21.7.20‍ෛ

“දිවි ගලවා ගැනීම” යන්නෙන් ධනපති හාම්පුතුන් අදහස් කරන්නේ කම්කරුවන් මත බර පටවා කෙසේ හෝ ලාබ පොදි පවත්වාගෙන යාමයි.‍ෙ

වසංගතය පැවැති මුල් දිනවලදී සෞඛ්‍ය රෙගුලාසි පිලිබඳව පරිපාලනය කල සුලු මවාපෑම් පවා දැන් සම්පූර්නයෙන්ම පාහේ ඉවත්  කර දමා ඇති බවත් මේ තත්වය තුල වසංගතය කම්හල් තුල පැතිර යාමේ අවදානම පවතින බවත් කම්කරුවන්ගේ අදහසයි.

ජූලි මස 10 දා රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතන සමූහයේ කම්හලක සේවිකාවකට උන රෝගය වැලඳී ඇති බව සොයාගැනීම නිසා කලබලයක් ඇති විය. ඇයට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි කම්කරුවන් අතර රාවයක් පැතිර ගිය බැවින්  පාලනාධිකාරිය ඇය සමග වැඩ කල තවත් සේවකයින්  25 ක් නිවාඩු යැවූවද අනියත බියක් ඇතිකර ගතයුතු නැතැයි ද කොරෝනා රෝගීන් සමග වුවද ආරක්ෂා සහිතව වැඩ කරගෙන යා හැකි යයිද මානව සම්පත් කලමනාකරු පවසා තිබේ.

කෙසේ වුවද පීසීආර් පරීක්ෂනයෙන් එම කාන්තාවට රෝගය වැලඳී නොමැති බව සොයාගත් බව පවසමින්,  සියලු දෙනා යලි වැඩට කැඳවීමට පාලකයෝ පියවර ගත්හ.

වෙලඳපල තරඟය ඉදිරියේ සිය ලාබ ඉහල දමා ගැනීම සඳහා ඇඟලුම් කම්කරුවන් සොච්චම් වන්දියක් දී දොට්ට දැමීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. මැයි මසදී ඒස්ක්වෙල් නම් බහුජාතික සමාගම් සමූහයට අයත් යක්කල ඒවර්බෙස්ට් කම්හලේ ඇඟලුම් කම්කරුවන්  450ක් මෙලෙසම සොච්චම් වන්දි මුදලක් දෙමින් කම්කරුවන්ගේ විරෝධය මධ්‍යයේ දොට්ට දමනු ලැබිනි.

ආන්ඩුව, හාම්පුතුන් සහ වෘත්තීය සමිති වලින් සැදුම්ලත් ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකාය පැවැත්වූ සාකච්ඡාවකදී, කොරෝනා වසංගතය නිසා පුද්ගලික අංශයේ මහ ව්‍යාපාරිකයන් තමන් මුහුන දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම පිනිස ඉදිරිපත්  කරන ලද රැකියා  සහ වැටුප් කප්පාදු කිරීමේ යෝජනාවලට සමිති එකඟ විය. අනතුරුව කම්කරු ඇමති දිනේෂ් ගුනවර්ධන ගේ   ප්‍රධානත්වයෙන්, මැයි 11 වෙනිදා පැවති, ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේ දී එම යෝජනාවලට නිලමුද්‍රාව තැබිනි.

“කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිත කිරීමේ එකඟතා  ලියවිල්ල” යනුවෙන් නිවේදනයක් ඇමතිවරයා විසින් නිකුත් කර ඇතත් ඇඟලුම් ක්ෂේත්‍රය තුල රැකියා විනාශ කිරීම සිදු කෙරෙන්නේ මෙම ලියවිලි ඉදිරියට දමා ගනිමිනි.

කතුවරයා පහත ලිපි නිර්දේශ කරයි:  

වසංගතයෙන් තම ජීවන කොන්දේසි වඩාත් දුෂ්කර කෙරී ඇති අයුරු රත්මලාන කම්කරුවෝ ලෝසවෙඅ ට පැහැදිලි කරති, 4 ජූලි 2020 

 රැකියා සහ වැටුප් කප්පාදුවට එරෙහිව, බ්‍රැන්ඩික්ස්, ස්මාර්ට් ෂර්ට් සහ ක්‍රිස්ටල් මාටින් කම්කරුවෝ ලෝසවෙඅ ට කතා කරති,

 1 ජූලි 2020 

 ශ්‍රී ලංකාව: අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ ආපසු වැඩට යාමට විරුද්ධ වනු! රැකියා විනාශය එපා!

19 අප්‍රේල් 2020 

Loading