ශ්‍රී ලංකා මහ මැතිවරනයේදී සසප අපේක්ෂකයින්ට ඡන්දය දෙන්න! කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට හා සමාජවාදී ජාත්‍යන්තරවාදය වෙනුවෙන් සටන් කරන්න!

මෙම ලිපිය අගෝස්තු 3 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

බදාදා පැවැත්වෙන මහ මැතිවරනයේදී සිය අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්, තරුනයින් සහ දුප්පතුන්ගෙන් ඉල්ලා සිටී.  අප පක්ෂය කොලඹ, යාපනය සහ නුවරඑලිය  දිස්ත්‍රික්කවලට අපේක්ෂකයින් 43 දෙනෙකු ඉදිරිපත් කර මැතිවරනයට තරඟ කරයි.

COVID-19 වසංගතයට, ඒකාධිපතිත්වයේ හා අධිරාජ්‍යවාදී යුද්ධයේ නැඟී එන අන්තරායට එරෙහිව, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත, වාර්ගික රේඛා කපාගෙන කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් ගොඩනැඟීමට සටන් කරන එකම පක්ෂය සසප වේ.

මේ වන විට මිලියන 18 ක ජනතාවක් ආසාදනයට ලක්කර ලොව පුරා මිනිසුන් 690,000 ක් මරුමුවට පත්කර ඇති කොරෝනා වෛරසය, ලෝක ධනවාදයේ අර්බුදය වේගවත් කර, දෙවන ලෝක යුද්ධයෙන් පසු නොදුටු පරිමානයේ ආර්ථික අවපාතයක් ඇති කර තිබේ. මහජන ප්‍රතිරෝධයට හා විප්ලවවාදී අරගලයන් මතුවීමට මුහුන දෙන සෑම රටකම පාලක පන්ති, මෙම විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා මිලිටරි හා ෆැසිස්ට් ආඥාදායකත්වයන් සූදානම් කරමින් සිටී.

මෙම අර්බුදයේ කේන්ද්‍රයෙහි ඇත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයයි . ට්‍රම්ප් පාලනය, විරෝධතා මැඩපැවැත්වීමේ අරමුනින් පොලිස් රාජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින අතර චීනය, රුසියාව සහ ඉරානයට එරෙහිව මිලිටරි හා දේශපාලන ප්‍රකෝප කිරීම් වේගවත් කරයි. මෙය, මානව වර්ගයාට විනාශකාරී ප්‍රතිවිපාක ගෙනඑන තුන්වන ලෝක යුද්ධයක අන්තරාය දැඩි කරයි.

ගෝලීය අර්බුදය මෙරට ආර්ථික, දේශපාලන හා සමාජ කැලඹීම් තීව්‍ර කර තිබේ. රාජපක්ෂ ආන්ඩුවේ සහාය ඇතිව මහා ව්‍යාපාරිකයන් විසින් පනවා ඇති රැකියා සහ වැටුප් කප්පාදුව සහ අනාරක්ෂිත සේවා කොන්දේසි වලට එරෙහිව කම්කරුවන්ගේ ප්‍රතිරෝධය පුපුරා ගොස් ඇත.

සසප සාමාජික කේ. කාන්දීපන් එන්ෆීල්ඩ් වතු කම්කරුවන් සමඟ පක්ෂ ක්‍රියාමාර්ගය ගැන සාකච්ඡා කරයි

විධිමත් නිෂ්පාදන අංශයේ පමනක් රැකියා 400,000 ක් පමන විනාශ වී ඇති අතර, ආන්ඩුව සිය කප්පාදු පියවර හා පුද්ගලීකරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අතර, අත්‍යවශ්‍ය භාන්ඩ මිල පිම්මේ ඉහල දමයි.

නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට විරෝධය පල කරමින්, පසුගිය සතියේ කොලඹ වරාය කම්කරුවන් 10,000 ක් වැඩ වර්ජනය කිරීම වැඩෙන කම්කරු පන්ති ප්‍රතිරෝධයේ එක් ඇඟවීමකි. ධනේශ්වර ගැති වෘත්තීය සමිති ඊයේ වැඩ වර්ජනය නතර කල ද, බෙදුම්වාදී දෙමල ඊලම්  විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව වසර 30 ක් තිස්සේ ගෙනගිය වර්ගවාදී යුද්ධයේ පටන්, දශක ගනනාවක් තිස්සේ ඒකරාශීව ඇති ගැඹුරු විරෝධය දිවයින පුරා ඉහල යමින් තිබේ.

නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට විරෝධය පල කරන, කොලඹ වරාය කම්කරුවෝ

මෙම වසංගතය, සියලු වැඩකරන ජනතාව කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවේ සහ නිල විරුද්ධ පක්ෂවල කුරිරු පන්ති ආකල්පය හෙලිදරව් කර ඇත. පුලුල් පරිමානයේ පරීක්ෂන පැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇති ආන්ඩුව සැබෑ තත්වය පිලිබඳ රෝස පැහැ චිත්‍රයක් පෙන්වීම සඳහා අඩු ආසාදන අනුපාතයක් ඉදිරිපත් කරයි.

සිය ජාත්‍යන්තර සහචරයින් මෙන්ම ආන්ඩුව ද ප්‍රමුඛත්වය දී ඇත්තේ පෞද්ගලික ලාභයට මිස වැඩකරන ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිත කෙරෙහි නොවේ. මහා ව්‍යාපාරික ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රාජපක්ෂ,  අනාරක්ෂිත කොන්දේසි යටතේ, අඩු වැටුප් හා පලදායිතා ඉලක්ක ඉහල නැංවීම සඳහා නැවත සේවයට යන ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට උපදෙස් දී තිබේ. කොරෝනා වෛරසය ගෙන ඒමට හැකි යැයි කියමින්, මැද පෙරදිග සේවයේ නියුතුව සිටි කම්කරුවන් 40,000 ක් ආපසු පැමිනීමට ද බලධාරීන් විසින් අවහිර කර තිබේ.

කම්කරුවන්ගේ වැඩෙන ව්‍යාපාරය මැඩපැවැත්වීම සඳහා අධිෂ්ඨානවත්ව සිටින ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) ජනාධිපතිවරයාට අත්තනෝමතික බලතල ලබා දීම සඳහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත ලිවීමට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමට දරන උත්සාහයන් තීව්‍ර කර තිබේ. “ශක්තිමත් ආන්ඩුවක්” සඳහා ඔහුගේ කැඳවීම වනාහි මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා වූ කැඳවුමකි.

COVID-19 ට එරෙහිව සටන් කිරීම පිලිබඳ ව්‍යාජය  යටතේ රාජපක්ෂ,  විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න  ආරක්ෂක ලේකම් ලෙස පත් කිරීම ඇතුලුව ජෙනරාල්වරුන් ගනනාවක් ම ප්‍රධාන පාලන තනතුරුවලට පත්කර තිබේ.

 එක්සත් ජාතික පක්ෂය (එජාප), සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සහ මුස්ලිම් පක්ෂ ඇතුලු විපක්ෂයට, පාලක තන්ත්‍රය සමඟ මූලික වෙනස්කම් නොමැත. ජනාධිපතිගේ සහෝදරයා වන අගමැති මහින්ද රාජපක්ෂ  විසින් කැඳවන ලද සර්ව පාක්ෂික රැස්වීම් දෙකකට ඔවුන් සහභාගී වූ අතර, වසංගතය පිලිබඳ පරිපාලනයේ සියලු පියවරයන්ට සහාය දැක්වීය. අප්‍රේල් 27දා එජාප, සජබ, ටී.එන්.ඒ, මුස්ලිම් පක්ෂ සහ වතු වෘත්තීය සමිති, ජනාධිපති පාර්ලිමේන්තුව යලි කැඳවන්නේ නම් ඔහුට “කොන්දේසි විරහිතව” සහාය දෙන බවට පොරොන්දු වූහ.

විප්ලවවාදී කම්කරු පන්ති අරගල පුපුරායාම පිලිබඳ බිය නිසා “විපක්ෂය” රාජපක්ෂගේ ආඥාදායකත්වය දෙසට තබන පියවරයන්ට සහාය දක්වයි. එමෙන්ම, පරිපාලනය මිලිටරිකරනය කිරීමට කිසිවෙකු විරුද්ධ වී නැත.

සජබ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත්තේ තම පක්ෂය මැතිවරනයෙන් පසු ආන්ඩුවක් පිහිටුවුවහොත්, ජනාධිපති රාජපක්ෂ  සමඟ “එකට වැඩ කල හැකි” බවයි. රාජපක්ෂ ආන්ඩුව සමඟ දිගටම සාකච්ඡා පැවැත්වීම සඳහා තවත් පාර්ලිමේන්තු ආසන දිනා ගැනීමට අවශ්‍ය බව දෙමල ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ. වෙනත් වචන වලින් කිවහොත්, රාජපක්ෂගෙන් ලැබෙන සොච්චමක් වෙනුවෙන් ටීඑන්ඒ, ඔහුගේ ආඥාදායකත්වයට සහාය වනු ඇත යන්නයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ, තම පක්ෂය ජයග්‍රහනය කලහොත්, අර්බුදය විසඳීම සඳහා තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නයක් ලබා ගැනීමට සාකච්ඡා කරන බවයි. වෙනත් වචන වලින් කිවහොත්, මීට කලින් සිය  ආන්ඩුව කලාක් මෙන් තව තවත් කප්පාදු ක්‍රියාත්මක කිරීමට ඔහු පියවර ගන්නා බවයි.

ඒ අතර ශ්‍රීලපොපෙ සහ එහි වර්ගවාදී සහචරයින්,  කම්කරු පන්තිය බෙදීමට හා සමාජ ආතතීන් ජනවාර්ගික රේඛා ඔස්සේ හැරවීමට උත්සාහ දරමින් මුස්ලිම්  හා දෙමල විරෝධී ප්‍රචාරය වේගවත් කර තිබේ. දෙමල හා මුස්ලිම් පක්ෂ තමන්ගේම වාර්ගික හා ජාතිකවාදී ප්‍රචාරයන්ගෙන් ඊට ප්‍රතිචාර දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

නසසප අධිරාජ්‍ය ගැති එජාපය  සමඟ ඒකාබද්ධව එම පක්ෂයේ නමින් මැතිවරනයට තරඟ කරයි. කලුතර දිස්ත්‍රික්කය සඳහා එහි නායක වික්‍රමාබාහු කරුනාරත්න එජාප ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙයි.

කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන ව්‍යාපාරයක් වැලැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වෘත්තීය සමිති හා අනෙකුත් වාම කන්ඩායම්වල ව්‍යාජ “වාම” පෙරමුනක් ඇටවීම යෝජනා කරයි. මෙම පක්ෂය වසංගත “අර්බුදයට මුහුන දීමට” ආන්ඩුවට සහාය වීම සඳහා දෙවරක් අගමැතිට ලිපි යවා තිබේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සම-චින්තකයින් සමඟ යමින් සසප, ආන්ඩුවට, කම්කරු පන්තියට සහ දුප්පතුන්ට එරෙහි මහා ව්‍යාපාරිකයන්ගේ  ප්‍රහාරයන්ට එරෙහිව පසුගිය මාස හය තුල, සිය අරගලය ගැඹුරු කර තිබේ.

ආරම්භයේදීම එනම් මාර්තු 28 වන දින, සසප “ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් අර්බුදය: කම්කරු පන්තිය සඳහා  වැඩපිලිවෙලක්” යන මැයෙන් ප්‍රකාශයක් නිකුත් කල අතර, එය වසංගතයට එරෙහිව සටන් කරන කම්කරු පන්තියේ ගෝලීය ප්‍රයත්නයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ එක්සත්වීම ඉල්ලා සිටියේය. 

අප්‍රේල් 18 වන දින අපගේ ප්‍රකාශය, “ශ්‍රී ලංකාව: අනාරක්ෂිත වසංගත තත්වයන් යටතේ නැවත සේවයට කැඳවීමට විරුද්ධ වන්න! රැකියා විනාශය එපා! ” නැවත සේවයට පැමිනෙන ලෙසට කල රාජපක්ෂගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේය.

ශ්‍රී ලංකාවේ සසප, වසංගත තර්ජන මැඩපැවැත්වීම සහ රැකියා ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනඟන මෙන් ඉල්ලා සිටී.” යන මැයෙන් ජුනි 2 වන දින පක්ෂය විසින් තවත් ප්‍රකාශයක් නිකුත් කරන ලදී:

රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගැන කම්කරු පන්තියට අනතුරු අඟවමින් සසප, “ශ්‍රී ලංකා ජනාධිපති මිලිටරි කාර්ය සාධක බලකාය පිහිටුවයි: ආඥාදායකත්වය දෙසට තවත් පියවරක්” යන ප්‍රකාශය ජුනි 9 දා නිකුත් කලේය.

අපේ පක්ෂය ඉලක්ක කරමින් රාජපක්ෂ ආන්ඩුව මෙම අරගලයට ප්‍රතිචාර දක්වා ඇත. මිලිටරි වාඩිලෑම යටතේ ඇති උතුරේ හමුදා බුද්ධි අංශ නිලධාරීන්, සසප යාපනය දිස්ත්‍රික් ලැයිස්තුවේ නායකයා ඇතුලු අපේ පක්ෂ අපේක්ෂකයින්ගේ නිවෙස්වලට පැමිනීමෙන් මෙය තියුනු ලෙස ප්‍රකාශ විය.

හජාජාක ජුනි 23 වන දින ප්‍රකාශයක් මගින් “වසංගතයට එරෙහි පලදායී සටනක්” සඳහා ආර්ථික, විද්‍යාත්මක, කාර්මික හා තොරතුරු සම්පත් ක්‍රමානුකූලව සම්බන්ධීකරනය කිරීමේ අවශ්‍යතාව අවධාරනය කලේය. ජාතික රාජ්‍ය පද්ධතිය තුල මුල් බැස ඇති ධනවාදය යටතේ මෙම අත්‍යවශ්‍ය ජාත්‍යන්තර සහයෝගීතාවය ගොඩනැඟිය නොහැකි ය. සියල්ලටම වඩා සෑම රටකම පාලක පන්තිය, තමන්ගේම ජාතික අවශ්‍යතා වෙත යොමු වී සිටියි…

“වසංගතයට ප්‍රතිචාර දැක්වීම පිලිබඳ පාලනය, ධනේශ්වර පන්තියෙන් ඉවත් කල යුතුය. වසංගතය පාලනය කර ගැනීමටත්, දැන් අවදානමට ලක්ව ඇති මිලියන ගනනකගේ ජීවිත බේරා ගැනීමටත් ජාත්‍යන්තර පරිමානයෙන් සම්බන්ධීකරනය කරන කම්කරු පන්තියේ මහජන ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. වසංගතයට එරෙහි සටන, මූලික වශයෙන් හෝ වෛද්‍ය විද්‍යාත්මක ගැටලුවක් පමනක් නොවේ. සියල්ලටත් වඩා එය සමාජ හා දේශපාලන අරගලය පිලිබඳ කාරනයකි. ”

සසප විසින් ගෙනයනු ලබන අරගලයේ පදනම මෙයයි. ආරක්ෂිත සේවා ස්ථානයක්, රැකියා, සේවා කොන්දේසි සහ වැටුප් ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාරය පරාජය කිරීම සඳහාත් ස්වාධීන ක්‍රියාකාරී කමිටු සහ ආරක්ෂක කමිටු පිහිටුවන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

කම්කරු පන්තිය විසින් බැංකු, විශාල සමාගම් සහ වතු අත්පත් කර ගනිමින්, සුලු පිරිසකගේ ලාභය සඳහා නොව බහුතරයකගේ ප්‍රතිලාභය සඳහා ආර්ථිකය තාර්කිකව ප්‍රතිසංවිධානය කල යුත්තේය. රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රීලපොපෙ විසින් ගොඩනඟමින් සිටින ආඥාදායකත්වයට ඇති එකම පිලිතුර මෙයයි.

මෙම ක්‍රියාමාර්ගය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටනින් නොවෙන් කල හැකිය. වොෂින්ටනය 2015 දී, බීජිනයට  නැඹුරු වූ මහින්ද රාජපක්ෂ නෙරපා හැරීම සඳහා තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් දියත් කල අතර, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පත් කලේ, ඔහු එක්සත් ජනපද යුද ව්‍යායාමයට වඩාත් සමීපව සම්බන්ධ කර ගනිමිනි. එක්සත් ජනපදය සමඟ සමීප මිලිටරි සබඳතා දිගටම පවත්වා ගත යුතු බවට ට්‍රම්ප් පරිපාලනය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නැවත නැවතත් අනතුරු අඟවා තිබේ.

සමාජවාදී ප්‍රතිපත්ති පදනම් කරගත් යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කම්කරු පන්තිය, සිය ජාත්‍යන්තර  පන්ති සගයන් සමඟ එක්විය යුතුය. ප්‍රතිගාමී ධනේශ්වර පක්ෂවල ජාතිකවාදී කුනුකන්දල් වලට හා  ඔවුන්ගේ ව්‍යාජ වාම හෙංචයියන්ට එරෙහිව, සසප සහ හජාජාක එහි සහෝදර පක්ෂ මෙම විප්ලවීය ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලට සටන් වදියි.

දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අරගලය පෙරට ගෙනයාම සඳහා, කම්කරු පන්තියේ මහජන පක්ෂය ලෙස සසප ගොඩනැගීමට  එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading