කුමාර වඩිවේල් ගුරුපරන්ට එරෙහි දඩයම නතර කරනු!

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන යාපනය විශ්ව විද්‍යාලයේ නීති අංශ ප්‍රධානී කුමාර වඩිවේල් ගුරුපරන් ජූලි 16 වැනි දා  තම ධුරයෙන් සහ විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන්නේ ය.

පෞද්ගලික නීති වෘත්තියේ යෙදීමට ඔහුට දී තිබූ අවසරය, යාපනය විශ්ව විද්‍යාල කවුන්සිලය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් අවලංගු කිරීම අභියෝගයට ලක් කරමින්, ගුරුපරන්, නොවැම්බර් 23 දා, ශ්‍රේෂ්ඨාධිකරනයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකොට ඇත. මාස අටක් ඉක්ම යන තුරුද එම පෙත්සම විභාගයට නොගැනීම හේතුවෙන්, නීති වෘත්තීයේ යෙදීමෙන් තමා වලකා ඇති තත්ත්වය තව දුරටත් ඉවසිය නොහැකි නිසා, ඉල්ලා අස් වීමට තීරනය කල බව ඔහුගේ අස්වීමේ ලිපියේ පැහැදිලි කර ඇත. 

ගුරුපරන්

නොවැම්බර් 09 වැනි දා, විශ්ව විද්‍යාල කවුන්සිලය ගුරුපරන්ට පෞද්ගලික නීති වෘත්තියේ යෙදීම තහනම් කලේ මිලිටරියේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මැදිහත් වීම මතය. මිලිටරි අපරාධ සහ කොලඔ තන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර සම්බන්ධයෙන් ගොනුකල නඩු කීපයකම පැමිනිල්ලේ නීතීඥයෙකු ලෙස  අධිකරනයේ පෙනී සිටීන ගුරුපරන්, එම නඩු වලින් ඉවත්කර තැබීම මෙම මැදිහත්වීමේ අරමුනයි.

1998 දී මිලිටරි අත් අඩංගුවේ සිටි දෙමල තරුනයන් 24 දෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන්, හමුදාපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩීසී කැප්පෙටිවලාන විත්තිකරුවන් වන හබයාස් කෝපුස් නඩුව, එම නඩු අතරින් ප්‍රධාන තැනක් ගනී.

මීට අමතරව, යුද්ධයේ දී මිය ගිය තම ඥාතීන් සැමරීමට දෙමල ජනයාට තංහචි පැනවීම් ද, කොලඹ ආන්ඩුවේ වර්ගවාදී ප්‍රතිපත්තීන් ද, අභියෝගයට ලක් කෙරෙන ආකාරයේ නීතිමය කටයුතු කීපයකට ම ගුරුපරන් තම දායකත්වය ලබා දී ඇත.

ගුරුපරන්ට එල්ල වී ඇති තර්ජනය වනාහි, මිලිටරිය මත වාරු වූ ඒකාධිපති පාලන තන්ත්‍රයක් වර්ධනය කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන යන ප්‍රජාතන්ත්‍ර-විරෝධී වැඩපිලිවෙලේ ම කොටසකි. ජනාධිපති රාජපක්ෂ, යුද අපරාධකරුවකු වන හිටපු හමුදා නිලධාරි සුනිල් රත්නායක නිදහස් කරමින්, කම්කරු පීඩිත මහජනතාවට එරෙහි අපරාධ සඳහා හමුදාවට මුක්තිය ලබා දෙන බවට සහතිකයක් දුන්නේ ය. 

යුද හමුදාපති වෙනුවෙන් බ්‍රිගේඩියර් ඊ.එස්. ජයසිංහ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිට යොමු කල ලිපියකින්, යාපනය විශ්ව විද්‍යාලයේ සේවාදායකයෙකු වන ගුරුපරන් සහ විශ්ව විද්‍යාලය අතර ඇති සම්බන්ධය කුමක් ද යන්නත්, ඔහු නීති වෘත්තියේ යෙදන්නේ විශ්ව විද්‍යාලයේ අවසර මත ද එසේ නම් ඒ කවර පදනමකින් ද යන්නත් විමසා තිබුනි. 

විත්තිකාර පාර්ශ්වය වන මිලිටරියේ වක්‍රාකාර තර්ජනයට අනුගත වෙමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නොවැම්බර් 05 වැනි දින ඔහුට පෞද්ගලික නීති වෘත්තියේ යෙදීමට දී තිබූ අවසරය අවලංගු කිරීමට තීරනය කලේ ය. නොවැම්බර් 09 වැනි දින යාපනය විශ්ව විද්‍යාල කවුන්සිලය ද මේ තීරනය ම  ගෙන ගුරුපරන්ට ඒ බව දැනුම් දුනි. නඩු කටයුතුවල යෙදීම ඔහුගේ උගැන්වීම් කටයුතුවලට බාධාවක්ය යන්න ව්‍යාජ වහන්තරාවක් පමනක් වන අතර හමුදාවේ මැදිහත් වීම සිදු වන තෙක් එවැනි උක්සුකයන් නොපැවතුනි.

මෙම තීරනය පැමිනීමට මත්තෙන් බිය වැද්දවීම් කීපයකට මුහුන දීමට ගුරුපරන්ට සිදු විය. අගෝස්තු 1 වැනි දින මෙම නඩුව විභාග වීමෙන් පසු ව අධිකරන භූමියේ දී නාඳුනන පුද්ගලයෙකු ගුරුපරන් ඇතුලු සෙසු නීතිඥයන් ඡායාරූපගත කර ඇත. අගෝස්තු 07 වැනි දින ගුරුපරන් විසින් පවත්වා ගෙන යනු ලබන අඩයාලම් මධ්‍යස්ථානයේ කාර්යාලයට පැමිනි ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් තිදෙනෙකු එම කාර්යමන්ඩලය ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇත.

ගුරුපරන් ඉලක්ක කෙරුනු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට විරෝධය ගොනු වෙත් ම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම එය වසන් කිරීමට තවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරකට යොමු වෙමින්, නීති දේශකයන්ට අධිකරන නීති කටයුතුවල යෙදීම තහනම් කරමින්, නොවැම්බර් 26 වැනි දින චක්‍රලේඛයක් නිකුත් කලේ ය. 

තම ඉල්ලා අස් වීමේ ලිපියේ ගුරුපරන් සඳහන් කරයි: “විශ්ව විද්‍යාල කවුන්සිලයේ තීරනය අධ්‍යයන කාර්ය මන්ඩලයේ සහ ඔවුන්ගේ ශාස්ත්‍රීය නිදහස උදෙසා විශ්ව විද්‍යාලය සතු ස්වාධීනත්වය නිර්ලජ්ජිත ලෙස පාවා දීමකි. ඕනෑ ම විශ්ව විද්‍යාලයක මනා පැවැත්ම සඳහා ශාස්ත්‍රීය නිදහස නැතිව ම බැරි දෙයකි.” අඩු ම තරමේ විශ්ව විද්‍යාල කවුන්සිලය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙම තීරනය ගැනීමට මත්තෙන් ඔහුව කැඳවා හෝ නැත. 

ඔහු මෙලෙස ලියයි: “මගේ සීමිත අත්දැකීම තුල, මගේ විශ්ව විද්‍යාලය සම්බන්ධ වාර්තාව නම් එය (විශ්ව විද්‍යාලය), නීතියුක්ත බව, යහපාලනය, ශාස්ත්‍රීය නිදහස සහ ගරුත්වය සම්බන්ධ මූලික මූලධර්ම ආරක්ෂා කිරීමට මුලුමනින් ම අපොහොසත් ව ඇති බවයි. … විශ්ව විද්‍යාලය මෙහෙය වෙන්නේ එය පිහිටවනු ලැබූ  ‘සත්‍ය දැකීම වනාහි දැනුමයි’ යන ආදර්ශ පාඨය මත පිහිටා නොව ආත්මාර්ථකාමී ගනන් බැලීම් මත ය.”

මිලිටරියේ මැදිහත් වීමෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා ක්‍රියාවට දැමුනු මෙම තහනම විශ්ව විද්‍යාලවල පැවතිය යුතු ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ව එල්ල කෙරුනු දරුනු ප්‍රහාරයකි. 

කෙසේ නමුත්, ගුරුපරන් තම ඉල්ලා අස් වීමේ ලිපියේ සඳහන් කරන විශ්ව විද්‍යාල පදනම් විය යුතු මූලධර්ම කිසිවක් ධනපති ක්‍රමයේ පරිහානිගත සමයේ ධනපති පන්ති පාලනය යටතේ බලාපොරොත්තු විය නොහැකි ය. 

මෙම වසරේ ජනවාරියේ දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති, එහි ක්‍රියාත්මක වන මිලිටරි ඔත්තු ජාලයක් ගැන එලිදරවු කරමින් ශිෂ්‍යයන්ට අනතුරු හඟවා සිටියේ ය. යාපනය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති රත්නම් විග්නේශ්වරන් පිටුපස කාලයක් තිස්සේ මිලිටරිය හඹා ගොස් ඇති ආකාරය, රාජ්‍ය සතු සිළුමින පුවත්පත 2019 මැයි 18 දා වාර්තා කර තිබුනේ “ප්‍රභා¬ක¬රන්ට පන දෙන්න ගිහින් ගෙදර ගිය යාප-නය උප¬කු¬ල¬පති” යන මැයෙනි. දෙමල ජාතිකවාදී දේශපාලනය සරසවිය තුල තහනම් නොකිරීමෙන් “ජාතික ආරක්ෂාව” තර්ජනයට ලක් කලාය යන චෝදනාව යටතේ ඔහු සේවයෙන් නෙරපා හැරුනි.

පසුගිය වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු ව විශ්ව විද්‍යාලවලට මිලිටරිය කඩා පැන්න වූ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ශිෂ්‍ය නේවාසිකාගාර සහ ශිෂ්‍ය සංගම් කාර්යාල බලාත්කාරයෙන් සෝදිසියට ලක් කරවී ය. එහි දී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයන් දෙදෙනෙකු දෙමල බෙදුම්වාදී දේශපාලනය කලා යයි අත් අඩංගුවට ගත් අතර පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් සොයා ගත් “හමුදා කැලෑ ඇඳුම්වල” මෝස්තරය අනුකරනය කරන කැමා ටී ෂර්ට් අත් අඩංගුවට ගෙන මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කෙරුනේ පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිද්ධ වෙන බවක් ඇඟවෙන අයුරිනි. 

එම බෝම්බ ප්‍රහාරයෙන් පසු ව ආරක්ෂාව සඳහා යයි කියමින් ශිෂ්‍යයන්ගේ පමනක් නොව ආචාර්යවරුන් සහ අනධ්‍යන කම්කරුවන් නිරීක්ෂනය කල හැකි වන පරිදි පුලුල් සීසීටීවී කැමරා ජාලයක් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය තුල ස්ථාපිත කෙරුනි. ආන්ඩුවේ කප්පාදු පියවරවලට එරෙහි ව ශිෂ්‍යයන් සහ අනධ්‍යයන කම්කරුවන් පසුගිය කාලයේ දිගින් දිගට ම අරගලවලට සහ වැඩ වර්ජනවලට පැමින ඇත.

සිය අපරාධ ගැන විභාග කෙරෙන නඩුවෙන් ගුරුපරන් ඈත් කරවීම පමනක් නොව, එවැනි නඩු කටයුතුවලට සම්බන්ධ නොවන සේ සෙසු නීතිඥයන් බිය වැද්දවීමත් මිලිටරියේ අභිප්‍රාය යි. අවසාන වශයෙන් පීඩිතයන්ගේ වැඩෙන අරගලවලට එබඳු ම සාහසිකත්වයකින් මිලිටරිය උසිගන්වා ගැනීමට රාජපක්ෂ ආන්ඩුවටත් සමස්ත ධනපති පන්තියටමත් ඕනෑ කෙරෙයි. එම නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට නීති කටයුතුවල යෙදිය හැකි ද නොහැකි ද යන ප්‍රශ්නය මූලික තර්ජනය වසන් කිරීමට දැමූ ආවරනයක් පමනි. 

ගුරුපරන්ගේත් යාපනය විශ්ව විද්‍යාලය ඇතුලු සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේ ස්වාධීනත්වය සඳහාත්, යුද අපරාධවල වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් සමස්ත කම්කරු-පීඩිත මහජනතාව කොන්දේසි විරහිත ව පෙරට පැමිනිය යුත්තේ ප්‍රජාතන්ත්‍රීය මූලධර්මයන්ට එරෙහි ප්‍රහාරය, ඉදිරියේ දී වර්ධනය වන තම අරගල ම ඉලක්ක කර ගත් ප්‍රහාරයක් වන බැවිනි.

දෙමල ජාතිකවාදී ප්‍රතිගාමී දේශපාලනයට ගුරුපරන් දක්වන සහයෝගයට කවර හෝ සහනයක් නොදෙන සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය ඔහුට එරෙහි රාජ්‍ය දඩයම තරයේ හෙලා දකී.

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ මෙම බියගුලු පියවරට එරෙහි විරෝධය කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය තුල සංවිධානය කර ගැනීමට ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාට සසප සහ සසජාතශි කැඳවුම් කර සිටී. 

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු නීති වෘත්තියේ යෙදීම තහනම් කිරීමට මිලිටරිය මැදිහත්වෙයි - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

[2019 දෙසැම්බර් 19]

විශ්ව විද්‍යාල තුල රාජ්‍ය ඔත්තුකරුවන් වහා ඉවත් කරනු! දේශපාලන සංවිධාන වලට විශ්ව විද්‍යාල තුල පනවා ඇති තහංචි අහෝසි කරනු!

[2020 පෙබරවාරි 28]

සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි

[2020 ජනවාරි 3]

Loading