ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහර දීමේ දී, තම භූමිකාව විවේචනය කල ප්‍රමුඛ පෙලේ නීතිඥයාට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය දඬුවම් කරයි

මෙම ලිපිය සැප්තැම්බර් 11 වැනි දා ඉංග්‍රීසි බසින් පල විය.

අන්ත-දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයට සහාය දෙන්නේ යයි ශ්‍රේෂ්ඨාධිකරනයට චෝදනා කිරීම නිසා, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය මහජන විරෝධය නො තකමින් ප්‍රමුඛ පෙලේ නීතිඥ ප්‍රශාන්ත් භුෂාන් “උසාවියට අපහාස කිරීම පිලිබඳ” වරදකරු කොට, ඔහුට දඬුවම් නියම කර ඇත.

භුෂාන් උද්‍යෝගීමත් ව අදහස් පලකිරීම හේතුවෙන් උසාවිය මගින් ඔහු ව දඩයම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි බරපතල ප්‍රහාරයකි.

උසාවියේ හා ඉන්දීය අගවිනිසුරුගේ භාවිතාව විවේචනය කරමින්, ජුනි මස අගභාගයේ  “මජහන අයිතිවාසිකම් නඩු” හා සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සුප්‍රකට නීතිඥයා පලකල ට්විටර් පනිවුඩ දෙකක් හේතුවෙන්, ඉන්දියාවේ ඉහල ම අධිකරනය භුෂාන් “උසාවියට සාපරාධී ලෙස අපහාස කිරීම” අරබයා වරදකරු කලේ ය. උසාවිය පවසන ආකාරයට, භුෂාන් ඔහුගේ ට්විටර් පනිවුඩ මගින් “සමස්ත උසාවිය ම ගැරහීමට බඳුන් කිරීමට” උත්සාහ දරා තිබුනි.

පසුගිය සතියේ දඬුවම් නියම කිරීමට පෙරාතු ව, භුෂාන් වලිගය වනන වර්ගයේ සමාව අයැදීමක් නො කල හොත්, ඔහු හිරේ දමන බවට ඔහු  වරදකාරී කර තිබුනු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවන් තිදෙනා යලි යලිත් තර්ජනය කල හ.

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට තමන්ට ඇති අයිතිය භාවිතා කිරීම වෙනුවෙන් සමාව අයැදීමක් නො කල හැකි බව අවධාරනය කරමින්, භුෂාන් මෙය නිවැරදි ව ප්‍රතික්ෂේප කලේ ය. තමන්ට සාපරාධී අපහාස චෝදනා නගන බවට උසාවිය කල තර්ජනයට භුෂාන් දැක්වූ ලිඛිත ප්‍රතිචාරයේ දී, තමන්ගේ ට්විටර් පනිවුඩ “අවඥා කිරීමක් ලෙස සලකනු ලබන්නේ නම්, නිදහසේ කතා කිරීමට හා අදහස් පලකිරීමට ඉන්දියාවේ ව්‍යවස්ථාවේ 19 (1) (ඒ) වගන්තියෙන් තහවුරු කොට ඇති, පුරවැසියකුගේ අයිතිය අසාධාරන ලෙස සීමා කිරීමක් හා නිදහසේ කතා කිරීමේ අයිතිය මර්දනය කිරීමක්” සනිටුහන් කරන බව ඔහු සඳහන් කලේ ය.

ඉන්දියාව පුරා කොවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිරෙන කොන්දේසි තුල, 63 හැවිරිදි භුෂාන් සිරගත කිරීම, ඔහුගේ සෞඛ්‍යය හා ජීවිතය අනතුරේ හෙලනු ඇත. 

අවසානයේ උසාවිය අඩියක් පිටුපසට ගනිමින් සිරගත කිරීමෙන් වැලකීම පිනිස සංකේතාත්මක දඩයක් ගෙවීමේ අවස්ථාව භුෂාන්ට දුන්නේ ය. ඔහුගේ නීතිඥයා එය ක්ෂනික ව සිදුකලේ ය.

එහෙත්, දඬුවම අත්හැර දැමුව ද තම ක්‍රියාවන් විවේචනය කරන අයට, දඬුවම් කිරීමට හා සිරගත කිරීමට තමන්ට “අයිතිය” තිබෙන බව, ඉන්දියාවේ ඉහල ම අධිකරනය දිගට ම අවධාරනය කලේ ය.

පිටු 82කින් සමන්විත උසාවියෙහි දඬුවම් නියෝගය, ඉන්දියාවේ අධිකරනයට අපහාස කිරීමේ නීතිය “නො පැහිදිලි” හා “විජිතවාදී” බව පිලිගත්තේ ය. “නිදහසේ කතා කිරීමට හා අදහස් පලකිරීමට ඇති අයිතිය” කිසිදු ලෙසකින් “පරදුවට තැබිය නො හැකි” බව ද එය කියා සිටියේ ය. එහෙත් මේ සියල්ල, ඉන්දීය මහ ව්‍යාපාරිකයේ චිරකාලීන ආරක්ෂකයෙක් හා හින්දු අධිපතිවාදී බීජේපීයේ හවුල්කාරයෙක් ලෙස, උසාවිය ඉටුකරන භූමිකාව කෙරෙහි වන විරෝධය නිහඬ කිරීම ඉලක්ක කරගත්, නින්දිත ලෙස ප්‍රජාතන්ත්‍ර-විරෝධී නිගමනයකට සුජාත වත් ඔපයක් ලබා දීමට දැරූ අශික්ෂිත උත්සාහයක් පමනක් විය.

ශ්‍රේෂ්ඨාධිකරනයේ භාවිතාව විවේචනය කිරීම “අවසර දිය හැකි සීමාවෙන් ඔබ්බට” යද්දී, එයට එරෙහි ව  ක්‍රියාකිරීමේ කර්තව්‍යයක් එයට තිබෙන බව, තීන්දුව විසින් ප්‍රකාශ කලේ ය. “නීතියේ ප්‍රභවය හා ධාරාව අපවිත්‍ර කිරීම මගින්, නීතියේ ආධිපත්‍යයට තර්ජනය” කරන තැනැත්තන්ට හෙවත්, එහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් විවේචනය කිරීමට නිර්භීත වන තැනැත්තන්ට “පහර දීම” පිනිස, “නීතියේ ශක්තිමත් බාහුව” උසාවිය මගින් ශක්තිමත් කරගත යුතු ය.

මෙම නඩුවේ දී, රුපියල් 1ක (එක්සත් ජනපද ශත 1.25ක) දඩයක් ගෙවීමේ විකල්පය උසාවිය භුෂාන්ට ප්‍රදානය කල ද එය එසේ කලේ, සැප්තැම්බර් 15 වැනි දා වන විට එම දඩය ගෙවීමට ඔහු අසමත් වුවහෙත්, ඔහු ව මාස තුනකට සිරගත කොට “වසර තුනක් යන තෙක් මේ උසාවියේ නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කරන බව” සඳහන් කරමිනි. 

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවන් මෙතරම් කෝපගැන්වීමට හේතු වූ, භුෂාන් විසින් පලකල අදහස් දැක්වීම් වූයේ මොනවා ද?

ජුනි 26 වැනි දා ට්විටර් පනිවුඩයක ඔහු මෙසේ  ප්‍රකාශ කලේ ය:

විධිමත් හදිසි තත්ත්වයකින් පවා තොර ව, පසුගිය 6 වසර තුල ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඇත්තේ කෙසේදැයි අනාගත ඉතිහාසඥයින් ආපසු හැරී බලන කල, එම විනාශයේ දී ශ්‍රේෂ්ඨාධිකරනයෙහි ද විශේෂයෙන් ම අවසන් වරට ධුරය දැරූ අගවිනිසුරුවන් හතරදෙනාගේ ද භූමිකාව, ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්වනු ඇත.

“අවසන් වසර හය” ගැන කතා කිරීමේ දී භුෂාන් සඳහන් කරමින් සිටින්නේ, නරේන්ද්‍ර මෝදි නායකත්වය දුන් බීජේපීයේ පාලනය ගැන යි. ඉන්දීය මහ ව්‍යාපාරිකයේ වඩා බලගතු කොටස්, 2014 මැයි මාසයේ බීජේපීය බලය කරා තල්ලු කලේ, ආයෝජක-ගැති “ප්‍රතිසංස්කරනවල” වේගය වඩා වේගවත් කිරීම සහ සියල්ලට ඉහලින්, චීනයට එරෙහි වොෂින්ටනයේ මූලෝපායික ප්‍රහාරය තුලට ඉන්දියාව ඒකාග්‍ර කිරීම මගින්, වඩා ආක්‍රමනශීලී ලෙස ගෝලීය ක්ෂේත්‍රයේ දී ඔවුන්ගේ මහා බල අභිලාෂයන් ලුහුබැඳීම පිනිස යි.

මෙම න්‍යාය පත්‍රය ලුහුබැඳීමේ දී, විරුද්ධවාදීන් ගොතන ලද රාජද්‍රෝහී  හා ත්‍රස්තවාදී චෝදනා මත සිරගත කිරීම, හින්දු අධිපතිවාදී ප්‍රචන්ඩත්වය නුදුටුවා සේ සිටීම, මුස්ලිම් බහුතරයක් වෙසෙන ජම්මු කාෂ්මීරයේ අර්ධ-ස්වාධීන ව්‍යවස්ථාමය තත්ත්වය ඉවත් කිරීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයක් ක්‍රියාවට දැමීම සහ සමාජ මාධ්‍ය වඩ වඩා වාරනය කිරීම මෝදි ආන්ඩුව විසින් සිදුකර ඇත.

දින තුනකට පසුව ජුනි 29 වැනි දා, භුෂාන් දෙවන ට්විටර් පනිවුඩයක් පලකලේ ය:

පුරවැසියන්ට සාධාරනය වෙත ප්‍රවේශ වීමට පවතින මූලික අයිතිය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරනය අගුලුදමා තිබෙන අගවිනිසුරුවරයා, මුහුනු ආවරනයක් හෝ හෙල්මටයක් නොමැති ව නාග්පූර්හි රාජ් භවාන්හි බීජේපී නායකයෙකුට අයත් රුපියල් ලක්ෂ 50ක් වටිනා මෝටර් සයිකලයක් පැදගෙන යයි.

මෙහි දී භුෂාන් පෙන්වා දෙන්නේ, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරනය වසා දමා තිබෙන සමයේ පවා, රුපියල් මිලියන 5ක් (ඩොලර් 68,000ක්) වැය කර හාලි ඩේවිඩ්සන් මෝටර් සයිකලයක් මිලට ගැනීමේ හැකියාව ඇති, මෝටර් සයිකල්වලට ආශාකරන්නෙකු ලෙස සැලකෙන අගවිනිසුරු ෂරාද් අර්වින්ද් භෝදේ, ඉන් එකක් මිලට ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව ගතකරන වරප්‍රසාදිත ජීවිතයෙහි පැහැදිලි වෙනස්කම යි. අගුලු දැමීමේ ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාවෙන් පාලනය කරන කාෂ්මීරය මත දඬුගැසීමක් පැනවීම ඇතුලු මෝදි ආන්ඩුව විසින් කර ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම්වලට, ව්‍යවස්ථානුකූල ව අභියෝග කර ඇති පුද්ගලයන් ගනනාවක් නො සලකා හරිනු ලැබ සිටී. භුෂාන්ගේ පෝස්ටුවෙහි අභිප්‍රායය වූයේ ද අගවිනිසුරු භෝදේ හා භෝදේගේ උපන් නගරය වන නාග්පූර්හි බීජේපී නායකයෙක් අතර පවතින මිත්‍රශීලී සබඳතා වෙත අවධානය කැඳවා ගැනීම යි.

ශ්‍රේෂ්ඨාධිකරනය භුෂාන්ගේ ට්විටර් පනිවුඩ උසාවියට අපහාස කිරීමක් යයි නිගමනය කිරීමට පෙර ම, ආන්ඩුවේ පීඩනය යටතේ ක්‍රියාත්මක වූ ට්විටර් සමාජ ජාලය ජූලි මාසයේ දී ඉන්දියාව තුලින් භුෂාන්ගේ ට්විටර් පනිවුඩ දෙකට ම ප්‍රවේශ වීම වැලැක්වී ය.

පසුගිය වසර හය පුරා වරින් වර, මෝදි ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී හා හින්දු ප්‍රජාගනවාදී ක්‍රියාවන්ට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය පිටුබලය හා අනුබලය ලබා දී ඇත‍.  ශ්‍රේෂ්ඨාධිකරනය උත්තර් ප්‍රදේශ්හි අයෝධ්‍යාවේ සුප්‍රකට මුස්ලිම් පල්ලියක් බිමට සමතලා කොට, එය පැවති ස්ථානයේ රාම් නමැති මිත්‍යාමය හින්දු දෙවියාට කැපකල පන්සලක් ඉදිකිරීම සඳහා, බීජේපීය හා එහි හින්දු අධිපතිවාදී සගයන් දශක ගනනක් තිස්සේ ගෙන ගිය  ප්‍රචන්ඩ උද්ඝෝෂනය නීත්‍යානුකූල කලේ ය. ශ්‍රේෂ්ඨාධිකරනයේ ම නියෝගයන්ට පැහැදිලි ලෙස විරුද්ධ ව, බීජේපීය විසින් පොලඹවන ලද හින්දු උන්මත්තකයන් බාබ්රි මස්ජීද් පල්ලිය විනාශ කරනු ලැබුව ද පසුගිය නොවැම්බරයේ එය පැවති අඩවිය බීජේපීයේ සගයන්ට ප්‍රදානය කල ශ්‍රේෂ්ඨාධිකරනය, “රාම් පන්සලක්” ඉදිකිරීමේ කටයුතු අධීක්ෂනය කරන ලෙස ආන්ඩුවට “නියෝග” කලේ ය. (බලන්න: කඩා දැමූ පල්ලිය පිලිබඳ තීන්දුවත් සමග ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය හින්දු අධිපතිවාදී ප්‍රචන්ඩත්වය නීත්‍යානුකූල කරයි).

ගෝලීය වසංගතයට ප්‍රතිචාරය දැක්වීමේ ආන්ඩුවේ විනාශකාරී ප්‍රතිපත්තිය විවේචනයන්ගෙන් ආරක්ෂා කරමින් ද, සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රොපගැන්ඩාව පල නොකරන්නේ නම් ව්‍යාජ තොරතුරු” පල කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට තර්ජනය කරමින් ද, කොවිඩ්-19 ගෝලීය වසංගතය මැද ‍ශ්‍රේෂ්ඨාධිකරනය යලි යලිත් ආන්ඩුවේ සහයට පැමින ඇත. (බලන්න: ඉන්දියාවේ ව්‍යසනකාරී අගුලු දැමීම මධ්‍යයේ මෝදි, කොරෝනා වෛරස් වාර්තා වාරනය කිරීමට උත්සාහ කරයි)

මෝදි ආන්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන ප්‍රහාරයේ දී, ශ්‍රේෂ්ඨාධිකරනය ලබාදෙන දුස්සහායට වඩාත් ම නිර්ලජ්ජිත උදාහරනය වන්නේ, කාෂ්මීරයට එරෙහි කුමන්ත්‍රනය එය විසින් අනුමත කිරීම යි. 2019 අගෝස්තු 5 වැනි දා ජම්මු කාෂ්මීරයේ විශේෂ ව්‍යවස්ථාමය තත්ත්වය විධායක නියෝගයක් මගින් අහෝසි කිරීම සමගින් ඇරඹුනු මෙයට, චෝදනා රහිත ව මහා පරිමානයෙන් රඳවා ගැනීම්, බ්‍රිතාන්‍ය විජිත පාලන සමයේ බලාත්මක කරන ලද අපරාධ විධි විධාන සංග්‍රහයේ 144වන වගන්තිය යටතේ මාස ගනනක් ඇඳිරි නීතිය පැනවීම, මේ වන විට 14 වන මාසයට එලඹී ඇති උතුරු කාෂ්මීර නිම්නයේ මිලියන 7ක් වන ජනතාවට අන්තර්ජාල ප්‍රවේශය ඇනහිටුවීම ආදිය අයත් ය.

ජම්මු කාෂ්මීරයෙහි තත්ත්වය වෙනස් කිරීමට සහ එය බෙදීම හරහා, මධ්‍යම ආන්ඩුව යටතේ ස්ථීර ව පාලනය කරන ප්‍රදේශ දෙකක් බවට එය පත්කිරීමට එරෙහි, කිසිදු නෛතික අභියෝගයක් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරනය විසින් එකහෙලා ප්‍රතික්ෂේප කොට ඇත්තේ, එය යලි වෙනස් කල නො හැක්කක් බවට පත්කිරීමේ අටියෙනි. අන්තර්ජාල සේවාව අත්හිටුවා තිබීමට කරන ලද අභියෝගයන් මාස ගනනක් තිස්සේ විමසීම නතර කල ශ්‍රේෂ්ඨාධිකරනය, එක් අවස්ථාවක දී කාෂ්මීරි ටයිම්ස් පත්රයේ කතුවරයාට අවවාද කලේ, එය ඉතා ඉක්මනින් පුනස්ථාපනය කරනු ඇතැයි යන ආන්ඩුවේ හා ඔත්තු සේවාවල කියාපෑම් විශ්වාස කරන ලෙස යි. ඉන්පසු ජනවාරියේ දී, අන්තර්ජාල ප්‍රවේශය සඳහා වන ව්‍යවස්ථාමය අයිතිය ස්ථාපිත කරන ලද නියෝගයක් එය විසින් නිකුත් කල ද කාෂ්මීර වැසියන් අන්තර්ජාලයට ප්‍රවේශ වීම වැලැක්වීම පිනිස ආන්ඩුවට හිතුමතේ වැඩකිරීමේ අවස්ථාව ලබා දුනි. (බලන්න: India’s Supreme Court greenlights Modi government’s internet shutdown in Kashmir).

අනෙකුත් රාජ්‍ය ආයතන මෙන් ඉන්දියාවේ අධිකරනය ද වඩ වඩා පුරවනු ලබන්නේ ආන්තික හින්දු ප්‍රජාගනවාදීන්ගෙනි. භෝදේට පෙර සිටි අගවිනිසුරු වූ රන්ජන් ගොගෝයිට, ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහල මන්ත්‍රී මන්ඩලයේ නම් කරන ලද අසුනක් ප්රදානය කරන ලද්දේ, බිමට සමතලා කරන ලද බාබ්රි මස්ජීද් පල්ලිය පිහිටා තිබූ ස්ථානයේ රාම් පන්සලක් ඉදිකිරීමට, ඔහු නායකත්වය දුන් අධිකරනය නෛතික අවසරය ලබාදීමෙන් යන්තම් මාස පහකට පසුව ය. අවුරුදු 65 සම්පූර්න වීම නිසා පසුගිය නොවැම්බරයේ අගවිනිසුරු ධුරයෙන් ඉවත් වීමට සිදු වූ ගොගෝයි, 2021 දී ඇසෑමයේ පැවැත්වෙන මීලඟ ප්‍රාන්ත මැතිවරනයේ දී බීජේපීයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ කරනු ඇතැයි වාර්තා වේ. ප්‍රශාන්ත් භුෂාන්ට උසාවිය විසින් පහර දෙනු ලැබීම, ඔහුට සංස්ථාපිතය සමග පවතින සබඳතා හේතුවෙන් සැලකිල්ලට ගත මනා ය. ඔහුගේ පියා 1970 ගනන් අග ජනතා පක්ෂ ආන්ඩුවේ නීතිය හා අධිකරන කටයුතු ඇමතිවරයා වූ අතර, ඔහුමත් ජාතික අගනුවර වන දිල්ලි ප්‍රාන්තයේ ආන්ඩු පක්ෂය වන ආම් ආද්මි පක්ෂයෙහි ආරම්භකයන් අතර සිටියේ ය.

පැහැදිලි ව ම ඔහුගේ විවේචන ඉතා සමීප ප්‍රහාරයන් විය.

පසුගිය වසර හය පුරා ශ්‍රේෂ්ඨාධිකරනයේ ක්‍රියාකලාපය හා ඉන් පෙර පැවති තත්ත්වය අතර තියුනු වෙනස්කමක් භුෂාන් විසින් අඳිනු ලැබුව ද යථාර්ථය වන්නේ, ඉන්දීය පාලක ප්‍රභූව, එහි පක්ෂ හා රාජ්‍ය ආයතන දශක ගනනක් තිස්සේ තියුනු දකුනට ගමන් කරමින් සිට ඇති බව යි. මෝදි, ඔහුගේ ඒකාධිපතිවාදී පියවරයන් හා නින්දිත ප්‍රජාගනවාදී දේශපාලනය වනාහි, ස්ටැලින්වාදී සීපීඑම් හා සීපීඅයි ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතයේ සහයෝගය සහිත ව, දීර්ඝ කාලයක් තිස්සේ කොංග්‍රස් පක්ෂය විසින් ක්‍රියාවට දැමූ, ඉන්දියාව ගෝලීය ප්‍රාග්ධනයේ ලාබ ශ්‍රම තිප්පොලක් බවටත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කනිෂ්ඨ සහකරුවෙකු බවටත් පත්කිරීමේ ඉන්දියානු ධනේශ්වරයෙහි දශක තුනක ධාවනයේ ප්‍රතිඵලය යි.

ඊට අමතර ව, මෙම ක්‍රියාවලියට ලොව පුරා සමාන්තරයන් පවතී. ලිබරලෙක් මෙන් පෙනී සිටින ප්‍රන්සයේ එම්මානුවෙල් මැක්රොන් වේවා, ෆැසිස්ට් පන්නයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ඔහුගේ බ්‍රසීලියානු මිත්‍ර හා අතවැසි හායර් බොල්සොනාරෝ හෝ වේවා, කවුරුන් විසින් නායකත්වය දුන්න ද ජාතික ව පාදිත විවිධාකාර ප්‍රතිමල්ලව ධනේශ්වර කල්ලි, වැඩෙන සමාජ විරෝධය මැඩලීමටත්, කම්කරු පන්තියට එරෙහි කම්පන හමුදා ලෙස අන්ත දක්ෂිනාංශිකයන් වගා දිගා කිරීමටත්, ඒකාධිපතිවාදී පාලන රූප වෙතට හැරෙමින් සිටිති.

ස්ටැලින්වාදී සීපීඑම් කියාපාන පරිදි, “අනාගමික” කොංග්‍රස් පක්ෂයේ වැරහැලි කටුවලට හෝ ඉන්දීය සමූහාන්ඩුවේ ශ්‍රේෂ්ඨාධිකරනයට සහ එහි අනෙකුත් කුනු වන “ප්‍රජාතන්ත්‍රවාදී” ආයතනවල එල්ලී සිටීමෙන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගත නො හැකි අතර, ආරක්ෂා නො වනු ද ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමෙත්, මෝදි හා ප්‍රජාගනවාදී ප්‍රතිගාමීත්වය පරාජය කීරීමේත් අරගලය කම්කරු පන්තිය මත පදනම් කල යුතු ය. පාලක ධනේශ්වර ප්‍රභූවේ සියලු කොටස්වලට හා පක්ෂවලට විරුද්ධ ව පීඩිතයන් තමන් වටා රැලි කරගන්නා වූ ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සමාජ සමානතාව සඳහා යුද්ධයට හා නව දිල්ලිය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග පවත්වාගෙන යන සන්ධානයට එරෙහි ස්වාධීන දේශපාලනික බලවේගයක් ලෙස ද කම්කරු පන්තිය බලමුලුගන්වනු ලැබිය යුතු ය.

Loading