ව්‍යවස්ථා සංශෝධනයේ ඉලක්කය ජනාධිපතිට ඒකාධිපති බලතල සම්පාදනය කිරීමයි

මෙම ලිපිය සැප්තැම්බර් 12 වැනි දා ඉංගිරිසි බසින් පල විය

පාර්ලිමේන්තුවෙන් අනුමත කල හොත්, විධායක ජනාධිපතිට දුරදිග යන ආඥාදායක බලතල ලබා දෙනු ඇත්තා වූ ව්‍යවස්ථාවෙහි 20 වැනි සංශෝධනයේ කෙටුම්පත, මේ මස මුල දී ශ්‍රී ලංකාවේ කැබිනට්ටුව විසින් අනුමත කරනු ලැබුනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුව හරහා කෙටුම්පත කඩිනමින් සම්මත කරගැනීමට සැලසුම් කරයි.

සංශෝධනයට නෛතික අනුමැතිය ලබා දී ඇති ශ්‍රී ලංකාවේ නීතිපති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක බහුතරයක් විසින් අනුමත කරන්නේ නම්, ව්‍යවස්ථානුකූල ව අවශ්‍ය වන ජනමත විචාරනයකින් තොර ව එය බලාත්මක කල හැකි යයි නිගමනය කර ඇත.

අගෝස්තු 5 වැනි දා පැවති මැතිවරනයේ දී මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 145ක් දිනාගත් ශ්‍රීලපොපෙ, මහජනතාවට හොරා කූටෝපායන් හරහා තුනෙන් දෙකක බහුතරයකට අවශ්‍ය මන්ත්‍රීන්ගේ සහයෝගය සුරක්ෂිත කරගැනීමට අපේක්ෂා කරයි.

රාජපක්ෂ හා ඔහුගේ  ශ්‍රීලපොපෙ ජනාධිපතිගේ සමහර බලතල සීමා කල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරනවල දී උද්ඝෝෂනය කල හ. රට “සංවර්ධනය කිරීම” සඳහා “ශක්තිමත් හා ස්ථාවර” ආන්ඩුවක් ස්ථාපිත කිරීමට මෙය අවශ්‍ය බව ඔවුහු කියාපෑ හ.

මෙය මුසාවාදයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලන තන්ත්‍රය කෙරෙහි පැවති මහජන විරෝධය ගසාකමින් බලයට පැමිනි ජනාධිපති රාජපක්ෂට කම්කරු පන්තිය මතට කඩාපැනීමට ආඥාදායක බලතල අවශ්‍ය ය. කොවිඩ්-19 වසංගතය රටෙහි ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය ගැඹුරු කර ඇත. රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි මත ආන්ඩුව හා හාම්පුතුන් තීව්‍ර කරන ප්‍රහාරවලට විරුද්ධ ව කම්කරුවන් හා දුගීන් අතර කෝපය වැඩෙමින් පවතී.

ජනාධිපතිගේ විධායක බලතල සමහරක් සීමා කල 19 වැනි සංශෝධනය, 2015 අප්‍රේල් මාසයේ දී සිරිසේන- වික්‍රමසිංහ පාලනය විසින් සම්මත කරන ලදී. මෙම සීමාකිරීම්වලට අනුව, ජනාධිපතිට ඉහල රාජ්‍ය නිලධාරීන් හා විනිසුරුවරුන් පත්කල හැක්කේ ව්‍යවස්ථා සභාවක අනුමැතිය මත පමනි; ඇමතිවරුන් තෝරාගැනීමේ දී හා ඔවුන්ගේ වැඩකටයුතු බෙදා දීමේ දී ජනාධිපති අගමැතිගේ උපදෙස් පැතිය යුතු ය; ජනාධිපතිට ධුර කාල දෙකක් පමනක් දැරිය හැකි අතර, පාර්ලිමේන්තුවේ පස් අවුරුදු කාලසීමාවෙන් අවුරුදු හතරහමාරක් ගත වන තෙක් ඔහුට එය විසිරවිය නො හැකි ය. 

1978 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරන ලද වෛරයට පාත්‍ර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පොරොන්දු වෙමින් සිරිසේන බලය දිනාගත්තේ ය. සිරිසේනට පෙර ජනාධිපතීන් දෙදෙනෙක් ම, එනම් චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ ද බලයට පැමිනීමට පෙර එම පොරොන්දුව ම දුන්නත් පසු ව එය අතහැර දමා විධායක බලතල උපරිමයෙන් ම යොදා ගත්හ.

තම පූර්වගාමියා මෙන් ම, තම පොරොන්දුව ඉවත දැමූ සිරිසේන, 19 වැනි සංශෝධනය හඳුන්වා දුන්නේ ය. දෙමල ජාතික සන්ධානය (දෙජාස), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා විවිධ ව්‍යාජ-වාම කන්ඩායම් සිරිසේනගේ සංශෝධනය “ප්‍රජාතන්ත්‍රවාදයෙහි ජයග්‍රහනයක්” යි ව්‍යාජ ලෙස ප්‍රකාශ කල හ.

ජනාධිපතිවරයාගේ ධුර කාල දෙකේ සීමාව පවත්වාගැනීම හැරුනු විට, ශ්‍රීලපොපෙහි 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත, දැනට පවතින සියලු ව්‍යවස්ථාමය සීමාවන් ඉවත් කොට, ජනාධිපතිට පහත දැක්වෙන බලතල ප්‍රදානය කිරීමට සැලසුම් කරයි:

∙ජනාධිපතිට අගමැති පත්කිරීම හා ඉවත් කිරීම කල හැකි අතර, ඇමතිවරු පත්කිරීමේ දී අගමැතිගේ උපදෙස් විමසීම අවශ්‍ය නැත. මේ වන විට, ව්‍යවස්ථා-විරෝධී ලෙස ආරක්ෂක අමාත්‍ය ධුරය දරන රාජපක්ෂ, මූලික රාජ්‍ය ආයතන 23ක් අධීක්ෂනය කරයි.

∙පාර්ලිමේන්තුවේ පස් අවුරුදු කාලසීමාවෙන් අවුරුද්දක් ගෙවී ගිය තැන, ජනාධිපතිට එය විසුරුවා හැරිය හැකි ය.

∙සාපරාධී චෝදනා නැගීම ඇතුලු කිසිදු නඩු පවරනු ලැබීමකින් ජනාධිපතිවරයා නිදහස් වනු ඇති අතර, ඔහුට විරුද්ධ ව මූලික අයිතිවාසිකම් නඩු ගොනු කල නො හැක. 

∙ජනාධිපතිට මැතිවරන, පොලිස්, රාජ්‍ය සේවා, මානව හිමිකම්, අල්ලස්, දූෂන හා මූල්ය කොමිසම්වල සභාපතිවරුන් මෙන් ම ඉහල විනිසුරුවරුන්, නීතිපති හා අනෙකුත් ඉහල නිලධාරීන් පත්කල හැක. අගමැති, කථානායක හා විපක්ෂ නායක සාමාජිකයන් ලෙස ඇතුලත් වීමට යෝජිත පාර්ලිමේන්තු කවුන්සිලයක් සමග මෙම පත්කිරීම් සාකච්ඡා කරනු ලැබිය හැකි ය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කවුන්සිලයට සම්බන්ධ වීම අත්‍යවශ්‍ය නො වනු ඇත.

තවද, ශ්‍රේෂ්ඨාධිකරනයේ කවර හෝ නෛතික අභියෝගයක් මග හරිමින් “හදිසි පනත් කෙටුම්පත්” පැය 24ක් තුල පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීමට ආන්ඩුවට හැකිවනු ඇත. පාර්ලිමේන්තුව කවර හෝ කෙටුම්පතකට කරන සංශෝධනයන් එම කෙටුම්පතේ “හරයන් හා මූලධර්මවලින්වලින්” අපසරනය නොවිය යුතු ය. එනම්, පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතකට ප්‍රධාන වෙනස්කම් කල නො හැකි ය. මෙම වගන්තිය 1978 ව්‍යවස්ථාවේ නොවූවකි.

එහෙත් මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී පියවරයන්ගෙන් ද ඔබ්බට යාමට ජනාධිපති රාජපක්ෂට අවශ්‍ය ය. වත්මන් ව්‍යවස්ථාවෙහි “අයෝග්‍යතාව” හේතුවෙන් 19 වතාවක් එය සංශෝධනය කරනු ලැබ ඇති බව කියා පාන ඔහු, “එක් රටක්, සියලු ජනයාට එක් නීතියක්” යන්න මත පදනම් වන නව ව්‍යවස්ථාවක් සඳහා කැඳවුම් කර ඇත. දෙමල හා මුස්ලිම් සුලුතරයන්ට සම්බන්ධ ව පවතින නීතිවලට වලකපනු ඇති එවන් පියවරක්, ප්‍රජාගනවාදී වෙනස්කම් කිරීම වැඩි දුර තහවුරු කරනු ඇත. රාජපක්ෂගේ කැබිනට්ටුව, ප්‍රධාන වශයෙන් රාජපක්ෂ සට්ටැඹියන්ගෙන් සමන්විත වන, නව දෙනෙකු සාමාජිකත්වය දරන “විශේෂඥ කමිටුවක්” නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් ව්‍යවස්ථාව, 1978 දී, එවක එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් ස්ථාපිත කරනු ලැබුනි. එය ජේ. ආර්. ජයවර්ධන රටේ පලමු විධායක ජනාධිපති ලෙස පත් කොට, පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට හරවා, අධිකරනය කීකරු ආයතනයක් බවට පත් කලේ ය. කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ අයිතීන් කප්පාදු කරමින්, ලාබ ශ්‍රම කොන්දේසි නිර්මානය කරමින් හා සියලු සමාජ විරෝධයන් තලා දමමින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතල ලෙස වෙනස් කොට එය භූගෝලකෘත නිෂ්පාදනයට ඒකාග්‍ර කිරීම පිනිස, 1978 ව්‍යවස්ථාව ස්ථාපිත කරන ලදී.

1948 නාමික නිදහසෙන් අනතුරු ව, කම්කරු පන්තිය බෙදා එය දුර්වල කිරීම පිනිස අනුප්‍රාප්තික පාලන තන්ත්‍රයන් විසින් යොදාගන්නා ලද විෂකුරු ආයුධයක් වූ, සැලසුම් සහගත දෙමල-විරෝධී ප්‍රජාගනවාදී ප්‍රකෝපකරනයන්ගෙන් ඉක්බිති ව, ජයවර්ධන ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ව දශක තුනක් තිස්සේ ඇදී ගිය සිවිල් යුද්ධය ආරම්භ කලේ ය. ආන්ඩුව ජීවන හා සමාජ කොන්දේසිවලට එල්ල කල ප්‍රහාරයන්ට විරුද්ධ ව, 1980 ජූලි මාසයේ රාජ්‍ය අංශයේ සේවකයන් ආරම්භ කල මහා වැඩ වර්ජනයේ දී, සේවකයන් 100,000ක් පමන නෙරපා දැමීම සඳහා ද විධායක බලතල යොදාගන්නා ලදී. 

රාජපක්ෂ නායකත්වය දෙන වත්මන් ආන්ඩුව, හුදෙක් 1978 ව්‍යවස්ථාව කරා ආපසු යමින් සිටිනවා නොවේ. කොවිඩ්-19 ගෝලීය වසංගතයෙහි වැඩෙන බලපෑමේ ප්‍රතිඵලයක් වන අපනයන, සංචාරක කර්මාන්තය හා විදේශ ප්රේෂන ඇදවැටීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය ගැඹුරු අර්බුදයක එරී ඇත. මුදල් හිඟයෙන් පීඩිත ආන්ඩුවට, විදෙස් නය ගෙවීම් සඳහා 2024 තෙක් වාර්ෂික ව එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් ගෙවීමට තිබෙන කොන්දේසි යටතේ, මේ වසරේ ආර්ථික වර්ධනය සියයට ඍන තුනක් වේ යයි තක්සේරු කරනු ලැබ ඇත.

කම්කරු අමාත්‍යංශයේ සමීක්ෂනයකට අනුව, පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප් අවම වසයෙන් සියයට 30කින් කපා දමා, නිෂ්පාදන අංශයේ රැකියා 400,000ක් විනාශ කරනු ලැබ ඇත. ජාත්‍යන්තර ව වැඩෙන කම්කරු ප්‍රතිරෝධයේ කොටසක් ලෙස, රට පුරා සමාජ ආතතීන් ඉහල යමින් පවතී.

ඒකාධිපති පාලනයකට රාජපක්ෂගේ සූදානම, ඔහුගේ ජාත්‍යන්තර සහකරුවන් ෆැසිස්ට්වාදී හා ආඥාදායක පාලන රූප කරා ගන්නා පියවරයන් සමග එක පෙලට පිහිටයි. එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ෆැසිස්ට්වාදී කන්ඩායම් බලමුලුගැන්වීමට උත්සාහ දරන්නේ, කම්කරුවන්ට සහ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි ව විරෝධය දක්වන්නන්ට එරෙහි ව මර්දනය මුදාහරිද්දී ය. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, මුස්ලිම්-විරෝධී ප්‍රහාර තීව්‍ර කරමින් ද කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව යොදාගැනීමට අන්ත-දක්ෂිනාංශික කොටස් අවුලුවාලමින් ද සිටී.

දැනටමත්, සේවයේ යෙදෙන හා විශ්‍රාමික මිලිටරි නිලධාරීන් තම පරිපාලනයට පත්කොට ඇති රාජපක්ෂ, මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා වන පදනම් නිර්මානය කරමින් සිටී.

ආඥාදායකත්වයක් දෙසට වන ආන්ඩුවේ පියවරයන් සමග මූලික මතභේද නොමැති ඊනියා විරුද්ධ පක්ෂ ද ධනවාදයට හා ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව කෙරෙහි කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන විරෝධයට ආන්ඩුව මෙන් ම භීතියට පත් ව සිටිති.

එජාප, සමගි ජන බලවේගය (සජබ), දෙජාස, ජවිපෙ හා මුස්ලිම් පක්ෂ, ජනාධිපති කොවිඩ්-19 වසංගතයට දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රශංසාවට ලක් කරමින් හා එයට තමන්ගේ සහයෝගය පුදකරමින්, මාර්තු 24 හා අප්‍රේල් 2 වැනි දා පැවති සර්ව-පාක්ෂික සම්මේලන දෙකට සහභාගි වී, රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව ශක්තිමත් කර ඇත. අගෝස්තු 20 වැනි දා, සියලු විරුද්ධ පක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශයට ඡන්දයකින් තොර ව අනුමැතිය ලබා දුන් හ.

මේ සතියේ කොලඹට ආසන්න ප්‍රදේශවල විරෝධතාවක් පැවැත්වූ සජබ, “ජනතාව බලමුලුගන්වමින්” 20 වැනි සංශෝධනය පරාජය කරන බවට “පොරොන්දු” විය. මහජනතාව රැවටීමත්, ඔවුන් පාර්ලිමේන්තු ආයාචනාවන්ගේ ආවෘත අන්තය වෙතට අපසරනය කිරීමත් මෙම පූච්චානමේ ඉලක්කය යි.

එලෙස ම, ජවිපෙ ද රාජපක්ෂ ආන්ඩුවේ ආඥාදායක සැලසුම්වල සැබෑ අන්තරාය ආවරනය කිරීම මගින් කම්කරු පන්තිය අවමංගත කිරීමට උත්සාහ දරයි. නව ව්‍යවස්ථා සංශෝධනය “රටෙහි අවශ්‍යතාවන් පිනිස නො වන” බවත්, එක් කොටසක, එනම් රාජපක්ෂ පවුලේ “දේශපාලන ප්රතිලාභය” අරමුනු කරගත්තක් බවත්, සැප්තැම්බර් 4දා පැවති මාධ්‍යහමුවක් අමතමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ ය.

ඒ හා සමාන ව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධාන, මෙම දක්ෂිනාංශික පක්ෂ හා වෘත්තීය සමිති සමග පෙලගැසී ඇත්තේ, කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන බලමුලුගැන්වීමක් වැලැක්වීමට යි.

“තනි පුද්ගලයෙකුගේ ඒකාධිපති පාලනය රටට විනාශය කැඳවනු ඇත” යයි සැප්තැම්බර් 4 වැනි දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කල පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, 20 වැනි සංශෝධනයට විරුද්ධ වන ලෙස ආන්ඩුවේ මන්ත්‍රීන්ට නිහීන ආයාචනයක් නිකුත් කලේ ය. අගෝස්තු 5 මහ මැතිවරනයෙන් අනතුරු ව, ජයගොඩ ප්‍රකාශ කලේ පෙසප “වාම, සුලුධනේශ්වර හා දක්ෂිනාංශික පක්ෂවල ප්‍රගතිශීලී කොටස් සමග ... පොදු ප්‍රශ්නවල දී වැඩකිරීමට සූදානම්” බව යි.

ශ්‍රී ලංකාව තුල වැඩෙන ඒකාධිපති පාලනයේ අන්තරාය පිලිබඳ කම්කරු පන්තියට එක දිගට ම අනතුරු අඟවා ඇති එක ම සංවිධානය සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. ආන්ඩුවේ හෝ විපක්ෂයේ පක්ෂවලට කරන කිසිදු ආයාචනයක්, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව විසින් ඉදිරියට දමමින් සිටින දක්ෂිනාංශික ප්‍රජාතන්ත්‍ර-විරෝධී න්‍යාය පත්‍රය වෙනස් නො කරනු ඇත.

කම්කරු පන්තියට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ, ධනපති පන්තියේ සෑම කන්ඩායමකින් ම බිඳී වෙන්වෙමින් හා විප්ලවීය සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත තමන්ගේ ම ස්වාධීන අවශ්‍යතා මත බලමුලුගැන්වීමෙන් පමනි. මෙහි අර්ථය වන්නේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයේ දී වාර්ගික රේඛා කපාගෙන කම්කරුවන්ගේ ඒකාබද්ධතාව සඳහාත්, ගම්බද දුගීන් රැලි කරගැනීම පිනිසත් සටන් වැදීම යි. 

කතුවරු නිර්දේශ කරන තවත් ලිපි:

මැතිවරනයෙන් පසු ජනාධිපති රාජපක්ෂ ඒකාධිපති පාලනයක් දෙසට ගමන් කරයි

[2020 අගෝස්තු 26] 

ශ්‍රී ලංකාවේ ඒකාධිපති, වර්ගවාදී රාජපක්ෂ තන්ත්‍රයට විරුද්ධව සටන් කිරීම සඳහා කම්කරුවන් සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල මත පදනම් විය යුතුය

[2019 දෙසැම්බර් 8] 

Loading