කොවිඩ්-19 මැඬලීමට මුවා වෙමින් පාර්ලිමේන්තු "විපක්ෂ" ආන්ඩුවට දෑත් දිගු කරයි

නොවැම්බර් 3 වැනි දා පැවති පාර්ලිමේන්තු 'විවාදයේ' දී, විරුද්ධ පක්ෂ ආන්ඩුවට එරෙහි තම පූච්චානම් විවේචන තිබිය දී ම, එකා පසුපස එකා පෙල ගැසෙමින්, කොවිඩ්-19 මර්දනය කිරීමේ කඩතුරාව යටතේ, ආන්ඩුව සමග 'ජාතික ඒකාබද්ධතාවකට' ඇති සූදානම ප්‍රකාශ කර සිටියහ.

මෙහි දී, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර දිසානායක, ආන්ඩුව පිලිබඳ සුපුරුදු ව්‍යාජ විවේචනවලින් පවා බැහැර වෙමින්, 'ජාතික යාන්ත්‍රනයක්' සඳහා තම සූදානම ප්‍රකාශ කර සිටියේ ය. “අපි එකිනෙකාට විවේචනය කර ගන්න පුලුවන්. හැබැයි ඉන් මේ ව්‍යසනයෙන් කිසිසේත් මිදෙයි කියලා අපි විශ්වාස කරන්නෙ නෑ. … ආන්ඩුව පැත්තෙන් මෙය ජාතික ව්‍යසනයක් ලෙස තේරුම් ගෙන ජාතික යාන්ත්‍රනයක් සකස් කරන්න. මේ තත්ත්වය හමුවේත් අපි බෙදෙනවා නම්, මේ තත්ත්වය හමුවේත් අපි දේශපාලන සූදුවක යෙදෙනවා නම් එය යුක්ති සහගත නෑ.” යැයි එහි දී ඔහු පැවසී ය.

දිසානායකගේ මෙම ප්‍රකාශය කලේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, “මාස 8ක් තිස්සේ” කොවිඩ්-19 වසංගතයට මුහුන දීම සඳහා සෞඛ්‍ය සේවා පුලුල් නොකිරීම ගැන සිදු කල ව්‍යාජ විවේචනයකට අනතුරු ව ය. “දේශපාලනය ගාව ගෙන රට විනාශ කලා ඇති. දැන්වත් නිවැරදි දැක්මක් තුලින් කොරෝනාව පාලනය කරන ඒ වගේ ම විනාශ කරන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න. විපක්ෂයේ අපි හැමෝ ම ලෑස්තියි සහයෝගය ලබා දෙන්න. අපි හැමෝ ම කැඳවලා මේ කරුනු සාකච්ඡා කරන්න” යැයි ප්‍රේමදාස 'සර්ව පාක්ෂික සමුලුවක්' සඳහා තම යෝජනාව පෙරට දැම්මේ ය.

දිසානායකගේ කතාවෙන් පසු මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම්, “ආපදා කලමනාකරන පනත යටතේ පවතින ආපදා කලමනාකරන ජාතික කවුන්සිලය පිහිටුවා විපක්ෂයටත් ඒ සඳහා සහභාගිවීමට අවස්ථාව දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරනවා” යැයි පවසමින් ආන්ඩුව සමග පෙල ගැසීමේ තමන්ගේ උත්සුකතාව ද පල කර සිටියේ ය.

කොවිඩ්-19 වසංගතය වැඩි වර්ධනය වීමේ ප්‍රධාන ගෝලීය සාධකයක් වන්නේ ලොවපුරා අනුප්‍රාප්තික ධනපති ආන්ඩු පසුගිය දශක කීපය පුරා මහජන සෞඛ්‍ය සේවාවන් තුල සිදු කරන ලද දැවැන්ත කප්පාදුවයි. එම කප්පාදු හරහා පක්ෂාඝාත කරනු ලැබූ සෞඛ්‍ය සේවයට, සීඝ්‍රයෙන් පැතිර යන වසංගතය පාලනය කර ගත නොහැකි වීම සම්බන්ධයෙන්, වත්මන් ආන්ඩුව පමනක් නොව, අනුප්‍රාප්තික ආන්ඩු සහ ඒවා බලයට ගෙන ඒමට සහ පවත්වා ගෙන යාමට පිටුබලය දුන් සියලු දේශපාලන ප්‍රවනතා එක සේ වග කිව යුතු ය.

විරුද්ධ පක්ෂ විසින් යෝජනා කරනු ලබන 'ජාතික ඒකාබද්ධතාව' පිටුපස, වසංගතයෙන් මහජනතාව මුදවා ගැනීමේ කවර හෝ උත්සුකයක් නොමැත. ඔවුන් සැබැවින්ම උත්සුක වන්නේ, වසංගතයෙන් උග්‍ර කෙරී පවතින, ආන්ඩුවේ සහ සමස්තයක් ලෙස ධනපති පාලක පංතියේ දේශපාලනික සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙනි.

වසංගතයේ ව්‍යසනකාරී වර්ධනය හේතුවෙන් මුහුන දීමට සිදුව ඇති අන්තරායකාරී තත්වය සහ ජීවන කොන්දේසි වලට එල්ල කෙරෙමින් පවතින දැවැන්ත ප්‍රහාරය හමුවේ, කම්කරු-පීඩිත මහජනතාව අතර ආන්ඩුව කෙරෙහි වැඩෙමින් පවතින්නේ බලගතු විරෝධයකි. එය සමස්ත ධනපති ක්‍රමයට එරෙහි සමාජ පුපුරා යාමක් දෙසට වැඩෙතැයි ධනපති පංතියේ සියලු කොටස් භීතියට පත්ව සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ පරිමාව කෙතෙක් ද යන්න, පසුගිය ඔක්තෝබර් 29 වැනි දින ප්‍රකාශයට පත් වූ ගෝල්ඩ්මන් සැච් වාර්තාවෙන් එලිමහනට පැමිනෙයි. එය, ශ්‍රී ලංකාව ස්වෛරී බැඳුම්කර නය ගෙවීම පැහැර හැරීමේ ඉහල සම්භාවිතාවක් ඇති රටක් වශයෙන් වර්ගීකරනය කරයි. සැප්තැම්බරයේ දි, මූඩිස් බැඳුම්කර ශ්‍රේනිගත කිරීම්වලින් ද ලංකාව පහලට ඇද වැටුනි. මීට අමතරව, මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5 කින් හැකිලෙන බවට ලෝක බැංකුව අනුමාන කර ඇත.

මෙම තතු තුල, ආන්ඩුවෙහි න්‍යාය පත්‍රයෙහි ඇත්තේ, සෞඛ්‍ය සේවය ඇතුලු සුබසාධන ක්ෂේත්‍රයන් වර්ධනය කිරීම නොව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන්ට අනුව, එම සේවාවන් දැවැන්ත කප්පාදුවකට ලක් කිරීම සහ රාජ්‍ය ක්ෂේත්‍රයේ දහස් සංඛ්‍යාත රැකියා වනසමින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහකරනය සහ පුද්ගලීකරනය වේගවත් කිරීමයි.

ආන්ඩුවට එරෙහිව දැනටමත් වැඩෙමින් පවතින මහජන කෝපය, මෙම ප්‍රහාර හමුවේ දැවැන්ත පංති අරගල ලෙස පුපුරා යාමට නියමිත බව ආන්ඩුව මෙන්ම විරුද්ධ පක්ෂ ද හොඳින් දනී. මිලිටරීකරනය වේගවත් කරමින් සහ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් රාජපක්ෂ සූදානම් වන්නේ එම අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම අරමුනු කරගත් ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කර ගැනීමටයි. විරුද්ධ පක්ෂ සියල්ල තම දෑත් දිගු කරන්නේ මෙම මුර්ග වැඩපිලිවෙලටයි.

ජනාධිපති රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වීමේ පටන් ඔහු ආඥාදායක පාලන තන්ත්‍රයක් වෙතට තැබූ පියවර කිසිවක් විවේචනය නොකල මෙම 'විපක්ෂ' ආන්ඩුව සමග අප්‍රකාශිත සන්ධානයක සිටියහ. වසංගතය ශ්‍රී ලංකාව තුල පැතිර යාමට පටන් ගැනීමත් සමග ම ජවිපෙ සර්ව පාක්ෂික සමුලුවක් ඉල්ලා සිටි අතර මාර්තු 24 සහ අප්‍රේල් 2 වැනි දින පැවත් වුනු එම සමුලුවලට, දෙමල සහ මුස්ලිම් ධනපති පක්ෂ ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම පක්ෂ සහභාගී වූහ.

මහා පරිමාන පීසිආර් පරීක්ෂනයන් දියත් කිරීම සහ රෝහල් ධාරිතාව පුලුල් කිරීම ඇතුලු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාමනයන් ප්‍රතික්ෂේප කරමින්, වසංගතයට මුවා වී මිලිටරීකරනය තීව්‍රකල රාජපක්ෂ ආන්ඩුව ප්‍රශස්ත ආකාරයෙන් වසංගතයට ප්‍රතිචාර දක්වමින් සිටින බව පැවසූ මෙම ධනපති පක්ෂ සියල්ල, ආන්ඩුවේ එම වැඩපිලිවෙලට තම පූර්න සහයෝගය ලබාදෙන බවට සපථ වූහ.

වසංගතයට මුවා වෙමින් මහ ව්‍යාපාරයන්ට මූල්‍ය සහන පිරිනැමීම සහ කම්කරු ආරක්ෂන නීති රෙගුලාසි අහෝසි කර දැමීම මෙම සර්ව පාක්ෂික සමුලුවල ප්‍රධාන ඉලක්කයක් විය. ආන්ඩුව බැංකු පද්ධතියටත් මහා ව්‍යාපාරිකයන්ටත් ප්‍රමානවත් සහන නොසැපයීම ජවිපෙත්, එක්සත් ජාතික පක්ෂයේත්, සජබයේත් විවේචනයට ලක් විය.

එමෙන්ම, වසංගතය පැතිරෙමින් පැවතියදීම රට අගුලු දැමීම හැකි ඉක්මනින් ඉවත්කොට ධනපතියන්ගේ ලාභ ඉපැයීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් පනගැන්වීමට, ව්‍යසනකාරී ලෙස කම්කරුවන් යලි වැඩට දැක්කීමට සහ පාසැල් විවෘත කිරීමට ආන්ඩුව පියවර ගනිද්දී, මේ සියලු විරුද්ධ පක්ෂ, එයට තම සහයෝගය ලබා දුන්හ.

මේ දිනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ දෛනික ව පැවැත් වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා සාකච්ඡාවල දී, රාජපක්ෂගේ මන්ත්‍රය වී ඇත්තේ අගුලු දැමීම් පවත්වාගෙන යාමෙන්, වසංගතයට “රටේ ආර්ථිකය' බිලිදිය නොහැකි බවයි. 'සෞඛ්‍යාරක්ෂන නීති' දැඩිව පිලිපදිමින් වසංගතය සමග සියලු දෛනික වැඩකටයුතුවල නිරතවීම 'නව සාමාන්‍යය' බව ආන්ඩුව කියා සිටී. ඊනියා විපක්ෂ දෑත් දිගු කරන්නේ මෙම සාපරාධී පිලිවෙතටයි.

මෙම පිලිවෙතේ රුදුරු ප්‍රතිවිපාක කම්කරුවෝ දෛනිකව අත් විඳිමින් සිටිති. පසුගියදා, කොග්ගල කර්මාන්ත කලාපයේ නිරෝධායනය කර සිටි කම්කරුවන් පොලීසිය මැදිහත් කරවමින් බලහත්කාරයෙන් වැඩට දැක්කීම සහ වරාය කම්කරුවන් අනාරක්ෂිත කොන්දේසි යටතේ සේවයේ යොදවනු ලැබීම ලෝසවෙඅ වාර්තා කර ඇත. කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ යෝජනා කර ඇති ඇඟලුම් සහ කෘෂිකර්මාන්ත සඳහා වන “ජෛව ආරක්ෂන බුබුලු” යටතේ ඇඟලුම් සහ වතුකම්කරුවන් අතරේ වසංගතය පැතිර යද්දී ම ඔවුන් දිගින් දිගට ම සමාජයෙන් බලාත්කාරයෙන් හුදෙකලා කොට වැඩට යොදවා ගැනීමක් ගැන ඉඟියකි.

නොවැම්බර් 8 වැනි දා, මාධ්‍යයට කල ප්‍රකාශයක දී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහා ව්‍යාපාරිකයන් වෙනුවෙන් ආර්ථිකය විවෘත කර දීමට තම එකඟතාව පල කලේ “රට විවෘත ව තබා ගෙන වසංගතයට මුහුන දීමට යනවා නම්” එවැනි තත්ත්වයක දී “සියලු බලවේග ඒකරාශි කර ගත් දිගුකාලීන වැඩපිලිවෙලක්” පැවතිය යුතු බවට අවධාරනය කරමිනි. ආන්ඩුව දැනට ගෙනයන වැඩපිලිවෙලට තම “ගෞරවය පුද කරන බව” සඳහන් කල සිල්වාගේ විවේචනය තමන් එම වැඩපිලිවෙලට එක්කර නොගැනීම සම්බන්ධයෙනි.

ඉතිහාසයේ මෙවන් අර්බුදකාරී අවස්ථාවන්හි දී, කම්කරු පංතියෙන් එල්ල වන අභියෝගයන්ට මුහුනදීම සඳහා ධනපති පංතිය 'ජාතික ඒකාබද්ධතාවන්ට' පැමිනි අවස්ථා පිලිබඳ උදාහරනයන්, ජාතිකවත්, ජාත්‍යන්තරවත් බහුලය. කොවිඩ්-19 වසංගතය මගින් තීව්‍ර කෙරුනු ජාත්‍යන්තර පංති අරගල රැල්ල හමුවේ, ලොවපුරා පාලක පංතීන් එවන් ඒකාබද්ධතාවන්ට වෙිගයෙන් යොමු වෙමින් පවතී. ජෝ බිඩන් ඇමරිකානු ජනාධිපතිවරනය ජයගත් සැනින්, 'ජාතික එකමුතුවක්' සඳහා රිපබ්ලිකන් පක්ෂයේ නායකයන්ට ආරාධනා කිරීම ඒ පිලිබඳ බලගතු උදාහරනයකි.

ශ්‍රී ලංකාවේ ඊනියා විරුද්ධ පක්ෂ මගින් ප්‍රකාශයට පත්ව ඇත්තේ මෙම ජාත්‍යන්තර ප්‍රවනතාවයි.

Loading