වැටුප් වර්ධක ලබාදෙන බවට පාලකයන් දුන් පොරොන්දුව මත ඔකායා ලංකා කම්කරුවෝ වර්ජනය නතර කරති

කප්පාදු කල වාර්ෂික වැටුප් වර්ධක ලබා දීමට පාලකයන් දුන් පොරොන්දුව මත, සිකුරාදා සිය අඛන්ඩ වර්ජනය නතර කල කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ඔකායා ලංකා කම්කරුවෝ, සෙනසුරාදා සිට යලි වැඩට යාමට තීන්දු කල බව ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලහ. මූලිකව රුපියල් 1000 ක් සහ සේවා කාලයට අනුව වසරකට රුපියල් 100 බැගින් එකතුවන පරිදි වාර්ෂික වැටුප් වර්ධක ලාබාදීමට පාලකයන් පොරොන්දු වී ඇත. වර්ජනයට කම්කරුවන් 500-600 ක් පමන සහභාගී වී සිටි අතර සමාගමේ පාලකයන්ගේ සහ ආන්ඩුවේ තර්ජන නොතකා ඔව්හු දින 10 ක් අඛන්ඩ සහ සටන්කාමි අරගලයක යෙදී සිටියහ.

ඔකායා ලංකා කම්කරුවන් නොවැම්බර් 18 වෙනිදා සිට විරෝධතා උද්ඝෝෂනයක් ආරම්භ කලේ කොරෝනා වසංගතය නිසා ආයතනය පාඩු ලබන බව පවසා, වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 700 දක්වා පාලකයන් විසින් කප්පාදු  කරනු ලැබීමට එරෙහිවය. නොවැම්බර් 18 වෙනිදා කලුපටි පැලඳගෙන වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ කම්කරුවෝ, පසුදින සිට  කලුපටි පැලඳගෙන, සීමිත පැය ගනනක් පමනක් වැඩ කලහ. 

වසා දැමු නිදහස් වෙලඳ කලාප පිවිසුම අසල විරෝධය දක්වන ඔකායා ලංකා කම්කරුවන්

කම්කරුවන්ගේ අරගලය කඩාකප්පල් කර සමාගමේ තීන්දුවට ඔවුන් ව අවනත කර ගැනීම සඳහා පාලකයන් සහ ආන්ඩුවේ  පාර්ශ්වයෙන් පොලීසිය, කම්කරු දෙපාර්තමේන්තුවේ හා ආයෝජන මන්ඩලයේ නිලධාරීන් බලගතු උත්සාහයක යෙදුනි. ඔකායා ලංකා පාලකයන්ගේ හඬ ප්‍රතිරාවය කරමින් පොලීසිය, කම්කරු දෙපාර්තමෙන්තුවේ හා ආයෝජන මන්ඩලයේ නිලධාරීන්  ආයතනය පාඩු ලබන නිසා වර්ජනය නතර කර වැඩට යන ලෙස යලි යලිත් බලපෑම් කර ඇත. 

නොවැම්බර් 27 වෙනිදා  අලුයම 5.00-6.00 අතර සාමාන්‍ය පරිදි ආයතනයේ බස් රථවලින් කම්හල වෙත ගමන් කරමින් සිටි කම්කරුවන්ව කනිවෙක යේ පිවිසුම් දොරටුව අසල දී බලහත්කාරයෙන් බස්සවා පාලකයින්ගේ යෝජනාව වන රුපියල් 700 යේ වාර්ෂික වැටුප් වර්ධකයට එකඟ කම්කරුවන් පමනක් පොතක අත්සන් කර ඇතුලට යන ලෙසත් අනෙක් අයට ආපසු  යන ලෙසත්  කම්හල් පරිපාලන නිලධාරීන් තර්ජනය කර ඇත. 

සියලුම කම්කරුවන් එයට විරෝධය පලකරමින් කම්හල් පරිපාලන නිලධාරීන්ගේ අන  නොතකා කම්හල වෙත ගොස් තිබේ. පාලකයන් කම්හලේ  ගේට්ටුවට අගුලු දමා වසා තිබු අතර කම්කරුවන් බිය ගැන්වීම සඳහා  සන්නද්ධ පොලිස් නිලධාරීන් කම්හල අවට යොදවා තිබුනි. ගේට්ටුව වෙත පැමිනි කම්හලේ මානව සම්පත් අංශයේ නිලධාරීන් "ඔයාල නීතිය මාර්ගයෙන් ඇතුලට එන්න ද හදන්නේ. කොරෝනා වසංගතය තියෙද්දී ඔක්කොම එකතු වෙලා මොනව ද කරන්නේ" යනුවෙන් පවසා කම්කරුවන් ව ආපසු හරවා යැවීමට උත්සාහ කර ඇත. බලහත්කාරයෙන් තමන්ව බස්රථ වලින් බැස්සවීමට විරෝධය පලකල කම්කරුවෝ ගේට්ටුව අසලින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

අනතුරුව එතැනට පැමිනි ජපන් ජාතික ප්‍රධානියා වන කම්හල් කලමනාකරු “ඔයාල දැන් ඔච්චර කලබල වෙන්න ඕනෑ නැහැ, ඔයාලට අවසාන උත්තරයක් අද දෙන්නම්” කියා යාප්පුවෙන් කම්කරුවන් ඇතුලට ගෙන වර්ජනය බිඳීමට උත්සාහ කර තිබේ. කම්කරුවෝ ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලහ.  “දවස් ගනනක්  තිස්සේ මේක අදිනව. වැඩට එන්න නම් අද අපිට හරියට උත්තරයක් දෙන්න" යනුවෙන් පවසා ඇත. 

එවිට "සාකච්චා කරල හෙට උත්තරයක් දෙන්නම්. කැමති අය  වැඩට එන්න. බැරි අය ගෙදර යන්න"යැයි කලමානාකරු  කම්කරුවන්ට තර්ජනාත්මකව පවසා  ඇත. ඔහුගේ තර්ජනයෙන් නොසැලුන කම්කරුවන් එදින (සිකුරාදා) උදේ 10 වන විට තම ඉල්ලීම සම්බන්ධයෙන් ස්ථීර පිලිතුරක් අවශ්‍ය බව අවධාරනය කර තිබේ. කම්හල අලාබ ලබන නිසා ඉල්ලීම් දිය නොහැකි බවත් වැඩකරන අතර සාකච්චාකර ප්‍රශ්න විසඳා ගැනීමේ යෝජනාව සහ ජපන් පරිපාලනය සමග සාකච්චා කර විසඳුමක් දෙන බව ට කලමනාකරු කල ප්‍රකාශය ද කම්කරුවන් එක හඩින් ප්‍රතික්ෂේප  කර ඇත. එම අවස්ථාවේ  කලමනාකරු කම්කරුවන්ට පහරදීමට උත්සාහ කර තිබේ. ඉන් කම්කරුවන් ප්‍රකෝප වෙතැයි බිය වූ කම්හල් පරිපාලන නිලධාරීන් ඔහුව කම්හල තුලට ගෙන ගොස් ඇත.

අපනයනය සඳහා ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය කරන මෙම ජපන් කම්හලේ කොයිල් අංශය සහ කැපෑසිටර් අංශය යනුවෙන් අංශ දෙකක් ඇත. කම්කරුවන් කිහිප දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන්, ඔක්තෝබර් මාසයේ මැද සතියකට ආසන්න කාලයක් කම්හල වසා දමා තිබී නැවතත් විවෘත කෙරුනේ කම්කරුවන් කන්ඩායම් බැගින් පීසීආර් පරීක්ෂනයට භාජනය කිරීමෙන් අනතුරුවය. 

විරෝධය සමනය කිරීමට කම්හල් සභාපති පිරිස අමතමින්

පාලකයන්ගේ, පොලීසියේ සහ ආන්ඩුවේ නිලධාරීන්ගේ තර්ජන නොතකා, ඔකායා ලංකා කම්කරුවන් යෙදී සිටි අතිශයින් ම සටන්කාමි සහ අධිෂ්ඨානශීලී අරගලයෙන්, වැටුප් සහ රැකියා කප්පාදුව ඇතුලු ප්‍රහාරවලට මුහුන දී සිටින සහ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සෙසු නිවෙක කම්කරුවන් උත්තේජනය ලබා අරගලවලට පිවිසෙතැයි කම්හල් පාලකයන් සහ රාජපක්ෂ ආන්ඩුව තැතිගෙන ඇත. කප්පාදුකල වැටුප් වර්ධකය ලබා දෙන බව ට ඔකයා ලංකා පාලකයන් පොරොන්දු වී ඇත්තේ එම තතු තුලය. කෙසේ වෙතත් ඔකායා ලංකා කම්කරුවන් පාලකයන්ගේ පොරොන්දු ගැන පූර්න විශ්වාසයක් නොතැබිය යුතුය.   

ඔකායා ලංකා කම්හලේ කම්කරුවන්ගේ  වාර්ෂික වැටුප් වර්ධක කප්පාදුව, කොරෝනා වසංගතයෙන් තීව්‍ර වී ඇති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම සඳහා ශ්‍රී ලංකාවෙත් ලෝකය පුරාත් ධනපති ආන්ඩු සහ හාම්පුතුන් විසින් ක්‍රියාවට දමා ඇති කම්කරු පන්තියේ රැකියා, වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදු කිරීමේ සැලසුම් වල කොටසකි. වසංගතයේ ව්‍යාප්තිය නොතකා රාජපක්ෂ ආන්ඩුව හා ධනපති සමාගම්  විසින් කම්කරුවන්  බලහත්කාරයෙන්  සේවයේ යොදවනු ලබන  අතර ඔවුන්ගේ රැකියා, වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදු කෙරෙයි. 

ධනපති හාම්පුතුන් සහ වෘත්තීය සමිතිවල නියෝජනය සහිතව ආන්ඩුව ස්ථාපිතකර ඇති ත්‍රෛපාර්ශ්වීය කාර්ය සාධක බලකාය විසින් අනුමත කෙරුන ගිවිසුමක් මගින් හාම්පුතුන්ගේ අභිමතයට අනුව කම්කරුවන් සේවයේ යෙදවීමේ අවසරය ඔවුන්ට දී ඇත. මැයි මාසයේ අත්සන් කෙරුන මෙම ගිවිසුම යටතේ රැකියා සහ වැටුප් කප්පාදු කිරීමේ ඉඩ ප්‍රස්තාව ද හාම්පුතුන්ට ලැබී ඇත. වෘත්තීය සමිති ක්‍රියාත්මක  වන්නේ ආන්ඩුවේ සහ ධනපති හාම්පුතුන්ගේ ප්‍රහාරවලට  එරෙහිව කම්කරුවන්ගෙන් මතුවන විරෝධය සහ ඔවුන්ගේ අරගල කඩාකප්පල් කර විසුරුවා හැරීමේ කාර්මික පොලීසියක් ලෙසය.  

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නොතකා, අනාරක්ෂිත ලෙස කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දැක්කීමට සහ ඔවුන්ගේ සමාජ අයිතීන් වැනසීමට රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුත්තු සමත් වී ඇත්තේ වෘත්තීය සමිති එයට දුන් සහයෝගය හේතුවෙනි. වසංගතයේ මුවාවෙන් කටුනායක, කොග්ගල, මිනුවන්ගොඩ, සහ අව්ස්සාවේල්ලේ සීතාවකපුර ඇතුලු නිදහස් වෙලඳ කලාප සහ ඉන් පිටස්තර කම්හල්වල දහස් ගනනක් කම්කරුවන්ගේ රැකියා අහිමිකර ඇති අතර අනාරක්ෂිත ලෙස සේවයේ යෙදවීම නිසා ද දහස්  ගනනක් කම්කරුවෝ වසංගතයට ගොදුරු වී සිටිති.

මෙම ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන්ගෙන් මතුවන විරෝධය මෘග ලෙස තලා දැමීමට ද පසුබට නොවන බව රාජපක්ෂ ආන්ඩුව ප්‍රදර්ශනය කර ඇත. කටුනායක නිවෙක තුල සම්බන්ධීකරන කටයුතු සඳහා රියර් අද්මිරාල් හේවගේ පත් කිරීම සහ නොවැම්බර් 17 වෙනිදා ජනාධිපති රාජපක්ෂ විසින් වරාය කම්කරුවන්ට එරෙහිව අත්‍යවශ්‍ය සේවා පනතේ රෙගුලාසි ක්‍රියාවට දැමීම කම්කරුවන්ට එරෙහිව ආන්ඩුව දිගේලි කරන මර්දන සැලසුම් වල කොටසකි.

Loading