ඉදිරිදර්ශන

මරනයේ රැල්ල නවතා දමනු! වසංගතයෙන් ලාභ ලබන්නන්ගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනු!

සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකාව) ප්‍රකාශය දෙසැම්බර් 12 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

සමූහ මරන රැල්ලක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතියි. කොරෝනා වෛරස් වසංගතය යලිත් වරක් යුරෝපයේ සහ ලතින් ඇමරිකාවේ වේගයෙන් ව්‍යාප්ත වන අතර, එහි කේන්ද්‍රය එක්සත් ජනපදය තුලය.

ඊයේ (11දා), මුලු මරන සංඛ්‍යාව 300,000 ඉක්මවා ගියේය; නැතහොත් සෑම දහසක් දෙනාගෙන් එක් අයෙකුට ආසන්න සංඛ්‍යාවක් මිය ගොසිනි. තවත් මරන 3,019 ක් වාර්තා වී ඇති අතර නව රෝගීන් 246,000 කි. සෑම පැයකටම ආසන්න වශයෙන් පුද්ගලයින් 125 ක් නැතහොත්, සෑම විනාඩියකටම දෙදෙනෙකුට වඩා මිය යති. පසුගිය සතිය තුල පමනක් අවම වශයෙන් පුද්ගලයින් 17,000 ක් මියගොස් තිබේ. ඉදිරි සතිවලදී මෙම සංඛ්‍යා තියුනු ලෙස ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමාන රෝගීන් ගනන, නොවැම්බර් අග දක්වා වූ ස්තුති පුදකිරීමේ චාරිකා (Thanksgiving travel) හේතුවෙන් දැඩි ඉහලයාමක් පිලිබිඹු කිරීම ඇරඹූවා පමනි, මරන අනුපාතය සති දෙකකට වඩා පසුපසිනි.

රෝහල් පිරී ඉතිරී යාමෙන් තත්වය වඩාත් භයානක වී ඇති අතර සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටීමට පටන් ගෙන ඇත; වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට බල කරනු ලබන්නේ ප්‍රතිකාර කල යුත්තේ කා හටද නොකල යුත්තේ කා හටද යන්න පිලිබඳ බිහිසුනු තීරනය ගැනීමට ය. පසුගිය සතියේ එක්සත් ජනපදයේ අවම වශයෙන් රෝහල් 200 ක් වත් සම්පූර්නයෙන් පිරීගිය අතර, රටේ සියලුම රෝහල්වලින් තුනෙන් එකකම දැඩි සත්කාර ඒකකයේ ඇඳන් වලින් සියයට 90 කට වඩා පිරී ගොසිනි.

2020 නොවැම්බර් 16වෙනි සඳුදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි මේදන් නුවර කොවිඩ්-19වලින් විපතට පත්වූවන් සඳහා අලුතින් විවෘත කරන ලද සුසාන භූමියක සොහොන් අතර කම්කරුවෙක් ආරක්ෂක ඇඳුම් කට්ටලයක් සහිතව විවේකයක් ගනියි (ඒපී ඡායාරූප / බින්සාර් බක්කරා)

එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මාධ්‍ය අවධානය යොමු වී ඇත්තේ එන්නතක් සඳහා මූලික අනුමැතිය හා බෙදා හැරීම පිලිබඳව ය. එන්නතක් කෙතරම් ඵලදායී වුවද, මිනිසුන්ට එයින් ප්‍රතිලාභ ලැබිය හැක්කේ ඔවුන් එය ලබා ගැනීමට ජීවතුන් අතර සිටී නම් පමනි. රෝග මර්දන හා වැලැක්වීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් බ්‍රහස්පතින්දා අනතුරු ඇඟවූයේ “ඉදිරි දින 60 ත් 90 ත් අතර කාලය තුල, 9/11 ප්‍රහාරයට වඩා හෝ පර්ල් වරායේ සිදු වූවාට වඩා වැඩි මරන සංඛ්‍යාවක් දිනකට අප අතර සිදුවනු ඇති” බවත් එන්නතක් ලබා දුන්න ද අවම වශයෙන් දින 60 ක් වත් ගතවන තෙක් මරන සංඛ්‍යාවට සැබෑ බලපෑමක් ඇති නොකරනු ඇති බවත් ය.

වහාම සිදුවිය යුතු කම්කරු පන්තියේ මැදිහත්වීමකින් තොරව, මියයෑම පෙර නොවූ විරූ මට්ටමක පවතිනු ඇත. දින 90 ක් සඳහා මරන 3,000 ට වඩා වැඩි නම්, මෙයින් අදහස් කරන්නේ මාර්තු මුල වන විට තවත් 270,000 ක් මිය යනු ඇති බවයි.

පාලක පන්තිය ප්‍රතිචාර දක්වන්නේ ඇදහිය නොහැකි තරම් නොතැකීමකිනි. මේ සතිය මුලදී ලෝසවෙඅ අනතුරු ඇඟවූ පරිදි, විශාල යුද්ධයක දී හැරුනු කොට වෙනත් කිසිම දෙයකට වඩා නොවෙනස් ලෙස මරනය “සාමාන්‍යකරනය” වෙමින් පවතී. වසංගතයට සැලකෙන්නේ, “හදිසි පියවරයන් අවශ්‍ය නොවන, වැලැක්විය නොහැකි අභ්‍යවකාශ සිදුවීමක්” ලෙස යැයි අපි ලිව්වෙමු.

ට්‍රම්ප් ආන්ඩුව සිය ෆැසිස්ට් කුමන්ත්‍රන පසුපස හඹා යද්දී “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ සිය ප්‍රතිපත්තිය අඛන්ඩව ගෙන යන අතර එයින් අදහස් වන්නේ වෛරසය පැතිරීම වැලැක්වීමට කිසිදු පියවරක් නොගන්නා බවයි. උපායශීලී වෙනස්කම් කුමක් වුවත් ඩිමොක්‍රටිකයෝ ද මෙම ප්‍රතිපත්තියට එකඟ වෙති. ව්‍යසනය නැවැත්වීමට සහ ආපසු හැරවීමට හදිසි පියවරක් ඔවුන් යෝජනා නොකරයි. බයිඩන් මේ සතියේ එලි දැක්වූ සිය කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීමේ “සැලැස්ම” තුල, මුහුනු ආවරන පැලඳීමට ජනතාවගෙන් ඉල්ලා සිටීම, එන්නත් නිපදවීමේ පොරොන්දුව සහ පාසල් නැවත විවෘත කල යුතු බවට වන ඉල්ලීම හැර වෙන කිසිවක් අඩංගු නැත.

එය නැවැත්වීම සඳහා කල යුතු දේ පිලිබඳ කිසිදු ඇඟවීමක් නොකර, මරන ගනන මාධ්‍ය විසින් දිනපතා වාර්තා කරයි. නිවාඩු කාලය තුල සංචාර සහ රැස්වීම් වල අන්තරාය පිලිබඳව සඳහනක් කර ඇත. වෛරසය පැතිරීමේදී කර්මාන්තශාලා සහ සේවා ස්ථානවල කාර්යභාරය ගැන සඳහනක් නොමැති අතර පාසල් විවෘත කිරීමේදී ආරක්ෂාව ගැන හිතාමතාම බොරු පතුරුවා හරිනු ලැබේ.

2020 ඔක්තෝබර් 27 වෙනි අඟහරුවාදා වොෂිංටන්හි රොබට් එෆ්. කෙනඩි අනුස්මරන ක්‍රීඩාංගනය අසල කොවිඩ්-19 න් මියගිය ඇමරිකානුවන් සිහිපත් කිරීම සඳහා සටහනක් සහිත සුදු කොඩියක් තාවකාලික කලා ස්ථාපනයක රඳවා තිබේ. චිත්‍ර ශිල්පී සුසෑන් බ්‍රෙනන් ෆස්ටෙන්බර්ග්ගේ ස්ථාපනය "ඇමරිකාවේ, මෙය සිදුවන්නේ කෙසේද?" (ඒ පී ඡායාරූප / පැට්‍රික් සෙමන්ස්කි)

නිවසේදී වෛරසය පැතිරීම සම්බන්ධයෙන් කම්කරුවන්ට දොස් පැවරීමට පාලක පන්තිය උත්සාහ කරයි. කෙසේ වෙතත්, ක්‍රමානුකූල ලෙස ආශ්‍රිතයන් සොයායෑමක් නොමැත්තේ, අනාරක්ෂිත ලෙස විවෘතව පවතින සේවා ස්ථානවල පැතිරීම සඟවා තැබීම සඳහා ය. කර්මාන්තශාලාවල හෝ පාසල්වල බෝවීම් සිදු වූ විට, වෘත්තීය සමිතිවල සහය ඇතිව කලමනාකරනය විසින් තොරතුරු යටපත් කරනු ලැබේ.

පාලක පන්තියේ ප්‍රතිපත්තියට කිසියම් අභියෝගයක් ඇති විට, ප්‍රතිචාරය වනුයේ මර්දනයයි. මේ සතියේ, ෆ්ලොරිඩා හි වසංගතය පැතිරීම පිලිබඳ ආන්ඩුවේ බොරු හෙලිදරව් කිරීමට කටයුතු කල දත්ත විද්‍යාඥ රෙබෙකා ජෝන්ස්, ෆ්ලොරිඩා ආන්ඩුකාර රොන් ඩෙසැන්ටිස් විසින් නියෝග කරන ලදුව කඩාපනින පොලිස් කන්ඩායමක් විසින් වටලන ලදී.

ජීවිත බේරා ගැනීම සඳහා කිසිවක් නොකරන අතර, දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මුහුන දී සිටින දැවැන්ත සමාජ ව්‍යසනය විසඳීමට පාලක පන්තිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනී. එක්සත් ජනපදයේ කුටුම්භ 10 න් හතරක් වසංගතයට පෙර තිබූ ආදායමට වඩා අඩු ආදායමක් වාර්තා කරයි. සති 27 කට වැඩි කාලයක් තිස්සේ මිලියන 4 කට අධික ජනතාවක් රැකියා විරහිත වී ඇති අතර මේ සතියේ නව විරැකියා සංඛ්‍යාලේඛන 850,000 දක්වා ඉහල ගොස් තිබේ. නොවැම්බර් මාසයේදී ඇමරිකානුවන් මිලියන 12 කට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවාස කුලී ගෙවාගත නොහැකිව සිටි අතර ජාතික පමාසහන කාලය මෙම මාසය අවසානයේදී අවසන් වීම නිසා නිවෙස් වලින් එලියට ඇදදමීමකට මුහුන දී සිටියි.

“සහන පනත් කෙටුම්පතක්” පිලිබඳ කිසිදු එකඟතාවයකින් තොරව කොන්ග්‍රසය ලබන සතිය දක්වා කල් ගෙන ඇති අතර, එය සම්මත වුව ද දැවැන්ත සමාජ අවශ්‍යතාවයන් සපුරාලනු නැත. ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් මේ වන විට විශාල වශයෙන් සටන් කරන්නේ ඔවුන් සංගතවලට සහ ධනවතුන්ට, වැඩිපුර කොපමන මුදලක් ලබා දෙන්නේද යන්න පිලිබඳව ය.

මෙම ව්‍යසනය නොවැලැක්විය හැක්කක් නොවේ. වෛරසය සොබාදහමේ නිෂ්පාදනයක් වන අතර, එයට දක්වන ප්‍රතිචාරය සමාජ හා ආර්ථික අවශ්‍යතා අනුව නියම කෙරී ඇත.

මාර්තු 17 වන දින එක්සත් ජනපදයේ මරන සංඛ්‍යාව 121 ක් වූ අතර වෛරසය යන්තම් පැතිරීමට පටන් ගෙන තිබියදී එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂය “කම්කරු පන්තිය සඳහා ක්‍රියාකාරී වැඩපිලිවෙලක්" යෝජනා කරමින් සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් වල හදිසි පුලුල් කිරීම් සහ බලපෑමට ලක්වූ සියලුම කම්කරුවන් සඳහා පූර්න ආදායම සහිතව සියලුම පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වහාම වසා දැමිය යුතු යයි කියා සිටියේය.

හදිසි පියවර ක්‍රියාත්මක කලේ නම් සිය දහස් ගනනකගේ ජීවිත බේරා ගැනීමට ඉඩ තිබුනි. වෛරසය ප්‍රථම වරට බිහි වූ චීනයේ මුලු මරන 5,000 ට අඩු අතර වෛරසය මුලුමනින්ම පාහේ තුරන් කර ඇති හෙයින් මෙය කල හැක්කක් බව පෙන්නුම් කරයි.

කෙසේ වෙතත් පාලක පන්තිය සිය අවශ්‍යතාවන්ට නොගැලපෙන සියලු ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කලේය. ඩිමොක්‍රටික් පක්ෂයේ ආධාරය සහ අනුබලය සහිතව ට්‍රම්ප් පරිපාලනය තර්ජනය අවතක්සේරු කල අතර කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රතික්ෂේප කලේය. ඒ අතරම, වසංගතයට මුවා වී ලෝක ඉතිහාසයේ විශාලතම ධනය හුවමාරුව ක්‍රියාත්මක කලහ. කොන්ග්‍රසයේ ඒකමතික සහයෝගය ඇතිව ඩොලර් ට්‍රිලියන ගනන් වෝල් වීදිය වෙත හරවා යවා ඇත.

මෙය සිදු කිරීමෙන් පසු, “ප්‍රතිකාරය රෝගයට වඩා දරුනු විය නොහැක” යන්න දේශපාලන සංස්ථාපිතයේ සහ මාධ්‍යවල තේමා පාඨය බවට පත්වෙමින්, ව්‍යාපාර නැවත විවෘත කරන ලද අතර අප්‍රේ‍ල් සහ මැයි මාසවලදී රට පුරා ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳ සීමා ඉවත් කරන ලදී.

වසංගතයෙන් ලාභ ලබන්නන්ගේ අල්තාරය මත මහජන සෞඛ්‍යය පූජා කර ඇත. වසංගතය ආරම්භ වූ දා සිට එක්සත් ජනපදයේ සියලුම බිලියනපතියන්ගේ (පුද්ගලයන් 651) ධනය ඩොලර් ට්‍රිලියන 1 කට වඩා (හෙවත් සියයට 36 කින්) වැඩි වී තිබේ. මෙම වැඩිවූ ධනය පමනක් රටේ සෑම වැඩිහිටියෙකුට හා දරුවෙකුටම ඩොලර් 3,000 ක චෙක්පත් ලබා දීමට ප්‍රමානවත් වේ.

රට වසා දැමීමක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම දැන් අතිශයින් සාපරාධී ස්වරූපයක් ගෙන තිබේ. ඉදිරි සති කිහිපය තුල මිය යන දස දහස් ගනනක් දෙනා අතර, නැවත විවෘත කරන ලද පාසල් හා සේවා ස්ථාන වලින් ආසාදනය වූවන් බොහෝ සිටිනු ඇත.

දැන් හදිසි පියවර ගතහොත් ලක්ෂ ගනනක් ජීවිත බේරා ගත හැකිය!

සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය නොවන සියලුම ව්‍යාපාර සහ පාසල් වහාම වසා දමන ලෙසයි. නැවත සේවයට පැමිනිය හැකි වන තෙක් යහපත් ජීවන තත්වයක් සහතික කිරීම සඳහා ප්‍රමානවත් ආදායමක් කම්කරුවන්ට ලබා දිය යුතුය. එමෙන්ම ආර්ථික කඩාවැටීමට මුහුන දුන් කුඩා ව්‍යාපාර සඳහා සැබෑ සහයක් ලැබිය යුතුය.

වෛරසය නැවැත්වීම සඳහා කිසිවක් කල නොහැකි බවට වන සියලු ප්‍රකාශ පදනම් වී ඇත්තේ මුලුමහත් සමාජ ජීවිතයම වෝල් වීදියේ අවශ්‍යතාවන්ට යටත් කල යුතුය යන ස්ථාවරය මත ය. වසංගතයට මුවා වී, මහා භාන්ඩාරය කොල්ලකෑමෙන් රැස්කර ගත් ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා නැවත ලබා ගත යුතුය. දැවැන්ත මූල්‍ය හා සංගත ආයතන ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන මහජන උපයෝගිතා බවට පරිවර්තනය කල යුතුය.

ජීවිත බේරා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ආරක්ෂක කමිටු හා ක්‍රියාකාරී කමිටු සංවිධානය කරන ලෙස සසප සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. පොදු ක්‍රියාමාර්ග සංවිධානය කිරීම සඳහා ගුරුවරුන්, මොටර් රථ සහ අනෙකුත් නිෂ්පාදන කම්කරුවන්, ඇමසොන් සහ සැපයුම් කම්කරුවන්, ශිෂ්‍යයන් සහ තරුනයින් මෙම කමිටු පිහිටුවා ගත යුතුය. මෙම කොන්දේසි යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීමට කම්කරුවන්ට සෑම අයිතියක් ම ඇත. සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ ලාභයට පෙර කම්කරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දිය යුතුය!

මෙම කමිටු වල සිටින්නේ එකම කොන්දේසි වලට මුහුන දෙන එකම අවශ්‍යතා ඇති කම්කරුවන් බැවින් එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින කම්කරුවන් සබඳතා ගොඩනඟා ගත යුතුය.

සියල්ලටමත් වඩා, වසංගතයට එරෙහි සටන පාලක ප්‍රභූවට හා ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකි. ඇමරිකානු ධනවාදය පුලුල් ලෙස නිරාවරනය වෙමින් පවතී. පාලක ප්‍රභූව එහි සියලු නොහැකියාව, ම්ලේච්ඡත්වය සහ සාපරාධීත්වය හෙලි කර තිබේ. දිග හැරෙන ව්‍යසනය පෙන්නුම් කරන්නේ සමාජවාදය මගින් ධනේශ්වර ක්‍රමය අවසන් කිරීමේ අවශ්‍යතාවයි.

සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න!

Loading