කටුනායක නෙක්ස්ට් කම්කරුවන්ගේ වර්ජනය මැඩීමට පොලීසිය කැඳවයි

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) පිහිටි නෙක්ස්ට් මැනුෆැක්චරින් ඇඟලුම් කම්හලේ කම්කරුවන් විසින් බෝනස් දීමනාව කපා දැමීමට එරෙහිව දෙසැම්බර් මස 16 සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය මැඩලීමට, ඊයේ එහි පාලකයෝ පොලීසිය කැඳවූහ.

නෙක්ස්ට් ගාමන්ට්ස් - නිදහස් වෙලඳ කලාපය- කටුනායක

නෙක්ස්ට් මැනුෆැක්චරින් කම්කරුවන්ගේ අරගලයට ආසන්නතම හේතුව වූයේ දෙසැම්බර් මසට හිමි බෝනස් දීමනාව කපා දැමීමට තීරනය කල බව පාලකයන් විසින් සේවක සභාවට දැනුම් දීමයි.

මෙයට එරෙහි වූ කම්කරුවෝ 16 දා දවල් වැඩ නවත්වා කම්හල ඉදිරිපිට තම විරෝධය දැක්වූහ. පසුව, දීමනාවෙන් අඩක් ගෙවනු ලබන බවට පාලකයෝ පොරොන්දු වුවද කම්කරුවෝ තම අරගලය නොනැවැත්වූහ. කම්කරු කාර්යාලයෙන් නිලධාරින්ද සාකච්ඡා වලට පැමින ඇත.

වර්ජනය ඉදිරියට යාමෙන් භීතියට පත් පාලකයෝ අරගලය මර්දනය කිරීම සඳහා ඊයේ පොලීසිය කැඳවූහ. 50-60 ක පොලිස් බටකායක් කම්හල් ගේට්ටුව අසල රැඳී සිටියහ.

බෝනස් දීමනාව කපා දැමීමට හේතුව ලෙස නෙක්ස්ට් කම්හලේ පාලකයන් පවසා ඇත්තේ කම්හල පාඩු ලබන බවත්, රෝහල්ගතවූ සේවකයින්ට සහ නිරෝධායනයේ සිටි අය සඳහා මුදල් වැය කිරීමට සිදුවූ බවත්ය.

කම්කරුවන් පැවසුවේ මෙය පචයක් බවයි. තම සහෝදර කම්කරුවන් 300 කට පමන වෛරසය අසාදනය වී ඇතැමෙකු රෝහල්ගත කිරීමට පවා සිදු වුවද, පාලකයන් කිසිදු සහයක් නොදැක්වූ බව ඔවුහු පැවසූහ. තම දුක් ගැනවිලි ගැන සමාජ මාධ්‍යවලට තොරතුරු සැපයූ කම්කරුවන්ට පාලකයන් තර්ජනය කර ඇත. මෙම ආසාදනය හේතුවෙන් කම්හල සති කිහිපයක් වසා තැබූ බව ද වැඩ අධික වූ බැවින් අමතර කම්කරුවන් සේවයට බඳවා ගත් බව ද ඔවුහු පැවසූහ.

බ්‍රිතාන්‍ය සමාගමකට අයත් වන මෙම කම්හල කම්කරුවන් දරුනු සූරා කෑමකට ලක් කරයි. එක් කම්කරු කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ, මසකට රුපියල් 32,000 ක වැටුපක් සඳහා වෛරසය ආසාදනයවීමේ අවදානම් තත්වයන් යටතේ වැඩ කල බවයි. එක් දරු මවක් වන ඇය, සැමියා විසින් ලබාගත් නය ගෙවීම සඳහා දිගටම වැඩ කල යුතුය. නෙක්ස්ට් කම්හලේ සේවකයෝ උදේ 7 සිට සවස 6 දක්වා වැඩ කරති.

කම්කරුවන් 2,000 ක් පමන සේවයේ යොදවා ඇති නෙක්ස්ට් ඇඟලුම් කම්හල ඔක්තෝබර් 9 දා සිට දින කිහිපයක් වසා දැමුනේ කම්කරුවන් 11 දෙනෙකු වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

කොවිඩ්-19 වෛරසය පැතිරීමේ වාසිය ගසා කමින් නෙක්ස්ට් කම්හල් පාලකයින් මෙන්ම රටේ විවිධ පලාත්වල කම්හල් පාලකයෝ දෙසැම්බර් මාසයට හිමි බෝනස් දීමනාව පමනක් නොව වැටුප් ද කපා දැමීමට මාන බලමින් සිටිති. මෙම ප්‍රහාරයන්ට එරෙහිව කම්හල් ගනනාවකම කම්කරුවෝ අරගලයට පිවිසියහ.

වාර්ෂික වැටුප් වර්ධක කපා දැමීමට එරෙහිව නොවැම්බර් 18 වෙනිදා ආරම්භ කර දින 10 ක් ඇදී ගිය කනිවෙක යේ ඔකායා ලංකා කම්කරුවන්ගේ වැඩ වර්ජනය සහ විරෝධතා උද්ඝෝෂනය අවසන් වූයේ, මූලිකව රුපියල් 1000 ක් සහ සේවා කාලයට අනුව වසරකට රුපියල් 100 බැගින් එකතුවන පරිදි වාර්ෂික වැටුප් වර්ධක ලාබාදීමට පාලකයන් විසින් පොරොන්දු වීමෙන් අනතුරුවය. වර්ජනයට කම්කරුවන් 500-600 ක් පමන සහභාගී වී සිටි අතර කම්හල් පාලකයන්ගේ සහ ආන්ඩුවේ තර්ජන ද නිරන්තරව එල්ල විය. වර්ජනය බිඳීමට පාලකයෝ පොලීසියද කැඳවූහ.

කම්කරුවන්ගේ මූලික අයිතීන් කප්පාදු කරමින් සහ ඔවුන් වසංගත අනතුරේ හෙලමින් බලහත්කාරයෙන් වැඩ ගැනීම සෑම කම්හලකම සිදුවෙමින් පවතින අතර, මෑතම නිදසුන වන්නේ කනිවෙක යේ පිහිටි ස්ටාර් ගාමන්ට් කම්හලේ කම්කරුවන්ට, තමන්ට නියමිත නිරෝධායනය අත්හැර වැඩට එන ලෙස කම්හලේ පාලකයන් විසින් කරන ලද බලපෑමයි. කම්කරුවෝ මෙය ප්‍රතික්ෂේප කලහ. නොවැම්බර් මස මුල දී අසාදිත කම්කරුවෙකු පලමු වරට සොයා ගැනුනු අතර පසුව ආසාදිතයින් සංඛ්‍යාව 70ක් දක්වා වැඩි විය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ කම්කරුවකු පැවසුවේ මෙම වසරේ අප්‍රේල් මස තමන්ට හිමිව තිබුනු බෝනස් දීමනාව, වසංගතයට මුවාවී කපා දැමූ බව සහ දෙසැම්බර් මස, වැටුපට සමාන මුදලක් පමනක් බෝනස් ලෙස ගෙවනු ලබන බවට පාලකයන් දන්වා ඇති බවයි. මෙයට පෙරාතුව වැටුප මෙන් එකහමාරක් බෝනස් දීමනාව ලෙස ලබා දී ඇත.

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කම්කරුවන් වෛරසයට අසාදනය වෙමින් පවතින බවට වාර්තා වේ. දෙසැම්බර් 14 වැඩබිම වෙබ් අඩවිය වාර්තා කලේ දැරනියගල පිහිටි ඇඟලුම් කම්හලක සේවකයන් සිව්දෙනෙකුට ද, සීතාවක අපනයන සැකසුම් කලාපයේ තවත් 41 දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

වෙනත් වාර්තා වලින් අනාවරනය වූයේ, දෙසැම්බර් මස මුලදී ගම්පහ බඩල්ගම සිරියෝ ඇඟලුම් කම්හලේ දහසක් පමන සේවකයන් අතරින් 55 දෙනෙකු ද, අලුත්ගම, දර්ගා නගරයේ ඇඟලුම් කම්හලක කම්කරු කාන්තාවන් තිදෙනෙක් ද අසාදනය වී ඇති බවයි.

නොවැම්බර් මස අගදී ඇහැලියගොඩ දිවුරුම්පිටිය ඇඟලුම් කම්හලක කම්කරුවන් 51 ට වෛරසය අසාදනය වූ අතර, 1,200 ක් පමන නිරෝධායනයට යොමු කෙරිනි. එම මස මුල දී, කම්කරුවන් 6,000 ක් පමන සේවය කරන, මාස් හෝල්ඩින්ග්ස් සතු හොරන බොඩිලයින් ඇඟලුම් කම්හලේ කම්කරුවන් 34 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගැනීමෙන් පසුව දින කිහිපයකට කම්හල වස දැමිනි.

නෙක්ස්ට් මැනුෆැක්චරින් කම්කරුවන්ගේ බෝනස් කපා දැමීම සහ එයට එරෙහි ව පැන නැගි වර්ජනය තලා දැමීමට පොලීසිය කැඳවීම මගින් පෙන්නුම් කරන්නේ, ව්‍යසනකාරී ලෙස කම්කරුවන් වැඩට දැක්කීමේ, ඔවුන්ගේ වැටුප් සහ දීමනා කපා දමමින් ශ්‍රම සූරාකෑම උග්‍ර කිරීමේ සහ එයට එරෙහිව පැන නගින අරගල තලා දැමීමේ මුර්ග වැඩපිලිවෙල, රුදුරුම ආකාරයෙන් ඉදිරියට ගැනීමට සමස්ත කම්හල් පාලකයන් ගේ සහ ඔවුනට පූර්න පිටුබලය දෙන ජනාධිපති රාජපක්ෂගේ සූදානම යි.

කතුවරු පහත ලිපි නිර්දේශ කරති:

බ්‍රැන්ඩික්ස් ආයතනය ගැන ආන්ඩුවේ පරීක්ෂනය කම්කරුවන් මත වරද පැටවීමේ නින්දිත උත්සාහයක්

15 දෙසැම්බර් 2020

කටුනායක ස්ටාර් ගාමන්ට් කම්කරුවෝ නිරෝධායනය අත්හැර වැඩට කැඳවීම ප්‍රතික්ෂේප කරති

11 දෙසැම්බර් 2020

ශ්‍රී ලංකාවේ කිලිනොච්චි හි මාස් කම්හල් කම්කරුවෝ, වසංගතයේ අන්තරාය පිලිබඳව අවධානය යොමු කරති

2 දෙසැම්බර් 2020

කටුනායක ඔකායා ලංකා කම්කරුවෝ වාර්ෂික වැටුප් වර්ධකය කප්පාදු කිරීමට එරෙහිව වැඩ වර්ජනයේ යෙදෙති

2020 නොවැම්බර් 23

Loading