ඉදිරිදර්ශන

ජීවිත බේරා ගැනීමේ හදිසි පියවර සඳහා! පාසල් වසා දමා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන නතර කරනු! කම්කරුවන්ට සම්පූර්න වන්දි ගෙවනු!

මේ සතියේ එක්සත් ජනපදයේ සිදුවූ මරන සංඛ්‍යාව 300,000ක දරුනු සන්ධිස්ථානයක් පසු කලේ ය. දිනකට 3,000 කට ආසන්න පිරිසක් මිය යන අතර රට පුරා රෝහල් පිරී ඉතිරී යයි. රැකවරනය ලැබෙන්නේ කාට ද නො ලැබෙන්නේ කාට ද යන්න තෝරා ගැනීමට හෙදියන්ට හා වෛද්‍යවරුන්ට බල කෙරෙයි. කොවිඩ්-19 දැනටමත් එක්සත් ජනපදයේ මරනවලට ප්‍රධානතම හේතුව වන අතර එය හෘද රෝග හා පෙනහළු පිලිකා අභිබවා යයි. නව රෝගීන් දිගටම වැඩි වෙමින් පවතියි.

කොවිඩ් එන්නත (ස්ටොක් ඉමේජ් අනුග්‍රහය: එන්වාටෝ)

මෙය යුද්ධයක් හැරුනු කොට ඇමරිකානු ඉතිහාසයේ කිසිදු පූර්වාදර්ශයක් නොමැති පරිමානයේ මරනයන්ය. එක්සත් ජනපදයේ දේශසීමා තුල සිදුවන මරන සම්බන්ධයෙන් ගත් කල, සැසඳිය හැකි එක ම සිදුවීම වන්නේ සිවිල් යුද්ධය යි, එය වසර හතරක් තුල 618,000 ක් ඝාතනය කලේ ය. වසරක් වැනි කෙටි කාලයක් තුල කොරෝනා වෛරසයෙන් මින් අඩකට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනු ඇත.

දිග හැරෙමින් පවතින විපත්තියේ සිට එන්නත නිෂ්පාදනය හා බෙදා හැරීම වෙතට මාධ්‍ය තුල අවධානය මාරු වී ඇත. මරන සංඛ්‍යාව 300,000 ඉක්මවා තිබීමේ කාරනය ද්විතීයික ගැටලුවක් ලෙස සලකනු ලැබේ. “අඳුරු ශීත ඍතුව ” ගැන සඳහන් කිරීමෙන් ඔබ්බට, ජීවිත බේරා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් යෝජනා නො වේ.

විද්‍යාත්මක අධ්‍යයනවලින් සනාථ වන්නේ, හොඳම තත්වයන් යටතේ වුව ද, මාස තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ වැඩි වන මරන සංඛ්‍යාව කෙරෙහි එන්නත බලපෑමක් ඇති නො කරනු ඇති බව යි. දෙසැම්බර් 4වැනි දින වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ (අයිඑච්එම්ඊ) වාර්තාවක දැක්වෙන්නේ, “එන්නත් කිරීමේ පරිමානය ඉහල යාම නො තකා, අප්‍රේල් 1 වන විට සමුච්චිත මරන 539,000ක් අපේක්ෂා කරන” බව යි. මෙය දැනට 300,000ට අධික වන මරන සංඛ්‍යාව 240,000කින් හෝ මිලියනයක හතරෙන් පංගුවකින් ඉහල යාමකි.

අයිඑච්එම්ඊයට අනුව, “එන්නත වසර අවසානයේ දී යථා තත්ත්වයට පත්වීම ඉක්මන් කිරීමට ඉඩ ඇති නමුත් අප්‍රේල් 1 වන විට වලක්වනු ඇත්තේ මරන 9,000ක් පමනකි.” එන්නත් බෙදා හැරීමේ වර්තමාන සැලසුම් මත පදනම්ව, එය ඇස්තමේන්තු කරන්නේ ජනගහනයෙන් සියයට 60ක් අප්‍රේල් 1වැනි දා වන විටත් වෛරසයට ගොදුරු විය හැකි බවට යි.

අප්‍රේල් මාසය වන විට මරන 539,000ක ඇස්තමේන්තුව පදනම් කෙරෙන්නේ රෝහල් අධික ලෙස පිරීයාම වලක්වා ගැනීම සඳහා බොහෝ ප‍්‍රාන්ත සමාජ දුරස්ථභාවය සඳහා ප‍්‍රධාන නව නියෝග පනවනු ඇතැයි යන උපකල්පනය මතය.බොහෝ ප්‍රාන්ත මේ වනවිටත් කරමින් සිටින පරිදි, එවැනි සීමා ලිහිල් කල හොත්, අප්‍රේල් වන විට සමුච්චිත මරන 770,00ක් හෝ තවත් පුද්ගලයන් 470,000ක් දෙනා මියයනු ඇතැයි පුරෝකතනය කෙරේ.

වර්තමාන තත්වයේ සාරාංශය: මිනිසුන්ට කොරෝනා වෛරසය වැලඳීම වලක්වන එන්නතක් පවතියි. එය අවශ්‍ය තරම් ප්‍රමානවලින් නිෂ්පාදනය කර ජනතාවට බෙදා හැරීමට මාස හතරක් හෝ හයක් ගතවනු ඇත. කෙසේ වෙතත්, මෙය දැන සිටිය ද, පාලක පන්තිය මේ වන විටත් ඉන් පසුවත් ජීවිත බේරා ගැනීම සඳහා හදිසි පියවර ගැනීම ප්‍රතික්ෂේප කරයි. නමුත් ඒ වන විටත් මිය ගොස් ඇති අයට එන්නතක ඇති ප්‍රයෝජනය කුමක්ද.

මහා පරිමානයේ මරන සම්බන්ධයෙන් දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍යය තුල ඇති උදාසීනත්වය අපරාධයක් මිස අන් කිසිවක් නොවේ යැයි විස්තර කල හැක. සිය දහස් ගනනකගේ මරන ගැන කතා කෙරෙන්නේ, සියලු වියදම් යොදවා වලක්වා ගත යුතු අනතුරක් ලෙස නො ව, ජනතාව සරල ව පිලිගත යුතු නොවැලැක්විය හැකි දෙයක් ලෙසය.

2020 මැතිවරනයෙන් පරාජයට පත්වීමෙන් පසු ව ට්‍රම්ප්, වසංගතය පැතිරීම සම්බන්ධයෙන් කිසිදු තහංචියක් පැනවිය යුතු නැත යි යන ඉල්ලීම කේන්ද්‍ර කර ගත් සිය ෆැසිස්ට් කුමන්ත්‍රන දිගට ම ගෙන යමින් සිටී. කෙසේ වෙතත්, ඩිමොක්‍රටිකයන්ට ඉදිරිපත් කිරීමට ඇත්තේ හිස් අනුකම්පාව හා එකම ප්‍රතිපත්තිය අඛන්ඩ ලෙස ඉදිරියට ගෙන යාමක් පමනකි.

සඳුදා රාත්‍රියේ දී, තමන් ජනාධිපති ධුරයට පත් කෙරුනු මැතිවරන විද්‍යාලයේ නිල ඡන්ද විමසීමෙන් පසුව, ජෝ බයිඩෙන් තම කථාවේ අවසානයේ දී, “ඔබගේ වරදක් නැතිව දුෂ්කර අඩියකට වැටී ඇති ඔබ සැම වෙනුවෙන් මගේ හදවත උනුවෙනවා” යැයි කියමින් වසංගතය ගැන ලිස්සා යන සඳහනක් කලේය. බයිඩෙන් මෙම ව්‍යසනය නැවැත්වීමට හා ආපසු හැරවීමට හදිසි පියවරක් යෝජනා නො කලේය. මේ සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයන්ට ට්‍රම්ප් පරිපාලනය හා රිපබ්ලිකානුවන් සමඟ මූලික වෙනස්කම් නො මැත.

මරනයේ පරිමානයට කම්කරුවන් වග කිව යුතු නැති බව නිසැක ව ම සත්‍යයක් වන අතර, ආන්ඩුව හා එය සේවය කරන සංගත නිසැකවම වග කිව යුතු ය. දැන් සහ එලඹෙන අප්රේල් මාසය අතරතුර තවත් ලක්ෂ ගනනක් මිය යන්නේ නම්, එසේ වන්නේ වසංගතය පාලනය කිරීම සඳහා අවශ්ය පියවර ක්රියාත්මක කිරීම පාලක පන්තිය විසින් ප්රතික්ෂේප කිරීම නිසා පමනී.

මෙම ව්‍යසනය නැවැත්වීම සඳහා දැන් හදිසි පියවර ගත යුතු ය! එවැනි ක්‍රියා ප්‍රමාද වන සෑම දිනක ම අර්ථය වනු ඇත්තේ තවත් දහස් ගනනක් මිය යාම යි.

සමාජවාදී සමානතා පක්ෂය පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරයි:

පලමු ව, සියලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වහාම නතර කල යුතුය.

පුද්ගලයන් නිවෙස් තුල රොක් වීම හෝ සංචාරය නො කල යුතු ය යන උපදේශය, අත්‍යාවශ්‍ය වන නමුත්, බොහොමයක කම්කරුවන්ගේ ජීවිත රැකීමට කිසිදු පියවරක් නැති, කර්මාන්තශාලා හා සේවා ස්ථාන වෙත සෑම දිනක ම වැඩට යාමට කම්කරුවන්ට බල කෙරෙමින් පවතින තතු යටතේ එය තරයේම කුහකය.

එක්සත් ජනපදය තුල ඵලදායී ලෙස ක්‍රමානුකූලව ආශ්‍රිතයන් සොයා ගැනීම් නොමැති අතර, පවතින දත්ත මගින් පැහැදිලි වන්නේ සේවා ස්ථාන පැතිරීමේ ප්‍රධාන ප්‍රභවයක් වන බවයි. උතුරු කැලිෆෝනියාවේ පුවත්පතක් වන ද ප්‍රෙස් ඩිමොක්‍රට් පුවත්පත, එය රැස් කරන ලද දත්ත පදනම් කරගෙන, මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක නිගමනය වූයේ, “වැඩට යාම යනු වසංගතය තුල මිනිසුන් කරන අවදානම් සහගතම දේවලින් එකක්” වන බවයි.

Mlive.com විසින් සඳුදා ප්‍රකාශයට පත් කරන ලද වෙනත් වාර්තාවකින් හෙලි වූයේ පාසල් සහ නිෂ්පාදන හා ඉදිකිරීම් ස්ථාන, මිචිගන් ප්‍රාන්තයේ 1,268ක සක්‍රීය කොවිඩ් -19 පැතිරී යාම් වලට දෙවනුව හා තෙවනුව පසුබිම් වී ඇති බවත්, ඒවායේ දිගු කාලීන සත්කාර පහසුකම් පමනක් අනුගමනය කරමින් සිටින බවත්ය. වෘත්තීය සමිතිවල සහයෝගයෙන් කලමනාකාරිත්වය විසින් වසන් කරනු ලබන නව රෝගීන් පිලිබඳ ව එම කම්හල්වල කම්කරුවෝ දිනපතා ලෝක සමාජවාදී වෙබ් අඩවියට වාර්තා එවති.

වසංගතයේ කොන්දේසි යටතේ කම්කරුවන් කර්මාන්තශාලාවලට සහ ගුරුවරුන් පාසල්වලට යැවීම, දැවෙන ගොඩනැගිල්ලකට ඇතුළු වීමට මිනිසුන්ට බල කිරීමට වඩා වෙනස් නො වේ. වෛරසය මැඩපැවත් වීමට හා සමාජයේ මූලික ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට වැඩ කිරීම අත්‍යවශ්‍ය වන්නා වූ කර්මාන්තවල කම්කරුවන් හා සෞඛ්‍ය සේවා වෘත්තිකයන් විසින් අධීක්ෂනය කරනු ලබන වඩාත්ම දැඩි ආරක්ෂක පියවරයන් තිබිය යුතු ය.

දෙවනු ව, සියලුම පාසල් හා විශ්වවිද්‍යාලවල පුද්ගල සහභාගී ඉගෙනීම් නතර කල යුතුය.

රෝගීන් තියුනු ලෙස ඉහල යාම මධ්‍යයේ නිව් යෝක් නගරයේ සිදු කර ඇති පරිදි පාසල් විවෘත කිරීම ආරක්ෂිත බවට මාධ්‍යවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර තිබේ. මෙය විද්‍යාත්මක සාක්ෂි මගින් ප්‍රතික්ෂේප කෙරේ. ඊයේ සයන්ස් සඟරාවේ පල වූ, “කොවිඩ්-19ට එරෙහි ආන්ඩුවේ මැදිහත්වීම්වල සඵලතාව නිගමනය කිරීම”, නම් ලිපියකට අනුව, පාසල් හා විශ්ව විද්‍යාල වසා දැමීම කොරෝනා ‌වෛරස් සම්ප්‍රේෂනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි.

තෙවනු ව, වසා දැමීම ඵලදායී වියහැක්කේ කම්කරුවන්ට පූර්න වන්දි ලබා දෙන හා නැවත සේවයට පැමිනිය හැකි වන තෙක් ආදායමක් ඇති තාක් දුරට පමනි.

මහජනතාව අතර අගුලු දැමීමකට ප්‍රතිරෝධය පවතින තාක් දුරට, ඊට හේතුව වන්නේ එය කම්කරුවන්ට සහ කුඩා ව්‍යාපාරවලට තමන්ටම තමන් ගැන බලගැනීමට සිදුවන තත්වයක් ලෙස ඉදිරිපත් කෙරෙන බැවිනි.

සතියකට ඩොලර් 600ක් වන අතිරේක විරැකියා ප්‍රතිලාභය වහාම ප්‍රතිෂ්ඨාපනය කල යුතු අතර, සීමා හෝ වාර්තා කිරීමේ අවශ්‍යතා නොමැතිව, එය අගුලු දැමීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් පීඩාවට පත් සියලු ම කම්කරුවන්ට ලබා දිය යුතුය. නැවත විවෘත කිරීම ආරක්ෂිත වන තෙක් ආර්ථික වශයෙන් ශක්‍යව පවතින බව සහතික කිරීම සඳහා කුඩා ව්‍යාපාරවලට කුලී හා නය ගෙවීම්වලින් සහනයක් ලැබිය යුතු ය.

හදිසි සම්පත් ආහාර සහ වෙනත් අවශ්‍යතා සැපයීම සඳහා යොමු කල යුතු ය. නිවාසවලින් සියලු නෙරපා හැරීම් වහාම නතර කල යුතු අතර උකස් ගෙවීම්, ගෙවල් කුලී හා ශිෂ්‍ය නය වහා ම අවලංගු කල යුතු ය.

එවැනි පියවර ක්‍රියාත්මක කිරීමට මුදල් නොමැති බවට කරන ප්‍රකාශය බොරුවකි. කම්කරුවන් මිලියන 200කට ඩොලර් 600ක ආදායමක් ලබා දීම සඳහා සතියකට ඩොලර් බිලියන 120 ක් වැය වෙනු ඇත. මාර්තු මාසයේ දී මුලුමනින් ම ද්වි පාර්ශවීය පදනමක් මත සම්මත වූ, කෙයාස් පනත මගින් අනුමත කරන ලදුව, ඇමරිකානු මහබැංකුව විසින් මේ වසරේ දී ඩොලර් ට්‍රිලියන තුනක් වෝල් වීදියට ප්‍රදානය කරන ලදී. මෙය කම්කරුවන් මිලියන 200ක් සඳහා අඩවසරක් හදිසි ආධාර ගෙවීමට ප්‍රමානවත් වන අතර, ඒ කාලය තුල දී පුලුල් ලෙස එන්නතක් ලබා ගත හැකි වනු ඇතැ යි අපේක්ෂා කල හැක.

මෙම පියවරවලට පාලක පන්තිය හා සමස්ත දේශපාලන සංස්ථාව දැඩි ලෙස විරුද්ධ වනු ඇත. වර්තමාන ව්‍යසනය සංගත හා ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයකි. ආරම්භයේ සිට ම ආන්ඩුවේ ප්‍රතිපත්තිය තීරනය කරනු ලැබුවේ ජීවිත බේරා ගැනීමේ අත්‍යාවශ්‍ය විධානයෙන් නො ව, ලාභ ආරක්ෂා කර ගැනීම හා කොටස් වෙලඳපොලේ නිමක් නැති නැගීම සහතික කිරීමට ඇති උත්සුකතාව මගිනි. වසංගතය නැවැත්වීමට හෝ හදිසි සහනයක් ලබා දීමට කිසිවක් කල නො හැකි බව ඩිමොක්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් නැවත නැවතත් කියා සිටියේ, නිමක් නැති සම්පත් වෝල් වීදියට මාරු කර ධනවතුන්ට ඇප ලබා දුන් මොහොතේ දී ම ය.

ජීවිත බේරා ගැනීමට අවශ්‍ය හදිසි පියවර ගැනීම සඳහා කම්කරු පන්තියේ පූර්න කාර්මික හා දේශපාලන බලමුලු ගැන්වීම අවශ්‍ය වන්නේ මේ නිසා ය. එය කිසිවක් නො කරන ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂවලට අභියාචනා ඉදිරිපත් කිරීම පිලිබඳ කාරනයක් නො වේ. කර්තව්‍යය වන්නේ අගුලු දැමීම් බලාත්මක කිරීම සහ රටපුරා දේශපාලන මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීම සඳහා කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් ලෙස සංවිධානය කිරීම යි.

ඒකාබද්ධ විරුද්ධත්වය සංවිධානය කිරීමට වැඩපොල හා අසල්වැසි ක්‍රියාකාරී කමිටුවල අන්තර් සම්බන්ධිත ජාලයක් පිහිටුවීම ආරම්භ කරන ලෙස ප්‍රධාන කර්මාන්තවල, එනම් ඇමසොන් හා කාර්ය සංවිධාන කම්කරුවන්, මෝටර්රථ හා නිෂ්පාදන කම්කරුවන්, අධ්‍යාපන වෘත්තිකයන් හා ගුරුවරුන්, ප්‍රවාහන කම්කරුවන්, විදුලි සංදේශ හා තාක්‍ෂන කම්කරුවන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කන්ඩායම්වලින් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී.

අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන සිදුකරන සෑම සේවා ස්ථානයක ම මෙම හදිසි ක්‍රියාකාරී කමිටු වහාම අගුලු දැමීමක් බලාත්මක කල යුතු ය. වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරුවන්ගේ ක්‍රියාකාරිත්වය තුලින් මාර්තු මාසයේ දී අර්ධ වශයෙන් වසා දැමීම් බලාත්මක කරන ලදී. කෙසේ වෙතත්, කම්කරුවන් විසින්ම පාලනය කරනු ලබන සංවිධාන ජාලයක් නො මැතිකම හේතුවෙන් මේවා ස්ථිරසාර නො වී ය.

කම්කරුවන්ගේ සටන තනි කම්හලකින් හෝ සේවා ස්ථානයකින් ඔබ්බට විහිදේ. ධනේශ්වර පංතිය හා එහි ආන්ඩුව සමඟ ගැටෙන කම්කරු පන්තියේ සියලු ම කොටස් සැබවින්ම එයට සම්බන්ධ විය යුතුය. වසංගතය නැවැත්වීම සඳහා හදිසි පියවර ක්‍රියාත්මක කිරීමේ සටන දේශපාලන බලය පිලිබඳ ප්‍රශ්නය මතු කරයි: කව්රු සමාජය පාලනය කල යුතු ද, ධනේශ්වර පාලක ප්‍රභූව ද නැත්නම් කම්කරු පන්තිය ද?

කම්කරුවන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට විශාල සහයෝගයක් තිබෙනු ඇත්තේ එක්සත් ජනපදය තුල පමනක් නොවේ. එකම කොන්දේසිවලට මුහුන දෙන හා එකම අවශ්‍යතා ඇති ලොව පුරා සිටින කම්කරුවන්ට එය පෙලඹවීමක් හා දිරිගැන්වීමක් වනු ඇත.

වසංගතය සම්බන්ධයෙන් පාලක පන්තියේ සමස්ත ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ ධනවාදය මානව ප්‍රගතිය හා ජීවිතය ම සමග නො පෑහෙන බව යි. ධනවාදයට විකල්පය වන්නේ සමාජවාදය යි. එනම් පුද්ගලික ලාභය නො ව සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජ හා ආර්ථික ජීවිතය ප්‍රතිව්‍යුහගත කිරීම යි.

කමිටු පිහිටුවා, වැඩවර්ජන සංවිධානය කිරීම අරඹා පලල් ලෙස සමාජ මාධ්‍යවල තොතුරු හුවමාරු කර ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. විවිධ වැඩබිම් හා කර්මාන්ත ඒකාබද්ධ කරමින්, හා ස්වාධීන ආරම්භකත්වයන් පිලිබඳ ව ලෝකය පුරා කම්කරුවන්ට තොරතුරු සපයමින්, විරුද්ධත්වය සංවිධානය කිරිමේ දී සසප කම්කරුවන්ට සහාය දීමට සූදානම් ය.පහත සඳහන් ආකෘති පත්‍රය භාවිතා කර, අප හා සම්බන්ධ වන ලෙස මෙම ක්‍රියාමාර්ගය සමඟ එකඟ වන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.

ඉදිරි සති හා මාස අතිශයින්ම තීරනාත්මක ය. කම්කරුවන් දැන් ගන්නා ක්‍රියාමාර්ගවලට සිය දහස් ගනනකගේ ජීවිත බේරා ගත හැකි ය. නාස්ති කිරීමට කාලයක් නැත.

මෙම ප්‍රකාශය දෙසැම්බර් 16 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

Loading