කටුනායක නෙක්ස්ට් කම්කරුවන්ගේ වර්ජනය කඩාකප්පල් කිරීමට පාලකයෝ සහ කම්කරු කාර්යාලය කුමන්ත්‍රනය කරති

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) පිහිටි නෙක්ස්ට් මැනුෆැක්චරින් ඇඟලුම් කම්හලේ කම්කරුවන්, තමාට හිමි සම්පූර්න බෝනස් දීමනාව ලබා ගැනීම සඳහා දියත්කොට ඇති වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමේ අරමුනෙන්, එහි පාලකයෝ, දෙසැම්බර් 30 වැනි දා නැවත විවෘත කරන තුරු කම්හල වසා දැමූහ.

මෙම තීරනය ගනු ලැබුවේ, නෙක්ස්ට් පරිපාලනයේ නියෝජිතයන් සහ කොලඹ කම්කරු කාර්යාලයේ නිලධාරීන් අතර ඊයේ සිදු කෙරුනු සාකච්ඡාවකින් පසුව ය. බෝනස් දීමනාවේ ඉතිරි අර්ධය ගෙවනවා ද නැද්ද යන්න ලබන වසරේ ජනවාරි 8 දා ප්‍රකාශ කරන බවට ද, කම්හල මෙ මස 30 දා යලි විවෘත කල පසු කම්කරුවන් වැඩ වර්ජනය නවතා වැඩට යායුතු බවටද සාකච්ඡාවේ දී තීරනය කෙරී ඇත. මෙම සාකච්ඡාව සහ තීරනය වර්ජනය බිඳීමට සැලසුම් කල තුච්ඡ කුමන්ත්‍රනයක් බව ඉතා පැහැදිලි ය.

කම්කරුවන් අතර වැඩෙන වෛරය තුනී කිරීම සඳහා බෝනස් දීමනාවෙන් භාගයක් සඳුදා ඔවුන්ගේ බැංකු ගිනුම්වලට බැර කර ඇත. එහෙත් කම්කරුවෝ පවසන්නේ තමන්ට මුලු දීමනාව ම ලබා දිය යුතු බවයි.

තමාට හිමි වසර අග බෝනස් දීමනාව කපා දැමීමට එරෙහි ව දෙසැම්බර් 16 වැනි දා ආරම්භ කෙරුනු වැඩ වර්ජනයට කම්කරුවෝ 2000 ක් පමන සහභාගී වූහ. පාලකයෝ වර්ජනය මැඩලීමේ අරමුනෙන් සිකුරාදා පොලීසිය කැඳවූහ. බෝනස් දීමනාවෙන් භාගයක් ගෙවන බව පරිපාලනය පසුව පැවසූ නමුත්, කම්කරුවෝ එය ප්‍රතික්ෂේප කරමින් දිගටම වර්ජනයේ යෙදී සිටියහ.

අරගලය කඩාකප්පල් කිරීමේ අරමුනින් සෙනසුරාදා සහ ඉරිදා කම්හල වසා තැබුනි. පසු ව, සඳුදා සහ අඟහරුවාදා නිවාඩු දින වශයෙන් කම්හල් මුහුනු පොතේ නිවේදනය කර ඇති අතර කම්කරුවන් ප්‍රවාහනය කිරීම් සඳහා කම්හල විසින් සැපයෙන බස් රථ නවත්වා තිබිනි. කෙසේ වෙතත් සේවකයන්ගෙන් විශාල සංඛ්‍යාවක් පොදු ප්‍රවාහන මගින් මෙම දින දෙකේ ම පැමිනි බව නෙක්ස්ට් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලහ.

පාලකයින්ගේ උපදෙස් මත, කම්කරුවන් කලාපයේ පිවිසුම් දොරටුවෙන් ඇතුල්වීම වලකා ඇත. පිවිසුම් දොරටුව අසල රැඳී සිටි කම්කරුවන්ගෙන් කිහිප දෙනෙකු පසු ව මීගමුවේ කම්කරු කාර්යාලයට ගොස් සිද්ධිය පැහැදිලි කිරීමේ ලිපියක් භාර දී, එය කොලඹ නාරාහේන්පිට ප්‍රධාන කම්කරු කාර්යාලයට යොමු කරන ලෙස ඉල්ලා සිටි බව ද කම්කරුවෝ පැවසූහ. ඒ අනුව, ඊයේ දිනයේ, කොලඹ කම්කරු කාර්යාලයට කම්කරු නියෝජිත පිරිසක් යාමට නියමිත බව ඔවුහු තවදුරටත් කියා සිටියහ.

පසු ගිය සතියේ කම්කරු කාර්යාලයේ නිලධාරීන් කම්හලට පැමින පාලකයින් සමග සාකච්ඡා කල බවත්, තව දුරටත් කම්කරු නිලධාරීන් හමුවීමෙන් පලක් නොවන බවත් කම්කරුවෝ කියා සිටියහ.

ඔක්තෝබර් මස කෝවිඩ්-19 ආසාදිතයින් හමුවීමෙන් පසු විටින් විට කරන ලද පීසීආර් පරීක්ෂනවලින් සමස්ත සේවකයින් 2,000 න් 300 ක් පමන වයිරසයෙන් අසාදිත බව සොයාගෙන ඇත. ඉන්පසු කම්හල තුල මීටරයක දුරස්තභාවයක් පවත්වා ගනිමින් වැඩ කිරීමට සලස්වා ඇති නමුත් වයිරසය ආසාදනය වීමේ අනතුර තවමත් පවතින බව එක් කම්කරුවක් පැවසී ය. රෝහල් ගත වී සිටි සමහර අසාදිත සේවකයින් දෙවන පීසීආර් පරීක්ෂනයට යොමු නොකර රෝහල්වලින් නිදහස් කර ඇති අතර, ඔවුන්ද යලි සේවයේ නිරත බැවින් මෙම අවදානම වඩාත් වැඩිය. මෙය කලමනාකරනය කිරීමට පාලකයෝ උනන්දු නොවෙති.

කම්කරුවන්ගේ බෝනස් මුදල කපා දැමීම සඳහා නෙක්ස්ට් පරිපාලනයට කිසිදු සාධාරන හේතුවක් නැතැයි කම්කරුවන් පවසන්නේ, ආසාදිතයන් හමුවීමෙන් පසු සති කිහිපයක් කම්හල වසා තබා යලි විවෘත කිරීමෙන් අනතුරු ව කම්හල දිගටම වැඩ කල හෙයිනි. තවදුරටත්, ඔවූහු පැවසුවේ, මෙවර වාර්ෂික සාදය, ක්‍රීඩා උත්සවය සහ පිරිත නොපැවැත්වෙන බැවින් විශාල මුදලක් කම්හලට ඉතිරි වන බවයි. එම නිසා බෝනස් දීමනාව කපා දැමීමට හේතුව, කම්හල පාඩු ලැබීම යැයි පාලකයින්ගේ කියාපෑම කම්කරුවෝ පිලි නොගනිති.

වසංගතයේ මුවාවෙන්, පසු ගිය වසරවල ගෙවන ලද බෝනස් දීමනා හෝ වසර අග නිවාඩු කපා දැමීමට පාලකයින් විසින් දරන ලද උත්සාහය ව්‍යර්ථ වූයේ කම්කරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි. එමෙන්ම, නෙක්ස්ට් කම්කරුවන්ගේ වැඩ වර්ජනයෙන් පෙන්නුම් කෙරෙන්නේ කම්කරුවන් තුල වැඩෙන නොසන්සුන්තාව සහ කැරලිකාරීත්වයයි.

වසර අවසාන නිවාඩුවේ දී කම්කරුවන් තම දුර බැහැර නිවෙස් වලට ගියහොත් නැවතත් සති දෙකක් නිරෝධායනයට යොමු වීමට සිදුවිය හැකියැයි පවසමින්, වසර අග දින පහක නිවාඩුව අවලංගු කොට, එය දෙසැම්බර් 25 ට පමනක් සීමා කිරීමට කනිවෙකයේ පිහිටි ස්ටාර් ගාමන්ට් ඇඟලුම් කම්හලේ පාලකයෝ මාන බැලූහ. එහෙත්, කම්කරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ පාලකයෝ දින පහේ නිවාඩුව අනුමත කලහ.

කනිවෙකයේ පිහිටි, අපනයනය සඳහා ට්‍රාන්ස්ෆෝමර් නිපදවන, ජපන් හාම්පුතෙකුට අයත් ඔකායා ලංකා කම්හලේ කම්කරුවන් තම වාර්ෂික වැටුප් වර්ධක කපා දැමීමට එරෙහි ව නොවැම්බර් 18 වැනි දා ආරම්භ කල වැඩ වර්ජනය සහ විරෝධතා උද්ඝෝෂනය දින 10 ක් ඇදී ගියේ ය.

ආසාදිතයන්ගේ අශ්‍රිතයින් ලෙස නිරෝධායනය වෙමින් සිටි කම්කරුවන්ට සේවයට පැමිනෙන ලෙස කටුනායක ස්ටාර් ගාමන්ට් කම්හලේ පාලකයන් කරන බලපෑම් එම කම්කරුවන් ප්‍රතික්ෂේප කල නිසා පාලකයින්ට එම බලපෑම අකුලා ගැනීමට සිදු විය.

කෙසේවෙතත්, ධනේශ්වර අරබුදයේ බර කම්කරු පන්තිය මත පටවමින් තම ලාභ හඹා යමින් සිටින කම්හල් හාම්පුතුන් කම්කරුවන්ගේ වැටුප්, දීමනා සහ රැකියා කප්පාදු කිරීම් වඩාත් ගැඹුරු කිරීමට පසුබට නොවනු ඇත.

බ්‍රිතාන්‍ය සමාගමකට අයත් වන නෙක්ස්ට් මැනුෆැක්චරින් ඇඟලුම් කම්හල කම්කරුවන් දරුනු සූරා කෑමකට ලක් කරන අතර බෝනස් දීමනාව අඩකින් කපා හැරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කම්කරු අයිතීන් කපා දැමීමට පාලකයින්ගේ ඇති සුදානමයි. අනෙක් අතට, වර්ජනය බිඳීමට පොලීසිය කැඳවීමෙන්, කම්කරුවන්ගේ අරගල මැඬීම සඳහා රාජ්‍ය මර්දනය රුදුරු ම ආකාරයෙන් යෙදීමට පාලකයන් සුදානම් වන අයුරු පෙර ඇඟවුම් කරයි.

Loading