මරන 7,810ක් ද ඇතුලත් ව බංග්ලාදේශයේ වසංගත රෝගීන් මිලියන භාගයක් ඉක්මවයි

වෛද්‍ය විශේෂඥයෝසෞඛ්‍ය හදිසි අවස්ථා සම්බන්ධයෙන් අගමැතිනිය ෂීක් හසීනා ආන්ඩුවේ අසංවේදී නොසලකා හැරීම විවේචනය කරද්දී නිල වශයෙන්, බංග්ලාදේශයේ කොවිඩ්-19 වසංගත රෝගීන් 524,000 ඉක්මවමින් මරන 7,810 ට වඩා වැඩි වී ඇත.

පලමු කොවිඩ්-19 ආශ්‍රිත සිද්ධීන් හා මරන වාර්තා වී මාස නවයක් ගත වී ඇත: එනම් පසු ගිය වසරේ මාර්තු 8 වන දින පලමු ආසාදිතයින් තිදෙනා සහ මාර්තු 18 වන දින පලමු මරනයයි.

ආන්ඩුව අවතක්සේරු කර ඇති අර්බුදයේ පරිමාව වෙනත් රටවල සංඛ්‍යාලේඛන හා සසඳන විට පැහැදිලි වේ. මෙම රටවල් වෛරසය පාලනයකින් තොර ව ක්‍රියාත්මක වීමට ඉඩ සලසන සාපරාධී “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තිය අනුගමනය කලහ.

බංග්ලාදේශයේ චන්ද්පූර් හි කොවිඩ්-19 වසංගත සහන සේවා [මුලාශ්‍රය: Flickr]

ඉන්දියාව රෝගීන් 500,000 ඉක්මවා, මරන 15,000 කට වඩා වාර්තා කරද්දී, ඔවුන් දහසකට පරීක්ෂන 0.14 ක් පවත්වා තිබිනි. ලෝකයේ දරුනුත ම බලපෑමට ලක්වූ රට වන එක්සත් ජනපදය රෝගීන් 500,000 ඉක්මවා යාමට ආසන්න වෙමින් 18,000 කට අධික මරන සංඛ්‍යාවක් වාර්තා කරද්දී ඔවුන් දහසකට පරීක්ෂන 0.50 ක් පවත්වා තිබිනි. එහෙත්, බංග්ලාදේශය විසින් සිදු කර ඇත්තේ මිනිසුන් දහසකට පරීක්ෂන 0.09 ක් පමනි. එය ලෝකයේ අඩු ම එකක් වන අතර, දෙසැම්බර් 2 වන දින දත්ත වලට අනුව, රෝගීන් සංඛ්‍යාව මිලියන භාගයක් කරා ලඟා විය.

ඩකා විශ්ව විද්‍යාලයේ ජන සංහාර අධ්‍යයන කේන්ද්‍රය (Centre for Genocide Studies) යටතේ බංග්ලාදේශ සාම නිරීක්ෂනාගාර (Bangladesh Peace Observatory) ආයතනය වාර්තා කරන්නේ, රාජ්‍ය බලධාරීන්ගේ අනෙකුත් සංඛ්‍යාලේඛනවලට අමතර ව, මාර්තු 22 සිට නොවැම්බර් 28 දක්වා කාලය තුල වෛරස් රෝග ලක්ෂන ඇති පුද්ගලයින්ගේ මරන 2,205 ක් ගනනය කර ඇති බවයි. එය මාධ්‍ය ආයතන 25 ක තොරතුරු මත පදනම්ව වාර්තා සකස් කලේ ය.

ජනවාරි 8 වන විට බංග්ලාදේශයේ පරීක්ෂන මිලියන 3.33 ක් සිදු කර ඇත. පසුගිය සතියේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කරන ලද 13,600 කට වඩා වැඩි පරීක්ෂන ප්‍රමානය දෙසැම්බර් 15 වන දින සිදු කෙරුනු 19,000 උපරිමයේ සිට අඩු වීමකි. වෛද්‍ය විශේෂඥයන් තරයේ කියා සිටින්නේ අවම වශයෙන් දිනකට පරීක්ෂන 50,000 ක් වත් කල යුතු බවයි.

ජනවාරි 6 වන දින හසීනා සිය අවාමි ලීග් ආන්ඩුවේ දෙවන සංවත්සරය වෙනුවෙන් ජාතිය ඇමතී ය. “බංග්ලාදේශයේ ආසාදන අනුපාතය හා මරන සංඛ්‍යාව තවමත් බෙහෙවින් අඩු ය. වසංගතය පාලනය කර ගැනීමට අපි උපරිම උත්සාහයක් ගන්නා අතර එන්නත් කඩිනමින් බංග්ලාදේශයට ගෙන ඒමට පොරොන්දු වී ඇත්තෙමු” යනුවෙන් ඇය පම්පෝරි ගැසී ය.

වසංගතය අතරතුර ජීවිත අහිමිවූවන් වෙනුවෙන් ඇය යාච්ඥා කල අතර, වසංගතය එරෙහිව ධෛර්ය සම්පන්න ව සටන් කිරීම පිලිබඳව වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදාව සහ ක්ෂේත්‍ර මට්ටමේ සේවකයින් ඇතුලු පලමු පෙල සේවකයින්ට ස්තූති කලාය.

කෙසේ වෙතත්, වෛරසය පැතිරීම ආරම්භයේ දී වෛද්‍ය විශේෂඥයින් දුන් උපදෙස්වලට පටහැනි ව, ආන්ඩුව රංචු ප්‍රතිශක්ති ප්‍රතිපත්තිය නිහඬ ව අනුමත කලේ ය. මීට පෙර අදහස් දක්වමින් හසීනා වසංගතය අවතක්සේරු කලේ එය “එතරම් මාරාන්තික නොවේ” යැයි කියා සිටිමිනි.

වෛද්‍ය හා බෝවන රෝග විශේෂඥ මහාචාර්ය රිද්වානුර් රහ්මාන් “කෝවිඩ්-19 ට එරෙහි ආන්ඩුවේ මූලෝපාය මුල සිට ම සියදිවි නසා ගැනීමක්.” යනුවෙන් අදහස් දැක්විය. “වරායවල සෝදිසි කිරීම් සහ නිරෝධායනයේ සිට පරීක්ෂා කිරීම සහ සම්බන්ධතා සොයා ගැනීම දක්වා සියල්ල සිදු කරනු ලැබුවේ නමට පමනි,” යනුවෙන් ඔහු පැවසී ය.

පුද්ගලික ආරක්ෂන උපකරනවල බරපතල ඌනතාවයත් සහ ප්‍රමිතියෙන් තොර උපකරන සැපයීමත් හේතුවෙන් දෙසැම්බර් 28 වන විට වෛද්‍යවරුන් 112 ක් ඇතුලු සෞඛ්‍ය සේවකයින් සිය ගනනක් මිය ගොස් ඇත.

ජුනි මාසයේ දී බංග්ලාදේශය සියලු ම කොවිඩ්-19 පරීක්ෂන සහ ප්‍රතිකාර සඳහා ගාස්තුවක් නියම කල අතර එය අනවශ්‍ය පරීක්ෂන අධෛර්යමත් කිරීමට අවශ්‍ය නිසා බව ප්‍රකාශ කෙරිනි. නිල නිවේදනයට අනුව, එකතු කිරීමේ කුටිවල නියැදි ලබා දෙන්නේ නම් මිනිසුන් ටකා 200 ක් (ඇමරිකානු ඩොලර් 2.35 ක් පමන) ගෙවිය යුතුය. නිවෙස්වලින් සාම්පල ලබා ගන්නේ නම් ටකා 500 ක් ගෙවීම අවශ්‍ය වේ.

ආන්ඩුව විසින් මෙම බර සාමාන්‍ය වැඩකරන ජනතාව මත පටවා ඇති අතර අතිමහත් බහුතරයකට සීමිත රාජ්‍ය සෞඛ්‍ය පහසුකම් සඳහා පවා ප්‍රවේශයක් නොමැත.

ඔක්තෝම්බර් මාසයේ දී, ඩකාහි පිහිටි බලශක්ති හා සහභාගීත්ව පර්යේෂන මධ්‍යස්ථානය (පීපීආර්සී) (Power and Participation Research Centre) විසින් කරන ලද සමීක්ෂනයක් දෙසැම්බර් 14 දා බිස්නස් ස්ටෑන්ඩර්ඩ් උපුටා දැක්විය. මේ අනුව, දුප්පත් පවුල් සඳහා ලබා දෙන ලද ආන්ඩුවේ සෞඛ්‍ය කාඩ්පත් පද්ධතිය මඟින් ප්‍රතිලාභ ලබන නාගරික දුප්පතුන්ගෙන් සමන්විත කුටුම්භ 1200 ක් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්විනි.

එහි වාර්තාවට අනුව, සෞඛ්‍ය කාඩ්පත් ඇත්තේ කුටුම්භයන්ගෙන් සියයට 9 ක් පමනක් වන අතර සියයට 32 ක් කියා සිටියේ සෞඛ්‍ය කාඩ්පත් ක්‍රමය පිලිබඳව තමන් සම්පූර්නයෙන්ම නොදන්නා බවයි.

පසුගිය සතියේ ඩේලි ස්ටාර් හි බංග්ලාදේශයේ සමාජ අසමානතාවය පිලිබඳ ලිපියක දැක්වූයේ, බංග්ලාදේශයේ වැඩිම දුප්පත්ම දිස්ත්‍රික්ක 10 න් හයක වසංගත පරීක්ෂන මධ්‍යස්ථානයක් නොතිබුනු බවයි.

වසංගතය හේතුවෙන් ඉපැයීම් අහිමි වූ ඩකාහි තම පවුල සමග පදිංචි වී සිටි 40 හැවිරිදි රික්ෂෝ-කරත්තකරුවකු වන ෂාහිදුල් මොන්ඩොල්ට තම ආදායම් අහිමි වීම හේතුවෙන් ඩකා සිට කි.මී. 190 ක් පමන ඈතින් පිහිටි බොගුරා හි පිහිටි තම ගොවි ගම්මානයට තම පවුලේ සාමාජිකයන් ආපසු යැවීමට සිදු විය.

ඔහු බිස්නස් ස්ටෑන්ඩර්ඩ් වෙත පැවසුවේ, “මගේ පවුලේ කෙනෙකු අසනීප වූ විට, මම දේශීය ෆාමසියකට ගොස් ඖෂධ ලබා ගනිමි. ඔබ වෛද්‍යවරුන් හමුවන්නේ නම්, ඔබට අනවශ්‍ය ලෙස පරීක්ෂන සඳහා මුදල් ගෙවිය යුතු ය. ඒ සඳහා මා ලඟ මුදල් නැහැ”.

ජනවාරි 6 වන දින සිය කතාවේදී හසීනා උත්තේජක පැකේජයක් ලෙස ටකා ට්‍රිලියන 1.2 ක් හෙවත් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.3 ක් ලබා දීම ගැන පුරසාරම් දෙඩුවාය. මෙම පැකේජය දුප්පතුන්ට ප්‍රයෝජනවත් වන බව ඇය කියා සිටියාය. කෙසේ වෙතත්, එය ඇත්ත වශයෙන්ම මහා ව්‍යාපාරිකයන්ට වාසිදායක වන අතර දිලිඳුකම රට පුරා ගැඹුරු වේ.

වසංගතයට පෙර පවා, 2019 වසරේදී නාගරික හා ග්‍රාමීය දුප්පතුන් “ආහාර අනාරක්‍ෂිතතාව” අත්විඳ ඇත. පසුගිය වසරේ දෙසැම්බරයේ බංග්ලාදේශ සංඛ්‍යාලේඛන කාර්යාංශය (Bangladesh Bureau of Statistics) විසින් කරන ලද සමීක්ෂනයකින් හෙලි වූයේ “දුප්පත් නාගරික කුටුම්භයන්ගෙන් සියයට 12 කට පමන තම නිවසේ ආහාර නොමැති බවත්, සියයට 21 කට වඩා කුටුම්භයන්ට තමන්ට අවශ්‍ය ආහාර ලබා ගත නොහැකි බවත්” යන්න නිව් ඒජ් පුවත්පත වාර්තා කරයි .

දුප්පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති අතර ආන්ඩුවේ අධ්‍යාපන වැඩසටහන් සමඟ අන්තර්ජාල සම්පත් ලබා ගැනීමේ පහසුකම් ඇති පොහොසත් පවුල්වල දරුවන්ට වාසි සැලසී ඇත.

අගුලු දැමීමත් සමඟ අධ්‍යාපන ආයතන මාර්තු මාසයේ දී වසා දමන ලදී. විවිධ අධ්‍යයන හා සමීක්ෂනයන් සොයා ගත් පරිදි “රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන සහ ඔන්ලයින් පන්ති හරහා නිවසේ සිට සිසුන්ට අධ්‍යාපනය ලබා ගැනීම පහසු කිරීම සඳහා ආන්ඩුව විසින් ඒ ඒ වෙලාවට ගනු ලබන පියවර මගින් සිසුන් මිලියන 9 ක් වෙත මෙම පහසුකම ලඟා වීමට නොහැකි වූ බව තක්සේරු කෙරුනු බව මාධ්‍ය වාර්තා කලේ ය.

මෙය අවධාරනය කරන්නේ හසිනාගේ කුහකකමයි. වරක් ඇය පැවසුවේ, “අපට අවශ්‍ය වන්නේ රට දිලිඳුකමින් මුදවා ගැනීමටයි. අධ්‍යාපනයකින් තොරව රටක් දරිද්‍රතාවයෙන් තොර රටක් බවට පත් කල නොහැකිය” යනුවෙනි.

ඇඟලුම් හා අවිධිමත් අංශයේ කම්කරුවන් දස දහස් ගනනකට රැකියා අහිමි වී ඇති අතර, ප්‍රමානවත් රැකවරනයක් සඳහා පහසුකම් නොමැතිව “නව සාමාන්‍ය” තත්වයන් යටතේ සෙසු කම්කරුවන් සේවයේ යොදවනු ලැබ ඇත.

වැටුප් කප්පාදුව ක්‍රියාත්මක කිරීම සඳහා වන තත්වය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කරමින්, ඇඟලුම් හිමියන්ගේ ප්‍රධාන ආයතනයක් වන බංග්ලාදේශ නිට්වෙයාර් මැනුෆැක්චරර්ස් ඇන්ඩ් ඒක්ස්පෝර්ටර්ස් ඇසොසිඒෂන් ආයතනය (Bangladesh Knitwear Manufacturers and Exporters’ Association), ඇඟලුම් කම්කරුවන් සඳහා සියයට 5 ක වාර්ෂික වැටුප් වර්ධකයක් සඳහා වන නීතිමය ප්‍රතිපාදන කම්කරු අමාත්‍යාංශය විසින් අත්හිටුවන ලෙස ඉල්ලා ඇත.

මෑතදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් බංගලඩේෂ් (Transparency International Bangladesh) ආයතනයේ වාර්තාවකට අනුව, ඇඟලුම් සහ අනෙකුත් අපනයන අරමුනු කරගත් කර්මාන්තවල කම්කරුවන් මිලියන 4 න් මිලියන 1.4 කට පමන, ආන්ඩුවේ පොරොන්දුව තිබිය දී ම, උත්තේජක පැකේජයෙන් කිසිදු කොටසක් ලැබී නොමැත. කම්කරුවන් 65,000 ත් 100,000 ත් අතර සංඛ්‍යාවක් රැකියා විරහිතයෝ බවට පත් වූහ, නැතහොත් වන්දි නොමැතිවම රැකියාවලින් නෙරපන ලදී.

මෙසේ සිදුවී ඇත්තේ, ආන්ඩුව දැනටමත් ඇඟලුම් අංශයට ඩොලර් බිලියන 7.4 ක මූල්‍ය ආධාර ලබා දී ඇති තතු යටතේය.

Loading