තම සේවා සගයෙකු කොරෝනා රෝගයෙන් මියයාම ගැන වෛද්‍යවරු දෙදෙනෙකු පලකල අදහස්

රාගම ශික්ෂන රෝහලේ ශල්‍ය වාට්ටුවක සේවයේ යෙදී සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන, කෝවිඩ් ආසාදනය හේතුවෙන් පසුගිය පෙබරවාරි 02 දා ගාල්ල කරාපිටිය ශික්ෂන රෝහලේ දී මිය ගියේය.  තමා ආසාදිතබව දැනගත් වෛද්‍ය දන්තනාරායන, ජනවාරි 8 වෙනි දා අංගොඩ බෝවන රෝග ආයතනයට ඇතුලත් වී ඇති නමුත්, ඔහුගේ තත්ත්වය නරක අතට හැරී පෙනහලු අකර්මන්‍ය වූ බැවින්, විශේෂ ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකොට යවා ඇත. 

වෛද්‍ය දන්තනාරායනගේ මරනයෙන් පසුව ඔහුගේ මානුෂීය ගුනාංගයන් සහ ඔහුගේ ආදරනීයයන් පත්ව ඇති දුක්ඛිත තත්වය පිලිබඳ විවිධ වාර්තා ප්‍රසිද්ධ සහ සමාජ මාධ්‍යයන්හි අතොරක් නැතිව පලවුවද, එම මරනය කෙරෙහි බල පෑ යතා හේතු ඒ කිසිවකින් අනාවරනය නොවුනි. 

වෛද්‍ය ගයාන් දන්තනාරායන

මෙම තතු තුල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් කන්ඩායමක් ඒ පිලිබඳව කල සමීක්ෂනයක කොටසක් ලෙස, රජයේ රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන් දෙදෙනෙකු සමග කල සම්මුඛ සාකච්ඡාවන් දෙකක් පහත පලවෙයි. 

රාජ්‍ය දඩයමෙන් ඔවුන් ආරක්ෂා කරනු වස් මෙහිදී ඔවුන් හඳුන්වන්නේ අන්වර්ථ නාම වලිනි.                                 

****

වෛද්‍ය අශාන්ත බන්ඩාර සමග කල සාකච්ඡාව

ලෝසවෙඅ: රාගම ශික්ෂන රෝහලේ සේවය කරමින් සිටි ගයාන් දන්තනාරායන වෛද්‍යවරයාගේ  මරනය පිලිබඳව ඔබේ අදහස කුමක්ද ?

වෛද්‍ය අශාන්ත බන්ඩාර: 

මම පලමුවෙන්ම සිද්ධිය සැකෙවින් විස්තර කරන්නම්. සැබැවින්ම තමා කොවිඩ්-19 ආසාදිතයෙකු බව පීසීආර් පරීක්ෂනයකින් තහවුරු වූ වහාම ගයාන්, ඔහු විසින්ම අංගොඩ බෝවෙන රෝග පිලිබඳ රෝහලට ඇතුලු වී තිබෙනවා. 

එහිදී ඔහුගේ රෝගය කෝවිඩ් නිව්මෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වී පෙනහළු අකර්මන්‍යවීම හේතුවෙන්, ECMO (extra-corporeal membrane oxygenation) යන්ත්‍රයක් මගින් කෘතිම ශ්වසනය ලබාදීමේ අවශ්‍යතාවය මතුවෙලා තිබෙනවා. 

පෙනහළු අකර්මන්‍ය වූ රෝගීන් ගේ පෙනහල්ල සුව අතට හැරෙන තෙක් එහි කාර්යභාරය කලහැකි ECMO යන්ත්‍රය මගින් රුධිරයට ඔක්සිජන් එකතු කිරීම හා රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් පිට කර හැරීම කෘත්‍රිමව සිදු කරනව. 

ECMO යන්ත්‍රයක් තිබෙන කරාපිටිය ශික්ෂන රෝහලට මාරු කිරීමෙන්  පසු  තමයි ඔහු මියගියේ.  

ලෝසවෙඅ: 

අංගොඩ සිට මේ තරම් දුරබැහැරට ඔහු රැගෙන ගියේ ඇයි? ඔහුගේ රෝගී තත්වයට ප්‍රතිකාර කලහැකි වෙනත් රෝහලක් කොලඹ හෝ ඒ තදාසන්නව නැද්ද?

වෛද්‍ය බන්ඩාර: 

සැබැවින්ම, මුලු ලංකාවටම ECMO යන්ත්‍රයක් තියෙන්නෙ කරාපිටියෙ රෝහලේ විතරයි. ඒකයි ගයාන් කරාපිටියට යවන්න හේතුවුනෙ.

ලෝසවෙඅ: 

අනෙක් රෝහල්වල එම යන්ත්‍රය නැත්තේ ඇයි?

වෛද්‍ය බන්ඩාර: 

සැබැවින්ම සෑම ප්‍රධාන රෝහලකම මෙම යන්ත්‍රය තිබිය යුතුමයි. නමුත්, පසුගිය කාලෙ ආපු ආන්ඩු ඔක්කොම සෞඛ්‍ය වියදම් බරපතල ලෙස කපා දැමීම හේතුවෙන්, මේ වගේ සාපේක්ෂව ඉහල මුදලක් වැයවන යන්ත්‍රවල විතරක් නෙමෙයි මිල අඩු සාමාන්‍ය උපකරනවලත් විශාල හිඟයක් තියෙන්නෙ. 

විශේෂයෙන්ම, මේ වසංගතය මැද්දෙ, රෝහල්වල සෞඛ්‍ය ආරක්ෂක උපකරනවල (පීපීඊ) හිඟය දැවැන්ත යි. සෞඛ්‍ය කාර්යය මන්ඩලයට අවශ්‍ය N - 95 මුහුනු ආවරන ඇත්තේ ම නැති තරම්. කිසිදු ප්‍රමිතියක් නැති පීපිඊ සමග සපයන්නේ KN - 95 නැමැති සාමාන්‍යයෙන් වෙලඳපොලේ තියෙන වෛද්‍යමය නොවන මුහුනු ආවරන. මේ හේතුව නිසා රෝහල් සේවකයො ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ වැඩ කරන සියලු දෙනාම ඉතා අවදානමෙන් වැඩ කරන්නෙ.

එහෙම තත්ත්වයක් ඇතුලෙ ගෝඨාභය රාජපක්ෂගෙ ආන්ඩුව මෙවර අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කරල තියෙන්නෙ රුපියල් බිලියන 159 ක් වගේ සොච්චමක්. එය ගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 30 කට ආසන්න කප්පාදුවක්.

ලෝසවෙඅ: 

රෝහල් සේවකයො මුහුනදෙන අවදානම් තත්වය ගැන තවදුරටත් පැහැදිලි කරන්න පුලුවන්ද?

වෛද්‍ය බන්ඩාර: 

ඔව්. ඒ අතරින් ප්‍ර‍ධානම අවදානම පවතින්නෙ කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරික්ෂන නිසි අයුරින් නොකිරීම තුල. රෝහල්වලට ඇතුලත් කරන සියලු දෙනාට ඇතුලත් කරන අවස්ථාවේදීම කොරෝනා ඇන්ටිජන් පරීක්ෂනයත් පසුව පීසීආර් පරීක්ෂනයත් කරන්න ඕන. සෞඛ්‍ය කාර්ය මන්ඩල මේ ඉල්ලීම කොච්චර කලත් ආන්ඩුව ඒක පයිසෙකටවත් ගනන් ගත්තේ නෑ.

රෝහල් වල පීසීආර් පරීක්ෂන කරන්නෙ රෝග ලක්ෂන ඇති රෝගීන්ට හා ශල්‍යකර්ම සඳහා රැඳී සිටින රෝගීන්ට විතරයි. සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ගන්නා අය අතර රෝග ලක්ෂන නොපෙන්වන කොරෝනා රෝගීන් ඉන්න පුලුවන්. ඒ අනුව කාර්ය මන්ඩල සහ අනෙක් රෝගීන් වෛරසයට නිරාවරනය වෙනවා. 

  වෛද්‍ය රුවන් විජේතිලක සමග කල සාකච්ඡාව

ලෝසවෙඅ: 

වෛද්‍ය දන්තනාරායනගේ මරනය සමිබන්ධයෙන් ඔබේ අදහස කුමක්ද? 

වෛද්‍ය විජේතිලක:

වෛද්‍ය ගයාන් ECMO යන්ත්‍රයට සවිකිරීමට අවශ්‍ය වූ නමුත් එවැනි යන්ත්‍රයක් අංගොඩ බෝවන රෝග ආයතනය තුල නොතිබුනු නිසා පැය හතරකට ආසන්න කාලයක ප්‍රමාදයක් සිදුවෙලා තියෙනව. එය එම රෝහලේ කාර්ය මන්ඩලය ප්‍රශ්නයක් නෙවෙයි. එය ඔහු කරාපිටියට මාරු කිරීමට සිදුවූ නිසා ඇතිවූ ප්‍රමාදයක්. අවශ්‍ය තරම් එක්මෝ (ECMO) යන්ත්‍ර රෝහල් තුල තිබුනානම්, පීසීආර් පරීක්ෂන කලා නම්,  පීපීඊ ඇති තරම් දුන්න නම්,  කොවිඩ් එන්නත කඩිනමින් සම්පාදනය කලා නම් ගයාන් දන්තනාරායන අදත් ජීවතුන් අතර. 

මේ මරනය ස්වභාවික එකක් නොවෙයි. මෙය ඇතුලු අනෙක් බොහෝ මරන වලට හේතුව නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදුකොට එය පරිහානියට ලක් කිරීම. ඇත්තටම මේවා සමාජ මිනිමැරීම්. මෙම අපරාධයට ධනේශ්වර පාලකයින් හා ඔවුන්ගේ සියලු අත් උදව්කරුවන් වගකිව යුතුයි.  

ලෝසවෙඅ: 

වෛද්‍ය දන්තනාරායන නිදන්ගත රෝගාබාධවලින් දීර්ඝකාලීනව පෙළුන නිසා මෙම මරනය සිදුවූ බව මාධ්‍යවල වාර්තාවී තිබුනා. ඒගැන ඔබේ අදහස කුමක්ද?

වෛද්‍ය විජේතිලක: 

ගයාන්ගෙ මරනයෙන් පස්සෙ, එය නොවැලැක්විය හැකි මරනයක් බව හුවා දැක්වීමට සියලු මාධ්‍ය එකතුවෙල වැඩ කලා. තිස් එක් හැවිරිදි ඔහු දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආතරයිටීස් වැනි නිදන්ගත රෝගාබාධවලින් දීර්ඝකාලීනව පෙළුන බවට එම මාධ්‍ය පච ගෙතුවා.

ගයාන්ගේ ලඟම විශ්වාස ඥාතීන් අපිට කිව්වෙ, ඔහු කිසිදු රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර නොගත් බව සහතික කරන්න පුලුවන් කියල. ඉහත ප්‍රමාදය නිසා කරාපිටියෙදි යන්ත්‍රයට සවි කරන විටත් ගයාන්ගේ මොලය ද හානි වී තිබූ බවට සාක්ෂි දැන් අනාවරනය වන බව ඒ ඥාතීන් අපිට කිවුව.

මෙම පච ප්‍රචාරයේ එක් අරමුනක් තමයි සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධය යට ගැසීම. ඉදිරියේදී සිදුවීමට නියමිත දැවැන්ත කොරෝනා මරන සංඛ්‍යාවේ වගකීමෙන් ආන්ඩුව ගැලවීම අනෙක් අරමුන.

ලෝසවෙඅ: 

රෝහල්වල දැඩි සත්කාර ඒකක වල තත්වය කෙසේද?

වෛද්‍ය විජේතිලක: 

දැනටමත් බොහෝ රෝගීන් මරනයට පත් වෙන්නෙ දැඩි සත්කාර ඒකක වල ඉඩ නොමැති නිසා. මෙවර අයවැයෙනුත් සෞඛ්‍යයට වෙන් කරල තියෙන්නේ සොච්චම් මුදලක්. ඒ මුදලෙන් හදිසි සත්කාර ඒකක ඇඳන් වැඩි කිරීමට හෝ ECMO වැනි යන්ත්‍ර සැපයීම කල නොහැකි දෙයක්. ඒ නිසා මිනිස්සුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නෙ. ECMO යන්ත්‍ර කෙසේවෙතත්, ඔක්සිජන් ටිකක් වත් නොමැතිව මරනය සමග සටන් කරන්න වෙන්නෙ.

ලෝසවෙඅ:

මෙම තත්වය වෙනස් කිරීමට ඔබ යෝජනා කරන්නේ කුමක්ද?

වෛද්‍ය විජේතිලක:

පලමුව වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීමේ පියවර ගත යුතුයි. වසංගතය පාලනය කරනතෙක් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසැල් වසා දැමීම අත්‍යවශ්‍යයි. වසා දමන කම්හල්, වැඩබිම් සහ අනෙකුත් ආයතනයන්හි සේවයේ යෙදෙන සියලු දෙනාට සම්පූර්න වැටුප් ලබාදිය යුතුයි. ලමයින්ට සහ ගුරුවරුන්ට සියලු අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දීමට හැකි ඉක්මනින් පියවර ගත යුතුයි. මේ සියල්ලටමත් වඩා කඩිනමින් සියලු දෙනාට ම කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරන එන්නත සම්පාදනය කර දිය යුතුයි.

ඒ සමගම රෝගීන් හඳුනා ගැනීමේ දෛනික පරීක්ෂන සංඛ්‍යාව අවම වශයෙන් 50,000 දක්වාවත් ඉහල නැංවීමත්, රෝහල්වල අත්‍යවශ්‍ය පහසුකම් සහ ධාරිතාවන් ක්ෂනිකව ඉහල නැංවීමත් අත්‍යවශ්‍යයි.

මේ සඳහා දැවැන්ත මුදලක් වැය කලයුතු වෙනව. ඒත් මේ ආන්ඩුවත් ලෝකය පුරා අනෙක් ආන්ඩුත් ඒක කරන්නෙ නෑ. ඊයෙ තිබුනු රජයේ කැබිනට් තීන්දු පිලිබඳ මාධ්‍ය හමුවෙදි ඇමති උදය ගම්මන්පිල කිවුවෙ ලංකාව වගේ දුර්වල ආර්ථිකයක් ඇති රටකට ලොක්ඩවුන් එකකින් ඇතිවන ආර්ථික පාඩුව දරන්න බැරි නිසා ඒක කරන්නෙ නෑ කියල. 

ඒ කියන්නෙ ආර්ථිකය වෙනුවෙන් මිනිස්සුන්ගෙ ජීවිත බිලිදෙන්න ඕන කියල. එහෙම රැක ගන්න ආර්ථිකයෙන් සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙන ප්‍ර‍තිලාභයක් නෑ? එන්න එන්න ජීවන වියදම වැඩි වෙනවා. සෞඛ්‍යය සහ අධ්‍යාපනය විනාශ කෙරෙනව. විරැකියාව වැඩි වෙනව. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී අයිතීන් සියල්ල නැති කෙරෙනවා.

ඒත් මං ඊයෙ මාධ්‍යවල දැක්ක, හේලීස් සහ එල්ඕඑල්සී වගේ මහා ව්‍යාපාර වසංගතය මැද්දෙ ඔවුන්ගෙ ලාභ දැවැන්ත පරිමානව වැඩි කරගෙන තිබෙන බව.

ලෝසවෙඅ පැහැදිලි කරන ආකාරයට, අනෙක් හැම දේටම වගේ වසංගතයටත්, ලාභය අරමුනු කරගත් මේ ධනපති සමාජ ක්‍ර‍මය යටතෙ, විසඳුම් නෑ. කම්කරුවො ලෝක පරිමානව ඒකාබද්ධවෙල, ගෝලීය ධනේශ්වර පද්ධතිය පෙරලා දමා, මානව අවශ්‍යතා සාක්ෂාත් වන පරිදි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් යටතෙ ලෝක ආර්ථිකය  ප්‍ර‍තිසංවිධානය කර ගැනීම තමයි එකම විසඳුම කියල මම විශ්වාස කරනව.


Loading