පෙසප "සටන්කාමී සමිති" කම්කරුවන් ධනපති ක්‍රමයට හිරකිරීමේ අලුත් උගුල් බව හෙලිවේ

කොවිඩ්-19 වසංගතය, ගෝලීය භූ දේශපාලන ආතතීන් සහ සමාජ හා ආර්ථික අර්බුදය උග්‍ර  කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර පරිමානව පූර්ව  විප්ලවවාදී කොන්දේසිවල ආරම්භක ලක්ෂන පෙන්නුම් කරන පන්ති අරගලයේ නව වර්ධනයන් සිදුවෙමින් පවතී. මෙම අරගලයන්ගේ විශේෂ ලක්ෂනයක් වන්නේ ඒවා මෙතෙක් කලක් කම්කරුවන් හිරකරගෙන සිටි සංවිධානවලට පිටතින්  වඩ වඩාත් පුපුරා ඒම ය.

කම්කරු පන්තිය ධනේශ්වරයේ අවශ්‍යතාවලට හිරකර දමන වෘත්තීය සමිති ඇතුලු සංවිධානවලින් දේශපාලනිකව  ස්වාධීන කර බලමුලු  ගැන්වීම සඳහා මෙම පෙරලිකාරිත්වය, වෛෂයික කොන්දේසි සකසයි. එහෙත්, මෙම වර්ධනයන් ආපස්සට තල්ලු කිරීමට ව්‍යාජ වාම කන්ඩායම් ජාත්‍යන්තරව ඉදිරිපත්වී සිටිති. 

දුමින්ද නාගමුව (වමේ) ඇමති දිනේශ් ගුනවර්ධන (දකුනේ කෙලවර) සමග

ලංකාවේ මේ සඳහා මූලිකත්වය ගෙන ඇති එක්  සංවිධානයකි, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප). “සාම්ප්‍රදායක වෘත්තීය සමිති” කම්කරුවන් පාවා දී ඇති බවට විවේචනය කරමින් ඊට එරෙහිව තමන් සටන්කාමී සමිති, වාම පෙරමුනු සහ ජනතා ව්‍යාපාර ගොඩ නැගීමට ක්‍රියා කරමින් සිටින්නේයැයි මෙම පක්ෂය පූච්චානම් කියයි.   

පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව අර්බුදයට යවමින් පන්ති අරගල නගිද්දී වේගවත් කල පෙසපෙහි මෙම මැදිහත්වීම්, වසංගතය පැතිරීමත් සමග මඳ කලකට ආන්ඩුවේ නායකයන්ට ලිපි ලිවීම වැනි වෙනත් රූපයක් ගෙන තිබුනි. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව හා මහ ව්‍යාපාරිකයන්, වසංගතයත් සමග උග්‍රවී ඇති අර්බුදය තමන් මත පැටවීමට එරෙහිව කම්කරුවන්ගේ විරෝධතා හා අරගල යලි පුපුරා ඒමත් සමග "සටන්කාමී" සංවිධාන ඇටවීමේ නමින් මෙම ව්‍යාජ වාම සංවිධානය ගෙනයන ව්‍යාපාරය උත්සන්න වී ඇත. 

සෞඛ්‍යය, වතුකරය, වරාය නිදහස් වෙලඳ කලාප ඇතුලු තැන්වල මෑත අරගල පැන නැගුනේ සමිතිවලට පිටිනි. තමන්ට විරෝධතා කැඳවීමට බලකෙරුනු තැන්වල සමිති නිලධරයන් ඒවා නින්දිත ලෙස පාවාදීම  කම්කරුවන්ගේ පිලිකුලට හා කෝපයට ලක්විය. 

මේ තැන්වලට පැනගත් පෙසප, සටන්කාමී යයි හඳුන්වාගත් ව්‍යාපාර සංවිධානය කලේය. සෞඛ්‍ය කම්කරුවන් අතර තනා ඇති ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය (ඒසෞසේස) ඉන් එකකි. තවත් සංවිධානයක් නම් "කම්කරු අරගල මධ්‍යස්ථානය" යන්නයි.  වතු කම්කරුවන්ගේ රුපියල් 1000 ඉල්ලීම පෙරට ගෙනයන්නේ යැයි පවසමින් පෙසප දැවටුනු "රුපියල් දාහේ ව්‍යාපාරය" තවත් එකකි. 

නව සටන්කාමී නායකත්වයක් සැපයීම පිලිබඳ කයිවාරු කීතු කරමින් එලිදරවු වී ඇත්තේ එහි සමිති හා ව්‍යාපාර ඔවුන් විවේචනය කරන අවශේෂ සංවිධානවලට කිසිසේත්ම දේශපාලනිකව වෙනස් නැති, අතිශය රැවටිලිකාර උගුල් ලෙස කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීමට සතුරුව දැනුවත්වම ක්‍රියාකරන බවයි.  

ඒ පිලිබඳව මෑතම උදාහරනයක් නම්, සෞඛ්‍ය සේවකයින් අතර පෙසප පාලනය යටතේ පවතින ඒසෞසේස අරඹා ඇති උද්ඝෝෂනයයි. 

සෞඛ්‍ය සේවකයින් අතර ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව පැනනැගී පවතින බරපතල කෝපය හා සමිති වල පාවාදීම ගසාකමින් අටවා ඇති මේ සංවිධානය නිල ඇඳුම්, දීමනා වැඩිකිරීම හා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායෙන් කනිෂ්ඨ කාර්ය මන්ඩලයට සේවකයන් බඳවා ගැනීම් නතර කිරීම ඇතුලු ඉල්ලීම් මත පෙබරවාරි 23 පාගමනක් පැවැත්වූයේය. 

ඊට පසුදා ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ත ලංකා සුව සේවා සංගමය කනිෂ්ඨ කාර්ය මන්ඩලයට අලුතින් සේවකයන් බඳවා ගැනීම් නතර කිරීමේ ඉහත ඉල්ලීම් මතම දින දෙකක ලෙඩ නිවාඩු දැමීමේ වැඩ වර්ජනයක් දියත් කලේ ය. ජවිපෙ හා පෙසප සමිති වලට සෞඛ්‍ය බලධාරීන්ගෙන් සාකච්චා ලැබුනි.  

දෙපාර්ශ්වයටම ලැබුනේ එකම විසඳුමයි. එනම්,  බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායෙන් සේවකයන් බඳවා ගැනීම තාවකාලිකව නතර කිරීමයි.  පෙසප සමිතිය ගේට්ටු ඇරගෙන සෞඛ්‍ය අමාත්‍යාශය ඇතුලට ගොස් බලධාරීන් හමුවීම හැරුනු කොට  ඔවුන් අතර වෙනත් වෙනසක් නම් නොවීය. 

මුහුනුවර  වෙනස් බවක් පෙනුනත් ඔවුන් දෙගොල්ලම කරන්නේ ධනපති ආන්ඩුවට  බලපෑම් දමා විසඳුම් ලබාගත හැකිය යන මිත්‍යාවන් වපුරමින් කම්කරුවන් අවමංගත කිරීමට ක්‍රියා කිරීමයි.   

අඩු ආදායම් ලාභී පවුල්වල තරුනයන්ට රැකියා ලබා දීමේ කඩතුරාව යටතේ රාජපක්ෂ ආන්ඩුව පසුගිය වසරේ තරුනයන් ලක්ෂයක් බඳවා ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ "බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය" පිහිටුවූයේය. දැන් මෙම බලකායේ තරුනයන් විශ්‍රාම වැටුප් ආදී සමාජ අයිතීන් නොමැතිව රුපියල් 22,500ක අප්‍රමානවත් මාසික දීමනාවක් යටතේ  රාජ්‍ය අංශයේ විවිධ ආයතනවලට අනුයුක්ත කිරීමට ආන්ඩුව ක්‍රියා කරගෙන යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරන්නේ මෙම තරුනයන්ගෙන් කොටසකි. මෙලෙස සේවකයන් බඳවා ගනිම් නිසා තම වැටුප් හා සේවා අයිතීන්ට පහර එල්ල වේයැයි සෞඛ්‍ය සේවකයන් අතර ඇතිව තිබෙන බිය ගසාකමින් සමිති නිලධරය  වහාම කලේ "අවිධිමත් ලෙස සේවකයන් බඳවා නොගනු"යි ඉල්ලීමක් මතුකරමින් තරුනයන්ගේ රැකියා අයිතියට එරෙහිව   ක්‍රියා කිරීමයි.

සැබවින්ම නම් කල යුතුව තිබුනේ බඳවා ගන්නා තරුනයන් ගේ සියලු අයිතීන් වෙනුවෙන්, එනම් ප්‍රමානවත් ස්ථිර මාසික වැටුපක්, විශ්‍රාම වැටුප් හා නිවාඩු අයිතීන් ද සහිතව තරුනයන් බඳවා ගැනීම වෙනුවෙන් පෙනී සිටීමට කම්කරුවන් කැඳවීමයි. ධනපති ක්‍රමයෙන් බැටකන පීඩිත රැකියා විරහිත තරුනයන් වෙනුවෙන් සටන් කිරීමට කම්කරුවන් ඉදිරිපත්වීමයි. 

ධනපති ක්‍රමයට හා රාජ්‍යයට ගැට ගැසුනු වෘත්තීය සමිති එලෙස කම්කරු පන්තිය සමග තරුනයන් පෙල ගැස්වීමට මුලුමනින්ම  සතුරුය. 

මෙම පක්ෂය කයිවාරු ගසන මෑතම මැදිහත්වීමක් වන්නේ පෙබරවාරි මාසයේ වරාය කම්කරුවන් අතර පුද්ගලීකරනයට එරෙහිව පැනනැගුනු අරගලයයි. 2021 ජනවාරියේ දී වරාය ඉන්දියානු අදානි සංගතයට පැවරීමට සිදු වන බවට රාජපක්ෂ ආන්ඩුව නිවේදනය කල විට කම්කරුවන්ගේ විරෝධය හමුවේ ජනවාරි 29 වැනි දින “අකුරට වැඩ කිරීමේ” ක්‍රියාමාර්ගයක් කැඳවීමට වෘත්තීය සමිති එකමුතු ව කටයුතු කලේ ය. 

වරාය සේවකයන් ආන්ඩුවේ පුද්ගලිකරන වැඩපිලිවෙලට එරෙහිව අවශේෂ කම්කරුවන් ගේ සහායද ඇතිව බලමුලු ගැන්වීම අතිමූලික කර්තව්‍ය ලෙස මතුවිය. මෙම අරගලයේදී, ඉන්දියානු කම්කරුවන් සමග එකමුතුවට යායුතුව පැවතුනි. 

එහෙත් වරාය සමිති, කම්කරුවන් අතර පුද්ගලිකරනයට එරෙහිව නැගෙමින් පැවති විරෝධය ප්‍රතිගාමී ලෙස අවමංගත කිරීමට වැඩට බැස්සේය. ඒවා ක්‍රියා කලේ ඉතා දැනුවත්ව ඉන්දියානු විරෝධී උද්ඝෝෂනයක් ඇවිලවීම සඳහා සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී නඩ ද එකතු කර ගනිමින් ‘කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය’ නම් වූ දක්ෂිනාංශික හවුලක් ඇටවීමයි. 

පෙසප නායකයෙකුවන දුමින්ද නාගමුව, ඇල්ලේ ගුනවංස භික්ෂුව සමග වරාය ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක-2021-05f

 

පෙසප හා එහි "කම්කරු අරගල මධ්‍යස්ථානය" එම ප්‍රතිගාමී ව්‍යාපාරයේ වහාම එල්ලී ගෙන, එය වාම වහන්තරාවකින් ආවරනය කොට ජනතා අරගලයක් ලෙස හුවා දැක්වූහ. වර්ගවාදී නඩ ගැන වචනයක් කතා නොකල මෙම පක්ෂයේ  නායකයෙකු වන දුමින්ද නාගමුව, ඇල්ලේ ගුනවංස භික්ෂුව සමග එකට පුවත්පත් ඇමතුවේය. 

ආන්ඩුවේ ප්‍රකෝපකාරී අත්ගෙඩි වන වර්ගවාදී කන්ඩායම්වල උද්ඝෝෂනය මධ්‍යයේ රාජපක්ෂ කොලඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමට දීම නතර කල විට එය මහා ජයග්‍රහනයක් ලෙස හුවා දැක්වීමට පෙසප ඉදිරිපත් වූයේ එවන් "ජාතික ව්‍යාපාර" තවතවත් ගොඩනගන බවට සපථ වෙමිනි. 

එහෙත්, මෙම පක්ෂය වසංගතය මධ්‍යයේ වරාය කම්කරුවන්ට වැඩට ඒමට බලකරමින් අත්‍යවශ්‍ය සේවා නියෝගය දැමූ  විට  අනකුත් සමිති මෙන්ම ඊට මුලුමනින්ම එකඟව නිහඬව සිටී. 

පසුගිය වසරේ අප්‍රේල් මස අග පටන් රාජපක්ෂ ආන්ඩුව  මහා ව්‍යාපාරිකයන්ගේ හඬට කන්දෙමින්  කොවිඩ්-19 වසංගත තර්ජනය මධ්‍යයේම ආර්ථිකය යලි විවෘතකර කම්කරුවන් ආපසු වැඩට කැඳවූයේය. ආන්ඩුවේ සහයෝගය ඇතිව, මහ ව්‍යාපාරිකයන් විශාල රැකියා හා වැටුප් කප්පාදුවක්, සේවා කාලය දිගුකිරීමක් සහිතව අතිකාල දීමනා අහෝසි කිරීමක් ඇතුලු දැවැන්ත ප්‍රහාරයක් මුදාහැරියේය. 

මෙම ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් අතර පැතිරී ගියේ බරපතල නොසන්සුන්තාවකි. හාම්පුතුන් හා ආන්ඩුව  වෙනුවෙන් වෘත්තීය සමිති වහාම වැඩට බැස්සේය. සමිති නිලධරයෝ  කම්කරු ඇමති හා ආන්ඩුවේ බලධාරීන් සමග ජාතික කම්කරු සභාවේ ත්‍රෛපාර්ශ්වික  සාකච්චා අරඹමින් වැඩපොලවල නොසන්සුන්තාව යටපත් කිරීමට ද හාම්පුතුන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට ද සහයෝගය  දුන්හ. 

වසංගතයේ අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩට කැඳවා කම්කරුවන්ගේ ශ්‍රමය රුදුරුලෙස සූරා කෑම සඳහා ධනපති ලාභ ගරන්නන්ට ඉඩසලසමින් ගෙන ගිය වැඩපිලිවෙල පෙසප හා එහි සමිති, අනෙකුත් සමිති මෙන්ම මුලුමනින්ම අනුමත කලේය.

ජාතික කම්කරු සභාවේ තමන්ට ආසනයක් නැති නිසා, පෙසප කම්කරු අරගල නායක නාගමුව වැඩට බැස්සේ වෙනම පාරකින්  ගමන් කරමිනි.  අප්‍රේල් මාසයේ එවක කම්කරු ඇමති දිනේශ් ගුනවර්ධනගෙන් ඔහු සාකච්චාවක් ඉල්ලුවේය. අර්බුදය මධ්‍යයේ ඔවුන්ගේද සහාය ලබාගැනීමට ගනන් බලමින්  ගුනවර්ධන  වහාම සාකච්චාවක් ලබා දුන්නේය.

සාකච්ඡාවෙන් පසු, නාගමුව කම්කරුවන්ට කියා සිටියේ වැටුප් සහ රැකියා කප්පාදුවක් නොවන බවට ඇමතියා තමන්ට සහතික වූ බවයි. ආන්ඩුවට සහ ධනපති ව්‍යාපාරිකයන්ට ඔහු එලෙස සුදුහුනු ගෑවේ රැකියා හා වැටුප් කප්පාදුව දිගටම යද්දී ය. 

අප්‍රේල් මාසය මුල පෙසප නායක කුමාර් ගුනරත්නම් අගමැති මහින්ද රාජපක්ෂට ලිපි දෙකක් ලියුවේය. අගමැතිට ඔහු දන්වා සිටියේ ආන්ඩුව සමග "වෙනස්කම්" තිබුනත්, මේ අර්බුද අවස්ථාවේ ජනාධිපති රාජපක්ෂ වසංගතය මැඩීම සඳහා ගෙනයන වැඩපිලිවෙලට සහයෝගය දෙන බවයි. 

පෙසප හා එය සටන්කාමී නායකත්වයක් දෙනබව කියූ සමිතිවල වාර්තාව එවැනිය. ධනපති ක්‍රමයට මුක්කුව දෙන අනෙකුත් සංවිධාන මෙන්ම මෙම පක්ෂය ද භීතියට පත්ව සිටින්නේ කම්කරු පන්තිය තුල වැඩෙන අරගලය ගැනයි; එය ධනපති ක්‍රමය පෙරලා දැමීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය මත ස්වාධීන දේශපාලන අරගලයක් වර්ධනය කිරීමට මුලුමනින්ම සතුරුය. 

කම්කරුවන් තමන්ට විලංගුවක් වී ඇති සමිතිවලින් බිඳී කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා සිය ඉල්ලීම් දිනා ගැනීමට අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමට පෙසප එරෙහිව සිටී. එය නව "සටන්කාමී සමිති" අටවන අතරම අනෙකුත් සමිතිවල හවුල්කරුවන් ලෙසද ක්‍රියා කරයි.  

මොන නමින් ඇටවුවත් වෘත්තීය සමිති ධනපති ක්‍රමයට ගැට ගැසුනු සංවිධානයන්ය. ඒවා, ජාත්‍යන්තරවම  පසුගිය දශක කිහිපයේ  ධනපති ක්‍රමයේ හා රාජ්‍යයේ ඍජු උපකරන බවට පත්ව තිබේ. 

Loading