ආන්ඩුව මුස්ලිම් මන්ත්‍රීවරයා සිර භාරයට ගනියි, බුර්කාව තහනම් කරයි

[පහත පලවන්නේ Sri Lankan government detains Muslim parliamentarian and bans burqa නමැති මාතෘකාවෙන්  2021 අප්‍රේල් 29 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි. ]

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ, මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ බාල සහෝදර රියාජ් බදියුදීන්ගේ රඳවා ගැනීමේ කාලය තවත් දින 90කින් දීර්ඝ කරන බව පොලීසිය අඟහරුවාදා නිවේදනය කලේ ය. මෙම විෂඝෝර නීතිය යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ අප්‍රේල් 24දා  ය.

සමහර මුස්ලිම් කාන්තාවන් පලඳින සාම්ප්‍රදායික ඇඳුම් වන බුර්කාව හා නිකාබාය තහනම් කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට්ටුව අඟහරුවාදා තීරනය කලේ ය.

රිෂාඩ් බදියුදීන් (මූලාශ්‍රය: ට්විටර්/ආර්බදියුදීන්)

 මෙම ක්‍රියාවන් දෙක මගින් සනිටුහන් වන්නේ, ගෝලීය වසංගතය විසින් ගැඹුරු කරන ලද වැඩෙන සමාජ හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, රාජපක්ෂ ආන්ඩුව හා එහි වර්ගවාදී හවුල්කරුවන් විසින් මුස්ලිම්-විරෝධී ප්‍රජාගනවාදය තීව්‍ර කිරීම යි.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකලේ, අයිඑස්අයිඑස් හි පිටුබලය සහිත ව, රට තුල ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඩායමක් විසින් 2019 දී සිදුකරන ලද පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට ප්‍රතිචාර වසයෙන් යයි පොලීසිය කියා සිටියි. එම ත්‍රස්තවාදී ප්‍රහාරකයෝ පුද්ගලයන් 274ක් මරා දමමින් හා 570ට අධික පිරිසකට තුවාල සිදුකරමින්, කතෝලික දේවස්ථාන තුනකට හා සුඛෝපභෝගී හෝටල් තුනකට බෝම්බ ප්‍රහාර එල්ල කල හ.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයෙහි සහකරුවෙක් වන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට නායකත්වය දෙන බදියුදීන්, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ගේ ආන්ඩුවල කැබිනට් ඇමතිවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.

මන්ත්‍රීවරයා හා ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම, “(පාස්කු ඉරිදා) ප්‍රහාර සිදුකල මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග ඔවුන්ට සබඳතා තිබෙන බවට වන පරිවේෂනීය හා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් ව” සිදු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මාධ්‍ය වෙත පැවසී ය.

මෙම හේතු දැක්වීම් ව්‍යාජ ය. “පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සිදුකල මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට බදියුදීන්ලාගෙන් කිසිවෙක් ආධාර හෝ අනුබල දුන් බවට සාක්ෂි,” එම ප්‍රහාරය විමර්ශනය කිරීමට පත්කල ජනාධිපති කොමිසම විසින් සොයාගෙන නැති බව බදියුදීන්ගේ නීතිඥ රුෂ්ඩී හබීබ් මාධ්‍ය ප්‍රකාශයක සඳහන් කලේය. පෙබරවාරි 1දා ජනාධිපති රාජපක්ෂට ඉදිරිපත් කරන ලද එම කොමිසමේ වාර්තාව ලබා දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සීමිත පිරිසකට පමනි. 

2020 අප්‍රේල් මාසයේ පොලීසිය රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගත්තේ, ත්‍රස්තවාදී ප්‍රහාරය සමග ඔහුට සබඳතා ඇති බවට “සැකසහිත” ය යන චෝදනාව මත ය. ප්‍රහාරය සමග කිසිදු සබඳතාවක් තිබෙන බව තහවුරු කිරීමට “ප්‍රමානවත් සාක්ෂි රැස් කරගැනීමට” අපොහොසත් වූ බව කියමින් පසුගිය ඔක්තෝබර් මාසයේ ඔහු නිදහස් කරන ලදී.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයන් 702ක්, මේ දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව, පසුගිය සති අන්තයේ පැවති මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය පොලිස්පති රෝහන පැවසී ය. ඔවුන්ගෙන් 202ක් රිමාන්ඩ් භාරයේ තබා ඇති අතර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් 83 දෙනෙකු පිලිබඳව විමර්ශනය කරන බව හා 80 දෙනෙකු පීටීඒ යටතේ රඳවාගෙන ඇති බව ඔහු කීවේ ය.

පීටීඒ සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ වැරදි කර ඇති බව කියා සිටිමින්, තවත් මුස්ලිම් දේශපාලන නායකයෙකු වන අසාද් සාලි  මාර්තු 16දා පොලීසිය විසින් රඳවා ගත්තේ ය. පාස්කු ඉරිදා ප්‍රහාරය සමග සබඳතා පිලිබඳ ව ද ඔහු විමර්ශනයට ලක් කරනු ලබමින් පවතින බව පොලීසිය පැවසී ය.

2020 අප්‍රේල් මාසයේ දී, ප්‍රමුඛ පෙලේ මානව හිමිකම් ක්‍රියාකාරික නීතිඥයෙකු වන හෙජාස් හිස්බුල්ලා, “ත්‍රස්තවාදී” චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන, මාස දහයක් උසාවියට හෝ ඉදිරිපත් නොකර රඳවා ගනු ලැබී ය. ජාත්‍යන්තර හා දේශීය මානව හිමිකම් කන්ඩායම් ඔහු නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම් මධ්‍යයේ, මුස්ලිම් ශිෂ්‍යයන්ට “අන්තවාදී කතා” පැවැත්වූයේ යයි  නීතිපතිවරයා මාර්තු 12දා හිස්බුල්ලාට එරෙහිව චෝදනා ගොනු කලේ ය.

පසුගිය වසරේ මැයි 16දා, 25 හැවිරිදි ශ්‍රී ලාංකික කවියෙකු වන අහ්නාෆ් ජසීම්  පීටීඒ යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. මුස්ලිම් අන්තවාදය දිරි ගැන්වීයයි ව්‍යා ජ ප්‍රකාශ කෙරුන ද චෝදනා ඉදිරිපත් කිරීමකින් තොර ව ඔහු අත්අඩංගුවේ රඳවා ගෙන සිටී.

හිස්බුල්ලාට එරෙහිව ගෙතූ චෝදනා හැරුනු විට, 2019 අප්‍රේල් මාසයේ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවල පටන් ගත වූ වසර දෙක තුල අත්අඩංගුවට ගත් කිසිවෙකුට චෝදනා ගොනු කරනු ලැබ නැත.

1979 දී සම්මත කරන ලද මර්දනකාරී පීටීඒ පනත යටතේ, පොලීසියට ඕනෑම අයෙකු මාස ගනන් රඳවාගෙන, වධ බන්ධනවලට ලක්කරමින් පාපෝච්ඡාරන ලබාගෙන, ඒවා සාක්ෂි ලෙස යොදාගත හැකි ය. විශේෂයෙන් ම බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 30-අවුරුදු ලේවැකි වාර්ගික යුද්ධය සමයේ, දෙමල තරුනයන් හා දේශපාලන විරුද්ධවාදීන් රඳවා තබා ගැනීමට මෙම නීතිය පලල් ව යොදාගනු ලැබ ඇත.

තීව්‍ර කරමින් පවතින මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය සමගින්, අයිඑස්අයිඑස් හා අල් කයිඩා සහ දේශීය මුස්ලිම් කන්ඩායම් නවයක් ඇතුලු මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමට ආන්ඩුව අප්‍රේල් 14දා පියවර ගත්තේ ය. ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනයට අනුව මෙම සංවිධානවලට සම්බන්ධ ඕනෑම අයෙකු වසර 20ක් දක්වා සිරගත කල හැකිය.

එම තහනම, පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත සිදු කරන ලද්දක් බව, ආන්ඩුව කියා සිටියේ ය. ඒ කෙසේ වුවද, ෆැසිස්ට්වාදී බෞද්ධ කන්ඩායමක් වන බොදු බල සේනා (බොබසේ) තහනම් කරන ලෙස, කොමිසම විසින් නිර්දේශ කෙරුන ද රාජපක්ෂ පාලන තන්ත්‍රය එසේ කලේ නැත. රාජපක්ෂ ආන්ඩුවට බලයට ඒමට උදව් කල අන්ත-දක්ෂිනාංශික බෞද්ධ සංවිධානවලින් එකක් වන්නේ බොබසේ ය.

කලින් සටහන් කල පරිදි, බුර්කාව, නිකාබය හා “සියලු මුහුනු ආවරන” තහනම් කිරීමට, මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ඉදිරිපත් කල යෝජනාවට, රාජපක්ෂගේ කැබිනට්ටුව අඟහරුවාදා අනුමැතිය දුන්නේ ය.

හිටපු රියර් අද්මිරාල්වරයෙක් වන වීරසේකර, තහනම සඳහා මුලින් යෝජනා කලේ, මාර්තු මාසය මුල දී ය. ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ලවන ප්‍රහාර හෙලාදකිමින්, මාර්තු 23දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කල යෝජනාවකට විරුද්ධ ව, මුස්ලිම් රටවල සහයෝගය ලබා ගැනීම සඳහා කොලඹ ආන්ඩුව ප්‍රයත්න දැරූ නිසා, එම කැඳවුම පසෙක තබන ලදී.

එක්සත් ජනපදය හා එහි සගයන් විසින් අනුග්‍රහය දක්වන ලද එම යෝජනාවට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීම සමග කිසිදු සම්බන්ධයක් නොවීය. එහි අභිප්‍රායය වූයේ බෙයිජිනය සමග සබඳතා බිඳ දමා, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානම් සමගින් මුලුමනින් ම පෙලගැසෙන ලෙස, රාජපක්ෂ තන්ත්‍රය මත පීඩනය යෙදීම යි.

ආන්ඩුවේ මුස්ලිම්-විරෝධී ක්‍රියා, විශේෂයෙන් ම පාස්කු ඉරිදා ප්‍රහාරවලට වගකිව යුත්තන්ට දඬුවම් කරන ලෙස, කාඩිනල් මැල්කම් රන්ජිත් කරන ඉල්ලීම් ඇතුලු කතෝලික ධුරාවලියේ පීඩනයන්ට දක්වන ප්‍රතිචාරයක් යයි, ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර මාධ්‍ය කියමින් සිටී. එහෙත් රාජපක්ෂ ආන්ඩුවේ මුස්ලිම්-විරෝධී ක්‍රියා, ආඥාදායක පාලනයකට හැරීම සමග සම්බන්ධය.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිදු වූයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව කෙරෙහි නැගුනු වැඩෙන සමාජ විරෝධයේ කොන්දේසි යටතේ ය. මාධ්‍ය  වාර්තාවන්ට අනුව, ත්‍රස්තවාදී බෝම්බ සැලසුම පිලිබඳ ව, ආන්ඩුවේ හා පාර්ලිමේන්තු විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට මෙන් ම මිලිටරි හා පොලිස් ධුරාවලියට, ඉන්දියානු ඔත්තු සේවය විසින් අනතුරු ඇඟවීම කල්තියා දැනගන්නට ලැබුනි.

ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට ඉඩහල පාලක ප්‍රභූව, මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකාරිත්වය ඇවිලවීමට, අන්ත-දක්ෂිනාංශික කොටස් මෙහෙයාවා ගැනීමට හා රාජ්‍ය මර්දනය ඉහල දැමීම සාධාරනීකරනය කිරීමට එය යොදාගත්තේ ය. රාජපක්ෂ හා ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, ශක්තිමත් ආන්ඩුවක් සඳහා පොරොන්දු වෙමින් “ජාතික ආරක්ෂාව” තහවුරු කරන බව කියාපෑමට බෝම්බ ප්‍රහාර ඩැහැගත් හ.

බලයට පත් වී මාස 18ක් ගත වුනු තැන, රාජපක්ෂ පාලන තන්ත්‍රය පෙර නුවූ විරූ අර්බුදයකට මුහුන දෙයි. කොරෝනා වෛරස් වසංගතයෙන් බරපතල පහර වැදී තිබෙන ආර්ථිකය, කඳුගැසෙන නය, ඇදවැටෙන අපනයන හා ඍන ආර්ථික වර්ධනය මධ්‍යයේ පතුරුගැසී පවතී. රැකියා හා වැටුප් කප්පාදුව, උද්ධමනය, දැරිය නො හැකි ජීවන තත්ත්වයන් හා ගැඹුරු වන දුගී භාවයට එරෙහි ව සමාජ විරෝධය ඉහල යමින් පවතී.

නැගෙන සමාජ කැලඹීම නිසා තැතිගනී ඇති රාජපක්ෂ වටා සිටින අන්ත-දක්ෂිනාංශික කොටස්, වඩා ආක්‍රමනශීලී ආඥාදායක විධික්‍රම ඉල්ලා සිටිති. අප්‍රේල් 12දා මෙය ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය ඇමති දිලුම් අමුනුගම, “හිට්ලර් මෙන් ක්‍රියා කරන්නැයි” ජනාධිපති රාජපක්ෂට කැඳවුම් කලේ ය.

අන්තර්ජාලය මත පාලනය දැඩි කරන ලෙස ඉල්ලමින් හා ආන්ඩුවට එරෙහි “ව්‍යාජ තොරතුරු” මැඩීමට නව නීති ගෙනෙන්නැයි අවධාරනය කරමින් ඉදිරිපත් කල පත්‍රිකාවකට, රාජපක්ෂගේ කැබිනට්ටුව පසුගිය සතියේ අනුමැතිය දුන්නේ ය.

“මහජන සාමය පවත්වාගෙන යාම” සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 හා ඒවාට ආසන්න ජාත්‍යන්තර සමුද්‍ර  ප්‍රදේශයන් තුල  සන්නද්ධ හමුදා සීරුවෙන් තැබීමේ ගැසට් පත්‍රයක් ද අප්‍රේල් 22දා රාජපක්ෂ විසින් නිකුත් කලේ ය.

හේතුව ලෙස දක්වන්නේ, කොවිඩ්-19 ආසාදනවල නව රැල්ලට එරෙහි ව ක්‍රියා  කිරීම යි. එහෙත් සැබෑ කාරනය වන්නේ, කම්කරු පන්තියෙන් නැගෙන සමාජ ප්‍රතිරෝධය මතට කඩා පැනීම සඳහා මිලිටරිය බලගැන්වීමයි. 

කම්කරු පන්තිය, කොලඹ පාලනයේ මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනයන්ට විරුද්ධ වෙමින්, එම ප්‍රකෝපකරනයේ අනතුර හඳුනාගත යුතු ය. සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, තම පොදු පන්ති අවශ්‍යතා රැකගැනීමේ ඒකාබද්ධ අරගලයක් දියත් කල හැක්කේ, සියලු ආකාරවල ජාතිකවාදයන් හා ප්‍රජාගනවාදයන් ප්‍රතික්ෂේප කිරීමෙන් පමනකි.

Loading