ලංකාවේ සසප මේ ඉරිදා ඉන්දියාවේ කොවිඩ්-19 වසංගතය පිලිබඳව අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) “ඉන්දියාවේ කොවිඩ්-19 වසංගතය සහ සමාජවාදී මූලෝපායක අවශ්‍යතාවය” යන මැයෙන් මැයි 30 වන ඉරිදා ඉන්දියානු සම්මත වේලාවෙන් සවස 6:00 ට අන්තර්ජාල රැස්වීමක් පවත්වයි. රැස්වීම ඉංග්‍රීසි හා දෙමල භාෂා වලින් පවත්වනු ලැබේ.

එක්සත් ජනපද සසප ජාතික ලේකම් ජෝ කිෂෝර් ඇතුලු ලංකාවේ සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකයින් විසින් එය අමතනු ඇත.

ලෝකයේ කවර හෝ රටක වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට ඉන්දියාව පත්ව ඇත. වෛරසය රට පුරා පාලනයකින් තොරව පැතිරෙමින් පවතින අතර එයින් මිලියන සංඛ්‍යාත ජනතාවකට දරුනු ප්‍රතිවිපාක ගෙන දේ.

හෙල්ප්නව් හි සේවය කරන ගිලන් රථ රියදුරෙකු වන ඉෂාර් හුසේන් ෂෙයික් (වමේ) සහ තවත් අය 2020 මැයි 28 වන දින කොවිඩ්-19 රෝගියෙකු ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේ සිට රැගෙන යයි. (AP ඡායාරූපය / රෆික් මැක්බූල්)

කොවිඩ්-19 රෝගීන් හා මරන සංඛ්‍යාව මුලුමුනින් අවප්‍රමාන කරන නිල ගනනය කිරීම් වලට අනුව, අපේ‍්‍රල් 1 වනදා සිට සති අටක් තුල, සමස්ත ආසාදන දෙගුනයකට වඩා වැඩි වී ඇති අතර එය මිලියන 12.1 සිට මිලියන 27.5 දක්වා ඉහල ගොස් තිබේ. මේ අතර, ඊයේ උදෑසන වන විට මරන සංඛ්‍යාව සියයට 90 කින් වැඩි වී 318,895 ක් බවට පත්වී වී තිබේ.

ඉන්දියාවේ දුස්සාධ්‍ය ලෙස අඩුවෙන් අරමුදල් යෙදවෙන සෞඛ්‍ය සේවා පද්ධතිය අකර්මන්‍ය වී ඇත. කම්පන සහගත මාධ්‍ය වාර්තා තුල දිස්වන්නේ ප්‍රධාන නගරවල සිටින රෝගීන්ට සෞඛ්‍ය පහසුකම් සඳහා ඇතුලත් කර ගැනීමට නොහැකි වීම සහ රෝහල්වල වෛද්‍යමය ඔක්සිජන් හිඟ වීමෙන් පසු හුස්ම හිරවීමෙන් මිය යන රෝගීන් ය. මහජන සෞඛ්‍ය පහසුකම් මුලික වන ග්‍රාමීය ප්‍රදේශවල තවමත් මෙම ව්‍යසනය අතිමහත්ය. එන්නත් කිරීමේ වැඩසටහන වියවුල් වී ඇති අතර ජනගහනයෙන් සියයට 10 කටත් වඩා අඩු ප්‍රමානයක් එයින් පලමු මාත්‍රාව ලබාගෙන ඇති අතර සම්පූර්න එන්නත්කරනය ලැබී ඇත්තේ සියයට 3.1 කට පමනි.

මෙම දැවැන්ත මානව ඛේදවාචකය, ජාතික හා ප්‍රාන්ත මට්ටමින් නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව සහ සමස්ත දේශපාලන සංස්ථාපිතය මත වැටෙන වගකීමක් වේ. ජාත්‍යන්තර වශයෙන් ඔහුගේ සගයන් මෙන්ම මෝදි ද මහා ව්‍යාපාරිකයේ ලාභය මිනිස් ජීවිතවලට ඉහලින් තබන “ආර්ථිකය විවෘත කිරීමේ” සාපරාධී ප්‍රතිපත්තිය අනුගමනය කර ඇත. දැන් පවා, දෛනික ආසාදන සංඛ්‍යාවන් පුපුරා හැලෙද්දී, ජාතික මට්ටමේ අගුලු දැමීමක් ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය වසර තුල ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ ධනය දල වශයෙන් දෙගුන වී ඇති අතර, මිලියන ගනනක් ඉන්දියානුවන්ගේ ජීවනෝපායන් අහිමි වී ඔවුන් දරිද්‍රතාවයට ඇද වැටී තිබේ. සිදු කෙරී ඇති සීමිත අගුලු දැමීම් අතරතුර, රැකියාවෙන් නෙරපා හරින අයට කිසිදු සහයක් ලබා දී නොමැත. එපමනක් නොව, රැකියා සහ කොන්දේසි තවදුරටත් විනාශ කරනු ඇති නව වටයක වෙලඳපල ගැති පියවරයන් සම්මත කරගැනීම සඳහා මෝදි වසංගතය ගසා කමින් සිටියි.

ශීඝ්‍රයෙන් ගැඹුරු වන සමාජ අර්බුදය විරෝධතා අවුලුවයි. ආන්ඩුවේ වෙලඳපොල ගැති ප්‍රතිව්‍යුහකරනයට එරෙහිව මිලියන සංඛ්‍යාත කම්කරුවෝ පසුගිය වසරේ එක්දින වැඩ වර්ජන දෙකකට සම්බන්ධ වූහ. තවත් බොහෝ අංශවල වැඩ වර්ජන හා විරෝධතා සිදුව තිබේ. ආන්ඩුවේ කෘෂි ව්‍යාපාර ගැති ගොවිපල නීතිවලට එරෙහිව ගොවීහු දැන් මාස හයක් තිස්සේ දිල්ලි සීමාවේ කඳවුරු බැඳගෙන සිටිති.

විශේෂයෙන් ප්‍රධාන ස්ටැලින්වාදී පක්ෂ දෙක වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය හෙවත් සීපීඅයි විසින් අරක්ගෙන සිටින වෘත්තීය සමිති, කම්කරුවන්ගේ අරගලයන් මෝදි ආන්ඩුවට පීඩනය දැමීමේ නිරර්ථක උත්සාහයන් මෙන්ම, මහා ව්‍යාපාරිකයේ අනෙක් ප්‍රධාන පක්ෂය, විපක්ෂයේ කොන්ග්‍රසයට ආයාචනා කිරීම් තුලට කොටුකර ඇත.

සෞඛ්‍යාරක්ෂාව සහ ජීවිතයම සම්බන්ධයෙන් වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු පන්තිය කල යුත්තේ ධනවාදයේ ආරක්ෂකයින් වන වෘත්තීය සමිති හා ස්ටැලින්වාදීන්ගේ විලංගුවලින් මිදී නව ස්වාධීන සංවිධාන-එනම් පන්ති අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සටන් කල හැකි ක්‍රියාකාරී කමිටු-පිහිටුවීමයි.

සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සහ කායික සහභාගිත්වයෙන් කෙරෙන අධ්‍යාපනය වහාම වසා දැමීම, පීඩාවට පත් සියලුම කම්කරුවන්ට පූර්න වැටුප් ලබා දීම සහ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය දැවන්ත ලෙස පුලුල් කිරීම මීට ඇතුලත් ය. එවැනි පියවර අනිවාර්යයෙන්ම මහා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් සමඟ ගැටෙන අතර සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත සටන් කිරීමේ අවශ්‍යතාව අවධාරනය කරයි.

ජාත්‍යන්තර මට්ටමින් වසංගතයට පාලක පන්තිය දක්වා ඇති සාපරාධී ප්‍රතිචාරයට එරෙහිව ලොව පුරා කම්කරුවන්ගේ අරගල එක්සත් කිරීම සඳහා 2021 මැයි දිනයේදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් පිහිටුවන ලෙස ඉල්ලා සිටියේය.

අපි හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තීරනාත්මක මුලපිරීමට සහයෝගය ලබාදෙන ලෙසත් අන්තර්ජාල රැස්වීමට සහභාගී වන ලෙසත් දකුනු ආසියාවේ පමනක් නොව ජාත්‍යන්තරව ද විසිරී සිටින අපගේ සියලුම පාඨකයින් දිරිමත් කරමු. රැස්වීමේ ප්‍රධාන කථිකයා වනුයේ ශ්‍රී ලංකාවේ සසප සහකාර ජාතික ලේකම් දීපාල් ජයසේකරයි.

දිනය සහ වේලාව: මැයි 30 ඉරිදා ඉන්දියානු සම්මත වේලාවන් පස්වරු 6.00ට

භාෂාවන්: ඉංග්‍රීසි සහ දෙමල

පහත සැබැඳියට පිවිසීමෙන් රැස්වීමට ලියාපදිංචි වන්න

https://attendee.gotowebinar.com/register/4191651001271117581

Loading