කොවිඩ්-19 තුන්වන රැල්ලක අනතුරු ඇඟවීම් නො තකා හරිමින්, ඉන්දීය ආන්ඩුව සීමා ලිහිල් කරයි

[මෙහි පලවන්නේ Ignoring warnings of a third COVID-19 wave, Indian government eases restrictions  මැයෙන් 2021 ජුනි 28දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

ව්‍යසනකාරී දෙවන කොවිඩ්-19 රැල්ල එහි මුදුනට ලඟා වීමෙන් යන්තම් සති කිහිපයකට පසු ව, අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය ආන්ඩුව සහ ඉන්දියාවේ ප්‍රාන්ත ආන්ඩු, දැනට මත් සීමිත වන සීමා කිරීම් ලිහිල් කරමින් සිටින්නේ, තවත් ව්‍යසනයකට මග පාදමිනි. මෙම පියවරයන් වනාහි, වසංගතයේ මුල පටන් ම, මානව ජීවිතවලට ඉහලින් මහ ව්‍යාපාරිකයේ ලාභ තැබීමේ ඉන්දීය පාලක ප්‍රභූවෙහි තීරනය ඉදිරියට පවත්වාගෙන යාමකි. 

දැනට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 30ට අධික වන අතර, මරන සංඛ්‍යාව 400,000ට ලඟා වෙමින් තිබේ. සාපේක්ෂ අඩු වීමක් තිබුන ද දෛනික ආසාදන හා මරන සංඛ්‍යාව පිලිවෙලින් 50,000 හා 1,000ට අධික ඉහල මට්ටම්වල තිබෙන්නේ, දෙවන රැල්ලේ ඉහල ම අවධියේ තිබුනු 400,000 හා 4,000 මට්ටම්වලට වඩා අඩුවෙන් පිහිටමිනි. නව ඩෙල්ටා හා ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයන්ගේ පැතිරීමත් සමග කොරෝනා වෛරස් ආසාදන යලි වටයකින් ඉහල යතැයි අපේක්ෂා කරනු ලැබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන තදබල අවතක්සේරු කිරීම් ලෙස සැලකේ.

දෛනික ආසාදන හා මරන පහල යාම, බොහෝ සෙයින් විවිධ ප්‍රාන්ත ආන්ඩු විසින් පනවන ලද සීමිත සීමා කිරීම්වල ප්‍රතිඵලය යි. තත්ත්වය ක්ෂනික ව නරක අතට හැරිය හැකි ය යන විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් නො තකා, සීමා කිරීම් ඉවත් කොට ආර්ථිකය යලි විවෘත කිරීමට, මධ්‍යම ආන්ඩුව හා ප්‍රාන්ත ආන්ඩු පියවර ගනිමින් සිටිති.

2021 අප්‍රේල් 29 බ්‍රහස්පතින්දා ඉන්දියාවේ මුම්බායිහි දී කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බලා සිටින මහජනයා (ඒපී ඡායාරූප/රාජානිෂ් කකාඩේ)

බීබීසී පුවත් සේවයට අනුව “කොවිඩ් රෝගීන් දහස් ගනනකට ප්‍රතිකාර කර ඇති” වෛද්‍ය ඒ. ෆතාවුඩීන්, තවත් රැල්ලක් “අනිවාර්ය” බව එම පුවත් සේවයට කීවේ ය. “අනුක්‍රමික පාලනය- හදිසි විපර්යාස මත ඇස ගසාගෙන සිටීම- වැනි යෝග්‍ය පියවරයන් හා ආරක්ෂක විධික්‍රම බලාත්මක කිරීම මගින් අපට එය ප්‍රමාද කර පාලනය කල හැකි යි. ...අප මේ සියල්ල නො කරන්නේ නම්, අප හිතනවාට වැඩි වේගයකින් තුන්වන රැල්ල අපට හොරෙන් පැතිර යා හැකි යි” යි ඔහු කීවේ ය.

මෙම අනතුරු ඇඟවීම සනාථ කරමින්, පසුගිය සතියේ දී, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පිට පිට දවස් හතරක් දිනකට ආසාදන 10,000ක් තිබුනු බවත්, එම ප්‍රාන්තය ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදනවලින් පහෙන් පංගුවක් වාර්තා කරන බවත් සඳහන් කලේ ය. ඉන්දියාවේ මූල්‍ය මධ්‍යස්ථානය වන්නේ ප්‍රාන්ත අගනුවර වන මුම්බායි නගරය යි.

ගැඹුරු වන තත්ත්වය මහාරාෂ්ට්‍ර මහ ඇමති උද්ධාව් තැකරේට “කොරෝනා වෛරසය විසින් ප්‍රේරනය කරන ලද සීමා කිරීම් ලිහිල් කිරීමට හදිසි නො විය යුතු” යි ප්‍රකාශ කිරීමට බල කලේ ය. එහෙත් අනෙක් බොහෝ ප්‍රාන්ත පරිපාලනයන් මෙන් තැකරේගේ ආන්ඩුව ද දැනට මත් ව්‍යාපාර යලි විවෘත කිරීමට අවසර දී තිබේ.

“ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මහාරාෂ්ට්‍රය තුල තුන්වන රැල්ලක් ඇවිලවිය හැකි යි. එය දෙගුනයක වේගයකින් පැතිර යා හැකි යි” යි පසුගිය සතියේ දී තැකරේ සමග පැවති රැස්වීමක දී සෞඛ්‍ය නිලධාරියෙක් ප්‍රකාශ කර තිබුනු බව ඉන්දියා ටුඩේ වාර්තා කලේ ය.

සීමිත අගුලු දැමීමේ පියවරයන් ඉවත් කිරීම මගින් දිරිගන්වනු ලබන තත්ත්වයක් වන, සමාජ දුරස්ථකරනය පවත්වා ගැනීමට අසමත් වෙමින්, දුම්රිය ස්ථාන, වෙලඳපොලවල් හා සාප්පු සංකීර්නවල යෝධ සෙනග සිටීම පෙන්වන වීඩියෝ පට හා ඡායාරූප දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් පලකර ඇත.

පලමු වරට ඉන්දියාවෙන් හඳුනාගත් හා ලෝකයේ ජනගහනය අතින් දෙවන රට තුල විනාශකාරී දෙවන රැලල්ලක් නිර්මානය කල කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය ලෝකය පුරා පැතිර යද්දී මෙය සිදුවෙමින් තිබේ. මීට පෙර ආධිපත්‍යධාරී වූ ප්‍රභේදයට වඩා ‌ෙඩල්ටා ප්‍රභේදය සියයට 60කින් පැතිර යාමේ හැකියාවක් පවතින බවත්, සමහර එන්නත්වලට පාර්ශවීය වසයෙන් ප්‍රතිරෝධී බවත්, කියනු ලැබේ.

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ජුනි 22දා නිකුත් කල ප්‍රකාශයක්, දේශීය ව “ඩෙල්ටා ප්ලස්” යනුවෙන් හඳුන්වනු ලබන හා ඩෙල්ටා හෝ බී1617 ප්‍රභේදයෙහි විපර්යාසයක් වන තවත් කොරෝනා වෛරස් ප්‍ර‌ෙභ්දයක් “සැලකිල්ලට ලක්විය යුතු යුතු යුතු ප්‍රභේදයක්” යි සඳහන් කලේ ය.

වඩාත් ම නරක ලෙස බලපෑමට බඳුන් ව ඇති මහාරාෂ්ට්‍රය ඇතුලු ඉන්දීය ප්‍රාන්ත තුනක් තුල, ආසාදන සිද්ධි දුසිම් දෙකක් පමන හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කීවේ ය. එහි ලක්ෂන අතරට “ඉහල පැතිරීමේ හැකියාව, පෙනහලු සෛලයන්ගේ ප්‍රතිග්‍රාහකයන්ට ශක්තිමත් ව බැඳීමේ හැකියාව හා නුමුහුන් ක්ලෝනීය ප්‍රතිදේශ ප්‍රතිචාරයේ භව්‍ය හායනය” ඇතුලත් වන බවට එය අනතුරු ඇඟවී ය. 

වෛද්‍ය විශේෂඥයන්ට අනුව, මෙම ප්‍රභේදය, මෑත දී කොවිඩ්-19 සඳහා ලබාදුන් නුමුහුන් ක්ලෝනීය ප්‍රතිදේහ ක්ෂුධාකාරක ප්‍රතිකාරයට ( වෛරසය උදාසීන කිරීම සඳහා ප්‍රතිදේහයන් භව්‍ය අන්තශ්ශෛරික පටක තුලට සෙමින් ඇතුලු කිරීමේ ප්‍රතිකාරයට) ප්‍රතිරෝධී වේ. ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය හේතුවෙන් සිදු වූ පලමු මරනය මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය වාර්තා කල බව ජුනි 24දා ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කලේ ය.

ඉන්දියාව තුලින් පලමු ඩෙල්ටා ප්‍රභේදය හමු වූවේ පසුගිය ඔක්තෝබරයේ වුවත්, මෝදි ආන්ඩුව එයට ප්‍රතිකාර කිරීම සඳහා විමර්ශනය කිරීමට හා උත්සාහ දැරීමට අවශ්‍ය සම්පත් ආයෝජනය කිරීමට අසමත් විය.

මෙම සාපරාධී නො තකා හැරීම සමගින් ජාතික පරිමාන අගුලු දැමීමක් බලාත්මක කිරීම සහ මහා පරිමාන පරීක්ෂන, වෛරසයට ගොදුරු වූවන් හඳුනා ගැනීම හා ගරා වැටී තිබෙන මහජන සෞඛ්‍යාරක්ෂන පද්ධතිය වැඩි දියුනු කිරීමට හදිසියෙන් අවශ්‍ය කරන අනෙකුත් සම්පත් වෙන් කිරීම ප්‍රතික්ෂේප කිරීම, වසංගතයේ දෙවන රැල්ලකට හා වඩ‌ා අන්තරායකාරී නවතම ප්‍රභේදයකට තුඩු දුනි.

වසංගතය පාලනය කල හැකි එක ම ක්‍රමය වන්නේ, ජාතික එන්නත්කරන වැඩසටහනක් යයි කියා පාමින්, ජාතික පරිමාන අගුලු දැමීමක් ස්ථාපිත කිරීම ප්‍රතික්ෂේප කිරීම සාධාරනීකරනයට මෝදි ආන්ඩුව උත්සාහ දරමින් සිටී. එහෙත්, එන්නනත්කරන වැඩසටහන ව්‍යාකූල වී ගොලුබෙලි ගමනින් ඉදිරියට ඇදෙන්නේ, බිලියන 1.3ට අධික රටෙහි මහජනයාගෙන් බහුතරය ගොදුරු වීමේ හැකියාවට ඇද දමමිනි.

ජුනි 22දා පල කල රොයිටර් වාර්තාවකට අනුව, ඉන්දියාව සම්පූර්නයෙන් එන්නත්කරනය කර ඇත්තේ, රටෙහි සුදුසුකම් ලබන  මිලියන 950ක ජනයාගෙන් සියයට 5.5ක් පමනක් වන අතර, සියයට 18කට පමන ම ලැබී ඇත්තේ එක් මාත්‍රාවක් පමනි.

“මැයි මාසයේ පටන් දෛනික සාමාන්‍ය මාත්‍රා ගනන මිලියන 3ට අඩු වී ඇති අතර, එය, නව ඉහල යාම්වලට ගොදුරු වන මිලියන ගනන් දෙනා ආරක්ෂා කරගැනීමට තීරනාත්මක යයි සෞඛ්‍ය නිලධාරීන් කියන මිලියන 10ට වඩා ඉතා අඩු අගයකි. ඉන්දියාව ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදකයා වුවත්, දෛනික ව ලඟා විය හැකි උපරිම එන්නත් සැපයුම් ප්‍රමානය මාත්‍රා මිලියන 4 සිට 5 දක්වා අනුපාතයකි” යි රාජ්‍ය පිලිවෙත් හා සෞඛ්‍ය පද්ධති විශේෂඥයෙක් වන චන්ද්‍රකාන්ත් ලහාරියා රොයිටර් පුවත් සේවයට කීවේ ය.

ඉන්දීය ජනගහනයෙන් තුනෙන් දෙකක් ජීවත් වන ග්‍රාමීය ප්‍රදේශවල, එන්නත්කරනයන් “ඇනහිට” ඇතැයි පෙන්වා දුන් අනෙකුත් විශේෂඥයන් ව පුවත් ඒජන්සි වාර්තාව තුලට උපුටා දක්වනු ලැබී ය. “එවන් ප්‍රදේශවල තරුන ජනයාට එන්නත් ලබා දීමේ දී වේගය පවත්වාගෙන යාම අභියෝගයක් වන බව සනාථ වනු ඇති” යි දිල්ලියේ වසංගත විද්‍යාඥ රාජාබ් දාස්ගුප්තා කීවේ ය.

දෙවන රැල්ල විසින් විනාශ කරන ලද ජාතික අගනුවර වන නව දිල්ලියේ පවා, “මිලියන 8කටත් අධික වැසියන්ට පලමු මාත්‍රාව තවමත් ලැබීමට නියමිත අතර, වර්තමාන වේගයට අනුව සියලු වැඩිහිටියන් එන්නත්කරනය කිරීමට වසරකටත් වැඩි කාලයක් ගත වේවි” යි සෞඛ්‍ය බලධාරීහු රොයිටර් පුවත් සේවයට කීවෝ ය.

රටෙහි කොවිඩ්-19 එන්නත්කරනය සම්පූර්න කර ඇති ප්‍රතිශතය ගත් කල, රට පුරා දිස්ත්‍රික්ක තුල විශාල නො ගැලපීම් තිබෙන බව ද ඉන්දීය ප්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙයි. බංග්ලාදේශ දේශසීමාවේ තිබෙන බටහිර ඇසෑම් දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශ තුල පුද්ගලයන් 100කින් මාත්‍රා ලබා දී ඇත්තේ 3.2කට පමනක් බව Scroll.in වෙබ් අඩවිය ජුනි 7දා අනාවරනය කලේ ය. දකුනු ඉන්දියාවේ මධ්‍යම පුදුචෙරි ප්‍රාන්තයේ මාහේ දිස්ත්‍රික්ක තුල, පුද්ගලයන් 100ට 63ක් වන හොඳ ම එන්නත්කරනය ලැබී තිබුනි.

(100ට මාත්‍රා 4.86 සිට මාත්‍රා 5.37 දක්වා පරාසයක පවතින) පහල ම එන්නත්කරන ප්‍රතිශතය සහිත දිස්ත්‍රික්ක 10න් හයක් ම පවතින්නේ, මිලියන 200ට අධික ජනගහනයක් සහිත ඉන්දියාවේ ජනගහනය අධික ම ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් තුල යි.

ඉන්දියාවේ විශාලතම නගරයන්ගෙන් ඉහල ම එන්නත්කරන ප්‍රතිශතය තිබෙන්නේ, තමිල්නාඩුවේ අගනුවර වන පුද්ගලයන් 100ට මාත්‍රා 40ක් සහිත චෙන්නායිහි බව Scroll.in වාර්තා කලේ ය. මුම්බායිහි එම අගය 100ට 34.14ක් ද, නාගරික බැංගලෝරයේ අගය 32.30ක් ද ජාතික අගනුවර වන නව දිල්ලියේ එම අගය 100ට 23ක් ද විය.

චෙන්නායි නුවර ඉන්දියාවේ විශාල නගරයන් අතර හොඳින්ම වසංගතයට මුහුනදුන්නේ යැයි කියන, තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක 37න් 34ක එන්නත්කරන ප්‍රතිශතය ජාතික සාමාන්‍යයට වඩා අඩු බව Scroll.in කීවේ ය. කලාපයේ දිස්ත්‍රික්ක 115න් 72ක එන්නත්කරන ප්‍රතිශතය ජාතික සාමාන්‍යයට වඩා අඩු ඊසානදිග ඉන්දියාව තුලින්, සමස්තයක් ලෙස විශාලතම අසමානතාවන් වාර්තා වේ.

ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස්හි ඉන්දීය හා ගිනිකොනදිග ආසියා ආර්ථික විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රියංකා කිෂෝර්ගේ අනතුරු ඇඟවීම් ද ප්‍රින්ට් මත ජුනි 24දා පල කල ලිපියක් තුල උපුටා දක්වනු ලැබී ය: “එන්නත්කරනයේ වර්ධනය වෙනුවට පහල ධන පරීක්ෂන අනුපාත මත පදනම් ව ප්‍රාන්ත අගුලු දැමීම් ලිහිල් කරමින් සිටිනවා. ප්‍රකෘතිමත් වීම තව දුර ප්‍රමාද කරන නව පැතිරයාම්වල හැකියාව මේ අනතුරුදායක මූලෝපාය මගින් ඉහල දමනවා.”

Loading