ශ්‍රී ලංකාවේ කම්කරුවෝ වොල්වෝ වර්ජකයන්ට සහාය පල කරති

ශ්‍රී ලංකාවේ කම්කරුවෝ එක්සත් ජනපදයේ වැඩ වර්ජනය කරන 3,000 වොල්වෝ කම්කරුවන් වෙත සහයෝගය ප්‍රකාශ කරති. වර්ජිනියාවේ ඩබ්ලින් හි නිව් රිවර් වැලි වොල්වෝ කම්හලේ කම්කරුවන් යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) විසින් ඉදිරිපත් කරන ලද සහන ගිවිසුම් දෙකක් මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මාසයක් තිස්සේ වැඩ වර්ජනයක නිරතව සිටිති.

කම්කරුවන්, කලාකරුවන්, සිසුන් ද, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන සහායෙන් ගොඩ නංවන ලද ගුරුවරුන්ගේ, සිසුන්ගේ සහ දෙමාපියන්ගේ ආරක්‍ෂක කමිටුව (එස්සීටීඑස්පී) සහ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (ඒසීඩීඒඊ) යන ක්‍රියාකාරී කමිටු විසින් නිකුත් කරනු ලැබූ පහත දැක්වෙන ප්‍රකාශ වොල්වෝ කම්කරුවන් සඳහා වැඩෙන ගෝලීය සහයෝගයේ තවත් වැදගත් ප්‍රකාශනයකි.

2021 අප්‍රේල් මාසයේ, බදුල්ලෙහි උද්ඝෝෂනය කරන ගුරුවරුන් [මූලාශ්‍රය: ෆේස්බුක්]

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ පාසල් නැවත විවෘත කිරීමට එරෙහිව ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් විසින් ගතයුතු ස්වාධීන ක්‍රියාමාර්ගයක් සඳහා එස්සීටීඑස්පී සටන් වදින අතර ගුරු වෘත්තිකයන් අතරේ සමාජවාදී ඉදිරිදර්ශනයක අවශ්‍යතාවය පැහැදිලි කරයි.

මුස්ලිම් අන්තවාදී මතවාද ප්‍රවර්ධනය කරන බවට බොරු චෝදනාවට ලක්ව සිරගතව සිටින අහ්නාෆ් ජසීම් කවියා නිදහස් කර ගැනීම සඳහා කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වූ පුලුල් අරගලයක කොටසක් ලෙස, ඒසීඩීඒඊ විසින් ව්‍යාපාරයක් දියත් කර තිබේ. ඔහු මීට වසරකට පෙර ශ්‍රී ලංකාවේ විෂඝෝර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබීය.

ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන්ගේ ආරක්ෂක කමිටුව

වොල්වෝ ට්‍රක් කම්කරුවන්ගේ අරගලය එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මන්ද යත්, කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස කප්පාදු කිරීමට වොල්වෝ සංගතය ගත් උත්සාහයන්ට සහ මෙම ප්‍රහාරයේදී සමාගම සමඟ අත්වැල් බැඳ ගෙන සිටින යූඒඩබ්ලිව් වෘත්තීය සමිතියේ ද්‍රෝහී ක්‍රියාවන්ට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් තීරනය කර ඇත.

අද වන විට ලොව පුරා කම්කරුවන් වොල්වෝ, ෆෝඩ් සහ ජෙනරල් මෝටර්ස් වැනි සමාගම් වල නිෂ්පාදනයට සම්බන්ධ වී සිටිති. වොල්වෝ කම්කරුවෝ මෙම විශාල සංගතයේ නිෂ්පාදනය නැවැත්වීමෙන් පංතියක් ලෙස තමන්ට ඇති බලය පෙන්නුම් කරති. කම්කරු පන්තිය ජාත්‍යන්තර ව දැඩි සූරාකෑමට මුහුන දෙන තතු තුල, සංගත හා බැංකු හිමිකරුවන් අතලොස්සකගේ ධනය සීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතී. මෙම ක්‍රමය අවසන් කිරීමට කාලය පැමින තිබේ.

සති තුනකට වැඩි කාලයක් තිස්සේ වොල්වෝ කම්කරුවෝ ඔවුන්ගේ ධෛර්ය සම්පන්න වැඩ වර්ජනය පවත්වා ගෙන යති. කම්කරුවන්ට ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට ශක්තිය ලබා දිය හැකි එකම ක්‍රමය වන්නේ එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ සහයෝගය බලමුලු ගැන්වීම සහ සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමයි. එස්සීටීඑස්පී හි දී අප වොල්වෝ කම්කරුවන්ගේ අරගලයේ ජාත්‍යන්තර වැදගත්කම පිලිබඳව ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් අතර පුලුල් සාකච්ඡාවක් පවත්වා ඇත.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වසර එකහමාරක් තිස්සේ කඩාකප්පල් වී තිබේ. ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් සම්පාදනය කරනු වෙනුවට ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට අවශ්‍යව ඇත්තේ එහි මිනීමරු “නව සාමාන්‍ය” ප්‍රතිපත්තියේ කොටසක් ලෙස අනාරක්ෂිත තත්වයන් යටතේ පාසල් විවෘත කිරීමට ය. අධ්‍යාපන අංශයේ වෘත්තීය සමිති අනාරක්ෂිත නැවත විවෘත කිරීම්වලට විරුද්ධ නොවන අතර ගුරුවරුන්ට සහ සිසුන්ට රජයේ මාරාන්තික පියවර පිලිගෙන යටත් වීමට බල කරයි.

වොල්වෝ කම්කරුවන්ගේ අරගලය ලොව පුරා මාධ්‍ය විසින් වාරනය කර ඇතත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඔවුන්ගේ අරගල පිලිබඳ විශ්ලේෂනයන් සහ වාර්තා ජාත්‍යන්තර වශයෙන් සැලකිය යුතු කම්කරුවන් පිරිසකගේ අවධානය දිනාගෙන තිබේ. මෙය කම්කරුවන්ගේ ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමේ තීරනාත්මක වර්ධනයකි.

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුව

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (ඒසීඩීඒඊ) වන අපි වර්ජිනියාවේ ඩබ්ලින්හි වොල්වෝ කම්කරුවන්ට අපගේ සහයෝගය පල කරමු. සමාගම සහ යූඒඩබ්ලිව් යන දෙපාර්ශ්වයම කම්කරුවන්ට එරෙහිව එකම පාලක පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන බව පෙන්නුම් කර ඇති අතර කම්කරුවන්, වෘත්තීය සමිතියේ සහාය ඇති සමාගම් ගැති ගිවිසුම් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ.

යූඒඩබ්ලිව් හි ද්‍රෝහී භූමිකාවට වඩා හාත්පසින්ම වෙනස්ව, වොල්වෝ කම්කරු ක්‍රියාකාරී කමිටුව (වීඩබ්ලිව්ආර්එෆ්සී) එවැනි සටනක් සිදු කරන්නේ කෙසේද යන්න පිලිබඳව ලොව පුරා සිටින කම්කරුවන්ට දීප්තිමත් ආදර්ශයක් සපයයි. පාවා දීමට එරෙහිව ඡන්දය දෙන ලෙස කම්කරුවන්ගෙන් කරන ඉල්ලීමට අපි සහයෝගය දෙමු. කම්කරුවන්ට, කොන්ත්‍රාත්තුව සහ ඊට අදාල සියලුම ලියකියවිලි වලට පූර්න ප්‍රවේශයක් ලබා ගැනීමටත්, ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර රැස්වීම් පැවැත්වීමටත්, ඔවුන්ගේ අනාගතය පිලිබඳ දැනුවත් නිගමනවලට එලඹීමටත් හැකි වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ආරම්භ කල යුතුය.

කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ වැටුප් වලට පහරදීම, අධිරාජ්‍යවාදී යුද ධාවකය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ගෝලීය ප්‍රහාරය සමඟ අත්වැල් බැඳගනී. විකිලීක්ස් සංස්කාරක සහ ප්‍රකාශක ජූලියන් අසාන්ජ්ට එරෙහි නඩු විභාගය මෙම ප්‍රහාරයේ ප්‍රමුඛස්ථානය ගනී. ශ්‍රී ලංකා ආන්ඩුව කලාකරුවන්, මාධ්‍යවේදීන්, පරිසරවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කර තිබේ. මෙම ප්‍රහාරයේ කොටසක් ලෙස “අන්තවාදය” ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාජ චෝදනා යටතේ අහ්නාෆ් ජසීම් කවියා මාස 13 ක් තිස්සේ සිරගතව සිටී.

අහ්නාෆ් ජසීම් නිදහස් කිරීම සඳහා වූ අරගලය ඇතුළුව ඒසීඩීඒඊ හි සටන පුරාම අපි අවධාරනය කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහි ප්‍රහාරය පෙරලා දැමිය හැක්කේ සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර සටනේදී කම්කරු පන්තියට පමනක් බවයි. නිර්මානාත්මක නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, ධනවාදය සමග නෛසර්ගිකව ම නොගැලපේ. එබැවින්, කර්තව්‍යය වෛෂයිකව රඳා පවතින්නේ ධනවාදයට එරෙහි එකම ස්ථාවර සමාජ බලවේගයේ උර මත ය.

වොල්වෝ කම්කරුවන් මෙම බලවේගයේ ශක්තිය පෙන්නුම් කර ඇත. මීලඟට සිදුවන්නේ කුමක්ද යන්න තීරනය වනු ඇත්තේ එක්සත් ජනපදයේ හා ලොව පුරා කම්කරු පන්තිය මත ය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු සෑම රටකම සිටින වෘත්තීය සමිති සගයන් විසින්ද පිලිබිඹු කරන්නේ යූඒඩබ්ලිව් හි ප්‍රතිගාමී භූමිකාවම ය. කම්කරුවන් වොල්වෝ කම්කරු ක්‍රියාකාරී කමිටුවේ නායකත්වය අනුගමනය කල යුතු අතර ඔවුන්ගේම සංවිධාන පිහිටුවාගෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් කැඳවනු ලබන ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමඟ එක්විය යුතුය.

ලොහාන් ගුනවීර, දෘශ්‍ය හා අභිවහන කලාකරු

වර්ජිනියාවේ ඩබ්ලින්හි වොල්වෝ ට්‍රක් සේවකයින්ට මම සහයෝගය පල කරමි. ඔවුන් යූඒඩබ්ලිව් විසින් ඉදිරිපත් කරන ලද සමාගම් ගැති කොන්ත්‍රාත්තුව දැවැන්ත බහුතරයකින් ප්‍රතික්ෂේප කිරීම ධනවාදයට එරෙහිව සටන් කරන සැමට ආවේශයකි. සමාගම් දිගින් දිගට ම ලාභ තර කර ගන්නා අතර, කම්කරුවන්ට කා ඉතිරි වූ කටු සහ ඉඳුල් ලබා දෙනු ලැබේ. කෙසේ වෙතත්, මෙම අරගලය සඳහා ඉදිරි මාවත එක්සත් ජනපදයේ හා ලෝකය පුරා කම්කරු පන්තියේ ක්‍රියාකාරකම් සමඟ අවියෝජනීය ලෙස බැඳී ඇත.

මෙම සන්දර්භය තුල, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් පිහිටුවීම සඳහා හජාජාක ඉදිරිපත් කල කැඳවුම අතිශයින් ම වැදගත් ය. වොල්වෝ කම්කරුවන් කම්කරු ව්‍යාපාරයේ ප්‍රබල වෙනස්කම්වලට මඟ පාදන ක්‍රියා දාමයක පලමු පියවර ගෙන තිබේ. දෙවන හා තෙවන පියවර,  ලොව වටා කම්කරුවන් වොල්වෝ කම්කරු ක්‍රියාකාරී කමිටුවෙන් උගනිමින් තැබිය යුතු ය: වෘත්තීය සමිතිවලින් තීරනාත්මකව වෙන්ව තමන්ගේ ම ස්වාධීන සංවිධාන පිහිටුවා, හජාජාක විසින් යෝජනා කර ඇති පරිදි ජාත්‍යන්තර සන්ධානයක ස්වරූපයෙන් ඒවා එක්සත් කරන්න, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය භාර ගන්න!

කලුතර මහ රෝහලේ කම්කරුවෙක්

වොල්වෝ කම්කරුවන්ගේ අරගලය ධනේශ්වර මාධ්‍ය වලට “සුළු ප්‍රවෘත්තියක්” වුවද එය ලොව පුරා කම්කරු පන්තියට ඉමහත් උත්ප්‍රේරකයකි. කම්කරුවන්ට තමන්ගේ ශක්තිය කෙරෙහි අවධානය යොමු කිරීමට එය මග පෙන්වයි. ලෝකයේ බලවත්ම රටේ කම්කරුවන් කන්ඩායමක් තම ශක්තිය පෙන්වීමට පටන් ගෙන තිබේ. ඔවුන්ගේ අරගලයේදී අප ඔවුන්ට සහාය දිය යුතුයි.

කොලඹ, රාජගිරියේ කෘෂිකර්ම උපදේශකයෙකු වන ජයසේකර

යූඒඩබ්ලිව් වෘත්තීය සමිති නායකයින් පාවාදීම මම සම්පූර්නයෙන්ම හෙලා දකිමි. මෙම වසංගතය තුල කම්කරුවන්ට තම පැවැත්ම වඩ වඩාත් දුෂ්කර වී තිබේ. ඉහල යන ජීවන වියදම සහ සෞඛ්‍ය අවශ්‍යතා වැඩි වීම හේතුවෙන් ඔවුන්ට වැටුප් වැඩිවීම් අවශ්‍ය වේ. වෘත්තීය සමිති-සමාගම් සන්ධානය ඊට විරුද්ධ ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ලාභ උපරිම කර ගැනීමට පමනක් වන අතර කම්කරුවන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අවශ්‍යතා නොසලකා හරිති. මෙම ප්‍රතිගාමීත්වයට එරෙහි අරගලය ඉදිරියට ගෙන යා යුත්තේ වොල්වෝ කමකරු ක්‍රියාකාරී කමිටුව පුලුල් කිරීම සහ ජාත්‍යන්තරව අනෙකුත් කම්කරුවන් සමඟ එහි සහයෝගිතාවය ශක්තිමත් කිරීමෙනි.

පේරාදෙනියේ සිරිමා බන්ඩාරනායක රෝහලේ හෙදියක්

කම්කරුවන් වශයෙන්, අපි වොල්වෝ කම්කරුවන්ගේ මෙම වැඩ වර්ජනය හුදෙකලා කිරීමට ඉඩ නොදිය යුතුයි. එය අපේම අරගලයක් සේ අපි සැලකිල්ලට ගත යුතුයි. සියලු ජාතික සීමාවන් ඉක්මවා, සෑම තැනකම සිටින කම්කරුවන්, සමාගම් සහ වෘත්තීය සමිතිවල ද්‍රෝහිකමට එරෙහිව සිය අරගලය ආරක්ෂා කල යුතුය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිතිවල ද්‍රෝහිකම් වල සමානකම මම දකිමි. මෙහි තිබෙන අපගේ වෘත්තීය සමිති ද අප වෙනුවෙන් වැඩ කරන බව මවාපාන මුත් ඔවුන් කරන්නේ රජයේ න්‍යාය පත්‍රය අප මත පැටවීමයි. කම්කරුවන්, ධනවාදී අවශ්‍යතාවයන්ගෙන් ස්වාධීනව සංවිධානය වී, වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කල යුතු බව මම පිලිගනිමි.

කොලඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂනවේදී ශිෂ්‍යයෙක්

කම්කරුවන්ට විශාල සමාගම් හා ආන්ඩු වලට එරෙහිව බලය ලබා ගත හැකිදැයි යන ප්‍රශ්නය මට තිබුනි. නමුත් වොල්වෝ කම්කරුවන්ගේ අරගලයේ වර්ධනය දෙස බැලූ විට, ජාත්‍යන්තරව කම්කරු එක්සත් වී අරගලය තමන්ගේ අතට ගතහොත් කුමක් සිදුවේදැයි මට වැටහුනි.

මේ ලෝකයේ සමස්ත නිෂ්පාදනය පවතින්නේ කම්කරුවන්ගේ අතේ ය. ලොව පුරා වොල්වෝ සේවකයින් නිව් රිවර් වැලි කම්කරුවන්ට සහය දැක්වීමට පැමිනියේ නම් එය සමාගමට විශාල බලපෑමක් කරනු ඇත. ලෝකයේ කම්කරුවන් එක්සත් වුවහොත් එය ධනේශ්වර ක්‍රමයේ අවසානය වනු ඇත.

ප්‍රවාහන සේවකයෙකු වන විනෝද්

වොල්වෝ කම්කරුවන්ගේ වැඩ වර්ජනයට මාගේ සහෝදරාත්මක සහයෝගය ප්‍රකාශ කරමි. එය ධනේශ්වර පංතිය කම්කරුවන් කුරිරු හා අශික්ෂිත ලෙස සූරාකෑමට එරෙහිව විප්ලවීය ප්‍රතිප්‍රහාරයකට පූර්ව නිමිත්තක් වනු ඇති බවට මම විශ්වාස කරමි.

මම මෑතකදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවීම ආරම්භ කල අතර, වසංගත සමයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධනපති සමාගම් රැස් කර ගත් අති විශාල ධනය පිලිබඳ දැනගත් විට පුදුමයට පත් වීමි. නිදසුනක් ලෙස හේලීස් සමාගම වසර 143 ක ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශාලතම ලාභය, එනම් රුපියල් බිලියන 14 ක ශුද්ධ ලාභය උපයා ඇත.

නමුත් එම සමාගම්වල අයිතිකරුවන් අපට පවසා ඇත්තේ කුමක්ද? වසංගතයෙන් රටේ ආර්ථිකය කඩාකප්පල් වී ඇති තත්වයන් යටතේ අපට වැටුප් ලැබීම ගැන අප සතුටු විය යුතු බවයි. වසංගතය නිසා අපට අමතර දීමනාවක් ලබා නොදුන් අතර අපගේ වැටුපෙන් මුහුනු ආවරන සහ විෂබීජ හරන උපකරන මිලදී ගැනීමට සිදු විය. වසංගතයෙන් ආසාදිත වූ කම්කරුවන් හරහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද රෝගී ව ඇත.

අප මෙම ගැටලු පිලිබඳ ව වෘත්තීය සමිති නායකයින්ට පැමිනිලි කල විට, ඔවුන් අපට උපදෙස් දුන්නේ “ප්‍රායෝගිකව සිතා බලන” ලෙසත්, මෙවැනි දුෂ්කර ආර්ථික තත්වයන් තුල අපගේ සියලු ඉල්ලීම් කලමනාකරනයට ලබා දිය නොහැකි බවටත් ය. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති අපගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා අරගල කිරීමෙන් අපව වලක්වා ඇතතේ “මස් රාත්තලක්” ඉල්ලා නොසිටින ලෙස අපට උපදෙස් දෙමිනි. වොල්වෝ හි තම සගයන් මෙන් ඔවුන්ද කම්කරුවන්ට එරෙහිව සටන් කරන අතර සමාගම්වල ලාභ ආරක්ෂා කරති.

වොල්වෝ කම්කරුවන් විසින් ගෙන යන අරගලය අපගේ අරගලයයි. වැඩ වර්ජනය කරන වොල්වෝ කම්කරුවන්ට සහයෝගය දෙන ලෙස මම සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමි.

Loading