වර්ජනයේ නිරත ගුරුවරු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

“වැටුප් විෂමතා” ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකාවේ පාසල් ගුරුවරු ජූලි 12 දා ආරම්භ කල ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය අද දිනයේ තුන්වන සතියට අවතීර්න විය. කම්කරු පන්තිය භේද කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති සංස්ථාපිතය අවුලුවාලන වාර්ගික ආගමික ප්‍රකෝපකරනයන් නොතකා රටපුරා දෙලක්ෂ පනස්දහසකට ආසන්න ගුරුවරු මෙම වර්ජනයට සම්බන්ධ වී සිටිති.

ගුරු වැටුප් සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ඊයේ ආමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කල බව අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. මෙවැනි ව්‍යාජ පත්‍රිකා සහ යෝජනා දුසිම් ගනනක් බලයේ සිටි ආන්ඩු විසින් ඉදිරිපත් තිබේ. කැබිනට් පත්‍රිකා ප්‍රෝඩාව තිබිය දී ම අධ්‍යාපන ඇමති ඇතුලු ආන්ඩුවේ මැති ඇමතියෝ, ගුරුවරුන්ගේ අරගලය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය “කඩාකප්පල්” වන බවත්, වසංගතය මධ්‍යයේ ආන්ඩුව මුහුන දී ඇති අර්බූදය මධ්‍යයේ වැටුප් වැඩි කිරීම් කල නො හැකි බවත් ප්‍රකාශ කරමින් සිටිති.

විරෝධතා සංවිධානය කරන ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) ඇතුලු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති, ගුරුවරුන්ගේ ඉල්ලීම්වලට ආන්ඩුව නිකුත් කරන කැබිනට් පත්‍රිකා මගින් විසඳුම් ලැබේ ය මිත්‍යාව පතුරුවමින් ගුරුවරුන්ගේ සටන්කාමීත්වය අවමංගත කිරීමේ යෙදී සිටිති.

ඒ තතු තුල “ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේ ද?” යන හිසින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) නායකත්වය දෙන “ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව” නිකුත් කල ප්‍රකාශයක් ජූලි 25 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල කෙරුනි. ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ධනපති ලාභ පද්ධතියට එරෙහි ව සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ ගුරුවරුන්ගේ අරගලය පෙරට ගැනීමේ තීරනාත්මකභාවය එම ප්‍රකාශයෙන් පෙන්වා දුනි.

ඊට සමගාමී ව මේ මස 30 වන සිකුරාදා සවස 7.00ට අන්තර්ජාල රැස්වීමක් පැවැත්වීමට ක්‍රියාකාරී කමිටුව පියවර ගෙන තිබේ. පහත පල වන්නේ, කමිටු ප්‍රකාශය මත ලෝසවෙඅ වාර්තාකරුවන් සහ කමිටු සාමාජිකයන් ගුරුවරුන් සමග ගෙනගිය සාකච්ඡාවන්හි දී පල කෙරුනු අදහස් කිහිපයකි.

කොලඹ ප්‍රදේශයේ පාසලක භෞතික විද්‍යා ගුරුවරයෙකු වන සදීර ගුරු සේවයට බැඳී වසර තුනක් පමන වේ. “අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි ව පාසල් ගුරුවරුන් විරෝධතා දැක්වීම ඉතා ම වැදගත්. නමුත් ගුරුවරුන්ගේ සහ ශිෂ්‍යන්ගේ අරගල ඒකාබද්ධ කරන්න වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංගම් කිසිවක් නො කරන බවයි මට වැටහෙන්නේ” යයි සදීර කීවේය.

ගුරුවරු අඛන්ඩ ව විරෝධතාවලට සම්බන්ධ වීම තුලින් ඔවුන්ට තම අයිතීන් දිනා ගැනීමට තිබෙන දැඩි අවශ්‍යතාවය පෙන්නුම් කරන බව පැවසූ සදීර ආන්ඩුවලට බලපෑම් දැමීමේ ක්‍රියාමාර්ගය දිගේ ම ගමන් කිරීමෙන් පලක් නොවන බව පැවසී ය. “මේ වතාවේ පිරිස් බලය හැටියට ගත්තොත් වෙනදටත් වඩා පුලුල් වගේ පේනවා. ඒත් වැඩපිලිවෙල පරන එකමයි. ආන්ඩුව දැනටමත් වැටුප් වැඩිකරන්න විරුද්ධ වෙලා ඉන්නෙ. ආන්ඩුව අපේ ඉල්ලීම් දෙන්නෙ ම නෑ කියල කියන කොට, ගුරුවරු ධනපති ක්‍රමයට අභියෝග කිරීම සඳහා අනෙක් කම්කරු පන්තිය සමග ඒකාබද්ධ විය යුතුයි. සමාජවාදී විකල්පය පිලිබඳ ව සාකච්ඡා කෙරෙන ඔන්ලයින් රැස්වීමට මම සම්බන්ධ වනවා”.

මීගමුව ප්‍රදේශයේ පාසලක ඉගැන්වීමේ කටයුතුවල නිරත සෞන්දර්ය ගුරුවරයෙකු වන තරංග මෙසේ ප්‍රකාශ කලේ ය: “සමිති අවුරුදු 24 ක් ගුරු අරගලය පාවා දුන්නා. ගුරුවරු ස්වාධීන ව ඒකාබද්ධ වන එක දැන් වැඩි වෙනවා. නමුත් ගුරුවරුන්ට ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමට වැඩපිලිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිලිවෙල දැනගන්න මම 30 දා රැස්වීමට අනිවාර්යෙන්ම සම්බන්ධ වෙනවා. අනික් ගුරුවරුන්වත් දැනුවත් කරනවා“.

හෝමාගම ප්‍රදේශයේ පාසලක උසස්පෙල ගුරුවරයෙකු වන ධර්මරත්න: “ඉහල ම වගකීමක් දරන රැකියාවක් වුනාට ගුරුවරුන්ගේ වැටුප් ඉතා ම පහල මට්ටමක පවතින්නේ. ඒක ඇත්තටම හැම ආන්ඩුවක්ම නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක්. ඒ නිසා මේ අරගලය සමස්ත නිදහස් අධ්‍යාපනය දිනාගැනීමේ අරගලයක් විය යුතුයි”.

මෙවර ගුරු වැටුප් අරගලය යලි පුපුරා ආවේ අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි විරෝධතාවයට ජුලි 08 දා එල්ල කල මුර්ග පොලිස් ප්‍රහාරයකින් බව ඔහු පෙන්වා දුන්නේ ය. “ආන්ඩුව නිරෝධායන නීති උල්ලංඝනය වෙනව කියල විරෝධතා තහනම් කලත්, තමන්ගෙ ලාභ වෙනුවෙන් කම්කරුවො කර්මාන්තශාලා වල වැඩට ගෙන්නල ඔවුන්ගෙ ජීවිත වසංගතයට බිලිදෙන්න සමාගම් වලට ඉඩ දීල තියෙනවා” යයි ධර්මරත්න ප්‍රකාශ කලේ ය.

“අවුරුදු 24ක් මේ වැටුප් අරගලය එකතැන පල්වෙන එකෙන්ම පේන්නෙ හැම ආන්ඩුවක්ම අපේ වැටුප් වැඩිකරන එකට විරුද්ධ බවයි. ගුරුවරු හැටියට අපි මෙතෙක් කල් කරල තියෙන්නෙ වෘත්තීය සමිති නායකයො ඒ ආන්ඩු එක්ක කරපු සාකච්ඡාවලින් පස්සෙ අපි ඉදිරියට ඇවිත් කියන කතා අහල ආපස්සට හැරුනු එක. එතකොට අපි ආයෙමත් මුලට ම යනවා. අපිට මේ අරගලය ඉදිරියට ගෙනයන්න වෙනත් වැඩපිලිවෙලක් අවශ්‍යයි කියල මම පිලිගන්නවා. මේ රැස්වීමට සම්බන්ධවෙලා ඒ වැඩපිලිවෙල ගැන සාකච්ඡාවට මම කැමැත්තෙන් එකතු වෙනවා“ යයි ධර්මරත්න වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

පුත්තලම දිස්ත්‍රික්කයේ පාසලක ගනිතය විෂය ඉගැන්වීමේ නිරත ගුරුවරයෙක් ඔහු මුහුන දෙන ආර්ථික ගැටලු පිලිබඳව දීර්ඝ ලෙස විස්තර කලේ ය. කුලී නිවසක ජීවත් වන ඔහුගේ නිවාස කුලිය රුපියල් 10,000 කි. ලබා ගෙන ඇති නය වලට මසකට රුපියල් 19,000 ක් ගෙවීමට ඔහුට සිදු ව තිබේ. උසස් පෙල විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන වැඩිමහල් පුතාගේ අමතර පන්ති ගාස්තු පමනක් රුපියල් 10,000 ක් ඉක්මවන බවත් නිවසේ පරිගනකයක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කලේ ය.

“පාසල්වල දරුවන්ට ඔන්ලයින් පන්ති කරන්න මම භාවිතා කලේ මගේ ජංගම දුරකථනය. ඩේටාවලට අමතර වියදමක් දරනවා. ඊටත් වඩා දුක්බර තත්වය තමයි මගේ පාසලේ පන්තියේ ලමයිගෙන් ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ වුනේ සියයට 40 ටත් අඩු පිරිසක්”.

ලංකාවේ පාසල් යන වයසේ ලමුන් සහිත පවුල් වලින් අන්තර්ජාල පහසුකම් පවතින්නේ සියයට 34 ක් වැනි කුඩා ප්‍රතිශතයකට පමනක් බවත්, ඔන්ලයින් ඉගෙනුම් වලදී අත්‍යවශ්‍ය ස්මාට් දුරකථනයක් හෝ පරිගනකයක් පවතින්නේ පවුල් වලින් සියයට 48 කට පමනක් බවත් සමීක්ෂන වලින් හෙලිවී ඇති බව සාකච්ඡාවට භාජනය විය. වතු කම්කරුවන්, ධීවර ජනයා, නාගරික, හා ගම්බද දිලිඳු ජනයා වැනි සමාජයේ පහල ම ආදායම් ලබන සමාජ-ආර්ථික කන්ඩායම්වලට දුරකථන හෝ පරිගනක පවතින්නේ සියයට 25 කට පමනි. අන්තර්ජාල පහසුකම් පවතින්නේ සියයට 21ක් තරම් අඩු ප්‍රතිශතයකටයි.

මෙම පවුල්වල දරුවන් වසංගතයට පෙර පැවති ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දී පවා අධ්‍යාපනය අතර මග නතර කරමින් රැකියාවලට යොමු වූ අතර ඒ ප්‍රවනතාවය වසංගත තත්වයේ දී තවත් වේගවත් වී තිබේ.

“වැඩි සමිති ගනනක් සටනට එකතු වී සිටින නිසාත්, ගුරුවරුන් අතර වෙනදාට වැඩි සටන්කාමිත්වයක් නිර්මානය වී ඇති නිසාත් මෙවර වැටුප් සටන ජයගතහැකි වෙතැ”යි සමිති වපුරන මිත්‍යාව ඉහත ගුරුවරයා පල කල අදහස් වලින් ප්‍රකාශයට පත්විය. වෘත්තීය සමිති “ආන්ඩුව සමග කේවලයක” නිරත වීමෙන් යම් හෝ වැටුප් වැඩිවීමක් සිදුවෙතැයි ඉහත ඔහු අපේක්ෂා කරන බව පැවසී ය. “නමුත් ආන්ඩුව අපේ සියලු ප්‍රශ්න විසඳයි කියලා මට විශ්වාසයක් නෑ” යයි ඒ සමග ම ඔහු ප්‍රකාශ කලේ ය.

තමා මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ ආන්ඩුව නැවත නැවතත් පෙන්නුම් කරන්නේ, ඉල්ලීම් ලබාදෙනු වෙනුවට පංති යුද්ධයට සූදානම් වන බවයි. නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ සහ අනෙකුත් ඇමතියන්ගේ ප්‍රකාශ ගෙන හැර පාමින් ලෝසවෙඅ වාර්තාකරුවෝ එය පැහැදිලි කලහ. කම්කරු පංතියට එල්ල වන ප්‍රහාරයේ මූලය පවතින්නේ අර්බුදයට පත් ධනපති ක්‍රමය තුල බැවින් එම ප්‍රහාර පරාජය කිරීම ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනක් බව, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනක් බව වාර්තාකරුවෝ ඔහුට පෙන්වා දුන්හ.

ගුරුවරු අවශේෂ කම්කරු පන්තිය සමග ඒකාබද්ධතාවයෙන් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ අරගලය ඉදිරියට ගෙන යෑම සම්බන්ධව ඔහු සැක සංකා පල කලේ ය. “මිනිස්සු මේ පවතින ප්‍රධාන පක්ෂයක් තමයි තෝරා ගන්නේ. 2019 දී බොරු පොරොන්දු රාශියක් ලබා දුන් ගෝඨාභය රාජපක්ෂට හැට නම ලක්ෂයක් ඡන්දය දුන්නා. කලින් වතාවලදීත් එහෙමයි සිද්ධ වුනේ“ යයි ප්‍රකාශ කලේ ය.

ඔහු ඉදිරිපත් කල අදහසින් පෙන්නුම් කෙරෙන්නේ රාජපක්ෂ බලයට ඒම පිලිබඳව වෘත්තීය සමිති, ව්‍යාජ-වාම පක්ෂ ඇතුලු සංවිධාන මහජනයාට දොස් පවරමින් පතුරුවන ව්‍යාජ තර්කවල බලපෑමයි. මීට විපරීත ව, රාජපක්ෂට බලයට ඒමට පාර කැපුවේ පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි ව පැන නැගුනු අරගල පාවා දුන් මෙම වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂ ඇතුලු දුර්නායකත්වයන් විසින් මය. ගුරුවරු ද එලෙස අරගලවලට එලැඹුනු එක් කොටසකි. ධනපති පක්ෂවලට එරෙහි ව සහ ඒවායේ පන්දම්කාර සමිති හා ව්‍යාජ වාම සංවිධාන වලට එරෙහි ව කම්කරු පන්තියේ ස්වාධීන විකල්ප වැඩපිලිවෙල සඳහා සටන් කිරීම තීරනාත්මක වන්නේ මේ නිසා ය.

ධනපති ක්‍රමය ඓතිහාසික ව මුහුන දී සිටින අර්බුදය පිලිබඳව විද්‍යාත්මකව කරන පැහැදිලි කිරිම් මගින් ධනපති පක්ෂ බලයට ගෙන ඒමෙන් තම ප්‍රශ්න විසඳාගත නොහැකි බව තහවුරු කිරීම හරහා ගුරුවරුන් ඇතුලු කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට දිනාගත හැකිබව රුසියානු විප්ලවයේ පාඩම් ගෙනහැර දක්වමින් වාර්තාකරුවෝ ඔහුට පෙන්වා දුන්හ.

ගුරුවරුන්ගේ වැටුප් සටන, ගෝලීය වසංගතය මගින් ගැඹුරු වන ලෝක ධනේෂ්වර අර්බූදයේ බර මහජනයා මත පැටවීමට එරෙහි ව ලංකාවේත් ජාත්‍යන්තරවත් පැන නැගී ඇති පන්ති අරගලයේ කොටසකි. ආන්ඩුවට ඡන්දය ලබා දුන්නේද නැද්ද යන්න නොතකා කම්කරු පන්තිය, ගම්බද ගොවි ජනයා හා තරුන කොටස් අතරින් පලල් අප්‍රසාදයක් හා විරුද්ධත්වයක් ආන්ඩුවට එරෙහි ව වර්ධනය වී තිබේ.

ගුරුවරුන්ගේ වැටුප් හා නිදහස් අධ්‍යාපනය සුරැකීම ඇතුලු ඡන්ද පොරොන්දු ප්‍රධාන අපේක්ෂකයන්ගේ මැතිවරන ප්‍රකාශවල පිරී තිබුනි. පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි වෛරය ගසා කමින් ඉදිරියට පැමිනි ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන පොරොන්දුව වූයේ “ජාතික ආරක්ෂාව තහවුරු කිරීම” යි.

“ජාතික ආරක්ෂාව“ යන්නේ සැබෑ අර්ථය වූයේ පැන නගිමින් පැවති කම්කරු පන්තියේ බලගතු අරගලවලින් ධනපති දේපල හා ධනපති රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා මිලිටරිය මත පාදක ආඥාදායක පාලනයක් පෙරට ගැනීමයි. 2019 අප්‍රේල් ප්‍රහාරයත් සමග පාසල්වලට හා විශ්වවිද්‍යාලවලට හමුදා සේනාංක දිගේලි කරන්නැයි උද්ඝෝෂනයේ යෙදුනු ගුරු සමිති හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) රාජපක්ෂගේ බලයට පත්වීමට පාර කැපූ ආකාරය ලෝසවෙඅ වාර්තාකරුවෝ දීර්ඝ ලෙස පැහැදිලි කලහ.

Loading