වර්ජනයේ යෙදුනු ගුරුවරුන් කොලඹ දී පැවැත්වූ විරෝධතාවෙන් පසු හතලිස් හතර දෙනෙකු අත්අඩංගුවට ගනිති

[මෙහි පලවන්නේ, 2021 අගෝස්තු 7 දින Forty-four arrested after protest by striking Sri Lankan teachers in Colombo මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි.]

දුෂ්ට ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයක් එල්ල කරමින් පොලීසිය, බදාදා කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල වැඩි වැටුප් ඉල්ලා පැවැත්වූ විරෝධතාවකින් පසුව ආපසු යමින් සිටි ගුරුවරියන් 16ක් සහ ගුරුවරුන් 24ක් ද ඔවුන් ගමන් කරමින් සිටි වාහනවල රියැදුරන් හතරදෙනෙකු ද අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරුන්ගෙන් කීප දෙනෙක්- අගෝස්තු 5 වැනි දා ඇප මත නිදහස් කරනු ලැබීමෙන් අනතුරු ව

වැලිසර, කඩවත, මොරටුව හා පන්නිපිටිය යන ස්ථානවලින් පටන්ගෙන රථ පෙලපාලියකින් පැමිනි ගුරුවරුන් 2,000ක් පමන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්ව මෙම විරෝධතාවට සහභාගි වූ හ. ඔවුන් විරෝධතාව පවත්වනු ලැබුවේ එය තහනම් කිරීමට පොලීසිය විසින් ලබාගත් උසාවි නියෝගයක් ද ප්‍රතික්ෂේප කරමිනි.

ගුරුවරුන් අත්අඩංගුවට ගත් කොලඹ වරාය පොලීසිය ඔවුන් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලද්දේ පසුදින දක්වා පොලීසිය තුල රඳවා තබා ගැනීමෙන් පසුව ය. අත්අඩංගුවට පත් සිය සගයන්ට සහයෝගය දැක්වීම පිනිස ගුරුවරුන් සිය ගනනක් උසාවි භූමියට රැස්වූ හ. ඔවුන් ඇතුලට යාම අවහිර කිරීම සඳහා බැටන් පොලු ගත් කැරලි මර්දන පොලීසිය සීරුවෙන් සිටුවා තිබුනි.

අත්අඩංගුවට පත්වූවන් නිරෝධායන නීති කඩ කිරීම, නීති-විරෝධී ලෙස රැස්වීම සහ මහාමාර්ග නීති උල්ලංඝනය කිරීම සිදුකල බවට ව්‍යාජ ලෙස තර්ක කරමින්, ඔවුන් නිදහස් කිරීමට උසාවියේ දී පොලීසිය තරයේ විරුද්ධ විය.

එහෙත් ගුරුවරුන්ට ඇප පිට නිදහස් නො කල යුත්තේ මන් ද යන්න යුක්තිසහගත කිරීමට පොලීසිය අසමත් ව ඇති බව මහේස්ත්‍රාත්වරාය ප්‍රකාශ කලේ ය. මෙය, අධ්‍යාපනඥයන් බන්ධනාගාරගත කිරීම මහජන කෝපය ඇවිලීමට තුඩුදෙනු ඇතැයි සංස්ථාපිතය තුල පැවති බියට ප්‍රතිචාර දැක්වීමකි. අත්අඩංගුවට ගත් ගුරුවරුන් රුපියල් 100,000ක පුද්ගලික ඇප මත නිදහස් කෙරුනි. පොලීසිය ඔවුන්ට එරෙහි චෝදනා ගොනු කිරීමට සැලසුම් කරන්නේ ද පැහැදිලි නැත.

රාජපක්ෂ ආන්ඩුව තම ප්‍රතිගාමී පිලිවෙත්වලට විරෝධය දක්වන සියල්ලන්ට එරහිව මර්දනය උත්සන්න කරමින් සිටී.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට (කේඑන්ඩීයූඒ) විරුද්ධ ව ශිෂ්‍යයන් හා ගුරුවරුන්, පාර්ලිමේන්තුව අසල අඟහරුවාදා පැවැත්වූ විරෝධතාවක සංවිධායකයන්ට එරෙහි ව පොලීසිය මේ සතියේ දී දඩයමක් මුදා හැරියේය. අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට හා රාජ්‍ය පාලනය මිලිටරීකරනය ප්‍රසාරනය කිරීමට ආන්ඩුව විසින් ගන්නා පියවරයන් වේගවත් කිරීමෙහි කොටසක් ලෙස මම පනත ඉදිරිපත් කර තිබේ.

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) “අධ්‍යාපනය සඳහා සිසු- ජන ව්‍යාපාරය” නමින් පිහිටුවා ඇති පෙරමුන විසින් කැඳවූ මෙම විරෝධතාවට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කන්ඩායමක් ද සම්බන්ධ විය. විරෝධතාවට බාධා කිරීමට යකඩ බාධක දමා පොලීසිය බලය යෙදවුයේය.

කොලඹ උද්ඝෝෂනයට යාමට සූදානම් වෙමින් වැලිසර දී එක්වූ වර්ජනයේ නිරත ගුරුවරුන් ගෙන් කොටසක් [ලෝසවෙඅ]

බදාදා රාත්‍රීයේ, පොලීසිය පෙසප නායකයෙකු වන චමීර කොස්වත්ත හා විරෝධතාවට සහභාගි වූ පක්ෂ සාමාජිකාවක වන කෞශල්‍යා හංසමාලි අත්අඩංගුවට ගත් අතර, ඊට පසුදින අවිශිබම කැඳවුම්කාර වසන්ත මුදලිගේ ඇතුලු ශිෂ්‍ය නායකයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගත්තේ ය.

250,000කට ආසන්න පාසල් ගුරුවරු හා විදුහල්පතිවරු ජූලි 12දා ආරම්භ කල “ඔන්ලයින් ඉගැන්වීමේ” වර්ජනයෙහි අඛන්ඩ ව නියැලී සිටිති.

ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස), පෙසපට අනුබද්ධ එක්සත් ගුරු සේවා සංගමය හා තවත් වෘත්තීය සමිති කිහිපයක් බදාදා විරෝධතාව කැඳවූයේ, ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් ආන්ඩුව විසින් යලි යලිත් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ගේ විරෝධය වඩවඩාත් ඉහල නැගෙන තත්වයකයි. කේඑන්ඩීයූඒ පනත හකුලා ගන්නා ලෙස ද අධ්‍යාපනඥයෝ ඉල්ලා සිටිති.

වැඩ වර්ජනයේ යෙදෙන ගුරුවරු, සඳුදා සිට සියලු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වැඩට වාර්තා කල යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නියෝගයක් ද ප්‍රතික්ෂේප කලහ. මෙම නියෝගය, නිවසේ සිට වැඩ කරන සියලු රාජ්‍ය අංශ සේවකයන් පෙරලා සිය රාජකාරි ස්ථාන වෙත වාර්තා කල යුතු බවට පසුගිය සතියේ ආන්ඩුව නිකුත් කල නියෝගයේ දිගුවකි.

ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් බදාදා විරෝධතාව අතරතුර, ගුරු වෘත්තීය සමිති නායකයන් හමු වූයේය. ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම සලකා බැලීම සඳහා, රාජ්‍ය භාන්ඩාගාරයේ හා ජාතික වැටුප් කොමිසමේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇතැයි ඔහු වෘත්තීය සංගම් නායකයන්ට දැනුම් දුන්නේය. මෙම නව කමිටුව ආන්ඩුවේ තවත් උප්පරවැට්ටියකි.

බදාදා විරෝධතාව ඇමතූ ගුරු වෘත්තීය සංගම් නායකයෝ, ඔවුන්ගේ සාමාජිකයන් පාලනය කර ගැනීම සඳහා, වාචාල කතා ඇදබෑහ. ලංගුස නායක ජෝසෆ් ස්ටැලින් මෙසේ හඬ තැලුවේ ය: “අපි ආවෙ කියලා යන්න ලබන සඳුදා වෙද්දි අපේ ප්‍රශ්න විසඳන්න නැත්නම් ඊලඟ ක්‍රියාමාර්ග මීට වඩා ශක්තිමත් බව.” සඳුදා කැබිනට් රැස්වීමේ දී “විසඳුමක්” සම්පාදනය කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

ලංගුසේස ලේකම් මහින්ද ජයසිංහ තවත් තදින් ඝෝෂාවක් කලේය: “මේ ප්‍රශ්නය කඩිනමින් විසඳුවේ නැත්නම් මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටු විතරක් නෙවෙයි වහන්නේ, මුලු ලේකම් කාර්යාලයම, ලක්ෂ ගනනින් ගුරුවරුන්ගෙ ඔලුගෙඩි වලින් පුරවනවා...මේ සටන නවතින්නෙ අවසන් ජයග්‍රහනයකින් විතරයි.”

සැබවින්ම නම්, වෘත්තීය සමිති නායකයෝ, ගුරු වැඩ වර්ජන ක්‍රියා මාර්ගය අවසන් කිරීමටත්, තවත් පාවාදීමක් පැටවීමටත්, වැඩට බැසගෙන සිටිති.

ජූලි 28දා ගුරු වෘත්තීය සමිති නායකයන් හමු වූ අගමැති මහින්ද රාජපක්ෂ, “පවත්නා ගෝලීය තත්වයත් රටෙහි මූල්‍ය දුෂ්කරතාවනුත් යටතේ, මේ මොහොතේ දී ආන්ඩුව සිටින්නේ වැටුප් ප්‍රශ්නය විසඳිය නොහැකි තත්වයක” බව කෙලින්ම ප්‍රකාශ කලේ ය. රට මුහුන දෙන ආර්ථික ගැටලුව තමන්ට වැටහෙන බවත්, ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක් මේ මොහොතේ බලාපොරොත්තු නො වන බවත්, වෘත්තීය සමිති නායකයෝ අගමැතිට කියා සිටියහ. ඔවුන් අගමැතිගෙන් ඉල්ලා සිටියේ, වැටුප් විෂමතා අවම කිරීම සඳහා “ප්‍රතිපත්තිමය” තීන්දුවක් ගන්නා ලෙස යි.

ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම දිය නො හැකි බව, ජනාධිපති රාජපක්ෂ දෙවන වරටත් ඔහුගේ කැබිනට් මන්ඩලයට අගෝස්තු 2දා පැවසුවේය.

සියලු කාර්මික ක්‍රියා අවසන් කිරීම සඳහා නිදහසට කාරනයක් ලෙස වෘත්තීය සමිති විසින් අපේක්ෂා කරන ආකාරයේ වැටුප් විෂමතා අවම කිරීමේ “ප්‍රතිපත්තිමය තීන්දුවක්” ගැනීමක් ගැන ද ඔහු කිසිවක් කියානැත. ඒ වෙනුවට, ගුරුවරුන්ගේ වැටුප් වැඩි කල යුතු යයි “පිලිගන්නා බව” නරුම ලෙස පැවසූ ජනාධිපතිවරයා, සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැටලු නොවැම්බරයේ ආන්ඩුව ඉදිරිපත් කරන අයවැයේ දී සලකා බැලෙනු ඇතැයි කීවේ ය.

ගුරුවරයෙකු හා ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ (ටීඑස්පීඑස්සී) නායක සාමාජිකයෙකු වන කපිල ප්‍රනාන්දු, වෘත්තීය සමිති නායකයන්ගේ කතාවලින් පසුව බදාදා විරෝධතා රැස්වීම ඇමතීමට උත්සාහ කලේ ය. ගුරුවරුන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් අතර සටන් වැදීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති ප්‍රනාන්දු සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මන්ඩල සභිකයෙක් ද වේ. ලංගුස නායක ජෝසෆ් ස්ටැලින් ඔහු කතා කිරීම වැලැක්වූයේය.

අරගලයේ නියැලී සිටින ගුරුවරයෙක් ලෙස තමන්ට ගුරුවරුන් ඇමතීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි ප්‍රනාන්දු අවධාරනය කලත් ස්ටැලින් ඔහුට ඉඩ දුන්නේ නැත. “මේක අපේ වෘත්තීය සමිතිවල රැස්වීමක්. ඔබට ඔබ සංවිධානය කල රැස්වීමක කතා කල හැකි යි. අපි මෙම විරෝධතාව යම් මට්ටමකට ගෙනැවිත් තිබෙනවා, ඒක අල කරන්න එපා” යයි ඔහු කිවේය.

පසුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කතා කල ප්‍රනාන්දු, ගුරුවරුන් මුහුන දෙන තීරනාත්මක දේශපාලන තත්ත්වය හා ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමට විකල්ප ක්‍රියා මාර්ගයක් සඳහා සටන් වැදීමේ අවශ්‍යතාව පිලිබඳ ව තමන් විස්තර කරනු ඇතැයි භීතියට පත්වීම නිසා, ස්ටැලින් හා අනෙකුත් වෘත්තීය සමිති නායකයන් තමන් ව නැවැත්වූ බව සඳහන් කලේය.

“ගුරුවරුන්ට මෙම වෘත්තීය සමිති හා ඒවායේ නායකයන් ගැන විශ්වාසය තැබිය නො හැකි” යි ප්‍රනාන්දු සඳහන් කලේ ය. “ඔවුන් පසුගිය වසර 24 පුරා අප ව එක දිගට පාවාදී තිබෙනවා. දැන් ඔවුන් අපේ අරගලය නතර කිරීමට නිදහසට කරුනක් සොයමින් ඉන්නවා. වැටුප් විෂමතා විසඳීම හුදු මූලධර්මයක් වසයෙන් පිලිගන්නා ලෙස ඔවුන් ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඒ නිස යි.

“පැවති සියලු පාලන තන්ත්‍රයන් මෙන්ම රාජපක්ෂ ආන්ඩුව ද අපේ ඉල්ලීම් යලි යලිත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොවිඩ්-19 වසංගතය ආර්ථික අර්බුදය ගැඹුරු කර පවතිනවා. ධනවාදයට හා සංස්ථාපිතයට බැඳී සිටින වෘත්තීය සමිතිවලට ඉන් එපිට බැලීමේ හැකියාවක් නැහැ, මහජනයා මත ආර්ථික බර පැටවීමට ඔවුන් සහයෝගය දෙන්නේ ඒ නිස යි.”

සෑම පාසලක ම ක්‍රියාකාරී කමිටු පිහිටුවමින්, කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙතට හැරෙමින් හා ජූලි 28 ටීඑස්පීඑස්සී ප්‍රකාශය තුල විස්තාරනය කල ක්‍රියා මාර්ගයට සටන් වැදෙමින් ගුරුවරුන් ඔවුන්ගේ අරගලයේ පාලනය ඔවුන් අතටම ගත යුතු යයි ප්‍රනාන්දු කීවේ ය. “සටන්කාමීත්වය හා විරෝධතා වැදගත්, ඒත් ඒවා පමනක් ප්‍රමානවත් නැහැ. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී පිලිවෙත් මත ගුරුවරුන් සිය අරගලය පදනම් කල යුතු යි.”

එවන් හැරීමක් ගැනීම හදිසි අවශ්‍යතාවක් ලෙස මතු වී ඇත. රටෙහි ප්‍රදේශ කිහිපයක ම ගුරුවරු සිය ක්‍රියා මාර්ග අඛන්ඩ ව ගෙන යමින් සිටිති. එලඹෙන සඳුදා කොලඹට ලඟා වීමේ අපේක්ෂාවෙන්, බදාදා ගුරුවරු මහනුවර සිට කිලෝමීටර 100ක පෙලපාලියක් ආරම්භ කලහ. බ්‍රහස්පතින්දා අනුරාධපුරයේ උද්ඝෝෂනයක් පැවැත්වුනි.

නුවර එලියේ දී ගුරුවරු විරෝධතා දක්වමින්

ගුරුවරුන්ගේ අරගලය, රාජ්‍ය අංශයේ සෞඛ්‍ය, තැපැල් හා විදුලිබල කම්කරුවන් ද පුද්ගලික අංශයේ වතු කම්කරුවන් ද සම්බන්ධ වූ මේ වසරේ ලංකාව තුල පුපුරා ගොස් ඇති විරෝධතා හා වැඩ වර්ජන මාලාවක කොටසකි. වර්ධනය වන මෙම ව්‍යාපාරය, කොවිඩ්-19 වසංගතය නිසා අහස උසට නැගෙන ජීවන වියදමට හා රැකියා කප්පාදුවට එරෙහිව දියත්ව ඇත.

Loading