ඉදිරිදර්ශන

එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවෝ ඩේනා ඉන්කෝපරේෂන් සහ වෘත්තීය සමිති වලට විරුද්ධව කැරලි ගසති

[මෙම ලිපිය 2021 සැප්තැම්බර් 04 වැනි දින US auto parts workers rebel against Dana Inc. and the unions
යන මැයෙන් පල වූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

‍ඇමරිකා එක්සත් ජනපදය පුරා සිටින දහස් ගනන් ඩේනා මෝටර් රථ කම්කරුවෝ, එක්සත් මෝටර් රථ කම්කරුවන් (යුනයිටඩ් ඔටෝ වර්කර්ස් - යූඒඩබ්ලිව්) සහ එක්සත් වානේ කම්කරුවන් (යුනයිටඩ් ස්ටීල් වර්කර්ස් - යූඑස්ඩබ්ලිව්) වන වෘත්තීය සමිති විසින් බලහත්කාරයෙන් තමා මත පැටවීමට උත්සාහ දරන පස් අවුරුදු, අසීරු වැඩ කොන්දේසි සහිත කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කරති.

පෙන්සිල්වේනියාවේ පොට්ස්ටවුන් ද ඇතුලුව ප්‍රධාන කම්හල් දැනටමත් අති විශාල ලෙස ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 'එපා' යනුවෙනි. ෆෝට් වේන්, ඉන්දියානා; පැරිස්, ටෙනසි; වොරන්, මිචිගන්; සහ ඩෙන්විල්, කෙන්ටකි ද මේ අතර වේ. අනෙකුත් කම්හල් වල කම්කරුවන් මේ සතිය මුලදී ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

ඩේනා, යූඒඩබ්ලිව් සහ යූඑස්ඩබ්ලිව් වලට එරෙහි මෙම කැරැල්ල ඩේනා කම්කරුවන්ගේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ බලවත් ඉදිරි පියවරකි. එක්සත් ජනපදයේ මිනිසුන් 650,000 කට අධික සංඛ්‍යාවක් සහ ලොව පුරා මිලියන 4 කට වැඩි සංඛ්‍යාවක් මරනයට පත් කල වසංගතයක් මාස 18 කට පසු, “එපා” ඡන්දය යනු විශාල සමාජ අසමානකම් නොඉවසිය හැකි බවට සහ කිසියම් දෙයක් කල යුතු බවට කම්කරු පන්තිය තුල වැඩෙන හැඟීමක ලකුනකි.

ෆෝට් වේන්හි ඩේනා කම්හල

ඩේනා හි යථාර්තය, වෘත්තීය සමිති “කම්කරු සංවිධාන” ලෙස ව්‍යාජ ලෙස ඉදිරිපත් කරන ඇමරිකාවේ ඩිමොක්‍රටික් සමාජවාදීන්ගේ (ඩීඑස්ඒ) සහ ජැකොබින් සහ ලෙෆ්ට් වොයිස් වැනි ප්‍රකාශන වල තර්ක පුපුරා දමයි.

යෝජිත පස් අවුරුදු කොන්ත්‍රාත්තුව සාකච්ඡා කිරීම සඳහා ඉරිදා පැවති තොරතුරු රැස්වීමේදී, වෙහෙසට පත් වූ සහ හෙම්බත් වූ කම්කරුවන්ගේ කෝපය, යූඒඩබ්ලිව් සහ යූඑස්ඩබ්ලිව් නිලධාරීන්ට එරෙහි ව පුපුරා ගියේ, කම්කරුවන්ට සම්පූර්න කොන්ත්‍රාත්තුව දැකීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීමත්, සිදු විය හැකි වැඩ වර්ජනයක් සඳහා නිෂ්පාදන සංචිත කිරීමට සමාගමට උදව් කිරීමට අතිකාල ඉල්ලමින් කලමනාකරනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමත් නිසා ය. යූඒඩබ්ලිව් සහ යූඑස්ඩබ්ලිව් ඡන්ද වංචාවක් සිදු කරනු ඇතැයි සැලකිලිමත් වූ බොහෝ කම්හල් වල කම්කරුවන් ස්වාධීනව මූලිකත්වය ගනිමින් ඡන්ද ගනන් කිරීම අධීක්ෂනය කිරීම සඳහා සාමාන්‍ය කම්කරු නියෝජිතයින් යවා ඇත.

20 වන සියවස ආරම්භයේ සිටි විමර්ශනාත්මක වාර්තාකරුවන් වන ජේකබ් රයිස් වැන්නන්ගේ ඡායාරූප හෝ කතුවර අප්ටන් සින්ක්ලෙයාර්ගේ කෘතීන් මතකයට නංවන කොන්දේසි වලට එරෙහිව කම්කරුවන් කැරලි ගසමින් සිටිති. සින්ක්ලෙයාර්ගේ 1906 නවකතාව වන ද ජංගල් හි විස්තර කල, චිකාගෝ හි මස් ඇසුරුම් කරන දිස්ත්‍රික්කයේ සංක්‍රමනික කම්කරුවන් මුහුන දෙන අනාරක්ෂිත, අපිරිසිදු හා වෙහෙසකාරී තත්වයන් අද ඩේනා කම්කරුවන්ට ඉතා සමීප ය. කාර්මික වෘත්තීය සමිති ගොඩනැගීමට පෙර පැවති තත්වයට වඩා 2021 දී කොන්දේසි වඩාත් නරක ය යන්න, සෑම තැනකම ඒඑෆ්එල්-සීඅයිඕ සහ වෘත්තීය සමිති විසින් දශක ගනනාවක් තිස්සේ සිදු කල පාවාදීම් වල ප්‍රතිඵලයකි.

මෙම “වෘත්තීය සමිති වැඩපලේ දී” ඩේනා කම්කරුවන්ට ලැබෙන්නේ මාස තුනකට වරක් එක් නොගෙවූ නිවාඩු දිනයක් පමනි. ඔවුහු දින 20 ක්, 40 ක් හෝ දින 60 ක වැඩ වාරයක් පැය 12 ක් වැනි වැඩ මුර සහිතව විවේකයකින් තොරව වැඩ කරති. කම්කරුවන් රැකියාව අතරතුර තාපය නිසා ඇති වන අධික වෙහෙස හේතුවෙන් ක්ලාන්ත වෙති, නැතහොත් හෘදයාබාධ සහ හදිසි ආබාධවලට හෝ කොවිඩ්-19 ගොදුරු වෙති. එහෙත් මිනිස් ජීවිත පිරිවැය නොතකා යූඑස්ඩබ්ලිව් සහ යූඒඩබ්ලිව් නිෂ්පාදන ක්‍රියාදාමය නොනවත්වති.

සමාගම සහ වෘත්තීය සමිතිය කම්කරුවන්ට සලකන්නේ සතුන්ට වඩා නරක ලෙස ය. ඩ්‍රයි රිජ් හි කෙන්ටකි ඩේනා සේවකයෙකු වන ඩැනී වෝල්ටර්ස්ට රැකියාවේදී හදිසි ආබාධයක් ඇති වූ විට සමාගම හෝ යූඒඩබ්ලිව් ඔහුගේ බිරිඳට ඒ බව දැනුම් දුන්නේ නැත. මියගොස් පැය කිහිපයකට පසු සේවකයාට දැනුම් දීමක් සිදු වූ අතර ඉන් නියෝග කර තිබුනේ ඊලඟ දිනයේ ඔහුට වැඩට එන ලෙස ය. වෝල්ටර්ස්ගේ අකාල මරනය ඩේනා කම්කරුවන් සෑම දිනකම මුහුන පාන අයුක්තියේ එක්තරා සංකේතයක් ලෙස ඔවුන් සලකන අතර ඔහුගේ නමින් තම අරගලය ඉදිරියට ගෙන යාමට කම්කරුවෝ ශපථ වී සිටිති.

එවැනි භීතිය උපදවන සිදුවීම් සුලභ නිසා කම්කරුවෝ ඩේනා කම්හල් “වහල් නැව්”, “සිරගෙවල්” සහ “ගුබ්බෑයම්” ලෙස හඳුන්වති. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ට්‍රම්ප්ගේ ආධාරකරු වන ජේම්ස් කම්සිකස් 2020 දී ඩොලර් මිලියන 10 කට වඩා වැඩි මුදලක් උපයනලද අතරම සමාගම ධනවත් කොටස් හිමියන්ට මිලියන ගනනක් ලාභාංශ ගෙවීය, කමකරුවන් ඉපයූ දෙයක් නැති තරම් ය. කෙයාස් පනත ලෙස හැඳින්වෙන ද්විපාර්ශ්වික සංගත ඇපදීමෙන් සමාගමට ඩොලර් මිලියන 9 ක අරමුදල් ලැබුනි, එහි නිෂ්පාදන කටයුතු සමස්ත වසංගතය පුරාම සිදු විය.

කම්කරුවන් මුහුන දෙන්නේ එක් අනුකම්පා විරහිත සමාගමකට පමනක් නොව, සමස්ත ධනේශ්වර පද්ධතියටම ය. ඩේනා කම්කරුවන්ගේ අන්ත සූරාකෑම ධනවාදය යටතේ ව්‍යතිරේකයක් නොව සාමාන්‍ය රීතිය යි. වසංගතයෙන් වලක්වා ගත හැකිව තිබූ මරන මිලියන ගනනක් මිය යත්ම, ධනේශ්වර සූරාකෑමේ නීතිය ලොව පුරා ආන්ඩු ඉදිරියට ගෙන යමින්, බීඑම්ජේ (කලින් බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව) “සමාජ ඝාතනය” ලෙස විස්තර කල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙලඹී ඇත—මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම මධ්‍යයේ වුවද, දෙමාපියන්ගෙන් ලාභ සූරාකෑම සඳහා නැවත රැකියාවට යාමට හැකි වන පරිදි සිසුන්ට නැවත පාසැල් යාමට බල කරති.

පාලක පන්තියේ ප්‍රතිපත්තිය නම් මිලියන ගනනක් මිය ගියද ආයතනික ලාභ සහතික කිරීම සහ ගෝලීය කොටස් හුවමාරුව අහස උසට නැගීම සඳහා ඉන්ධන සැපයීමයි.

රට පුරා පිහිටි තීරනාත්මක කම්හල් වල ඩේනා කම්කරුවෝ තමන් විසින් පිහිටුවන ලද කමිටුවක් වටා එකතු වීමට පටන් ගෙන තිබේ. වසංගතය තුලදී කම්හලේ ආරක්‍ෂාව කම්කරුවන් අතට ගැනීම, වැටුප් සියයට 75 කින් වැඩිකිරීම මෙන්ම පැය 8 ක වැඩ දිනය සහ පැය 40 ක වැඩ සතිය සඳහා වූ ඉල්ලීම් මත ඩේනා සේවක ක්‍රියාකාරී කමිටුව (ඩීඩබ්ලිව්ආර්එෆ්සී) පුලුල් සහයෝගයක් ලබා ඇත.

බොහෝ ඩේනා කම්කරුවන් වාර්තා කරන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය තම අරගලයේ මිල කල නොහැකි මෙවලමක් බවත් මග පෙන්වීම සහ සමාගම පිලිබඳ තොරතුරු සැපයීම මෙන්ම අතීත අරගලවල අත්දැකීම් හා සම්බන්ධ දැනුම සපයන බවත් ය. ඩේනා කම්කරුවෝ වර්ජිනියා කම්කරුවන් විසින් සමාගමට සහ යූඒඩබ්ලිව්ඩබ්ලිව් වලට එරෙහිව අරගලයේදී පිහිටුවන ලද වොල්වෝ කම්කරු ක්‍රියාකාරී කමිටුවේ (වීඩබ්ලිව්ආර්එෆ්සී) පාඩම් මෙන්ම 2019 මෙක්සිකෝවේ මැටමොරොස් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිති වලට පිටින් සිදුවූ වර්ජනයේ පාඩම් ද අධ්‍යයනය කරමින් සිටිති.

ඩේනා හි අරගලය ලොව පුරා වැඩෙන ජාත්‍යන්තර කම්කරුවන්ගේ කැරැල්ලක කොටසකි. පසුගිය සතියේ ප්‍රකාශයට පත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වාර්තාවක් අනතුරු ඇඟවූයේ ලෝකය පන්ති අරගලයේ දැවැන්ත පිපිරීමක් මධ්‍යයේ සිටින බවයි. වාර්තාව පවසන්නේ 2011 අරාබි වසන්තය සහ 2019 අතර කාලය තුල මහා වැඩ වර්ජන සහ මහජන විරෝධතා සංඛ්‍යාව “දැවැන්ත ලෙස සියයට 244 කින්” ඉහල ගොස් ඇති බවයි. මූල්‍ය වංශාධිපතියන් ගේ විශේෂ අවධානය සඳහා “මහා වැඩ වර්ජන සංඛ්‍යාව සියයට 821 කින් වැඩි වී ඇත.” බව එම වාර්තාව පෙන්වා දෙයි.

2021 ජාත්‍යන්තර මැයි දිනයේදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් හෙවත් ක්‍රික-ජාකස පිහිටුවීමට ඉල්ලා සිටියේය. හජාජාක මෙසේ ලිවීය:

ජාත්‍යන්තර පරිමානයකින් සේවා ස්ථානවල, පාසැල්වල හා කම්හල්වල කම්කරුවන්ගේ ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී හා සටන්කාමී නව ආරක සංවිධාන ගොඩනැගීමට (ක්‍රිකජාස) වැඩ කරනු ඇත. කම්කරු පන්තිය සටනට සූදානම්ය. එහෙත් ප්‍රතිරෝධයේ සෑම උත්සාහයක්ම ව්‍යාර්ථ කරන ප්‍රතිගාමී නිලධාරිමය සංවිධාන විසින් ඒවාට විලංගු දමා තිබේ.

කම්කරුවන්ට ආරක්ෂාව සපයන ලෙස, අනාරක්ෂිත ආයතන හා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දමන ලෙස, වෛරසය පැතිරීම නතර කිරීමට අවශ්‍ය අනෙකුත් හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලීම සඳහා එක්සත් අරගලයක් සංවිධානය කරනුවස් තොරතුරු හුවමාරු කර ගැනීමට ලොව පුරා කම්කරුවන්ට ක්‍රිකජාස මගින් මාධ්‍ය සම්පාදනය කෙරෙනු ඇත.

ඩේනා හි කැරැල්ල මගින් කම්කරු පන්තියේ අරගලය මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර කමිටු සන්ධානයක් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය තහවුරු කරයි. එක්සත් ජනපදය හා ලොව පුරා ක්‍රියාකාරී කමිටු ජාලයක් ස්ථාපිත කිරීම හා ගොඩනැගීම සඳහා ඩේනා කම්කරුවන්ට සහ සියලුම කම්කරුවන්ට සහාය වීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝසවෙඅ කැපවී සිටී.

Loading