කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක අත්‍යවශ්‍යභාවය ගැන ගුරුවරු සහ සෞඛ්‍ය කම්කරුවෝ සාකච්ඡා කරති

වැටුප් “විෂමතා” ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, ලංකාවේ පාසල් ගුරුවරුන් ගෙනයන වර්ජනය මේ වන විට දින 80 ක් ඉක්මවා තිබේ. ගුරුවරුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන රාජපක්ෂ ආන්ඩුව ගුරු අරගලය බිඳ දැමීම සඳහා ගෙන යන රාජ්‍ය මර්දනය පියවරෙන් පියවර වේගවත් කර තිබේ.

ආන්ඩුව යෝජනා කල සොච්චම් වැටුප් වැඩි කිරීම ගුරුවරුන් විසින් ප්‍රතික්ෂේප කල තතු යටතේ වර්ජනය නතර කිරීමට නොහැකිව සිටින ගුරු සමිති නායකයෝ, ආන්ඩුවේ කුමන හෝ ව්‍යාජ පොරොන්දුවක් ජයග්‍රහනයක් ලෙස හුවා දක්වා වර්ජනය නතර කිරීමට මාන බලමින් සිටිති. මෙම වැටුප් ඉල්ලීම මත පසුගිය වසර 24 පුරා ගෙනගිය සෑම අරගලයක්ම සමිති නායකයන් විසින් එවන් ව්‍යාජ පොරොන්දු වලට පාවා දුනි.

අගෝස්තු මාසයේ පැවති ගුරු විරෝධතාවන්ට සම්බන්ධ වූ ගුරුවරුන් දුසිම් ගනනක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනි. වර්ජනයට සහභාගි නොවී ඔන්ලයින් ඉගැන්වීම්වල නිරත ගුරුවරුන්ට, වර්ජනයේ නිරත ගුරුවරුන් විසින් මරන තර්ජන එල්ල කල බවට ආන්ඩුවේ පන්දම්කාර වෘත්තීය සමිතියක් වන පොදු ජන අධ්‍යාපන සේවක සංගමය කරන ලද ව්‍යාජ පැමිනිල්ලක් මත තවත් දඩයමක් ආරම්භ කර ඇත.

ගුරුවරුන්ගේ “අරගලය සාධාරන වුවත්, අසාධාරන වුවත්” එය ත්‍රස්තවාදය විනාශ කලා මෙන් මර්දනය කරන බවට මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පසුගිය සතියේ තර්ජනාත්මක ප්‍රකාශයක් කලේ ය. ඔහු නැවත නැවතත් කියා සිටින්නේ ආන්ඩුව ගුරු අරගලයට එරෙහිව “තවත් දැඩි පියවර” ගත යුතු බවයි.

ඒ තත්වය තුල යලි යලිත් පැහැදිලි වන්නේ ගුරු අරගලය පෙරට ගෙන යා හැක්කේ ආන්ඩුවේ ප්‍රහාරවලට ලක් වී සිටින අවශේෂ කම්කරු පන්තියේ සහයෝගය ගොනු කර ගනිමින් කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන අරගලයක් ඉදිරියට ගැනීමෙන් පමනක් බවයි. එම වැඩපිලිවෙලේ කොටසක් ලෙස, ගතවූ සතියේ ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ නියෝජිතයෝ, ගම්පොල, මහනුවර සහ මහරගම අපේක්ෂා යන රෝහල්වල සෞඛ්‍යය ක්‍රියාකාරී කමිටුවල සාමාජිකයින් ආමන්ත්‍රනය කලහ.

ගුරුවරුන් මෙන්ම සෞඛ්‍ය කම්කරුවෝ ද අඛන්ඩව විරෝධතාවලට සම්බන්ධ වී සිටින අතර පසුගිය 22 දා සහ 27 වනදා වසංගතය මධ්‍යයේ තමන් අනාරක්ෂිතව සේවයේ යෙදවීමටත්, වසංගත දීමනා නතර කිරීමටත් එරෙහිව අරගලයට පිවිසියහ. සෞඛ්‍ය සේවකයන්ගේ සටන්කාමීත්වය පැවතිය ද එම ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති, විරෝධතා හා වර්ජන කෑම පැයට හා දින භාගයකට සීමා කර තිබේ. එසේම, සෞඛ්‍යය සේවකයන් අතර ශ්‍රේනිවාදී භේදකරනයන් අවුලවා ඇත.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මග පෙන්වීම යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරී කමිටු වල සමාජිකයන් අතර පැවති මෙම සාකච්ඡාව, වසංගතයෙන් උග්‍ර කෙරුනු ධනපති අර්බූදයේ බර තම උරමත පැටවීමට එරෙහිව අරගලයට ඇදෙමින් සිටින විවිධ ක්ෂේත්‍රයන්හි කම්කරුවන් අතර පංති එකමුතුව වර්ධනය කිරීමේ ලා ඉතා වැදගත් පියවරකි. ක්ෂේත්‍ර දෙකක රැකියාවේ යෙදුනද, රාජපක්ෂ ආන්ඩුව යටතේ දෙකොටසම මුහුන දී සිටින්නේ එකම ප්‍රහාරයට බව අවබෝධ කරගත් සෞඛ්‍ය කම්කරුවෝ, ගුරු අරගලයට සහයෝගය ලබා දීමට එකඟත්වය පල කලහ.

ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ නියෝජිතයෙකු වන ප්‍රගීත් අරවින්ද මෙවර ගුරු අරගලය දිග හැරුනු ආකාරය කෙටියෙන් සෞඛ්‍ය කම්කරුවන්ට විස්තර කලේ ය. ජූලි 08 වනදා ආන්ඩුව විසින් අධ්‍යාපනය පුද්ගලීකරනයට ගෙන ආ කොතලාවල පනතට එරෙහිව පැවැත්වුනු විරෝධතාවයට ආන්ඩුව එල්ල කල පොලිස් ප්‍රහාරයට හා අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව ගුරු සමිති මෙම විරෝධතාවය කැඳවූ බව ඔහු සඳහන් කලේය.

ප්‍රගීත් අරවින්ද

වේගයෙන් ඉහල යන ජීවන වියදමට, වසංගතය මධ්‍යයේ ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සම්පාදනය නොකිරීමට, අධ්‍යාපනයේ පෞද්ගලීකරනය වේගවත් කිරීම ඇතුලු ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව, ගුරුවරුන් අතර වැඩෙමින් පැවති විරෝධය මෙම අරගලය තුල දී ඉස්මත්තට පැමිනි බව කමිටු නියෝජිතයා පැහැදිලි කලේ ය.

අවශේෂ කම්කරු-පීඩිත මහජනතාව අතර ගුරුවරුන්ට එරෙහි මනෝගතියක් නිර්මානය කිරීමට, මාධ්‍යන්හි ද සහාය ඇතිව ආන්ඩුව ගෙනයන විෂඝෝර උද්ඝෝෂනය ගැන සාකච්ඡාවන්හි දී අවධානය යොමුවිය. “වසංගත තත්වය තුල වැටුප් වැඩිවීම් ඉල්ලා සිටීම අසාධාරනයි”, වර්ජනයෙන් දරුවන්ගේ “අධ්‍යාපනය බිඳ වැටිලා” හා ගුරු විරෝධතා හේතුවෙන් “වසංගතය ව්‍යාප්ත වූවා” ආදී වශයෙන් ආන්ඩුව සහ මාධ්‍යයෝ ගුරුවරුන්ට චෝදනා කරති.

“ගුරුවරු නිකන් ඉඳන් පඩි ගන්න කොට, වසංගත අන්තරාය ඇතුලේ වැඩ කරන අපේ රුපියල් 7,500 ක ඉල්ලීම ඉටු නොකිරීම අසාධාරනයි” යනුවෙන් රෝහල් කිහිපයකම සෞඛ්‍යය වෘත්තීය සමිති නායකයන් පසුගිය දා පැවති සෞඛ්‍යය වර්ජනය තුල දී සිදු කල ප්‍රකාශයන් හි ප්‍රතිගාමිත්වය කමිටු නියෝජිතයෝ පෙන්වා දුන්හ.

“පලමු කොටම සමිති නායකයන්ගේ මෙම ප්‍රකාශයන් සෞඛ්‍ය කම්කරුවන් ගුරුවරුන්ට එරෙහිව පිහිටුවීමක්”යැයි අරවින්ද කියා සිටියේය. “අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීම වසංගතය මැඩීමේ අත්‍යවශ්‍ය පියවරක් වන බවත්, වසා දැමෙන නිෂ්පාදනයන්හි සහ පාසල්වල සේවයේ නිරතවූවන්ට පූර්න වැටුප් ද, ආදායම් අහිමිවන අනෙකුත් මහජනතාවට වන්දි ද, සිසුන්ට සහ ගුරුවරුන්ට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලු උපකරන සහ අන්තර්ජාල පහසුකම් ද ලබාදිය යුතු” බව ඔහු පෙන්වා දුන්නේය.

“ඒ සමගම සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන සේවකයන්ට, ඔවුන් මුහුනදෙන දැඩි අන්තරාය සහ ඉසිලියයුතු අධික වැඩබර වෙනුවෙන් විශේෂ දීමනා සහ දැඩි සෞඛ්‍යාරක්ෂන පහසුකම් සම්පාදනය කලයුතු” බව ද අරවින්ද පෙන්වා දුන්නේය.

මෙම පහසුකම්, දීමනා සහ වැටුප් ලබා ගැනීම සියලු කම්කරුවන්ගේ අයිතියක් වන අතරම, ඒවා සම්පාදනය කිරීම ආන්ඩුවේ වගකීම බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වසංගත වැනි ව්‍යසනයන්හි දී සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් ගනු ලබන පාසල් වසා දැමීම වැනි පියවරකදී ගුරුවරුන් ඇතුලු එම ක්ෂේත්‍රයන්හි කාර්ය මන්ඩලයන් පූර්න වැටුප් ලබා ගැනීම “නිකන් ඉඳන් පඩි ගැනීමක්” ලෙස ගුනාංගීකරනය කරනුයේ, ධනපති පාලකයන්, ඔවුනගේ මාධ්‍ය ඇට්ටඹියන් සහ ධනපති පංතිය වෙනුවෙන් තම පූර්න සේවය සපයාදෙන වෘත්තීය සමිති නිලධරය බව අරවින්ද පෙන්වා දුන්නේය.

“අවශ්‍ය වන්නේ සෞඛ්‍ය කම්කරුවන්ගේ, ගුරුවරුන්ගේ සහ අනෙකුත් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් එක්ව සටන් කිරීමයි. මෙවැනි අවලාද හරහා අප එකිනෙකාට එරෙහිව පිහිටුවීමට සමිති වලට තවදුරටත් ඉඩ නොදිය යුතුයි.”

ගුරු වෘත්තීය සමිති සහ ආන්ඩුව අතර පැවැත්වෙන සාකච්ඡා වලට අවධානය යොමු කරමින් ගුරු නියෝජිතයා පැවසුවේ එවන් කටයුතු සම්බන්ධයෙන් සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන්ගේ අත්දැකීම වනුයේ සමිති “ආන්ඩුව විසින් ලබාදෙන පොරොන්දුවකට අරගලය පාවාදෙනු ඇති” බවයි. එය සෞඛ්‍ය සේවකයින්ගේ අඛන්ඩ අරගල රැල්ල තුලදී ද එලෙසින්ම ප්‍රකාශයට පත්ව ඇති බව ඔහු අවධාරනය කලේය.

එහි දී එක් සෞඛ්‍ය සේවකයෙක් වෘත්තීය සමිතිවල අරගල වල ව්‍යාජභාවය හෙලි කරමින් සඳහන් කලේ ඉල්ලීම් එකොලහක් මත කැඳවා ඇති සෞඛ්‍ය කම්කරුවන්ගේ විරෝධතාවය මේ වන විට එක ඉල්ලීමක් ලබා ගැනීමට පමනක් සීමා කර ඇති බවයි.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති විසින් පෙරට දමා ඇති “වැටුප් විෂමතා” ඉවත් කරනු යන ඉල්ලීමමත් කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකට හතුරු වූවක් බව ගුරු කමිටු නියෝජිතයා පැහැදිලි කලේ ය. එම ඉල්ලීම් මගින් ගුරු සේවයේ ශ්‍රේනි අතරත් වැටුප් විභේදනයන් ඇති කරයි. සමිති කුමන ආකාරයෙන් විකෘති කරනු ලැබූවත් ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ “ජීවන වියදමට සරිලන, නැතහොත් ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වැටුපක් දිනා ගැනීම පිලිබඳ ප්‍රශ්නයට” යයි අරවින්ද ප්‍රකාශ කලේ ය.

ඇමති වීරසේකරගේ තර්ජනය හුදෙක් ගුරුවරුන්ට පමනක් නොව “හැම ක්ෂේත්‍රයකම කම්කරුවන්ට” එල්ල කල ප්‍රහාරයක් බව ද ඔහු පෙන්වා දුන්නේය. හදිසි නීති, අත්‍යාවශ්‍ය සේවා නියෝග ඇතුලු මර්දන බලතල ආන්ඩුව විසින් ගොනු කර ගැනීම යටින් පවතින්නේ කම්කරු පන්තියේ, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ වර්ධනය වන සටන්කාමීත්වයට එරෙහි රුදුරු කඩා පැනීමකට සූදානම් වන බවයි.

ඊලඟ මොහොතේ අරගලයට ප්‍රවිෂ්ට වීමට සූදානම් වන සෑම කම්කරු කොටසකටම එරෙහිව මෙම ප්‍රහාරය සූදානම් කරමින් පවතින බව ඔහු සඳහන් කලේය. එම නිසා “ගුරුවරුන්ගේ අරගලය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අනෙකුත් කම්කරුවන්ගේ සහයෝගය ලැබිය යුතුවාක් මෙන්ම, ගුරුවරුන්ගේ සහයෝගය අනෙකුත් කම්කරුවන්ගේ අරගල සඳහා ලැබිය යුතු” බව අරවින්ද අවධාරනය කලේය.

මහනුවර රෝහලේ සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ වෛද්‍යවරයෙකු කියා සිටියේ, පේරාදෙනිය රෝහලේ හෙදියක් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම සම්බන්ධව ගුරු වර්ජනයට චෝදනා කල බවයි. ගුරු ක්‍රියාකාරී කමිටුවේ කපිල ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පැහැදිලි කලේය.

කපිල ප්‍රනාන්දු

“කිසියම් වර්ජන ක්‍රියාමාර්ගයක දී එම ක්ෂේත්‍රයේ සේවය ලබන පාර්ශ්වයන් පීඩාවට පත්වීම අනිවාර්ය දෙයක්. සෞඛ්‍ය කාර්ය මන්ඩල සේවක වර්ජනයක දී රෝගීන් අපහසුතාවයට ලක් වනවා සේම ඕනෑම වර්ජනයක දී එවැන්නක් සිදු වෙනවා. එසේ නොවේනම් එම වර්ජනයෙන් ඇති ඵලය කුමක් ද? වර්ජනයේ යෙදෙන කම්කරුවන්ගේ ඉල්ලීම් ලබා දී සහ ඔවුනගේ ගැටලු වලට විසඳුම් හැකි ඉක්මනින් ලබා දී එකී පීඩාව ඉවත් කිරීම ආන්ඩුවේ වගකීමක්. ඒ වෙනුවට, කම්කරු පංතික වර්ජනයකින් පීඩාවට පත්වන කම්කරු-පීඩිත කොටස් වර්ජකයන්ට එරෙහිව පිහිටුවන්නේ, ධනපති ආන්ඩු සහ ධනපති මාධ්‍ය අටුවාකරුවන් විසින්මයි.”

“සැබැවින්ම අධ්‍යාපනය බිඳ වැටීමේ වගකීම භාරගත යුත්තේ ගුරුවරුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ආන්ඩුවයි, නැතුව ගුරුවරු නොවේ” යයි ප්‍රනාන්දු පැහැදිලි කලේ ය. ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පරිගනක හා අන්තර්ජාල පහසුකම් ලබා දීම ආන්ඩුව ප්‍රතික්ෂේප කල තත්වය තුල ඔන්ලයින් පාඩම්වලට සම්බන්ධ වූයේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 40 ක් තරම් අඩු ප්‍රතිශතයකි. ඒ තත්වය තුල ගුරුවරුන් එම ඉගැන්වීම් සඳහා පරිගනක හා අන්තර්ජාල පහසුකම් ලබා ගත්තේ තම සොච්චම් වැටුපෙන් විවිධ ආර්ථික දුෂ්කරතා හා නය බරින් මිරිකී සිටිය දී ය.

ආන්ඩුව පාසල් විවෘත කිරීමට සැරසෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය සම්බන්ධ කවර හෝ උත්සුකයකින් නොවේ. ලොවපුරා පාලක පන්තීන්ගේ උත්සුකය වන්නේ වසංගතයෙන් මනුෂ්‍ය ජීවිත විනාශ වීම නොව, මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ ආරක්ෂා කර දීමයි. “අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන්ට වැඩට යෑමට බල කරන පාලකයෝ, කම්කරුවන් වැඩට දැක්කීම පහසු කරවීම සඳහා පාසල් ආරම්භ කරමින් සිටිති. වසංගතය සමග ජීවත් වීම ඔවුන්ගේ පිලිවෙතයි.”

මාරාන්තික ඩෙල්ටා වෛරස ප්‍රභේදය පැතිරෙද්දී ඇමරිකාවේ හා යුරෝපයේ පාසල් විවෘත කිරීමෙන් දරුවන් මරනයට පත් වන ආකාරය ප්‍රනාන්දු පෙන්වා දුන්නේ ය. ඊට එරෙහිව ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ බලගතු අරගල පැන නංවා තිබෙන බව සඳහන් කල කමිටු නියෝජිතයා “එම අරගල තුලට මැදිහත් වෙමන් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනගමින් කම්කරු පන්තිය සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ බලමුලු ගැන්වීමට සසප සටන් වැද සිටිනවා” යයි ප්‍රකාශ කලේ ය.

Loading