රාජපක්ෂ ආන්ඩුවේ මර්දන පිලිවෙත් පරාජය කරමු!

ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් ගුරු වැටුප් අරගලයට අවශේෂ කම්කරුවන්ගේ සහාය ගොනු කරමු!

වැඩි වැටුප් ඉල්ලා ලංකාවේ පාසල් ගුරුවරුන් ගෙනයන වර්ජනය බිඳ දැමීමට රාජපක්ෂ ආන්ඩුව දිගේලි කර ඇති රාජ්‍ය මර්දන පියවර වඩාත් “දැඩි කරන“ බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පසුගිය ඉරිදා තර්ජනය කලේ ය. ඔහු මෙම තර්ජනය කලේ, ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද (ඔක්: 06) දින රටපුරා යලි විරෝධතා පවත්වන බවට කර ඇති නිවේදනයට ප්‍රතිචාර වශයෙනි.

2021 අප්‍රේල් 05 බදුල්ල නගරයේ දී ගුරුවරු පැවැත් වූ විරෝධතාවක්

මාස තුනකට ආසන්න කාලයක් ඇදී යන ගුරු වර්ජනයට ආන්ඩුව මෙතෙක් කටයුතු කල ආකාරය “මෘදු වැඩි“ යයි කැබිනට් මන්ඩලයේ දී තමා ප්‍රකාශ කල බව ද, වසංගතයෙන් ආර්ථිකයට “බලපෑම්“ එල්ල වී තිබිය දී හා රට තවමත් විවෘත කර නැති තත්වයක් තුල “වෘත්තීය සමිති හෝ වෙනත් කන්ඩායමක් වර්ජන හා විරෝධතා පවත්වනවා නම් දැඩි පියවර ගැනීමට සිදු වන“ ව ද වීරසේකර පවසයි.

ගුරුවරුන්ගේ ඉල්ලීම් සාධාරන වූවත් අසාධාරන වුවත් “ත්‍රස්තවාදය මර්දනය කල ආකාරයට“ ගුරු අරගලය ද මර්දනය කරන බවට මීට දෙසතියකට පෙර දී වීරසේකර කල ප්‍රකාශය, ඔහු ඉදිරියේ දී ගන්නවා යයි කියන “දැඩි පියවර“ පිලිබඳ පැහැදිලි සංඥාවකි. දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධයේ දී යොදාගත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා ගෙන ප්‍රශ්න කිරීම් හා පැහැර ගැනීම් වැනි පොලිස්-මිලිටරි ක්‍රමෝපායන් දැන් පැන නංවා ඇති කම්කරු පන්තියේ බලගතු අරගලවලට යොදා ගැනීම ආන්ඩුවේ සූදානමයි.

ආන්ඩුව දැනටමත් විරෝධතාවල යෙදුනු ගුරුවරු දුසිම් ගනනක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව, “වසංගතය අතර තුර වැඩි වැටුප් ඉල්ලීම් අසාධාරනයැ“ යි ද ගුරු වර්ජනය හේතුවෙන් “දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටී ඇතැ“ යි යනුවෙන් ගුරුවරුන්ට එරෙහි මහජන මනෝගතියක් ගොඩ නැගීම සඳහා ආන්ඩුව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සමග ප්‍රතිගාමී උද්ඝෝෂනයක් ද දියත් කර තිබේ.

ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තිය, ආන්ඩුව සූදානම් කරන මෙම මර්දන සැලසුම් බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු යයි ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව අවධාරනය කර සිටී. වර්ජනයේ යෙදී සිටින ගුරුවරුන්ට මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ, ආන්ඩුවේ ප්‍රහාර හමුවේ දැනටමත් අරගල වලට අවතීර්න වී සිටින අවශේෂ කම්කරුවන් වෙත හැරී ඔවුන් සමග ඒකාබද්ධ සටනක් පෙරට ගැනීමෙන් පමනි.

කම්කරු පන්තිය වෙත හැරීම යනු, වෘත්තීය සමිති සමග අත්වැල් බැඳ ගැනීමක් නොවේ. ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස), පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) ඇතුලු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරු අරගල පාවාදීම සම්බන්ධයෙන් කුප්‍රකට වෘත්තීය සමිති නායකයන් රොත්තක් සමග එක්ව මාධ්‍ය සාකච්ඡා කිහිපයක්ම පැවැත්වූ අතර, ගුරු වර්ජනයට තම 'පූර්න සහයෝගය' ලබාදෙන බවට එම නායකයෝ ඉහත සාකච්ඡාවන්හි දී ප්‍රෝඩාකාරී ලෙස ශපථ වූහ. වියහැකි පරිදිම, ගුරු අරගලයට සහයෝගී වශයෙන් තම සාමාජික-සාමාජිකාවන් කවර හෝ කාර්මික ක්‍රියාවකට මෙහෙයවීමෙන් මෙම ද්‍රෝහී නිලධරය දැනුවත්ව වැලකී සිටිති.

කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් ධනපති ලාභ පද්ධතියට හා ජාතික රාජ්‍යයට තදින්ම බැඳී ගත් වෘත්තීය සමිති සමග එක්ව දියත් කල නො හැකි ය. ලෝක ධනේෂ්වර ක්‍රමයේ අර්බූදය යටතේ ධනපති ආන්ඩුවලට බලපෑම් දමා කම්කරු පන්තියේ අයිතීන් දිනා ගත හැකිය යන මිත්‍යාව වගාදිගා කරන ලොව පුරා වෘත්තීය සමිති, අර්බූදයේ බර කම්කරු පන්තිය මත පටවන ධනපති ආන්ඩුවල හා හාම්පුතුන්ගේ උපකරන බවට පත්ව බොහෝ කල් ය.

ආන්ඩුව මුහුන දෙන “ආර්ථික දුෂ්කරතා“ පිලි ගන්නා බවත් ඒ සඳහා “නම්‍යශීලි වී“ ඇති බවත් කියන ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ආන්ඩුවේ මුදල් ඇමති හෝ ජනාධිපති සමග සාකච්ඡාවක් ඉල්ලා සිටී. එම සාකච්ඡාවලින් ගුරුවරුන්ට අත් වන ජයග්‍රහනයක් නො මැත. සාකච්ඡාවල එල්ලය වනුයේ, වසර 24 ක් පුරා ඔවුන් සිදු කලාක් මෙන් මෙවරත් වර්ජනය පාවා දීමට ආන්ඩුවෙන් හිස් පොරොන්දුවක් ලබා ගැනීමයි.

එය ඇඟවුම් කරමින් ලංගුස ලේකම් ජෝසෆ් ස්ටැලින් ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ, 'තමන් මස්‍ රාත්තලම නොඉල්ලන බවත්, සාධාරනව සිතා බලා පියවරක් පස්සට ගෙන ඇති' බවත් ය. ඒ අනුව, ආරම්භයේදී ඉදිරිපත් කල වැටුප් ඉල්ලීම් අත්හරිමින්, ආන්ඩුව යෝජනා කල වැටුප් වැඩිවීම් පිලි ගැනීමට ගුරු සමිති දැනටමත් එකඟ වී ඇත. ගුරු සේවයේ ඉහලම සහ පහලම ශ්‍රේනි වලට පිලිවෙලින් ඉල්ලා සිටි රු: 31000ක සහ රු: 11,000ක වැටුප් වැඩිවීම වෙනුවට, ආන්ඩුව යෝජනා කල රු: 11000ක සහ රු: 5000ක වැටුප් වැඩිවීම් වෘත්තීය සමිති පිලිගෙන ඇත්තේ ගුරුවරුන්ගේ කිසිදු අදහස් විමසීමකින් තොරව ය.

දැන් ස්ටැලින් සහ ලංගුසේස ලේකම් මහින්ද ජයසිංහ ඇතුලු සමිති නායකයන් කියා සිටින්නේ, ඉහත වැටුප් වැඩිවීම් සිවු වසරක් තුල වාරික හතරකින් ලබාදෙන බවට ආන්ඩුව කල යෝජනාව වෙනුවට එය එක් වාරිකයකින් ලබාදියයුතු බවයි. මෙය, ආන්ඩුවේ සොච්චම සමිති විසින් පිලි ගැනීමට එරෙහිව ගුරුවරුන්ගෙන් එල්ල වන විරෝධය සමහන් කිරීමේ උපාමාරුවක් පමනි.

මේ අතර, යුරෝපා සංගමය වැනි අධිරාජ්‍යවාදී සංවිධානයන්හි පිහිටෙන් රාජ්‍ය මර්දනය ආපසු හැරවිය හැකිය යන මිථ්‍යාව ද ගුරු සමිති නායකයෝ ගුරුවරුන් අතර වපුරති. මේ දිනවල ලංකාවෙහි සංචාරයක නිරත වන යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් රාජපක්ෂ ආන්ඩුවට කියා සිටියේ, රටතුල මානව හිමිකම් තහවුරු නොකලහොත් ලංකාවට තවදුරටත් ජිඑස්පී බදු සහන ලබා නොදෙන බවයි. මෙහි එල්ලෙන ලංගුස ලේකම් ස්ටැලින් උජාරුවෙන් මෙසේ අසයි: “යුරෝපා සංගමයේ නියෝජිතයන් කන්ඩායමක් ලංකාවේ මේ දිනවල සංචාරයක නිරත වන තත්වයේ දී ආන්ඩුව විරෝධතා මැඩීමට ගන්නා දැඩි පියවර මොනවා ද?”

ස්ටාලින් තම ප්‍රශ්නයෙන් මතුකර පෙන්වන්නේ, යුරෝපා සංගමය පනවා ඇති කොන්දේසි හේතුවෙන් විරෝධතාවන්ට එරෙහි දැඩි පියවර ගැනීමට ආන්ඩුවට නොහැකි බවයි. නමුත්, යුරෝපා සංගමය රාජපක්ෂ ආන්ඩුවට පනවන කොන්දේසිය පිටුපස මානව හිමිකම් පිලිබද කවර හෝ උත්සුකයක් නොමැත. එය හුදෙක්, තම ආර්ථික සහ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට කොලඹ ආන්ඩුව පෙල ගස්වා ගැනීමට යොදන පීඩනයක් පමනකි.

වසංගතය මගින් ගැඹුරු කෙරෙන ලෝක ධනේශ්වර අර්බූදය හමුවේ, කම්කරුවන්ගේ ගැලවුම්කරුවන් ලෙස සමිති නිලධරය විසින් පින්තාරු කරන මෙම යුරෝපා සංගමයට අයත් රටවල් ද ඇතුලත් ලොවපුරා සෑම රටකම පාලක පන්තීන් කම්කරු පන්තියේ සියලු සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් වනසා දැමීමට හැරී ඇති බව සමිති නායකයෝ දැනුවත්ව වසන් කරති. මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් මහධනපතියන්ගේ ලාභ තබා, දරුවන්ගේ ජීවිත වසංගතයට බිලි දෙමින් පාසල් විවෘත කරන මෙම පාලකයන්ගේ සාපරාධි පිලිවෙතට සහ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව, ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ බලගතු විරෝධතා ලොවපුරා පැන නංවා තිබේ.

යුරෝපා සංගමය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය වැනි අධිරාජ්‍යවාදී ගුබ්බෑයම්වලින් කම්කරු පන්තියට ආරක්ෂාවක් නොමැති බවත්, ගුරුවරු ඇතුලු ලංකාවේ කම්කරු පන්තිය තම ආරක්ෂාව සඳහා හැරිය යුත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට බවත් ගූරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව අවධාරනයෙන් කියා සිටී.

අනෙක් අතට, වීරසේකරගේ ප්‍රකාශ ඔහුගේ පුද්ගල මුග්ධත්වයක සහ අනවබෝධයක ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමට ගුරු වෘත්තීය සමිති යත්න දරති. මෙය, රාජ්‍ය මර්දනය හමුවේ ගුරුවරුන් දේශපාලනිකව නිරායුධ කිරීමකි.

කම්කරු පන්තියේ හා ගම්බද ගොවි ජනයාගේ බලගතු පන්ති සටන් ඇවිලී යන තත්වය හමුවේ ආන්ඩුව පසුගිය අගෝස්තු 30 දා රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කලේ ය. එසේම, රාජ්‍ය ක්ෂේත්‍ර බහුතරයක කම්කරුවන්ට වැඩ වර්ජන තහනම් කරමින් මැයි මස අග පැන වූ අත්‍යාවශ්‍ය සේවා නියෝග නැවත නැවතත් බලාත්මක කෙරෙමින් පවතී. 'වැඩ වර්ජනයේ යෙදෙන' සහ ඊට 'අනුබල දෙන' කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීමේ සහ දේපොල පවරා ගැනීමේ බලතල මෙම නීති යටතේ රාජ්‍යයට හිමිවේ. වර්ජන සංවිධානය කරන සහ ඊට අනුබල දෙන වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ තහනම් කිරීමේ බලතල ද මෙම රුදුරු නීතිවලට ඇතුලත් ය.

නමුත්, ස්ටැලින් හා ජයසිංහ පමනක් නොව සෑම අංශයකම වෘත්තීය සමිති නිලධරය මෙම අන්තරායන් සම්බන්ධයෙන් කම්කරු පන්තිය අඳුරේ තබා ආන්ඩුවේ ප්‍රහාර වලට යටත් කිරීමේ ප්‍රතිගාමී භූමිකාවක නිරතව සිටිති.

ආන්ඩුවේ මර්දන පිලිවෙත් ගලා එන්නේ එය මුහුන දී සිටින ගැඹුරු අර්බූදය තුලිනි. ගෝලීය වසංගතය මගින් ගැඹුරු කෙරෙන ආන්ඩුවේ ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ අපනයන ආදායම් පහල බැසීම, සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම හා විදේශ ප්‍රේෂන කඩා වැටීම මගින් ආන්ඩුවේ නය අර්බූදය උග්‍ර කෙරී පවතී.

ඒ තත්වය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියෝග කර ඇති රාජ්‍ය වියදම් කප්පාදුව, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය හා මහජනයා මත බදු බර පැටවීම වැනි රුදුරු පියවර ක්‍රියාවේ යෙදවීම ආන්ඩුවට ඇති එකම විසඳුමයි. ආන්ඩුවේ විදේශ සංචිත ශුන්‍යයට ලගා වී ඇති බැවින් රාජ්‍ය අංශයේ නව බඳවා ගැනීම් නතර කිරීමටත්, ඉදි කිරීම් ඇතුලු රාජ්‍ය වියදම් කප්පාදු කිරීමටත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය දා නියෝග කලේ ය.

ලොව පුරා සහචර පාලක පන්තීන් සේම රාජපක්ෂ ආන්ඩුවේත් පිලිවෙත වී ඇත්තේ තම අර්බූදයේ බර මහජනයා මත පැටවීම සහ එයට එරෙහිව පැන නංවන පන්ති සටන් රුදුරුම ආකාරයෙන් මැඩීම සඳහා ආඥාදායක පාලන රූපයන් වෙත මාරු වීමයි.

ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජයග්‍රහනය කිරීමටත්, කම්කරු පන්තියට එරෙහිව සැලසුම් කරන රාජ්‍ය මර්දනය පරාජය කිරීමටත්, ගුරු අරගලය හා ඒකාබද්ධ වෙමින්, විරෝධතා හා වැඩ වර්ජන ආදී පන්ති ක්‍රියා මගින් නැගී සිටින ලෙසත්, ඒ සඳහා පාසල් හා නිවහන් ප්‍රදේශ ආශ්‍රිතවත්, වැඩපොලවල් ආශ්‍රිතවත් වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ තමාගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙසත් ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව අවශේෂ කම්කරු පන්තියට කැඳවුම් කර සිටී.

ක්‍රියාකාරී කමිටු හරහා අප සටන් වැදිය යුත්තේ, ධනපති ආන්ඩුවලට බලපෑම් දමා සහන දිනා ගැනීමේ බංකොලොත් වැඩපිලිවෙල මත නොව, කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගන්වා ධනපති ක්‍රමය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ කම්කරු-ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ ඉදිරිදර්ශනය මත ය.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මග පෙන්වීම යටතේ, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක ඉදිරිදර්ශනය මත ක්‍රියාත්මක වන අපගේ ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ, කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීම සම්බන්ධයෙන් මහනුවර, පේරාදෙනිය හා මහරගම අපේක්ෂා රෝහල්වල සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවල සේවකයන් සමග පසුගිය සතියේ වැදගත් සාකච්ඡාවන්හි නිරත වූහ.

බ්‍රිතාන්‍යයේ පාසල් දරුවන් දෙදෙනෙකුගේ මවක හා එරට ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ සමාජිකාවක වන ලීසා ඩයස්, අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් විවෘත කිරීමට විරෝධය පෑමක් ලෙස, ඔක්තෝබර් 01 දා දරුවන් පාසල් නොයවන ලෙස දෙමාපියන්ට කල කැඳවුමට ගොනු වූ දැවැන්ත ජාත්‍යන්තර සහයෝගය පෙන්නුම් කලේ, ධනපති ප්‍රහාර වලට සහ වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකලාපයට එරෙහිව ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීම සඳහා පවතින විභව ශක්‍යතාවයි.

එවන් ආරම්භකත්වයන් ගනිමින් අපගේ වැඩපිලිවෙල හා ඒකාබද්ධ වන්නැයි අපි ගුරුවරු ඇතුලු අවශේෂ කම්කරු පන්තියට කැදවුම් කර සිටිමු.

Loading