සෞඛ්‍ය සේවක අරගලය අනෙකුත් කම්කරු සටන් සමග ඒකාබද්ධ කර සමාජවාදී වැඩපිලිවෙලක් මත මෙහෙයවමු

සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති එකමුතුව විසින් එලඹෙන සිකුරාදා පැය පහක වර්ජනයක් කැඳවා තිබේ. කොවිඩ්-19 වසංගතය වෙනුවෙන් පසුගිය තෙමස තුල ගෙවන ලද රුපියල් 7,500 මාසික දීමනාව තවදුරටත් ලබාදෙන ලෙසත්, වසංගතයෙන් ජනනය කරන ලද වැඩ කන්දරාවෙහි නිරත අයට විශේෂ නිවාඩු ලබා දෙන ලෙසත්, සෞඛ්‍ය ආරක්ෂිත විශේෂ ප්‍රවාහන සේවාවක් සහ සුදුසු පුද්ගල ආරක්ෂක උපකරන (පීපීඊ) ලබාදෙන ලෙසත් සමිති ඉල්ලා සිටිති.

මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් සැප්තැම්බර් 22 දින පැවැත්වුනු උද්ඝෝෂනයෙන් හා 27 දින පැවැත්වුනු පැය පහක වර්ජනයෙන් දින ගනනාවකට පසු ව මෙම වර්ජනය පැවැත්වේ. ආන්ඩුවට ඉල්ලීම් ලබා දීමට කල් ලබා දුන්න ද, ඒ්වා ඉටු නොවූ බැවින් යලි වර්ජනය කැඳවූ බව සමිති එකමුතුව පවසයි.

2021 සැප්තැම්බර් 27 වැනි දින සෞඛ්‍ය වැඩවර්ජනය - විරෝධතාවේ යෙදෙන කයිට්ස් රෝහලේ සෞඛ්‍ය සේවකයෝ [ලෝසවෙඅ]

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) එහි සාමාජිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සමග පසුගිය දිනවල පැවැත්වූ සාකච්ඡාවන්හි පල වූ අදහස් ද සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය සේවක සටන ජග්‍රහනය දක්වා ඉදිරියට ගෙනයාම සඳහා ඉතාමත්ම තීරනාත්මක පියවර කිහිපයක් මෙසේ අවධාරනය කරන්නෙමු.

සෞඛ්‍ය සේවක අරගලය, ගුරු වර්ජනය ඇතුලු අනෙකුත් කම්කරු සටන් සමග ඒ්කාබද්ධ කල යුතුයි

ආන්ඩුව සෞඛ්‍ය සේවකයන්ට පමනක් නොව, ගුරුවරුන් ඇතුලු අනෙකුත් කම්කරුවන්ට එල්ල කරන්නේ එකම ප්‍රහාරය බවත්, එක් එක් ක්ෂේත්‍රයේ කම්කරුවන් හුදෙකලාව සටන් කරනු වෙනුවට එම සටන් ඒකාබද්ධකොට සමස්ත පංති ශක්තිය ගොනුකර ගතයුතු බවට අප කමිටුව ඉදිරිපත්කල අදහස සියලුම කම්කරුවෝ අනුමත කලහ.

“ගුරුවරුන්ටත් ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැහැ. මාසෙ අන්තිම වෙන කොට ජීවත් වීම අන්තිම අමාරුයි. ගුරුවරුන්ගේ සටනට සහය දිය යුතුයි. මේ ආන්ඩුව ගුරුවරුන්ට බෙදන හැන්දෙන්ම තමයි අපටත් බෙදන්නේ” යැයි මහනුවර රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවිකාවක පැවසුවාය.

මෙවන් ඒ්කාබද්ධ අරගලයකට වෘත්තීය සමිති හතුරු බව පෙන්වා දෙමින් මහනුවර රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයකු මෙසේ කියා සිටියේය: “සෞඛ්‍ය සේවකයන් ඒ්කාබද්ධ කරල මෙහෙයවන්න උත්සාහයක් නොගන්න සමිති අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන් සමග ඒ්කාබද්ධව සටන සංවිධානය කරන්නේ නැති බව මා තේරුම් ගෙන තිබෙනවා.”

සෞඛ්‍ය සේවයේ සියලු සේවකයින් ශ්‍රේනි භේද නොතකා අරගලයට කැඳවා ගත යුතුයි

සමස්ත කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමේදී, සමිති විසින් එක් එක් ක්ෂේත්‍රය තුල පවත්වාගෙන යන ශ්‍රේනි භේදය බිඳදැමීම අනිවාර්ය අවශ්‍යතාවයක් බවට අප කමිටුව කල අවධාරනයට එකඟව සෞඛ්‍ය කම්කරුවෝ අදහස් පල කලහ.

සමිති ඒ්කාබද්ධ වී තියුනු සටනක් කල හැකි යැයි තමන්ට බලාපොරොත්තුවක් තිබුනත් දැන් එම විශ්වාසය භංග වී ඇති බව මහනුවර රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයා සඳහන් කලේය.

සටන ජයග්‍රහනය කරා ගෙන යාමට නම් එය විධිමත්ව සංවිධානය කර ගත යුතුයි

සෞඛ්‍ය කම්කරුවන් කිහිප දෙනෙකුම සඳහන් කලේ සිකුරාදා වර්ජනය සංවිධානය කිරීම කෙසේ වෙතත් වෘත්තීය සමිති විසින් ඒ් ගැන තවම විධිමත් දැනුම් දීමක්වත් කර නොමැති බවයි. “සාමාජිකයින්ට සටන් කිරීම වුවමනා වුනත් නායකයන් හැසිරෙන්නේ ඇල් මැරුනු ස්වභාවයෙන්” යැයි එක් සෞඛ්‍ය කම්කරුවෙකු පැවසීය.

සමිති නිලධරයේ අභිමතය පරිදි තීන්දු තීරන ගැනීම වෙනුවට, කම්කරුවන් අතර කෙරෙන සාකච්ඡාවකින් තීන්දු තීරනගෙන ක්‍රියාවට දමන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් ස්ථාපිත කල යුතුයි

සෞඛ්‍ය කම්කරුවන්, ජූනි මාසයේ දී ඉල්ලීම් 11 ක් මත ඒ්කාබද්ධව සටන් කල විට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව, මාස තුනක රුපියල් 7500ක සොච්චම් දීමනාව පිලිගනිමින් සටන පාවා දුන් බව මහනුවර රෝහලේ සෞකක්‍රික සාමාජිකයෙකු කියා සිටියේය. “වැටුපෙන් සියයට 78ක් ලෙස අපි ඉල්ලපු දීමනාව සමිති විසින් පහෙන් එකකට කප්පාදු කරල රු 7,500ක් කලා. දැන් සමිති ඉස්සරහට දාල තියෙන්නෙත් ඒ් ඉල්ලීම” යැයි ඔහු පැවසීය. “කිසිම විටක සාමාජිකයින් එක්ක සාකච්ඡා කරල මත විමසල තීන්දු නොගන්න සමිති, ඊනියා සටන් තීන්දු කරල ඔවුන්ම ඒ්ව නවතා දමනවා. සාමාජිකයන් අන්ද මන්ද වෙලා ඉන්නේ” යැයි ක්‍රියාකාරී කමිටු සාමාජිකයෙක් කියා සිටියේය.

අපේ අරගලය විද්‍යාත්මක වැඩපිලිවෙලක් මත පාදක කර ගත යුතුයි

ඉහත අවධාරනය කල කරුනු සියල්ලටම වඩා ප්‍රමුඛ සහ කේන්ද්‍රීය කරනාව වන්නේ අපේ අරගලය විද්‍යාත්මක වැඩපිලිවෙලක් මත පාදක කර ගැනීමයි.

වැටුප් වැඩිකර ගැනීම, කොවිඩ් දීමනා ලබා ගැනීම, බඩු මිල පහත හෙලීම හා වසංගතය මුලිනුපුටා දැමීම ආදී අප මුහුන දෙන ප්‍රශ්න වලට විසඳුම් නොදෙමින් දිගින් දිගටම අපව පෙලන ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ප්‍රශ්න නොවිසඳෙන බව පසුගිය වෘත්තීය සමිති සටන් තුලින් වඩ වඩා පැහැදිලි වී තිබේ.

වසංගතයෙන් ගැඹුරු කෙරුනු ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදයකට මුහුනදෙන ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව මහ ධනපතියන්ගේ ලාභ ඉහල දැමීමට, ජාත්‍යන්තර නය ගෙවීමට හා සටනට පිවිසෙන කම්කරු පීඩිත ජනයාට එරෙහිව සිය හමුදා ශක්තිමත් කර ගැනීමට මුල් තැන දෙමින්, මූර්ත වැටුප් හා සහනාධාර කපා දමමින් කම්කරු - ගොවි ජනයාගේ ජීවන මට්ටම් ඇට පොත්තටම හෙලමින් සිටී.

මෙම තතු තුල, ධනපති ආන්ඩුව පෙරලා දමා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩ නැගීම දක්වාම ඉදිරියට ගොස් තම අයිතීන් තහවුරු කර ගැනීම හැර අන් විකල්පයක් නොමැති බව සෞකක්‍රික අවධාරනය කරයි. ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ගොඩනගන මෙම ආන්ඩුව, මහා පරිමාන බැංකු, දැවැන්ත කම්හල් සහ සුවිසල් වතු කම්කරු පංති පාලනය යටතේ ජනසතු කරමින්, ධනපති ලාභ අවශ්‍යතා වෙනුවට, මානව අවශ්‍යතා සපිරෙන පරිදි සමස්ත ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමට ජාත්‍යන්තර කම්කරු පංතිය සමග එක්ව සටන් වදිනු ඇත.

එවන් ආන්ඩුවක් යටතේ, කම්කරු පංතියේ ශ්‍රම ශක්තිය සූරා කමින් මහධනපතියන් සමුච්ඡය කරගත් බිලියන සංඛ්‍යාත ධන ස්කන්ධය, අප ඇතුලු කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ ජීවන සහ රැකියා කොන්දේසි දැවැන්ත පරිමානයෙන් ඉහල දැමීමට යොදාගත හැකිවෙයි. එමෙන්ම, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් ලබාගත් විදේශ නය කන්දරාව ආපසු ගෙවීම එවන් ආන්ඩුවකින් ප්‍රතික්ෂේප කෙරෙනු ඇත.

ධනපති ක්‍රමයට තදින් බැඳී සිටින වෘත්තීය සමිති ඉහත දැක්වූ වැඩපිලිවෙලට මුලුමනින්ම සතුරු ය. එබැවින් වෘත්තීය සමිති වලින් බිඳී වෙන්වී, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීන්දු තීරන ගනිමින් ඉහත වැඩපිලිවෙල මත සටන ඉදිරියට ගෙන යා හැකි සංවිධානයන් ලෙස, කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට සෞඛ්‍ය සේවකයන් ඇතුලු සියලු කම්කරුවන් පෙරට පැමිනීම අත්‍යවශ්‍ය ය.

සෑම රෝහලකම හා සුව සේවා මධ්‍යස්ථානයකම ශ්‍රේනි භේදයකින් තොරව ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු බවත්, ඒම කමිටු වල සම්බන්ධීකරන කමිටුවකින් මෙම සටන අප අතට ගත යුතු බවත් සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ අපි යෝජනා කරමු. ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයට එරෙහි මෙම සටන, අප ලෙසම බැටකන සහ අප ලෙසම සටනට අවතීර්නව සිටින මිලියන සංඛ්‍යාත ජාත්‍යන්තර කම්කරුවන් සමග එක්ව සටන් කිරීමකින් තොරව ජයග්‍රහනය කල නොහැකි බවත් අපි අවධාරනය කරමු. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් සඳහා අප සටන් වදින්නේ එබැවිනි.

ලොවපුරා ධනපති ආන්ඩු කොවිඩ් වසංගතයට දරුවන් හා දෙමාපියන් ගොදුරු කරමින් පාසල් විවෘත කිරීමට විරුද්ධත්වය පල කිරිමක් ලෙස ඔක්තොබර් 1 දින තම දරුවන් පාසැල් නොයවන ලෙස බ්‍රිතාන්‍යයේ මවක වන ලීසා ඩයස්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පිටු බලය සහිතව, ලොව පුරා දෙමව්පියන්ට කල කැඳවුමට ජාත්‍යන්තර පරිමානව ලැබුනු පුලුල් ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ ධනපති ආන්ඩු වල සාපරාධී කටයුතු වලට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඇති ශක්‍යතාවයි.

කම්කරු ක්‍රියාකාරී කමිටු හා ඒවා ක්‍රියාත්මක කිරීමේ ආකාරය පිලිබඳව පැන නගින ප්‍රශ්න ඇත්නම් ඒ්වා පැහැදිලි කිරීමට මෙන්ම ඔබ විසින් මේ පිලිබඳව මූලිකත්වය ගෙන පවත්වන සාකච්ඡාවන්ට මැදිහත් වීමටද අපි ඉතා ඕනෑකමින් සැරසී සිටිමු.

අපව ඇමතීමට හෝ පනිවිඩ එවීමට පහත දුරකථන අංකය හා ඊ මේල් ලිපිනය භාවිතා කරන්න.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව

විද්‍යුත් ලිපිනය (ඊ මේල්): healthworkers-sl@wsws.org

දුරකතන: 0773562327

Loading