ගුරු වෘත්තීය සමිති සොච්චම් වැටුප් වැඩිකිරීම පිලිගැනීමට සූදානම් වෙති

මෙය Sri Lankan teacher unions prepare to accept paltry wage rise යන මැයෙන් 2021 අගෝස්තු 04 වනදා පලවූ ලිපියේ පරිවර්තනයයි.

පසුගිය සතියේ දී විශේෂ කැබිනට් කමිටුවක් විසින් නිවේදනය කරන ලද සොච්චම් වැටුප් වැඩි කිරීමට එරෙහිව ලංකාවේ රජයේ පාසල් ගුරුවරු තම කෝපය පල කොට ඇත. දීර්ඝ කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින වැටුප් ඉහල නැංවීමේ ඉල්ලීම් මත, ජූලි 12දා පටන් ගුරුවරු 250,000ක් පමන ජාතික මට්ටමින් ඔන්ලයින් අධ්‍යාපන වර්ජනයක නියැලෙමින් සිටිති.

අධ්‍යාපන සේවකයන් සඳහා කිසිදු වැටුප් වැඩි කිරීමක් යලි යලිත් ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද කැබිනට් අනුකමිටුවක් විසින් මෙම සොච්චම් වැටුප් වැඩි කිරීම් යෝජනා කරන ලදී. ආන්ඩුව නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන අයවැය තුලින් තමන් යෝජනා කරන වැටුප් ඉහල දැමීම් නිවේදනය කරනු ඇති බවත්, එය වාර්ෂික වාරික හතරකින් ගෙවනු ලබන බවත් කමිටුව සඳහන් කලේ ය.

යාපනයේ දී මෝටර් සයිකල් රැලියක් පවත්වමින් විරෝධතා දක්වන ගුරුවරු (මූලාශ්‍රය: ෆේස්බුක්)

පලමු ශ්‍රේනියේ ගුරුවරුන්ට රුපියල් 31,000කින් හා අලුතින් බඳවා ගන්නා ගුරුවරුන්ට රුපියල් 10,000කින් වැටුප් වැඩි කරන ලෙස ගුරුවරුන් ඉල්ලා ඇතත්, පිලිවෙලින් යන්තම් රුපියල් 11,000ක හා 5,000ක වැඩි කිරීම් ආන්ඩුව විසින් ප්‍රදානය කර ඇත්තේ, අනෙකුත් ශ්‍රේනීන්ට ඒ හා සමානව කුඩා වැටුප් ප්‍රදානයන් සමගිනි.

ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වන ගුරුවරුන්ට සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලට රුපියල් 5,000ක දීමනාවක් ද ගෙවනු ඇත. මෙය වනාහි, ඔන්ලයින් වර්ජනයේ යෙදී සිටින්නන් මුහුන දෙන ආර්ථික දුෂ්කරතා ගසා කෑමට දරන අවඥා සහගත උපාමාරුවකි.

වෘත්තීය සමිතිවල ඉල්ලීම් පරිදි, ගුරුවරුන් වෙනත් අංශවලට මාරු කරනු වෙනුවට අධ්‍යාපන සේවකයන් අධ්‍යාපන අංශය තුල පමනක් මාරු කල හැකි හැකි වන ආකාරයට, රාජ්‍ය අධ්‍යාපනය වෙන ම “සංවෘත සේවාවක්” බවට පරිවර්තනය කරනු ඇත. මෙමගින් වැටුප් හා සේවා කොන්දේසි වැඩි දියුනු කරනු ඇතැයි වෘත්තීය සමිති කියාපෑව ද දුම්රිය හා තැපෑල වැනි අනෙකුත් “සංවෘත සේවා” හි නිරත කම්කරුවන්ට එයින් අභිවෘද්ධියක් සැලසී නැත. අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමේ සිය පියවරයන් වේගවත් කිරීමට මාවත විවෘත කරන නිසා, කැබිනට් අනුකමිටුව මෙය එකහෙලා පිලිගත්තේ ය.

ෆේස්බුක් හා අනෙකුත් සමාජ මාධ්‍ය තුල කැබිනට් අනුකමිටුවේ සොච්චම් වැටුප් දීමනාවට ගුරුවරුන් කෝපයෙන් ප්‍රතිචාර දැක්වූයේ, එය පිලි නො ගන්නා ලෙස වෘත්තීය සමිතිවලට අනතුරු අඟවමිනි. “අපේ අරගලය පාවාදෙන්න එපා,” “ආන්ඩුව වීසි කර තිබෙන්නේ කැරට් අලයක්, මේ සොච්චම් දීමනාවෙන් කහ කිලෝ එකක් වත් මිලට ගන්න බැහැ” යනාදිය සමාජ මාධ්‍ය මත දැක්වූ අදහස්වලට ඇතුලත් විය. එක් ගුරුවරයෙක් මෙසේ කීවේ ය: “ජයග්‍රහනය තෙක් අපේ වැඩ වර්ජනය ඉදිරියට ගෙන යමු.” “අපි මෙය පිලිගතහොත්, අනාගත ගුරු පරපුර අපට ශාප කරාවි” යි තවත් අයෙක් ලීවේ ය.

සටන් කිරීමට ගුරුවරුන් අතර පවතින අධිෂ්ටානයට එරෙහි වෙමින්, වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා තිරයෙන් පිටුපස සිට ක්‍රියාවට දමන උපාමාරුවල නියැලී සිටිති. ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුනෙන් පාලනය කරන ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ එක්සත් ගුරු සේවා සංගමය (එගුසේස) ඇතුලු අධ්‍යාපන වෘත්තීය සමිතිවල නායකයින්, කැබිනටු අනුකමිටුව සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.

කැබිනට් කමිටුවේ නිවේදනවලින් අනතුරු ව බදාදා මාධ්‍ය ඇමතූ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, වාරික හතරකින් වෙනුවට එක් වාරිකයකින් යෝජිත වැඩි කිරීම් ගෙවන බවට “චක්‍රලේඛයක්” නිකුත් කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලී ය.

ගුරුවරුන්ගේ අරගලය මෑත ඉතිහාසයේ “ශ්‍රේෂ්ඨතම” එකක් බව ප්‍රකාශ කල ලංගුස ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටැලින්, “විසඳුමක් සඳහා අපට සාකච්ඡාවක් දෙන්න, නැතහොත් අරගලය ඉදිරියට ගෙන යනවා” යි ආන්ඩුවට ආයාචනා කලේ ය.

මහින්ද ජයසිංහ (මූලාශ්‍රය: ෆේස්බුක්)

“දෙමව්පියන් හා අනෙකුත් සමාජ බලවේග මෙම අරගලය වටා රැලි කිරීමට” තම සමිතිය සූදානම් බවට එගුසේස ලේකම් සංජීව බන්ඩාර පූච්චානම් දෙඩුවේ ය.ඔවුන්ගේ හිස් පූච්චානම් කවරක් වුව ද අධ්‍යාපන ඉල්ලීම්වලට වඩා තුන්ගුනයකින් පමන අඩු ආන්ඩුවේ “දීමනාවන්” පිලිගැනීමට සූදානම් බව, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්‌ගේ වෘත්තීය සමිති පැහැදිලි ව ඉඟි කර තිබේ. ජනාධිපති හා මුදල් ඇමති සමග රැස්වීමක් සඳහා ඔවුන් කරන ඉල්ලීම්, ගුරුවරුන්ගේ කෝපය අපසරනය කිරීමට දරන මංමුලා සහගත උත්සාහයකි.

ආන්ඩුව ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින බවත්, ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් ලබාදිය නො හැකි බවත්, ජූලි 27දා අගමැති මහින්ද රාජපක්ෂ වෘත්තීය සමිති නිලධාරීන්ට කීවේ ය. මෙම උත්සුකයන් පිලිගත් වෘත්තීය සමිති, සිය ඉල්ලීම් “ප්‍රතිපත්තියක්” වසයෙන් පිලිගන්නා ලෙසත්, ගෙවීම් වාරික කිහිපයකින් ගෙවන ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටිය හ.

කොලඹ ආන්ඩුවේ පාලනය දරන්නේ කවර පක්ෂය ද යන්න නො තකා, ඉහල වැටුප් හා වඩා හොඳ සේවා කොන්දේසි සඳහා අධ්‍යාපන සේවකයන් සටන් කරන විට, ආන්ඩුව ආර්ථික දුෂ්කරතාවන්ට මුහුන දෙන බවත්, අනාගතයේ දී ගෙවීම් ඉහල දමන බවත් ඔවුන්ට කියනු ලැබේ. දශක ගනනාවක් තිස්සේ මෙම හිස් පොරොන්දු වැලඳගෙන ඇති වෘත්තීය සමිති, ගුරුවරුන්ගේ වැඩ වර්ජන හා විරෝධතා නතර කර තිබේ.

2020 පෙබරවාරි මාසයේ විරෝධතාවේ යෙදෙන වැඩ වර්ජිත ගුරුවරු (ලෝසවෙඅ මාධ්‍ය)

මෙම පාවාදීම් අමතක කර නැති ගුරුවරු, පිම්බෙන ජීවන වියදම්, සමාජ අයිතීන් මත ආන්ඩුවේ ප්‍රහාර හා වසංගතය විසින් ගැඹුරු කරන ඉහල යන නයගැති භාවය හමුවේ, ඉහල සටන්කාමීත්වයක් පෙන්නුම් කර ඇත. පොලිස් තහනම් කිරීම් ප්‍රතික්ෂේප කරමින්, රටපුරා මෙන් ම කොලඹ පවත්වන විරෝධතා හා පෙලපාලි සමගින්, මාස දෙකකට ආසන්න කාලයක් දිග්ගැස්සෙන ඔන්ලයින් අධ්‍යාපන වැඩ වර්ජනය, ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව දිගහැරෙමින් පවතින ඉහල යන කම්කරු පන්තික අරගල පිලිබිඹු කරමින්, අධ්‍යාපනඥයන්ගේ අධිෂ්ටානයට සාක්ෂි දරයි.

මේ සතියේ මාධ්‍ය ඇමතූ කැබිනට් අනුකමිටුවේ සාමාජිකයෝ, ඔවුන්ගේ යෝජනා ආරක්ෂා කරමින්, යලි වැඩ පටන් ගන්නා ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලූ හ. ආන්ඩුව “මෙවන් ඉතා අසීරු කාලයක දී වඩාත් ම සාධාරන තීරන ගෙන ති‌බෙන බව” ප්‍රකාශ කල කමිටු සාමාජික විමල් වීරවංශ, “ෂයිලොක් මෙන්...මස් රාත්තල ම” නො ඉල්ලන ලෙස ගුරුවරුන්ට අනතුරු ඇඟවී ය.

ව්‍යාජ උත්සුකයක් පෙන්නුම් කල කැබිනට් කමිටුවේ වාර්තාව, කොරෝනා වෛරස් වසංගතය “ලමුන්‌ගේ අධ්‍යාපනයට” ගැඹුරින් බලපා ඇති බව කියමින්, ඔන්ලයින් අධ්‍යාපන වැඩ වර්ජනය හෙලා දැක්කේ, එය “ලමුන්ගේ අනාගතය” සම්බන්ධයෙන් “බියකරු චිත්‍රයක්” නිර්මානය කරන ඇතැයි කියාපාමිනි.

සෞඛ්‍ය හා සමාජීය ව්‍යසනය සහ ලමුන්ගේ අධ්‍යාපනය විනාශ කිරීම, රාජපක්ෂ ආන්ඩුවේ හා එහි කොවිඩ්-19 පිලිවෙත්වල ඍජු ප්‍රතිඵලයකි. ලොව පුරා සිය සගයන් මෙන්, කොලඹ ආන්ඩුවද ද මිනිස් ජීවිතවලට ඉහලින් මහ ව්‍යාපාරිකයේ ලාභ පිහිටුවන්නේ, මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ව්‍යාප්ත වෙද්දී පවා වැඩපොලවලට දිගට ම ක්‍රියාත්මක වීමට හා අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් යලි විවෘත කිරීමට ඉඩ දෙමිනි.

“මුදල් නැතැයි” කියන ආන්ඩුව, ඔන්ලයින් අධ්‍යාපනය කරගෙන යාමට අවශ්‍ය පරිඝනක හා අන්තර්ජාල පහසුකම් සම්පාදනය කිරීම ප්‍රතික්ෂේප කොට තිබෙන්නේ, ඔන්ලයින් පාඩම් ගුරුවරුන්ගේ ම උපකරනවලින් හා වියදමින් පවත්වාගෙන යාමට බලකරමිනි.

ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා වාර්ෂික ව රුපියල් බිලියන 70ක් වැය කිරීමට සිදුවන බවට වාර්තාවෙන් නරුම ලෙස වාර්තාව කියාපාන්නේ, මහ ව්‍යාපාරිකයට වාර්තාගත ලාභ ගෙන දීමට හේතු වූ බදු කප්පාදු, ලාභ නය හා නය සහනාධාර කොලඹ ආන්ඩුව විසින් සම්පාදනය කර තිබීම ගැන වචනයක් වත් නො කියමිනි.

“ආන්ඩුවේ වියදම් දැඩි ලෙස සීමා කරන” බවට මේ සතියේ දී කැබිනට්ටුව විසින් නිවේදනය කිරීම සමගින්, ලංකාවේ මහජනයා මත තවත් කප්පාදු වටයක් පැනවීමට රාජපක්ෂ ආන්ඩුව සැලසුම් කරමින් සිටී. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රාජ්‍ය ආදායම් “දැඩි ලෙස අඩු වී ඇති” බවත්, “පුනරාවර්තන වියදම් සඳහා වත් ප්‍රමානවත් නො වන” බවත්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කැබිනට් මන්ඩලයට කියූ බව වාර්තා වේ.

රාජ්‍ය ආදායමේ ඇදවැටීමට ප්‍රතිචාර ලෙස රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කැපීමට ආන්ඩුව හා මහ ව්‍යාපාරික කව දැන් සාකච්ඡා කරමින් සිටිති. අපනයන ආදායම්, විදෙස් ප්‍රේෂන හා සංචාරක කර්මාන්තයේ ඇදවැටීම් විසින් වැඩි දියුනු කරන ලද විදේශ නය අර්බුදයකට ද රාජපක්ෂ ආන්ඩුව මුහුන දෙයි. මෙයට ප්‍රතිචාර වසයෙන් එයට ඇත්තේ එක් පිලිවෙතක් පමනි- එනම්, මෙම අර්බුදයේ සමස්ත බර වැඩ කරන ජනයා මත පැටවීම යි.

ඉහල යන වන ජීවන වියදම සැලකිල්ලට නොගෙන, අර්බුදයේ මිල ගුරුවරුන්ගේ වියදමින් පියවීමට ගන්නා උත්සාහයක් වන ආන්ඩුවේ වැටුප් “දීමනා” අධ්‍යාපන සේවකයන් විසින් ප්‍රතික්ෂේප කල යුතු ය. ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව ජූලි 27දා සවිස්තරාත්මකව පලකල අරගල ක්‍රියා මාර්ගය අධ්‍යයනය කොට ගුරුවරු හා විදුහල්පතිවරු ඒ සඳහා සටන් වැදිය යුතු ය.

එය මෙසේ සඳහන් කරයි: “කොලඹ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි අරගලයටත්, ජීවන හා සමාජ අයිතීන්ගේ ආරක්ෂාවටත්, ආන්ඩුවට හා සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් අවශ්‍ය කරයි. වෘත්තීය සමිති එවන් සටනකට අත්‍යන්තයෙන් හතුරු ය.

“ගුරුවරුන්ට සිය අරගලය වෘත්තීය සමිතිවල පාලනය යටතේ පැවතීමට දි බලා සිටිය නො හැකි ය. ඔවුන් තම අරගලය ඔවුන්ගේ ම අතට ගත යුතු ය.

“නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම සඳහා දෙමව්පියන්, ශිෂ්‍යයන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් මෙන් ම පීඩිතයන් රැලි කරගැනීම සඳහා සෑම පාසලක ම ස්වාධීන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටු පිහිටුවන ලෙස අපි ගුරුවරුන්ගෙන් ඉල්ලමු.”

Loading