ආන්ඩුවේ ඇමතිවරු හා පන්දම්කාර සමිති නායකයෝ ගුරු වර්ජනය තලා දැමීමට උද්ඝෝෂනය කරති

ආන්ඩුවේ සොච්චම් වැටුප් වැඩි කිරිම් යෝජනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කරමින් මාස තුනක් ඉක්මවා අඛන්ඩව ඉදිරියට ඇදෙන ගුරුවරුන්ගේ වර්ජනය තලා දැමිය යුතු යයි රාජපක්ෂ ආන්ඩුවේ මැති ඇමතිවරු හා එහි පන්දම්කාර වෘත්තීය සමිති නායකයෝ ප්‍රකාශ පිට ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. මෙම ප්‍රකාශ දැනටමත් ආන්ඩුව ගුරු වර්ජනයට එරෙහිව දිගේලි කර ඇති රාජ්‍ය මර්දනය තවත් උත්සන්න කිරීමේ සැලසුම් හෙලි කරයි.

“ගුරුවරුන්ගේ වර්ජනයට හේතු වූ කාරනා සාධාරන වුනත් අසාධාරන වුවත් ඉන් බැට කන්නේ දරුවෝ නිසා වර්ජනය අසාධාරන“ යයි ඔක්තෝබර් 14 දා පැවති රැස්වීමක දී ප්‍රකාශ කල මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර “ත්‍රස්තවාදය මැඬ පැවැත් වූ ආකාරයට“ ගුරු අරගලය මඬින බවට යලි තර්ජනය කලේ ය. ගුරුවරු වර්ජනයේ නිරතව සිටින්නේ සමිති නායකයන්ගේ බල කිරීම් මත යයි ද පාසල් ආරම්භ කල පසු ගුරුවරුන්ට බාධා කරන එවන් සමිති නායකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු වැඩි දුරටත් කීවේ ය. “ආන්ඩුව ගුරු වර්ජනයට ප්‍රතිචාර දක්වනවා “මෘදු වැඩි“ යයි තමා කැබිනට් මන්ඩලයේ දී ප්‍රකාශ කල බව වීරසේකර මීට ඉහත දී පවසා ඇත.

මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් එස්. වීරසේකර

වසංගතය මධ්‍යයේ ගුරුවරුන් විසින්ම ආරම්භකත්වයක් ගෙන ක්‍රියාත්මක කල මාර්ගගත ඉගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම මුලුමනින්ම මගහැර අධ්‍යාපනය කඩාකප්පල් කල රාජපක්ෂ ආන්ඩුවේ මැති ඇමතියන් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ හෙලන්නේ කිඹුල් කඳුලු ය.

ධනපතියන්ගේ ලාභ උත්පාදනය අඛන්ඩව පවත්වාගෙන යනුවස්, කම්කරුවන් වැඩපොලවල් වෙත දැක්කීම පහසු කිරීමේ අරමුනෙන් වසංගතයේ අන්තරාය මැද පාසල් විවෘත කර ඇති ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ බ්‍රසීලය ඇතුලු රටවල දිනපතා දරුවන් දුසිම් ගනනින් මියැදෙන තත්වයක දී, ලබන 21 දා පාසල් යලි විවෘත කිරීමට රාජපක්ෂ ආන්ඩුව ගෙනඇති සාපරාධී තීරනයෙන්මත් දරුවන් සම්බන්ධයෙන් එහි සැබෑ උත්සුකය ප්‍රකාශයට පත්වෙයි.

ආන්ඩුවේ පන්දම්කාර වෘත්තීය සමිතියක් වන ශ්‍රි ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ නාරහේන්පිට අභයාරාමයේ දී, වර්ජනය මෙහෙයවන වෘත්තීය සමිති නායකයන් “අධ්‍යාපන ත්‍රස්තවාදීන්“ යයි හෙලා දුටුවා ය. “ප්‍රභාකරන් මෙල්ල කරපු අය මේ ආන්ඩුව කරනවා නම්, මේ අධ්‍යාපන ත්‍රස්තවාදීන්ව මෙල්ල කරන්න පුලුවන්“ යයි ඇය නරුම ලෙස ප්‍රකාශ කලා ය. ඉන් නොනැවතුනු හඳපාන්ගොඩ, මැලේසියාවේ ඒකාධිපති නායකයෙකු වූ මහතීර් මොහොමඩ් වෘත්තීය සමිති මැඩලූ ආකාරය ද සිහිපත් කලා ය.

වර්ජනයට සම්බන්ධ නොවී, මාර්ගගත අධ්‍යාපනයේ නිරතව සිටින ගුරුවරුන්ට තර්ජන එල්ල කලේය යන අභූත චෝදනා එල්ල කරමින් දෙසතියකට පෙර හඳපාන්ගොඩ හා වීරසේකර ඒකාබද්ධව වර්ජිත ගුරුවරුන්ට එරෙහිව පොලිසිය හා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මෙහෙයවා ගනිමින් දඩයමක නිරත විය. මොවුන්ගේ නව තර්ජනවල අර්ථය ආන්ඩුවේ මර්දනය වඩාත් ගැඹුරු කෙරෙන බවයි.

මේ අතර, තමාට ඇමතිධූරය භාර දුන්නා නම් ගුරු අරගලය “මර්දනය කොට පරාජය කර පෙන්වනවා“ යයි ද ඒ සඳහා අතීතයේ උදාහරන ඇතැයි ද හිටපු උසස් අධ්‍යාපන ඇමතියෙකු හා රාජපක්ෂ ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එස්.බී.දිසානයක තවත් තර්ජනයක් ගුරුවරුන්ට කර තිබේ.

ගුරු වර්ජනයට එරෙහි ආන්ඩුවේ මර්දනය වඩාත් උත්සන්න කිරීමේ මෙම සූදානම ඉදිරියට පැමිනියේ, ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) ඇතුලු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, අගමැති මහින්ද රාජපක්ෂ සමග ඔක්තෝබර් 12 දා සිදු කල සාකච්ඡා “අසාර්ථක“ බව ප්‍රකාශ කොට වර්ජනය ඉදිරියට ගෙන යන බව පසු දා නිවේදනය කිරීමත් සමගයි.

අගමැති සමග සාකච්ඡාවකින් වර්ජනය නතර කිරීමට පොටක් පාදා ගත හැකි වෙතැයි ගනන් බැලූ මෙම සමිති නිලධරයට ආන්ඩුවේ පොරොන්දු ප්‍රතික්ෂේප කිරීමට බල කෙරුනේ ගුරුවරුන්ගෙන් එල්ල වූ බරපතල විරුද්ධත්වය හේතුවෙනි.

ආන්ඩුව ලබන ජනවාරියේ දී ලබා දෙන බවට පොරොන්දු වූ වැටුප් වැඩි වීම, ගුරුවරුන්ගේ පලමු ඉල්ලීම වූ “සුබෝධිනී කමිටු වාර්තාවෙන්“ යෝජිත අගයෙන් දහයෙන් එකක් තරම් සොච්චමකි. ඒ අනුව පලමු ශ්‍රේනියේ ගුරුවරයෙකුගේ මාසික වැටුපේ වැඩිවීම රුපියල් 3,850 කි. තුන්වන ශ්‍රේනියේ ආධුනික ගුරුවරයෙකුට වැඩි වන්නේ රුපියල් 1,250 ක් පමනි. මෙය දෛනික වැටුපට සාපේක්ෂව සලකා බැලුවහොත් බහුතරයක් ගුරුවරුන්ට වැඩි වන්නේ රුපියල් 50 ක පමන මුදලකි.

වර්ජනය අතර තුර කාලයේ දීම හාල්, සීනි, කිරිපිටි, ලූනු, ගෑස් ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල ගනන් පිම්මේ ඉහල ගොස් ඇති තත්වයක දී මෙවන් සොච්චම් වැඩිවීමක් කෙසේ පිලි ගන්න දැයි ගුරුවරු ප්‍රශ්න කරති. මේ මස 21 දා පාසල් විවෘත කිරීමේ ආන්ඩුවේ සූදානම ප්‍රතික්ෂේප කරමින් වර්ජනය දිගටම ගෙන යෑම බහුතර ගුරුවරුන්ගේ අභිප්‍රායයි.

ගුරුවරුන්ගේ මෙම සටන්කාමීත්වය වර්ධනය වන තත්වයේ දී රාජපක්ෂ ආන්ඩුවේ දිගුකාලීන ආධාරකරුවෙකු හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ (පීඑස්යූඑන්යූ) නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව “21 දා පාසල් ආරම්භ කල පසු සේවයට වාර්තා කරන ගුරුවරුන්ට වැටුප් ලැබෙනවා, එසේ නො කරන අයගේ වැටුප් කපනවා“ යයි තර්ජනයක් කර තිබේ. 'ගුරු සමිතිවල පීඩනයට යට නො වන්නැ“ යි අධ්‍යාපන ඇමතිට හා අධ්‍යාපන ලේකම්ට තමා උපදෙස් දුන් බවත්, ගුරු සමිති වලට අගමැති සමග සාකච්ඡා ලබා ගත හැකි වූයේ තමා නිසා යයි ද එහි දී ආනන්ද පාරම්බායි.

ආන්ඩුවේ ප්‍රහාරයට ලක් වී සිටින අනෙකුත් අංශවල කම්කරුවන් ද ගුරුවරුන්ගේ අධිෂ්ඨානවත් අරගලයෙන් උත්තේජනය වෙතැයි ගනන් බලන පාලක පංති කොටස් ගුරු වර්ජනය හැකි ඉක්මනින් නතර කිරීමේ විවිධ උපාමාරුවල යෙදෙති. එහි කොටසක් ලෙස, ආන්ඩුව හා විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ද ගුරු වෘත්තීය සමිති නායකයන් කීප දෙනෙකු ද සහභාගි වූ 'සර්ව පාක්ෂික සමුලුවක්', මුරුත්තෙට්ටුවේ ආනන්ද ගේ මූලිකත්වයෙන් පසුගිය 06 දා කොලඹ දී පැවැත්වුනි. “ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවලට එරෙහි ජාතික එකමුතුවේ“ නායකත්වය දරන උලපනේ සුමංගල නම් භික්ෂුව ද ඊට එක්ව සිටියේ ය.

ගුරුවරුන්ගේ අරගලයට “මැදිහත් වන” ලෙස ඉල්ලමින්, සමුලුවට පෙර දින ජනාධිපති හා අගමැති තමන්ට පෞද්ගලික ව දුරකථනයෙන් ඇමතූ බව ආනන්ද එම සමුලුවට කීවේ ය. “මෙම ප්‍රශ්නය ඔබේ අතට ගන්න, අපි සාකච්ඡා හරහා ගුරුවරුන්ගේ ගැටලු විසඳනවා” යි ජනාධිපති ඉල්ලා සිටි බව භික්ෂුව වැඩිදුරටත් කීවේ ය.

ගුරු වර්ජනය “සාකච්ඡා මගින් විසඳනවා“ යයි රාජපක්ෂ ආන්ඩුව කරන ව්‍යාජ ප්‍රකාශ වලට පිටුපසින් සූදානම් කෙරෙන මර්දනය කෙතරම් විසකුරු ද යන්න, වීරසේකර, හදපාන්ගොඩ සහ ආනන්ද ඇතුලු ප්‍රතිගාමී නඩවල කඩාපැනීම්වලින් පැහැදිලි වෙයි. සර්ව පාක්ෂික සමුලුවට එක්වූ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමල ජාතික සන්ධානය ඇතුලු අනෙකුත් පක්ෂ මෙන්ම, ගුරු සමිති සමග සාකච්ඡාවකට පැමින වර්ජනය අවසානයකට ගෙන එන්නැයි මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ දී ඇරයුම් කල අනුර කුමාර දිසානායක සහ ඔහු නායකත්වය දෙන ජවිපෙ ද ගුරුවරුන්ට එරෙහිව දිගේලි කෙරෙන මෙම ප්‍රහාරවලට වගකිව යුතු ය.

තමාට එරෙහිව දියත් කෙරෙන රුදුරු රාජ්‍ය මර්දනය නොතකා තම සටන ඉදිරියට ගෙනයාමේ අධිෂ්ඨානය ගුරුවරුන් පෙන්වා තිබිය දී ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නායකයන් තවදුරටත් ආන්ඩුව සමග යලියලිත් සාකච්ඡා ඉල්ලා සිටින්නේ ආන්ඩුවේ මර්දනයට වර්ජකයන් නතු කර ඔවුන්ගේ සටන්කාමීත්වය දියාරු කර දැමීම සඳහා ය.

තම පාලනයකින් තොරව වර්ජනය ඉදිරියට යතැයි බිය වී සිටින වෘත්තීය සමිති ඉදිරි සතිය තුල දී ආන්ඩුව සමග සිදු කරන තවත් සාකච්ඡාවකින් වර්ජනය නතර කිරීමට කැස කවමින් සිටී. ඔක්තෝබර් 14 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ලංගුස ලේකම් ජෝසෆ් ස්ටාලින් පාසල් විවෘත කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙලට පිටුබලය දෙමින්, 21 දාට පෙර සාකච්ඡාවක් දෙන්නැයි ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. ආන්ඩුව විසින් යෝජිත අදියර දෙකක වැටුප් වැඩිවීම 2022 ජනවාරියේ දී එකවර ලබා දුනහොත් වර්ජනය නතර කරනවා දැයි මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට “ඔව් අපිට ඒක සලකා බලන්න පුලුවන්“ යන්න ස්ටාලින් ගේ පිලිතුර විය.

වසංගතය මගින් වඩාත් ගැඹුරු කෙරුනු ලෝක ධනේෂ්වර අර්බූදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනයා මත පැටවීමේ ලොව පුරා පාලක පන්තීන්ගේ පිලිවෙතම අනුයන රාජපක්ෂ ආන්ඩුව, ගුරු වර්ජනයේ ආරම්භයේ සිටම ප්‍රකාශ කලේ, ආර්ථික “දුෂ්කරතා හේතුවෙන් මේ මොහොතේ වැටුප් වැඩි කල නො හැකිය“ යන්නයි. එය සැලකිල්ලට ගෙන “අපි මස් රාත්තලම නො ඉල්ලා, උපරිමයෙන් නම්‍යශීලි වූවා“ යනුවෙන් ස්ටාලින් සහ ලගුසේස නායක මහින්ද ජයසිංහ කරන සැඳහුම් වලින් ප්‍රකාශයට පත් වන්නේ, ධනපති අර්බූදය කම්කරුවන් මත පැටවීමේ දී වෘත්තීය සමිති පාලක පංතියේ ප්‍රහාරක හස්තයන් ලෙස ක්‍රියාත්මක වන ආකාරයයි.

ඒ තත්වය තුල, ආන්ඩුව සමග වෘත්තීය සමිති ඇති කර ගන්නා කවර හෝ සම්මුතියකින් ගුරුවරුන්ට හෝ නිදහස් අධ්‍යාපනයට කිසිදු ජයග්‍රහනයක් ඇත්තේ නැත.

වසංගතයේ අන්තරායෙන් දරුවන්ගේ ජීවිත ගලවා ගැනීමත්, නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරුකර ගැනීමත් ලාභ ගරන ධනපති ක්‍රමය යටතේ ඉටු කර ගත නො හැක. ගුරුවරුන්ට රාජපක්ෂ ආන්ඩුවේ මෙම මර්දනය පරාජය කරමින් තම අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ ආන්ඩුවේ ප්‍රහාරවලට ලක් වී සිටින සෞඛ්‍ය, වරාය, විදුලිබල, වතු ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් සහ ජාත්‍යන්තර කම්කරු පංතිය සමග ඒකාබද්ධව රාජපක්ෂ ආන්ඩුවටත් සමස්ත ධනේෂ්වර ක්‍රමයටත් එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන පිලිවෙතක් මත සටන් වැදීමෙන් පමනි.

ධනේෂ්වර ක්‍රමයට බැඳී ගත් වෘත්තීය සමිති එවන් අරගලයකට මුලුමනින්ම හතුරු ය. වෘත්තීය සමිතිවලින් බිඳී ගනිමින් සෑම පාසලකම, නිවහන් ප්‍රදේශයකම හා වැඩබිමකම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනීමින් ගුරුවරු අරගලය තම අතට ගත යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය නායකත්වය දෙන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව මෙම වැඩපිලිවෙලට සටන් වදී.

Loading