ගුරු අරගලයේ තෙමසක අත්දැකීම

ශිෂ්ඨ සම්පන්න ජීවිතයකට සරිලන වැටුප් ඉල්ලා පාසල් ගුරුවරුන් යෙදී සිටින වර්ජනයට තෙමසක් සපිරුනු ඊයේ දිනයේ, අගමැති මහින්ද රාජපක්ෂ සමඟ ගුරු සමිති නායකයන් පැවැත්වූ සාකච්ඡාවකදී වැටුප් ඉල්ලීම් යලිත් ප්‍රතික්ෂේප කෙරුනි.

ගුරුවරුන් ඉල්ලූ වැටුප් වැඩිවීමෙන් තුනෙන් පංගුවක් වැනි සොච්චමක්, අදියර දෙකකින් ලබාදියහැකි බවට ආන්ඩුව වෙනුවෙන් අගමැති රාජපක්ෂ පොරොන්දු වී ඇත. ඔහුට අනුව, ඉන් එක් කොටසක් 2022 ජනවාරියේදී ද, අනෙක් කොටස 2023 වසරේ ද ගුරු වැටුප් වලට එකතු වෙයි. මීට කිසිදු විරුද්ධත්වයක් දක්වා නැති සමිති නායකයෝ අද දිනයේ තමන්ගේ අවසන් තීරනය නිවේදනය කරන බව පවසති.

යුද්ධයෙන් ඉරිතැලී ගිය උතුර හා නැගෙනහිර ඇතුලු රටෙහි සෑම කොටසක ම රජයේ පාසල් ගුරුවරු හා විදුහල්පතිවරු 250,000ක පමන පිරිසක් මේ වන විට නිරතව සිටින්නේ මෑතකාලයේ ලංකාව තුල දියත් වූ දීර්ඝතම වැඩ වර්ජනයකයි.

2021 ඔක්තෝබර් 6 වැනි දා නුවරඑලියේ විරෝධතාවේ යෙදෙන ගුරුවරු (ඡායාරූපය සඳහා ස්තුතිය: ෆේස්බුක්, මලයග කුරුවි)

ගෙවී ගිය මාස තුන පුරාම ගුරුවරුන් අත්දැක ඇත්තේ, ආන්ඩුව විසින් ඔවුන්ගේ වැටුප් ඉල්ලීම අනවරත ව ප්‍රතික්ෂේප කිරීමයි. “වසංගතය මධ්‍යයේ ආර්ථිකය බිඳ වැටී ඇති නිසා ගුරු ඉල්ලීම් ලබා දිය නො හැකි” බව, ගුරු වෘත්තීය සමිති සමග පැවති සියලු සාකච්ඡාවල දී ආන්ඩුව කියා සිටියේ ය. “ෂයිලොක් මෙන් මස් රාත්තල ම” නො ඉල්ලන ලෙස ආන්ඩුවේ නියෝජිතයෝ ගුරුවරුන්ට කියා සිටියහ.

2022 අයවැය මගින් ගුරු සේවාවේ පවතින වැටුප් විෂමතා අර්බුදය විසඳනු ලබන බවත්, “ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ලබා දීමට නියමිත වැටුප් වර්ධකයන් පාර්ලිමේන්තුවට දන්වා අයවැය රහස් හෙලිකිරීමේ අත්වැරැද්ද සිදු කිරීමට තමන් සූදානම් නැති” බවත්, අධ්‍යාපන ඇමති දිනේශ් ගුනවර්ධන දින හතරකට පෙර පාර්ලිමේන්තුවේ දී කීවේ ය.

කෙසේ නමුත්, ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් හෙලි කෙරෙන අයවැය රහස කුමක්දැයි අද දිනයේ ආන්ඩුවේ තීන්දුවෙන් පැහැදිලි වේ. 2022 අයවැය වෙන්කිරීම් ගැන ඉඟි කරන මෙවර විසර්ජන පනත් කෙටුම්පතේ, අධ්‍යාපනය සඳහා ඉහල දමා ඇත්තේ රුපියල් බිලියනයක සොච්චමකි. එය ආන්ඩුවේ පොරොන්දුව ඉටු කිරීමටවත් ප්‍රමානවත් නොවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩු-ගැති වෘත්තීය සමිති සමග එක්ව ගුරු අරගලය මැඩීම සඳහා එක දිගටම කුමන්ත්‍රනය කරමින් සිටියේය. රට පුරා යලි ගුරු විරෝධතා ආරම්භවූ ඔක්තෝබර් 06 දා ම, ආන්ඩුවේ පන්දම්කාරයෙකු සහ හොරිකඩ සමිති නායකයෙකු ලෙස කුප්‍රකට මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව සර්ව-පාක්ෂික සමුලුවක් කැඳවීය. එහිදී ඔහු කියා සිටියේ “ජනාධිපතිගේ හා අගමැතිගේ උපදෙස් මත ගුරු ගැටලුවලට මැදිහත් වීම” තම අරමුන බවයි. මෙම 'මැදිහත්වීමේ' ඒකායන එල්ලය ගුරු අරගලය බිඳ විසුරුවා හැරීම යි.

“ලමුන්ගේ අධ්‍යාපනය යතා තත්ත්වයට ගෙන ඒමේ ආන්ඩුවේ සූදානමට බාධා නොකර 21 වැනිදා සේවයට වාර්තා කරන්නැ” යි ආනන්ද 11 දා ගුරුවරුන්ට අවධාරනය කලේ ය.

මේ සියලු උපාමාරු මධ්‍යයේ, ආන්ඩුව පොලිස් විධික්‍රම යොදාගෙන ගුරුවරුන් මත දැවැන්ත පීඩනයක් මුදාහැර ඇත. සියලු වැඩ වර්ජිත ගුරුවරුන් බියවැද්දීමක් ලෙස, කලින් පැවති විරෝධතාවල දී ගුරුවරු දුසිම් ගනනක් අත්අඩංගුවට ගත් අතර, ප්‍රකාශ ලබා ගැනීම සඳහා සමහර ගුරුවරුන් පොලිස් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබිනි.

“ත්‍රස්තවාදය විනාශ කල අයුරින් ගුරුවරුන්ගේ වර්ජනය මර්දනය කරන” බවට තර්ජනය කර ඇති මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, ගුරු අරගලය කෙරෙහි ආන්ඩුවේ වර්තමාන ප්‍රතික්‍රියාව “මෘදු වැඩි” බැවින් අනාගතයේ දී “බරපතල ක්‍රියා මාර්ග” ගන්නා බවට අනතුරු ඇඟවී ය. ධනපති මාධ්‍ය සමග ඒකාබද්ධ ව වැඩ කරමින් සිටින ආන්ඩුව, එය මුහුන දී සිටින ආර්ථික අර්බුදය මධ්‍යයේ ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම “අසාධාරන” යැයි ද, “වැඩ වර්ජනය හේතුවෙන් ලමුන්ගේ අධ්‍යාපනය බිඳවැටී ඇතැ” යි ද ව්‍යාජ ලෙස කියාපාමින්, ගුරුවරුන්ට එරෙහි මහජන මනෝගතියක් ඇවිලවීමට ද උත්සාහ දරයි.

ආන්ඩුව මේ සා පරිමාන ප්‍රහාරයකට සැරසෙද්දී ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) හා ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවන ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) විසින් ප්‍රධාන වසයෙන් නායකත්වය දෙනු ලබන ගුරු, විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ආන්ඩුවෙන් යම් හෝ සහනයක් ඉල්ලමින් සාකච්ඡා වට ගනනාවකට බඩගෑවෝය.

පලමූ සාකච්ඡාවේදීම 'ආර්ථිකය දුර්වල වී අති නිසා ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබාදීමට මුදල් නැතැයි' අගමැති කල ප්‍රකාශයට සමිති නායකයෝ එකඟ වූහ. ඒ අනුව ආන්ඩුව යෝජනා කල සොච්චම් වැටුප් වැඩිවීම පිලිගත් ඔවුහු, ගුරුවරුන්ගේ විරෝධය වැලැක්වීම සඳහා ආන්ඩුව කප්පාදු කල වැටුප් වැඩිවීම වාරිකවලින් ගෙවනු වෙනුවට එකවර ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වයේ ආධාරය ලද වර්තමාන රාජපක්ෂ පාලනය ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු, පසුගිය වසර 24 පුරා ගුරු වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ගුරුවරු, රටෙහි අඩුවෙන් ම වැටුප් ලබන රාජ්‍ය අංශ සේවකයන් අතරට වැටී සිටිති. මෙවර ද වෘත්තීය සමිති සූදානම් වී සිටින්නේ පෙර සිදුකල ආකාරයේම පාවාදීමක් සඳහාය.

ගුරුවරුන් සටන් වැද සිටින්නේ ශිෂ්ඨසම්පන්නව ජීවත්වීමට සරිලන වැටුපක් ඉල්ලා වුව ද, තම ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා අවශේෂ පීඩිත ජනයා මත පැටවීමට ආන්ඩුව ගෙනයන සමස්ත ප්‍රහාරාත්මක පිලිවෙතට එරෙහිව එම සටන පිහිටා සිටී. ආන්ඩුවේ මෙම පිලිවෙතේ කොටසක් ලෙස, කම්කරුවන්ට ගෙවනු ලබන වැටුප් සහ දිරිදීමනා ඇතුලු වියදම් කප්පාදු කරන ලෙසත්, නව බඳවා ගැනීම් තහනම් කරන ලෙසත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සියලු අමාත්‍යාංශවලට උපදෙස් දී ඇති අතර, ආන්ඩුව අත්‍යවශ්‍ය භාන්ඩවල මිල විශාල ලෙස ඉහල දමමින් සිටී.

වසංගතය මැද රාජකාරියේ යෙදීම වෙනුවෙන් ලබාදුන් රුපියල් 7500ක මාසික දීමනාව කැපීමට එරෙහි සෞඛ්‍ය සේවකයන්ගේ වැඩ වර්ජන, අතිකාල ගෙවීම් කප්පාදුවට එරෙහි ඛනිජ තෙල් කම්කරුවන්ගේ විරෝධතා, වැටුප් කප්පාදුවට සහ වැඩ වේගවත් කිරීමට එරෙහි වතු කම්කරුවන්ගේ අරගල හා දරාගත නො හැකි ජීවන වියදමට එරෙහි පොදු මහජන විරෝධතා යන සියල්ල ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන පංති අරගල රැල්ලේ කොටස් ය.

මෙය ලංකාවට පමනක් සීමිත ප්‍රපංචයක් නොවේ. වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ගෝලීය ධනේශ්වර අර්බුදය හමුවේ ලොව පුරා සෑම ආන්ඩුවක් ම කම්කරු පන්තියට එරෙහි ව පලල් කප්පාදු පිලිවෙත් දියත් කර ඇති අතර, ඒවාට එරෙහි ව වර්ධනය වෙමින් පවත්නා සමාජ විරෝධය තලා දැමීම සඳහා වඩා ආඥාදායක පාලන රූප කරා හැරෙමින් සිටී. හදිසි තත්ත්වය හා අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම වැනි පන්ති යුද පියවරයන් සමගින්, ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව ද එම පිලිවෙතේ ඉදිරියට යමින් සිටී.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මග පෙන්වීම යටතේ පිහිටුවා ඇති ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව පමනක් ම, ආන්ඩුවේ මර්දනය පරාජය කල හැකි හා සිය ඉල්ලීම් දිනාගත හැකි එක ම මාවත වන්නේ, ගුරු වර්ජනය වටා අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය රැලි කර ගනිමින් සමස්ත ධනේශ්වර ක්‍රමයට ම එරෙහි දේශපාලන අරගලයක් දියත් කිරීම බව කම්කරුවන්ට පැහැදිලි කලේ ය.

ආන්ඩුවට බලපෑම් දැමීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයේ බංකොලොත්භාවය ද, සසප ක්‍රියා මාර්ගයේ නිරවද්‍යභාවය ද ගෙවීගිය තෙමස තුල යලි යලිත් සනාථ විය.

ගුරු අරගලය ආරම්භයේ දී ම ජූලි 26දා ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව නිකුත් කල ප්‍රකාශය විස්තර කල පරිදි;

ගෝලීය ධනේශ්වර අර්බුදයෙන් ගලාඑන මෙම ප්‍රහාරයන්ට එරෙහි අරගලය, ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකි. කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනක් වන එයට මෙම සමිති සපුරා එරෙහිය. ගුරුවරුන් තම අරගලය තවදුරටත් ඔවුන් අත පැවතීමට ඉඩ නොදිය යුතුය. වහාම එය තමාගේම අතට ගත යුතුය. ඒ සඳහා, වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ නව සංවිධාන රූපයන් ලෙස, ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කම්ටු ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙයි.

සෑම පාසලක් ආශ්‍රිතවම එවන් කම්ටු ගොඩනැගීමට පෙරට එන ලෙසත්, එම කමිටු වටා නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කර ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන දෙමාපියන්, සිසුන් සහ අවශේෂ කම්කරු-පීඩිත මහජනතාව රැලිකර ගැනීමට සටන් වදින ලෙසත් අපි සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම පදනම මත, ගුරුවරුන් අතර සාකච්ඡාවන් ආරම්භ කිරීමට, ඔවුන්ගේ අදහස් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මත පලල් ව පල කරමින් එම විරුද්ධත්වයට ප්‍රකාශයක් අත්කර දීමට, ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ නව සාමාජිකයන් ලෙස මෙම අරගලයේ වඩා දියුනු කොටස් සම්බන්ධ කරගැනීමට, වැඩ වර්ජිත ගුරුවරුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට, ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව සමත් විය.

ආන්ඩුව සූදානම් කරන මර්දනයෙහි සැබෑ අන්තරාය වෘත්තීය සමිති විසින් අවතක්සේරු කරද්දී, ආන්ඩුවේ ප්‍රහාර හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කල ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව, ගුරු අරගලය ආරක්ෂා කිරීම සඳහා පෙරට පැමිනෙන ලෙස අවශේෂ කම්කරුවන්ට කැඳවුම් කලේ ය. එම ඒකාබද්ධතාව ගොඩනැගීමේ කොටසක් ලෙස, ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව සමග රැස්වීමකට සහභාගි වෙමින්, ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා කලහ.

එවන් ඒකාබද්ධ අරගලයක දී, සහන දිනාගැනීම සඳහා ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමේ බංකොලොත් ක්‍රියා මාර්ගය වෙනුවට, කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලුගැන්වීමේ හා ධනේශ්වර ක්‍රමය පෙරලා දමා, ජාත්‍යන්තර සමාජවාදය සඳහා ඉදිරි දර්ශනය යටතේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ ඉදිරි දර්ශනය යටතේ කම්කරුවන් සටන් වැදිය යුතු ය.

Loading