වෘත්තීය සමිති විසින් ගුරු වැටුප් අරගලය පාවාදීමට එරෙහිවෙනු!

යහපත් වැටුප් සහ නිදහස් අධ්‍යාපන‌යේ ආරක්ෂාව සඳහා සටන් වැදීමට ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!

ඊයේට දින 100 ක් සපිරුනු ශ්‍රී ලංකාවේ ගුරු වර්ජනය අවසන්කොට ඔක්තෝබර් 25 දා සේවයට වාර්තා කරන බව එය කැඳවූ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳුදා නිවේදනය කලේය. තම සාමාජිකත්වය සමග කවර හෝ සාකච්ඡාවකින් තොරව ප්‍රජාතන්ත්‍ර-විරෝධී අයුරින් වර්ජනය නිමා කිරීමට සමිති නායකත්වය තීන්දු කලේ, ඉල්ලා සිටි වැටුප් වැඩිවීමෙන් අටෙන් පංගුවක් වැනි සොච්චමකට වැඩි යමක් දිය නොහැකි බව ආන්ඩුව දැඩිලෙස කියා සිටියදීය.

2022 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන්නේයැයි ආන්ඩුව පවසන වැටුප් වැඩිවීමට අනුව, පලමු ශ්‍රේනියේ ගුරුවරයෙකුගේ මාසික වැටුපේ වැඩිවීම රුපියල් 3,850 කි. තුන්වන ශ්‍රේනියේ ආධුනික ගුරුවරයෙකුගේ මාසික වැටුප වැඩි වන්නේ රුපියල් 1,250 කින් පමනි. වේගයෙන් ඉහල නගින වත්මන් ජීවන වියදමට අලගු තැබීමටවත් මෙම වැඩිවීම නොසෑහේ.

'ආන්ඩුවේ තර්ජනය හමුවේ' තම 'ශක්තිය' පෙන්වීම සඳහා පාසල් යලි ආරම්භ කෙරෙන 21 දා සහ 22 දා වර්ජනයේ යෙදෙන බවත්, 'දරුවන්ගේ අධ්‍යාපනය සලකා' 25 දා සිට සේවයට වාර්තා කරන බවත්, ලංකා ගුරු සංගමයේ (ලංගුස) ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ලංකා ගුරු සේවා සංගමයේ (ලංගුසේස) ලේකම් මහින්ද ජයසිංහ ඇතුලු ගුරු සංගම් නායකයෝ කියා සිටියහ.

2021 ඔක්තෝබර් 6 වැනි දා යාපනයේ දී විරෝධතාවේ යෙදෙන ගුරුවරු (ලෝසවෙඅ මාධ්‍ය)

මෙලෙස වර්ජනය නතර කිරීම, 250,000 කට ආසන්න ගුරුවරුන් පිරිසක් වාර්ගික රේඛා හරහා එක්වෙමින්, තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ රාජ්‍ය මර්දනය සහ ප්‍රකෝපකරනයන් නොතකා අධිෂ්ඨානවත්ව නියැලී සිටි යුක්තියුක්ත අරගලයක් නින්දිත ආකාරයෙන් පාවාදීමකි.

පාවාදෙන්නන් එය වසන් කිරීමට නිතර යොදා ගැනෙන උස් හඬින් සමිති නායකයන් කියා සිටියේ, තම ඉල්ලීම් ලැබෙනතෙක් 25 දා සිට එක දිගට වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එලැඹෙන බවයි. එය ගුරුවරුන් අතර සමිති වලට එරෙහිව වැඩෙන විරෝධය දියකර හැරීමේ පූච්චානමක් පමනි.

මෙම වැටුප් ඉල්ලීම මුල් වරට ඉදිරිපත් කල 1997 සිට වසර 24 ක් පුරා සිදුකල පාවාදීම් පුනර්කරනය කරමින් වෘත්තීය සමිති කල මෙම පාවාදීමට එරෙහි දහස් සංඛ්‍යාත ගුරුවරුන්ගේ විරෝධය සමාජ මාධ්‍ය හරහා පිටාර ගලමින් පවතී. එහෙත් එම විරෝධය පමනක් ප්‍රමානවත් නොවේ. ගුරුවරුන් පසුගිය අරගලයේ වැදගත් අත්දැකීම් සහ පාඩම් උකහා ගනිමින් තම ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීමේ නව මාවතක් කපාගත යුතු ය.

ඉහල යන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක දැඩි අවශ්‍යතාවයෙන් ‌දිගු කාලයක් පුරා පෙලුනු ගුරුවරුන් ශ්‍රේනිවාදී 'වැටුප් විෂමතා' සූත්‍රය තුල සිර කරමින් වෘත්තීය සමිති කැඳවූ මෙම වැඩ වර්ජනය ආරම්භයේ සිටම ආන්ඩුව කියා සිටියේ, වසංගතය මගින් ගැඹුරු කෙරුනු ආන්ඩුවේ ආර්ථික අර්බුදය හමුවේ, අදාල වැටුප් ඉල්ලීම කිසිසේත් ඉටුකල නොහැකි බවයි. වසංගත සමයට විශේෂ දීමනා සහ නිසි ආරක්ෂක උපකරන ඉල්ලා සෞඛ්‍ය සේවකයන් නියැලුනු අරගල ඇතුලු අනෙකුත් පංති අරගල වලදී ද ආන්ඩුව කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කලේ ඉහත මන්ත්‍රය ජප කරමිනි.

නමුත්, ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තිය වසංගතය මධ්‍යයේ අත්දුටුවේ, මේ සා ආර්ථික අර්බුදයක ගිලී සිටින ආන්ඩුව මහා සමාගම් වලට බිලියන සංඛ්‍යාත සහන පැකේජයන් ලබාදෙන අතරේ ඉන් වඩාත් උග්‍රවන ආර්ථික අර්බුදයේ බර, වැටුප් සහ දීමනා කප්පාදු, වැඩ වේගවත් කිරිම්, රැකියා අහෝසි කිරීම්, නව බදු සහ දැවැන්ත මිල ඉහල දැමීම් ලෙස තම උරමත පටවන ආකාරය යි.

මෙම ප්‍රහාරයන්ට එරෙහිව ගුරුවරුන්ට අමතරව, සෞඛ්‍ය, වරාය, වතු, විදුලිබල සහ ඛනිජතෙල් ඇතුලු ක්ෂේත්‍ර ගනනාවක කම්කරුවෝ අරගල මාලාවකට අවතීර්න වූහ. ලංකාව තුල වැඩෙන මෙම පංති අරගල වසංගතයෙන් තීව්‍ර කෙරුනු ජාත්‍යන්තර පංති අරගල මාලාවේ කොටසකි. මෙම පංති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා ආඥාදායක පාලනයන් වෙතට මාරුවීම ජාත්‍යන්තර ප්‍රපංචයකි. ගෝඨාභය රාජපක්ෂ මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් වෙත වේගයෙන් පිය මනින්නේ මෙහි කොටසක් ලෙසිනි.

වසංගතය ව්‍යසනකාරීව පැතිරෙද්දී, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමියයුතු බවට වසංගත රෝග විශේෂඥයන් යලියලිත් කල අවධාරනය නොතකා, ධනපතියන්ගේ ලාභ උත්පාදනය අඛන්ඩව ඉදිරියට ගෙනයනුවස් ඇඟලුම් වැනි අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා පවත්වාගෙන යාමට ආන්ඩුව නියෝග කලේ කම්කරුවන්ගේ ජීවිත තඹ දොයිතුවකට මායිම් නොකරමිනි. ආන්ඩුවේ මෙම පිලිවෙතට සියලු වෘත්තීය සමිති විවෘතව සහයෝගය දුන් අතර, ලමුන් සහ ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ද වසංගතයට බිලිදෙමින් ඔක්තෝබර් 21 දා පාසල් විවෘත කිරීමට ද ගුරු සංගම් සියල්ල සහයෝගය දෙන බව ප්‍රකාශ කර තිබේ.

ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා ධනපති පාලන තන්ත්‍රයන් අනුයන රාජ්‍ය වියදම් කපා දැමීමේ පිලිවෙත් වලට අභියෝග කෙරෙන ගුරු වැටුප් ඉල්ලීම් ඍජුව අභිමුඛ වන්නේ එම පිලිවෙත් අනවනු ලබන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයට බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එය නායකත්වය දෙන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව ගුරු වර්ජනය ආරම්භයේ සිටම පෙන්වා දුනි.

'ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේද?' යන හිසින් 2021 ජූලි 25 දා ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව නිකුත් කල ප්‍රකාශයේ අපි මෙසේ සටහන් කලෙමු: 'ගෝලීය ධනේශ්වර අර්බුදයෙන් ගලාඑන මෙම ප්‍රහාරයන්ට එරෙහි අරගලය, ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකි.' එම අරගලය, ධනපති ප්‍රහාර වලින් බැටකන අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ඒකාබද්ධකරගත් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකින් මෙහෙය විය යුතු බව ද අප කමිටුව අවධාරනය කලේය.

මෙම දේශපාලන සටනට එරෙහිව ගුරු-විදුහල්පති සමිති දිගින් දිගටම කියා සිටියේ ආන්ඩුවට පීඩනය යෙදීමෙන් ඉල්ලීම් දිනාගත හැකි බවයි. මෙවර අරගලයට ඉහලම සමිති සංඛ්‍යාවක් සහභාගි වී සිටින බැවින් එම පීඩනය ඉමහත් බලයක් වී ඇතිබවට ඔවුහු පුරසාරම් දෙඩූහ. අවසානයේදී ගුරුවරුන් නිශේධනීය ලෙස අත්දැක ඇත්තේ ධනපති ආන්ඩු වලට බලපෑම් යෙදීමෙන් ඉල්ලිම් දිනාගැනීමේ වැඩපිලිවෙලේ ආන්තික බංකොලොත්භාවයයි. ධනවාදයේ මෙම මරලතෝනි යුගයේ ලොවපුරා කම්කරුවන්ගේ අත්දැකීම එයයි.

වෘත්තීය සමිති යනු ධනපති ක්‍රමයට තදින් බැඳුනු, කම්කරු පංතියට එරෙහි ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ප්‍රහාරක උපකරනයන් බව ගුරු අරගලය තුල වඩාත් ප්‍රකට විය. ආන්ඩුවේ අර්බුදය සැලකිල්ලට ගනිමින්, 'අපි මස් රාත්තලම නො ඉල්ලා, උපරිමයෙන් නම්‍යශීලි වූවා' යනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඔක්තෝබර් 14 දා මාධ්‍ය හමුවකදී කල ප්‍රකාශයේ අර්ථය වනුයේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන්ට ගැලපෙන අයුරින් වැටුප් ඉල්ලීම තුනෙන් එකක් දක්වා කප්පාදු කිරීමට මෙම සමිති නායකයන් 'උපරිම' දායකත්වය ලබාදුන් බවයි.

මෙම සමිති ආරම්භයේ සිටම යත්න දැරුවේ ආන්ඩුව සමග කෙරෙන සාකච්ඡාවකින් ලබා ගන්නා පොරොන්දුවක් මත වර්ජනය හකුලා දැමීමටයි. නමුත් ආන්ඩුව ඉදිරිපත් කල සොච්චම් වැටුප් වැඩිවීමට ගුරුවරුන්ගෙන් එල්ල වූ බලගතු විරෝධය හමුවේ සමිති වලට එය පහසුවෙන් කල නොහැකි විය. වර්ජනය තෙමසක් ඉක්මවා ඉදිරියට ඇදී ගියේ එබැවිනි.

අවසානයේදී වර්ජනය මෙසේ දිගට ඇදීයාම නතරකලයුතු බවට ආන්ඩුව ගුරු සමිති වලට තර්ජනය කලේය. ගුරුවරු වර්ජනයේ නිරතව සිටින්නේ සමිති නායකයන්ගේ බල කිරීම් මත යයි ද පාසල් ආරම්භ කල පසු 'ගුරුවරුන්ට බාධා කරන එවන් සමිති නායකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව' ද මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ඔක්තෝබර් 14 දා පැවති රැස්වීමකදී ප්‍රකාශ කලේය.

'ගුරුවරුන්ගේ වර්ජනයට හේතු වූ කාරනා සාධාරන වුනත් අසාධාරන වුවත් ඉන් බැට කන්නේ දරුවෝ නිසා වර්ජනය අසාධාරන' යයි තවදුරටත් පැවසූ වීරසේකර 'ත්‍රස්තවාදය මැඬ පැවැත් වූ ආකාරයට' ගුරු අරගලය මඬින බවට තර්ජනය කලේ ය. මීට කලින් වතාවකදී ද ඔහු මෙම තර්ජනය කර තිබුනි.

වීරසේකර ඇතුලු ආන්ඩුව මෙම තර්ජන වලට ගැම්ම ගන්නේ, රාජ්‍ය අංශයේ සේවකයන් මිලියනයකට අධික සංඛ්‍යාවකට වැඩවර්ජන තහනම් කරමින් ජනාධිපති රාජපක්ෂ පැනවූ 'අත්‍යවශ්‍ය සේවා' රෙගුලාසි වලට සහ විෂඝෝර හදිසි නීතියට වෘත්තීය සමිති සියල්ල දුන් නිහඬ සහයෝගයෙනි.

වර්ජනයට සම්බන්ධ නොවී සිටින ගුරුවරුන්ට තර්ජනය කලේය යන අභූත චෝදනාව එල්ල කරමින් දෙසතියකට පෙර ආන්ඩුවේ පන්දම්කාර වෘත්තීය සමිතියක් වන ශ්‍රි ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ හා වීරසේකර ඒකාබද්ධව වර්ජිත ගුරුවරුන්ට එරෙහිව පොලිසිය හා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මෙහෙයවා ගනිමින් දඩයමක නිරත විය.

මේ අතර, ආන්ඩුව ගුරු වර්ජනය බිඳීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත කර සිටි උපාධිධාරී අභ්‍යාසලාභීන් ඔක්තෝබර් 21 දා සිට පාසල් වල සේවයට යොදවන ලෙස පලාත්පාලන අමාත්‍යාංශයේ ලේකම් හරහා නියෝගයක් ද නිකුත් කලේය. මීට අමතරව එසේ විවෘත කෙරෙන පාසල් වලට පොලිස් භටකායන් ද යෙදවීමට ආන්ඩුව නියෝග කර ඇත.

මීට සමගාමීව පාසල්වල යතුරු අදාල අධ්‍යාපන කාර්යාලය වලට භාරදෙන ලෙස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා විදුහල්පතිවරුන්ට බල කෙරෙන අතරේ, ආන්ඩුවේ මැති ඇමතිවරු තම හෙංචයියන් බලහත්කාරයෙන් පාසල් විවෘත කරවීමටත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බිය වැද්දවීමටත් මෙහෙයවමින් සිටිති.

ගුරුවරුන්ට එරෙහි මෙම රුදුරු මර්දනය සහ මහජන ප්‍රකෝපකරනය තීව්‍ර කරමින් ගුරු අරගලය තලා දැමීමට ආන්ඩුව ක්‍රියාත්මක වෙද්දී එම අරගලය ආරක්ෂා කිරීම සඳහා අවශේෂ කම්කරු පංතිය බලමුලු ගැන්වියයුතු බව අප කමිටුව අවධාරනය කලේය. එනමුත්, ගුරු සමිති සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි වෘත්තීය සමිති එය දැනුවත්ව ප්‍රතික්ෂේප කලේ එවන් ඒකාබද්ධතාවයක් සමස්ත ධනපති ක්‍රමයට අභියෝග කෙරෙන දේශපාලන අරගලයක් දෙසට වැඩී යා හැකි බවට ඔවුන් තුල පවත්නා භීතිය හේතුවෙනි.

අවසානයේදී ආන්ඩුවේ තර්ජනයට යටත් වෙමින් ගුරු අරගලය පාවා දීමට වෘත්තීය සමිති තල්ලු කෙරුනේ මෙම ධනේශ්වර ගැති පිලිවෙතේ අනිවාර්ය ප්‍රතිඵලය ලෙසිනි.

ගුරු අරගලයේ මෙම සමස්ත පාඩම් සහ අත්දැකීම් මෙසේ සංගෘහිත කල හැක:

  • ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම ඇතුලු කම්කරු පංතියේ කවර හෝ ඉල්ලීමක් ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් සාක්ෂාත් කල කල නොහැකි වන අතර, එය සාක්ෂාත් කල හැක්කේ, ධනපති ආන්ඩුවට සහ ගෝලීය ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ ඒකාබද්ධ සහ ස්වාධීන දේශපාලන අරගලයක් තුලින් පමනි.
  • එවන් අරගලයකට මුලුමනින්ම සතුරු වෘත්තීය සමිති අත තම අරගලය තවදුරටත් පැවතීමට ගුරුවරුන් ඉඩ නොදිය යුතුය. වහාම එය තමාගේම අතට ගත යුතුය.
  • ඒ සඳහා, වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ නව සංවිධාන රූපයන් ලෙස, ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කම්ටු ගොඩනැගීම අත්‍යවශ්‍ය ය.

ජූලි 25 ප්‍රකාශයෙන් පෙන්වාදුන් පරිදි,

'ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කම්ටු, අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරු ක්‍රියාකාරී කමිටු සමග ඒකාබද්ධ වෙමින් එම ක්‍රියා මාර්ගය මත කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන් කල යුතු ය. කම්කරු-ගොවි ආන්ඩුවක් යටතේ විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කොට, මහා පරිමාන ඉඩම්, කම්හල් හා ධනපති බැංකු කම්කරු පංති පාලනය යටතේ ජනසතු කිරීම තුලින් ගුරුවරුන්ගේ ඉල්ලීම් සාක්ෂාත් කිරීමට අවශ්‍ය බිලියන සංඛ්‍යාත මුදල් සපයාගත හැක.

'ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් හරහා, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයට සටන් වදින්නාවූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ කර්තව්‍යයෙහි යෙදී සිටින, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සසප විසින් නායකත්වය දෙන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව සමග ඒකාබද්ධ වෙමින් මෙම අරගලයට උරදෙන ලෙස සියලු ගුරු සහෝදර-සහෝදරියන්ගෙන් අපි ඉල්ලා සිටිමු.'

Loading