එක්සත් ජනපද යුද ධාවනයට සහ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමට එරෙහිව කම්කරුවෝ හා තරුනයෝ කතා කරති

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) මාර්තු 20 ඉරිදා, “එක්සත් ජනපද-නේටෝ යුද ධාවනයට සහ යුක්‍රේනය තුල රුසියානු මැදිහත්වීමට විරුද්ධ වනු” යන මැයෙන් ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි.

මෙම රැස්වීම පවත්වනු ලබන්නේ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තික යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි සමාජවාදී සමානතා පක්ෂ විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා ගෙන යන අරගලයේ කොටසක් ලෙස ය.

කටුනායක නිදහස් වෙලඳ කලාපය, කොලඹ වරාය වැනි කම්කරු පන්තික ප්‍රදේශවල සහ විශ්ව විද්‍යාලවල, සසප හා සසජාතශි සාමාජිකයින් විසින් ගෙන යන ලද උද්ඝෝෂනයට කම්කරුවෝ හා තරුනයයෝ සාවධානව ප්‍රතිචාර දැක්වූහ. ඔවුන්ගෙන් බහුතරයක් ඔන්ලයින් රැස්වීම සඳහා ලියාපදිංචි වූහ.

කොලඹ වරායේ නාවික අංශයේ සේවකයෙක් මෙසේ පැවසීය: “යුක්රේනයට එරෙහි රුසියානු මැදිහත්වීම රුසියාවට එරෙහිව ඇමරිකාව සහ නේටෝව විසින් කරන ලද ප්‍රකෝපකරනයේ ප්‍රතිඵලයක් බව මම විශ්වාස කරනවා. රුසියාව ධනවාදී රටක්.

“ධනවාදී ක්‍රමය බරපතල අර්බුදයකයි ඉන්නේ. අමෙරිකානු අධිරාජ්‍යවාදීන් රුසියාවට එරෙහිව සිය යුද උපක්‍රම සකස් කරන්නේ මේ තත්වය තුලයි. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ රුසියාව කැබලි කර එහි අතිවිශාල සම්පත් කොල්ලකෑමයි.”

යුද්ධය හේතුවෙන් ලෝක තෙල් සහ පෙට්‍රල් මිල ඉහල ගොස් ඇති බවත්, ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමානය වීම නිසා පෙට්‍රල් මිල පමනක් නොව අත්‍යවශ්‍ය භාන්ඩ සියල්ලේම මිල ඉහල ගොස් ඇති බවත් ඔහු පැවසීය. කම්කරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගත නොහැක.

“යුද්ධය වර්ධනය වුවහොත් ඇමරිකානුවන් ආසියාවට අත දමනු ඇත. සසප සහ ලෝසවෙඅ පෙන්වා දෙන පරිදි, යුද්ධයක් වැලැක්වීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය.”

කටුනායක නිවෙක තරුන කම්කරුවෙක් මෙසේ පැවසීය: 'මම යුක්‍රේනයේ යුද තත්ත්වය මාධ්‍ය හරහා දැන ගත්තත් ඒවා හරහා පැහැදිලි අදහසක් ගන්න බැරි වුනා. ඇමරිකාව සහ යුරෝපය ලෝකයේ බලවත් රටවල්. ඔවුන් යුක්‍රේන යුද්ධයට සම්බන්ධයි. මෙම යුද්ධය අපට බලපානු ඇත.'

මිල ඉහල යාම සහ භාන්ඩ හිඟය සමඟ කම්කරුවන් මුහුන දෙන දුෂ්කරතා ඇය පැහැදිලි කලාය. “දැනටමත් භූමිතෙල් නැහැ. බඩු මිල වැඩියි.”

පසුගිය ශතවර්ෂයේ ලෝක යුද්ධ දෙකක් පුපුරා යාම සහ යුක්‍රේනය මත රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදීන් විසින් ප්‍රකෝප කරන ගැටුමේ අන්තරාය න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දක්වා වර්ධනයවීමේ හැකියාව ගැන උද්ඝෝෂකයෝ කම්කරුවා සමඟ සාකච්ඡා කලහ. අවධානයෙන් සවන් දීමෙන් පසු ඇය මෙසේ පැවසුවාය: “මෙම වර්ධනයන් පිලිබඳව කම්කරුවන් දැනුවත් කල යුතුය. එවැනි අධ්‍යාපනයක් සඳහා මේ සාකච්ඡා වැදගත්.”

රුචිර මාධව (ලෝසවෙඅ)

රුචිර මාධව, කොලඹ ප්‍රධාන පෙලේ පාසලක තර්ක ශාස්ත්‍රය ගුරුවරයෙකි.

“රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම ගැන ඇසූ විගසම එය මනුෂ්‍යත්වයට එරෙහිව සාපරාධී ප්‍රතිවිපාක ගෙන දෙන බව මට හැඟුනි. යුද්ධයේ බිහිසුනු අත්දැකීම් ඇති රටක ජීවත් වූ කෙනෙක් හැටියට මේ විනාශය නතර කල යුතුයි කියන දැඩි හැඟීම මට ඇතිවුනා. රුසියාව මේ ආක්‍රමනය ආරම්භ කල බව ඇත්ත. නමුත් රුසියාව රකුසෙකු බවට පත් කිරීමෙන් පමනක් මෙම යුද්ධයේ සැබෑ මූලයන් හෙලි නොවේ.

“වෙනත් රටවල් ආක්‍රමනය කිරීමේ දිගු වාර්තාවක් සතු වීම සහ ඒවා තුල තම අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා කුමන්ත්‍රන දියත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය වරදකරු වෙයි. යුක්‍රේන අර්බුදය පිලිබඳ වාර්තා වලින් ධනේශ්වර මාධ්‍ය සඟවන්නේ මෙයයි.

“අපි දැන් බොහෝ ධනේශ්වර මාධ්‍ය ලිපිවල දකින්නේ යුක්‍රේනය ආරක්ෂා කිරීමේ නාමයෙන් රුසියාවට දොස් පැවරීමයි. එවන් විශ්ලේෂන ඇමරිකානු අධිරාජ්‍යවාදයට උපකාර කරයි. මම ඒකට විරුද්ධයි. ඇත්ත වශයෙන්ම, කම්කරු පන්තියට යුද්ධයක් අවශ්‍ය නොවේ. කම්කරුවන්ගෙන් බහුතරයක් ලෝක සාමය සඳහා සහාය දෙන බව මට විශ්වාසයි.”

යුද්ධය සහ ආර්ථික අර්බුදය පිලිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සමඟ සජීවී සංවාදයක් ඇතිවිය.

විද්‍යා පීඨ ශිෂ්‍යයෙකු වන පහන් මෙසේ ඇසුවේය: “ශ්‍රී ලංකාවේ මහජනතාව දැවැන්ත සමාජ හා ආර්ථික අර්බුදයකට මුහුන දී ඇත. යුද්ධයට එරෙහි ඔබේ අරගලය සමඟ එහි ඇති සම්බන්ධය කුමක්ද?'

කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ ජීවන කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන දැවැන්ත ප්‍රහාර සහ න්‍යෂ්ටික ලෝක යුද්ධයක් කරා තල්ලුව ධනේශ්වර පද්ධතියේ ගෝලීය අර්බුදයෙන් සහ වසංගතයෙන් මතුවන බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

පහන් මෙසේ පැවසීය: 'දියුනු ධනේශ්වර රටවල කම්කරුවන් ද එම තත්වයටම මුහුන දෙන බැවින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය හැකි බව පැහැදිලිය.'

“ඇමරිකාව සහ ධනේශ්වර මාධ්‍ය පැහැදිලි කරන්නේ රුසියාව මේ සියල්ල කරන බව යි. නේටෝ සංවිධානයේ වැඩ තමයි මේ තත්ත්වයට පසුබිම හදලා තියෙන්නේ. ඔවුන්ගේ උනන්දුව රුසියාවේ තෙල්, ගෑස් සහ අනෙකුත් සම්පත් අත්පත් කර ගැනීමෙන් ලාභය උපරිම කර ගැනීම බව මට හැඟේ.'

යුද්ධය පිලිබඳ සසප/සසජාතශි සාමාජිකයන්ගේ විශ්ලේෂනවලින් ඔහු පැහැදුනු බව පවසමින් ඔහු මෙසේ පැවසීය: “පසුගිය සතියේ ජර්මනිය සිය යුද වියදම් වැඩිකර ඇති බව මම දුටුවා. එම වියදම් ලබාගෙන ඇත්තේ ජනතාව මත තවත් කප්පාදු පියවරයන් පටවමින් බව ඔබ සමඟ සාකච්ඡා කරන විට මට පැහැදිලියි. ශ්‍රී ලංකාවේ ද යුද්ධය සමග කප්පාදු පියවර එනු ඇත.

“ඇත්තටම වර්ධනය වෙමින් පවතින තත්වය මාධ්‍යය තුලින් දකින්න බැහැ. ඔබ කියන පරිදි යුද්ධය නැවැත්විය යුතුයි. සියලුම අධිරාජ්‍යවාදී රටවල් තම අවශ්‍යතා වැඩිකර ගැනීමට තරග කරති. එය යුද්ධයට මාවත විවර කරයි. යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනඟමින් මේ ගැන තවත් දේවල් කතා කිරීමට ඔබ සමඟ එක්වීමට මම සූදානම්.”

සසජාතශි විසින් මෑතකදී පවත්වන ලද ඔන්ලයින් රැස්වීම ඔහුට බලපෑ බවත් එය එන්නත් විරෝධී ව්‍යාපාරයේ පීඩනයෙන් ඉවත් වීමට තමාට උපකාර වූ බවත් ඔහු පැවසීය.

දසුන්, සසජාතශි පෝස්ටරය සමඟ ඡායාරූපයකට පෙනී සිටිමින් (ලෝසවෙඅ)

මානව ශාස්ත්‍ර ශිෂ්‍යයෙකු වන දසුන්, යුද ධාවනය සහ වසංගතය ගැන වැඩි විස්තර දැන ගැනීමට උනන්දු විය.

වසංගතය, ප්‍රේරක සිදුවීමක් ලෙස, සෑම රටකම ධනේශ්වර අර්බුදය, සමාජ අසමානතාවය සහ සමාජ ආතතීන් උග්‍ර කර ඇති බව උද්ඝෝෂකයෝ ඔහුට පැහැදිලි කලහ. ලාභ උකහා ගැනීම බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා පාලක පන්තීන් මහා ආසාදන වලට ඉඩ දී ඇති අතර මිලියන ගනනක් මිය යයි. දැන් මෙම බලවතුන් උත්සාහ කරන්නේ සමාජ විරෝධය වෙනතකට යොමු කිරීමට සහ භූ දේශපාලනික අවශ්‍යතා සඳහා ධාවනය වීමට ය.

දසුන්, සසජාතශි පෝස්ටරය සමඟ ඡායාරූපයකට පෙනී සිටිමින්, යුක්‍රේනය හා රුසියානු කම්කරු පන්තිය සමග ඔහුගේ සහයෝගීතාවය පෙන්වීමට සහ සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් විය.

පියුමි හංසිකා (ලෝසවෙඅ)

පියුමි හංසිකා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යාවකි:

“න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය නොසලකා හරිමින් එක්සත් ජනපදය සහ නේටෝව සමස්ත ලෝකයම මෙම ව්‍යසනයට ඇද දැමීමට මම විරුද්ධ වෙමි. එක්සත් ජනපදයේ අවශ්‍යතා සඳහා එහි ධාවනය සෑම රටකටම බලපා ඇත.

“යුක්‍රේනය අවට යුද තත්වය වර්ධනය වීම සම්බන්ධයෙන් ලෝසවෙඅ විශ්ලේෂනය මම ඇත්තෙන්ම අගය කරමි. අවදානමට ලක්ව ඇති දෙයට මුහුන දිය යුතු ආකාරය තේරුම් ගැනීමට එය උපකාරී වේ. රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුම න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක අන්තරාය මතු කර ඇත. නමුත් දහස් ගනනකගේ ජීවිත හා දේපල විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ රුසියාවට පමනි.

“මෙම තත්වය නිර්මානය කල ප්‍රධානතම හේතුව නම් නේටෝ හමුදාවන්ගේ ඉවබව නැති ප්‍රසාරනය මගින් තම ලෝක ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගුකාලීන මූලෝපායික සැලසුම් ය.

'යුද්ධයට එරෙහි ඉදිරිදර්ශනයට මගේ සහයෝගය පෙන්වීම සඳහා 20 දා සසප රැස්වීමට මම සහභාගි වෙමි.'

ඩී. තාර්මිකන් – උතුරේ යුද්ධයේදී විනාශ වූ වවුනියාව දෙමල මහා විද්‍යාලයේ උසස්පෙල සිසුවෙකි.

“යුද්ධයක් කියන්නේ සාමාන්‍ය මිනිස්සු අකමැති භයානක දෙයක්. යුද්ධය නිසා සියලු ජන කොටස් විනාශයට මුහුන දෙනු ඇත. ඔවුන් මෙම යුද්ධය ආරම්භ කර ඇත, නමුත් ඔවුන්ට මෙය නතර කල නොහැක.'

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ශ්‍රී ලංකා පාලක පන්තියේ වාර්ගික යුද්ධය ගැන සඳහන් කරමින් තාර්මිකන් පැවසුවේ, රටේ උතුරු හා නැගෙනහිර පලාත්වල එම ගැටුමේදී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය ගිය බව ය.

“ඇත්ත වශයෙන්ම අපට මේ රටේ යුද්ධය, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම වටා වර්ධනය වන තත්වය සමඟ සැසඳිය නොහැක. ඇමරිකාව සහ අනෙකුත් නේටෝ බලවතුන් සිටින්නේ යුක්‍රේනය සමගයි. යුද්ධය වර්ධනය වී ඔවුන් න්‍යෂ්ටික අවි භාවිතා කලහොත් ලෝකයේ කිසිම ජීවියෙකු ඉතිරි නොවනු ඇත. යුද්ධය නැවැත්විය යුතුයි.”

මොරටුව විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ශිෂ්‍යයෙක් පැවසුවේ රුසියාවට එරෙහි ප්‍රකෝප කිරීම “හොඳින් සැලසුම් කල මෙහෙයුමක් බවයි. යුද්ධය නිසා යුක්‍රේන ජනතාව මුහුන දෙන දැවැන්ත විනාශයට රුසියාව පමනක් නොව යුක්‍රේන පාලකයන් මෙන්ම රට යුද්ධයකට තල්ලු කල ඇමරිකාව ද වගකිව යුතුයි.'

ධනංජනී, කොලඹ ප්‍රධාන පෙලේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියකි.

“කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මානව වර්ගයා මුහුන දෙන විනාශය තවමත් පහව ගොස් නැති අතර, අපි දැන් දරුනු යුද්ධයක අනතුරට මුහුන දී සිටිමු. එම ව්‍යසන දෙකම ධනේශ්වර පාලක පන්තියේ සාපරාධීත්වයෙන් මතු වූ ඒවා ය.

“එක්සත් ජනපදය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ත්‍රස්තවාදය පරාජය කිරීම වැනි කඩතුරාවන් යටතේ ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමට නිරන්තරයෙන් සැලසුම් කරයි. යුරෝපයේ, මැදපෙරදිග සහ ඉන්දීය සාගර කලාපයේ එක්සත් ජනපදයේ නායකත්වය යටතේ මිලිටරි සන්ධාන කීයක් පිහිටුවා තිබේද?'

ඉන්දියන් සාගරයේ සමුද්‍ර ආරක්ෂාවේ මුවාවෙන් ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමඟ එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය සහ එය 'ආසියානු නේටෝ' ලෙස හඳුන්වමින් එම සන්ධානය චීනය විරුද්ධ වීම ගැන ඇය සඳහන් කලාය.

“එක්සත් ජනපදය වසර ගනනාවක් තිස්සේ රුසියාව මත ආධිපත්‍යය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරයි. එහි දරුනු ප්‍රතිවිපාක අපි දැන් යුක්‍රේනයේ අත්විඳිමින් සිටිමු. ජාත්‍යන්තර කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ මෙම විනාශකාරී ධාවනයට තිත තැබිය යුතුය. ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා ලෝසවෙඅ කැඳවීමේ අදාලත්වය දැන් හොඳින්ම තහවුරු වී ඇත.

ලේඛකයෙකු වන විමල් රනතුංග:

'ඇත්ත වශයෙන්ම, ලෝකයේ මාධ්‍ය යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සියලුම රටවල කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ දැක්ම විකෘති කිරීම සඳහා ය. ශ්‍රී ලංකාවේ ද තත්වය එසේමය. ඔවුන්, ඇමරිකානු ගැති සහ ව්‍යසනකාරී යුධ සැලසුම් වලට හුරේ දමති. 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ඇමරිකාව සිය ආධිපත්‍යය ගොඩනැගීම සඳහා යුද මෙහෙයුම් ආරම්භ කලේය.

සමූල ඝාතක අවි තිබෙන බව පවසමින් ඉරාකයේ සදාම් හුසේන් වැනි මිනිසුන් රාක්ෂකරනය කොට, මානව හිමිකම් ආරක්ෂා කිරීමේ කඩතුරාව යටතේ එක්සත් ජනපදය යුද්ධය ඉදිරියට ගෙන යන ආකාරය ඔහු පැහැදිලි කලේය. “දැන් ඔවුන් පුටින් රක්ෂකරනය කර ඇත. ඒ, ලොව පුරා මිලියන 10 කට වැඩි පිරිසක් කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය අවස්ථාවක ය.

'යුද්ධය සහ වසංගතය වැනි දැවෙන ගැටලු සඳහා එකම විසඳුම ලෝක සමාජවාදය බව මම මුලුමනින්ම පිලිගනිමි.'

Loading