ඉදිරිදර්ශන

විජේ ඩයස් සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය සඳහා සටන්කල විප්ලවවාදියෙක් (1941 අගෝස්තු 27 - 2022 ජූලි 27)

[මෙය Comrade Wije Dias: A fighter for Trotskyism (August 27, 1941 – July 27, 2022) මැයෙන් 2022 ජූලි 28 පල වූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විජේ ඩයස් සහෝදරයාගේ අභාවය නිවේදනය කරන්නේ ඉමහත් ශෝකයෙනි. , අලුතින් නිර්මානය කරන ලද පක්ෂ සභාපති ධූරයට පසුගිය මැයි මාසයේ තෝරා පත් කරගන්නා තෙක්, විජේ සහෝදරයා සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) සහ එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම් ලෙස, 1987 දෙසැම්බරයේ සිට කටයුතු කලේ ය.

විජේ ඩයස්

ලබන මාසයේ දී 81වන වියට පාතැබීමට නියමිත ව සිටි විජේ, හෘදයාබාධයකට ලක්වීමෙන් ඊයේ උදෑසන කොලඹ දී මිය ගියේ ය. කිරීටක වාහිනී රෝගය සම්බන්ධිත දිගු ඉතිහාසයක් සතු ඔහු, 2013 දී බයිපාස් සැත්කමකට භාජනය කෙරුනි. මුලුමනින් සුව වූ විජේ, තම ජීවිතයේ අවසන් දිනය දක්වා පක්ෂ නායකත්වය තුල අතිශයින් ක්‍රියාශීලී ව කටයුතු කලේ ය.

දශක හයක් පුරා විහිදුනු විජේ සහෝදරයාගේ දේශපාලන ජීවිතය, ජාත්‍යන්තර කමිටුව විසින් හතරවැනි ජාත්‍යන්තරයට නායකත්වය දී ඇති සමස්ත කාලපරිච්ඡේදය ම පාහේ ආවරනය කරගත්තේ ය. අසමානතාවෙන්, යුද්ධයෙන් සහ ධනපති පීඩනයේ සියලු රූපාකාරයන්ගෙන් කම්කරු පන්තිය විමුක්ත කරගැනීම සඳහා, ඔහු ඔහුගේ වැඩිහිටි ජීවිතය කැපකලේ ය.

නො නවතින විප්ලවයෙහි සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයේ අශමනීය නායකයෙකු වූ විජේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන්කරුවෙකු විය. දේශපාලන අසාර දර්ශනය, ප්‍රතිගාමීත්වය හා ඛේදනීය ලෙස දිවි අහිමිවීම වැනි රූපාකාරයන්ගෙන් ප්‍රකාශයට පත්වූ, මාක්ස්වාදී හා ට්‍රොට්ස්කිවාදී මූලධර්ම අතහැරීමේ හා පාවාදීමේ ප්‍රතිඵල අත්දැක තිබූ බැවින්, එම මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඔහු අනම්‍ය විය.

පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි ව, ලෝක සමාජවාදී විප්ලවයෙහි ක්‍රියා මාර්ගය ආරක්ෂා කිරීමට, 1953 දී සාධර්මික ට්‍රොට්ස්කිවාදීන් විසින් ගොඩනැගූ හජාජාකහි දේශපාලන මගපෙන්වීම යටතේ, ලංකා සම සමාජ පක්ෂය (ලසසප) විසින් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ‌ෙඑතිහාසික ව පාවාදීමේ මූලික දේශපාලන පාඩම් උකහාගත්, දීප්තිමත් තරුන කන්ඩායමකට විජේ අයත් විය.

ශ්‍රී ලංකාව තුල ට්‍රොට්ස්කිවාදය සඳහා සටනෙහි දීර්ඝ උරුමය උකහා ගන්නා අතර ම, 1953 භේදය පිලිබඳ ව දෙබිඩි ආස්ථානයක් ගෙන තිබුනු ලසසපයේ තරුන ව්‍යාපාරය සමග, 1962 දී ලංකා විශ්ව විද්‍යාලයේ පේරාදෙනිය මන්ඩපයට ඇතුල් වීමෙන් පසුව විජේ සම්බන්ධ විය. ජාත්‍යන්තර කමිටුව ස්ථාපිත කිරීමට මුල් වූ, ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී හා සමාජවාදී කම්කරු පක්ෂයේ (සකප) නායක ජේම්ස් පී. කැනන් නිකුත් කල “විවෘත ලිපිය” අනුමත කිරීම, ලසසප විසින් ප්‍රතික්ෂේප කලේ ය.

කම්කරු පන්තිය තුල ආධිපත්‍යධාරී බලවේගය වූයේ ලසසපය යි. එහෙත්, අර්නස්ට් මැන්ඩල්ගේ හා මයිකල් පැබ්ලෝගේ දිරිමත් කිරීම් සමගින්, පාර්ලිමේන්තු හා මහජන පෙරමුනුවාදී උපාමාරු හා වෘත්තීය සමිතිවාදය වෙනුවෙන්, වඩ වඩා විවෘත ව සමාජවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් සිටි එය, පාලක පන්තියේ සිංහල ස්වෝත්තමවාදී දේශපාලනයට වේගයෙන් යටත් වෙමින් සිටියේ ය.

පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමය තුල, ධනවාදය ප්‍රතිස්ථාපිත වීමේ කොන්දේසි යටතේ, හතරවැනි ජාත්‍යන්තරය තුල ඉස්මතු වූ සුලු-ධනේශ්වර දියකරහැරීම්වාදී ප්‍රවනතාවක් වූ පැබ්ලෝවාදය, හතරවැනි ජාත්‍යන්තරය ස්ටැලින්වාදයේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ හා අඩු දියුනු රටවල් තුල ධනේශ්වර ජාතිකවාදයේ සහායක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ දැරුවේ ය.

දිවයිනේ ධනේශ්වර පාලනයෙහි පදනම සොලවාලමින් තිබූ සහ කම්කරු පන්තියේ බලගතු නැගිටීමක් වූ “ඉල්ලීම් 21” ව්‍යාපාරය, ලසසප විසින් 1964 දී පාවා දුනි. “සිංහලයන් පලමුව” පිලිවෙත අනුගමනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නායකත්වය දුන් ධනපති ආන්ඩුවකට ඇතුල් වීම මගින්, ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ ප්‍රධාන සමාජ මුක්කුවේ භූමිකාව ලසසපය භාරගත්තේ ය.

සමාජවාදී ජාත්‍යන්තරවාදය ද, ශ්‍රී ලංකාව වැනි කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ධනේශ්වරයේ කිසිදු කොටසකට මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් සහ සමාජීය අවශ්‍යතා ඉටුකල නො හැකි බව පැහැදිලි කල ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායය ද, විවෘත ව ප්‍රතික්ෂේප කිරීමක් මෙම පාවාදීම මගින් නියෝජනය කලේ ය.

1950 ගනන් මැද දී සහ 1960 ගනන් මුල දී, සමාජවාදී කම්කරු පක්ෂයේ පිරිහී යාම සමග ලසසපයේ ක්‍රියාවන් සමපාත විය. 1963 දී, සකපය පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු වීම කරා ගමන් කලේ ය. මෙම මූලධර්ම විරහිත යලි එකමුතු වීමට විරුද්ධ වුනු සකපය තුල සිටි සුලුතරයක්, ශ්‍රී ලංකාව තුල ලසසපයේ “මහා පාවාදීම” පිලිබඳ සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් නිකුත් කල හ. සකපයෙන් නෙරපා හැරීමෙන් පසුව, හතරවැනි ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව (ඒසීඑෆ්අයි) බිහිකල එම සුලුතරය, 1966 දී සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය ස්ථාපිත කල හ.

මෙම සිද්ධීන්ට විජේ දැක්වූ ප්‍රතිචාරය, ඔහුගේ ජීවිතයෙහි තීරනාත්මක හැරුම් ලක්ෂ්‍ය්‍යක් බව සනාථ වීමට නියමිත ව තිබුනි. ලසසපයේ පාවාදීමෙන් විකර්ෂනය වූ විජේ, 1964 හා 1968 අතර පැවති තීව්‍ර සාකච්ඡාවන්ගේ කාලයකින් පසුව, ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස ලසසපයේ ඇදවැටීම පැබ්ලෝවාදයේ නිෂ්පාදිතයක් බව අවධාරනය කිරීමේ දී, හජාජාක නිවැරදි වූ බව හඳුනාගත් තරුන ට්‍රොට්ස්කිවාදීන් කන්ඩායමක සාමාජිකයෙකු විය.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) හජාජාක ශ්‍රී ලංකා ශාඛාව ස්ථාපිත කිරීම තුල මෙම සාකච්ඡා කූටප්‍රාප්ත විය. 1968 දී විකොස ආරම්භ කල විට එහි ප්‍රධාන ලේකම් ලෙස තේරී පත්වූ කීර්ති බාලසූරිය සහෝදරයා මෙම අරගලය තුල නායක භූමිකාව ඉටු කලේ ය.

ලසසපයෙන් හුදෙක් සංවිධානාත්මක ව බිඳී වෙන්වීම ප්‍රමානවත් නො වන බවත්, පාවාදීම සඳහා දේශපාලන ආවරනය සම්පාදනය කර තිබුනු පැබ්ලෝවාදයෙන් දේශපාලනික ව බිඳී වෙන්වීම අවශ්‍ය බවත්, විකොස ආරම්භ කිරීමේ දී කීර්ති සහ ඔහුගේ සහෝදරවරු අවබෝධ කරගත් හ. පැබ්ලෝවාදීන් සිය මාවත් ආවරනය කරගැනීම පිනිස ප්‍රධාන ලසසප නායකයන් ගනනාවක් නෙරපා හැරීමෙන් පසුව, ඔවුන් තදියමින් මාට්ටු කරගත් ලසසප (විප්ලවකාරී) පක්ෂයේ මාධ්‍යමික දේශපාලනය හෙලිදරවු කිරීමට, විකොස මූලික අවධානයක් දුන්නේ ය.

ඉන්පසුව එලඹුනු දශකවල දී, විකොස-සසප අරගලය විශාල වසයෙන් භ්‍රමනය වූයේ, ලසසප පාවාදීමේ දේශපාලන විපාක ජයගැනීමේ සටන වටා ය. කම්කරු පන්තිය ධනපති පාලනයට හසු කරදීම හා ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ ජනවාර්ගික-ප්‍රජාගනවාදී දේශපාලනය දිරිමත් කිරීම මගින්, එම පාවාදීම, කස්ත්‍රෝවාදයේ, මාඕවාදයේ හා සිංහල ස්වෝත්තමවාදයේ මිශ්‍රනයක් වූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතිකවාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) වැනි සුලු-ධනේශ්වර රැඩිකල් දේශපාලන ව්‍යාපාරයන්ට හිස එසවීම පිනිස දොරටුව විවෘත කර දුන්නේ ය.

විකොසහි මූලධර්මාත්මක දේශපාලනයේ විශිෂ්ටත්වය ස්ථාපිත කරමින්, ජවිපෙ නායකත්වය යටතේ 1970 දී ගම්බද තරුනයන් දියත් කල හුදකලා කැරැල්ලක දේශපාලන බංකොලොත්භාවය විකොස විසින් හෙලිදරවු කලේ, දුෂ්ට රාජ්‍ය මර්දනයෙන් ජවිපෙ නායකයන් හා කේඩරයන් ආරක්ෂා කිරීම පිනිස කම්කරු පන්තිය අතර උද්ඝෝෂනයේ යෙදී සිටිමිනි. එසේ කිරීම නිසා, විකොස ද රාජ්‍ය මර්දනයට බඳුන් වූ අතර, යටිබිම්ගත ව ක්‍රියාත්මක වීමට එයට බලකෙරුනි.

1970-76 දෙවන ලසසප-ශ්‍රීලනිප සභාග ආන්ඩුව, ලෝක ආර්ථික අර්බුදය තීව්‍ර වන කොන්දේසි යටතේ, කම්කරු පන්තිය සමග උග්‍ර ගැටුමකට ලුහුටා ගියේ ය. මෙය මගින් නිර්මානය කල දේශපාලන ව්‍යාකූලත්වය ගසාකමින්, ජේ. ආර්. ජයවර්ධන සහ ඔහුගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) 1977 දී බලයට පැමිනියේ ය. ගෝලීය ආයෝජන සඳහා දිවයින විවෘත කරමින් කම්කරු පන්තියට එරෙහි ව දැවැන්ත ප්‍රහාරයක් දියත් කල ඔවුහු, 1980 දී මහ වැඩ වර්ජනයක් ප්‍රකුපිත කලහ. එජාප ආන්ඩුව සිංහල ස්වෝත්තමවාදය අවුලුවන අතරේ ඒකාධිපති විධායක ජනාධිපති ධූරය ස්ථාපිත කලේය. ඊලඟ ශතවර්ෂ කාර්තුව පුරා දිවයින සොලවාලූ ජනවාර්ගික යුද්ධයක් 1983 දී පුපුරා යාමට මෙය තුඩු දුන්නේ ය.

විප්ලවීය පරාජකවාදයේ හා සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ආස්ථානයෙන්, යුද්ධයට, ස්වෝත්තමවාදී ශ්‍රී ලංකාවේ ධනේශ්වරයට හා එහි රාජ්‍යයට තනි අතින් විරුද්ධ වූයේ විකොස-සසප පමනි. දෙමල සුලුතරයෙන් වැඩිමනත් ප්‍රමානයක් ජීවත් වන උතුරින් හා නැගෙනහිරින් සියලු ආරක්ෂක හමුදාවන් වහා ආපසු කැඳවන ලෙස උද්ඝෝෂනයේ යෙදෙන අතර, ඉන්දියාවේ හා අධිරාජ්‍යවාදී බලයන්ගේ සහයෝගය ලබා ගැනීමට උත්සාහ කල එල්ටීටීඊයේ ප්‍රජාගනවාදී දේශපාලනයට ද විරුද්ධ වූ විකොස, ලංකාවේ හා දෙමල ඊලමේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන තුල සිංහල හා දෙමල කම්කරුවන් එකමුතු කිරීමට සටන් වැදුනි.

1985-86 සමයේ, බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) ජාතික අවස්ථාවාදී පිරිහීමට විරුද්ධ ව, ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය ඇතුලත තීරනාත්මක හා විචාරාත්මක භූමිකාවක් විකොස විසින් ඉටු කලේ ය. කවිපය විසින් ට්‍රොට්ස්කිවාදී මූලධර්ම පාවාදීමට එරෙහි විරුද්ධත්වයට, හජාජාක එක්සත් ජනපද ශාඛාව වූ වර්කර්ස් ලීගය හා එහි ජාතික ලේකම් ඩේවිඩ් නෝර්ත් විසින් නායකත්වය ලබා දුනි. කවිප සමග භේදයේ දේශපාලනික පදනම් විස්තාරනය කරමින්, හජාජාක විසින් නිෂ්පන්න කරන ලද ප්‍රධාන ලේඛනයන් කෙටුම්පත් කිරීමේ දී, කීර්ති, නෝර්ත් සමග සමීප ව කටයුතු කලේ ය.

ඩේවිඩ් නෝර්ත් (වමේ) සහ විජේ ඩයස් (දකුනේ) 1988 දී

විජේ ඩයස්ගේ 75වන උපන් දිනය නිමිත්තෙන් උපහාර ලිපියක් ලියූ නෝර්ත්, “ට්‍රොට්ස්කිවාදය සඳහා පෙර දශක ගනනාවක් තිස්සේ කල අරගලයෙන් තද්භව වූ විකොස නායකත්වයේ හා කේඩරයේ යෝධ අත්දැකීම සහ දේශපාලනික දෘඩතරභාවය කීර්තිගේ සුවිශේෂී ප්‍රතිපදානය තුල පිලිබිඹු වීය” යි ලීවේ ය.

1987 දෙසැම්බරයේ දී, මුලුමනින් ම අනපේක්ෂිත ලෙස, කීර්ති සහෝදරයා අකාලයේ අහිමි වීම දරාගැනීමට විකොස සමත් වූයේ මේ හේතුව නිසාවෙනි. වයස අවුරුදු 39දී සිදු වූ ඔහුගේ මරනය, විකොසට හා ජාත්‍යන්තර කමිටුවට දරුනු හා ඛේදවාචී අහිමිවීමක් විය. සිවිල් යුද්ධය, ජවිපෙ ඝාතකයන්ගේ ප්‍රහාර සහ ආන්ඩුවේ අනවරත හිංසනය මධ්‍යයේ, කීර්තිගේ මරනයෙහි බලපෑම දරා සිටීමට විකොස සමත් වීය යන කරුන, ඕනෑ ම වෛෂයික ප්‍රමිතියකින් ගත් කල, විකොස නායකත්වයේ අත්‍යසාමාන්‍ය දේශපාලන ශක්තිය ප්‍රදර්ශනය කිරීමක් විය. එහෙත් පක්ෂයේ එකමුතු භාවය පවත්වාගෙන යමින්, එහි විප්ලවීය ජාත්‍යන්තරවාදී දිශානතිය දරා සිටිමින් හා එයට නායකත්වය දෙමින් තීරනාත්මක භූමිකාව ඉටු කලේ විජේ සහෝදරය ඔබ යන්න ද පිලිගත යුතු ය. විකොස/සසප හෝ ජාත්‍යන්තර කමිටුව තුල සිටින කිසිදු සහෝදරයෙකු මෙම නිගමනයට අභියෝග නො කරනු ඇත.

1985-86 සමයේ හජාජාක කවිප පරාජය කිරීම, ශ්‍රී ලංකා ශාඛාවේ නායකයන් සහ ඔවුන්ගේ ජාත්‍යන්තර සම-චින්තකයන් හා සහෝදරවරුන් අතර විස්තීර්න ඒකාබද්ධතාවට හැකියාව ලබාදීම ඇතුලු, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගය සහ මූලෝපාය ආරක්ෂා කොට වර්ධනය කිරීමට කරන අරගලයේ නිශ්චිත හැරුම් ලක්ෂ්‍යයක් සලකුනු කලේ ය.

ඉන්දු-ලංකා ගිවිසුම යටතේ දෙමල වැසියන් ජීවත් වන උතුර හා නැගෙනහිර ඉන්දියානු හමුදාව විසින් වාඩිලා ගැනීම මගින් අවුලුවන ලද යෝධ දේශපාලන අර්බුදයක් සමග කීර්තිගේ මරනය සමපාත විය.

දේශපාලනික ධෛර්යය සම්පන්නභාවය හා ස්ථීරසාරභාවය සමගින් විජේ සහෝදරයා මෙම අභියෝගයට මුහුන දුන්නේ ය. සිවිල් යුද්ධයේ, රාජ්‍ය මර්දනයේ සහ ජවිපෙ ප්‍රහාරවල ද මුල් බැසගත් දේශපාලන අර්බුදයේ ද ව්‍යාකූල අවුරුදු තුල, විජේ ඔහු තුල ආයෝජිත ව තිබූ දේශපාලනික විශ්වාසයට වැඩියෙන් කෘතඥ වනු ඇත. සත්‍ය වසයෙන් ම, ඔහු ඔහුගේ ම පක්ෂය තුල ද සමස්ත හජාජාක නායකත්වය හා කේඩරය තුල ද ඉමහත් ගෞරවයක් දිනාගෙන සිටියේ ය.

විජේ ඩයස් ඔහුගේ නැසී ගිය බිරිඳ පියසීලී විජේගුනසිංහ සමග

2010 දී, විජේ සහෝදරයාට, දිවයින තුල සුවිශිෂ්ට දේශපාලනික හා සංස්කෘතික චරිතයක් ලෙස ස්වෝත්සාහයෙන් නමක් දිනා සිටි, ඔහුගේ බිරිඳ හා සහෝදරිය වූ පියසීලී අහිමි විය.

ඉන් අවුරුදු තුනකට පසුව, විජේ බයිපාස් සැත්කමට භාජනය විය. පිරිහෙන සෞඛ්‍යය හා වයස්ගත වීමේ දී ස්වාභාවික ව ඇතිවන කායික දුෂ්කරතා නො තකා, ඔහු ඔහුගේ ජීවිතයේ අවසන් දවස් දක්වා, ඔහුගේ යෝධ ඥානය හා අත්දැකීම මත පදනම් ව, නායකත්වය හා දේශපාලන උපදෙස් සපයමින් දේශපාලනික ව ක්‍රියාකාරී විය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ කර්තෘ මන්ඩල රැස්වීමට අඟහරුවාදා ඔහු සහභාගි විය.

ඔහුගේ මරනයට පෙරාතු මාස කිහිපයේ දී, අප්‍රේල් පටන් දිවයින සොලවා දමා ඇති සහ මේ මාසය මුල දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වී රටින් පලා යාමට සිදු වූ, කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ නැගිටීමට පක්ෂයේ ප්‍රතිචාරය විදාරනය කරමින් ඔහු සමීප ව සහභාගි විය.

මැයි මාසයේ පැවති සසප (ශ්‍රී ලංකාව) තුන්වැනි ජාතික සම්මේලනය නායක භූමිකාවක් ඉටු කල විජේ, හරියට ම ඔහුගේ මරනයට සතියකට පෙර ජූලි 20දා පලකල, “ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!” යන සසප ප්‍රකාශය ලිවීමේ දී හජාජාක සමග සමීප ව වැඩකටයුතු කලේ ය. ධනපති පාලනයට සසප දක්වන අශමනීය විරුද්ධත්වය ප්‍රකාශය තුල පැහැදිලි කරයි. 1917 රුසියානු විප්ලවයේ සිට 1964 ලසසප පාවාදීමේ පාඩම් සහ 2011 අසාර්ථක වූ ඊජිප්තු විප්ලවය දක්වා, පසුගිය ශතවර්ෂය පුරා කම්කරු පන්තියේ සුවිශාල අත්දැකීම් උකහා ගනිමින්, කම්කරු පන්ති අරගලය ස්වාධීන ව වර්ධනය කිරීමේ පදනම මත, කම්කරුවන්ගේ බලය හා සමාජවාදය සඳහා කරන සටන එම ප්‍රකාශය විසින් විදාරනය කරයි.

විජේ සහෝදරයා පරිපුර්න හා අර්ථවත් ජීවිතයක් ගත කලේ ය. ඔහු කතා කරන බොහෝ වීඩියෝ පට විසින් සාක්ෂි දරන ආකාරයට, ඔහු වනාහි, ඔහුගේ මව් බස වන සිංහලෙන් මෙන් ම ඉංග්‍රීසියෙන් ද කතා කල හැකි චතුර කථිකයෙකි.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ මෙන් ම ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය ගැන මෙන් ම දකුනු ආසියානු හා බටහිර සංස්කෘතිය පිලිබඳ හසල දැනුමක් ඔහු සතු විය.

විජේ ඩයස් 2003 දී

පන්ති හතුරා කෙරෙහි දැක්වූ විරුද්ධත්වයේ දී ඔහු නිර්භීත වූ අතර, ඔහුගේ කටුක ම හතුරාට පවා ඔහුගේ දේශපාලන දෘඪතරභාවය ප්‍රශ්න කිරීමට හා එසේ ප්‍රශ්න කරනුවස් නිර්භය වීමට නො හැකි විය.

ඔහු සතුව දිදුලන හාස්‍ය රසයක් තිබුනි. ධනේශ්වර හා සුලු-ධනේශ්වර අවස්ථාවාදයේ දේශපාලන නියෝජිතයන්ගේ ව්‍යාජ බව හා දූෂිත බව හෙලිදරවු කිරීමේ දී ඔහුට එය ඉතා ඵලදායී ලෙස යොදාගත හැකි විය.

ඔහුට නිසැක වසයෙන් හිමි විය යුතුව තිබූ දේශපාලනික පෞරුෂය තිබියදී, විජේ අතිශයින් මධ්‍යස්ථ මිනිසෙකු විය. වියපත්බවේ ඉමහත් අපසුතාවයන්ගෙන් පීඩා විඳිද්දී පවා, පිරිහෙන සෞඛ්‍යය ගැන ඔහු කනිපින්දම් නො කීවේය.

ස්ටැලින්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා ඔවුන්ගේ පැබ්ලෝවාදී සහචරයන් විසින් කරන ලද අපරාධ හරහා කම්කරු පන්තිය දැවැන්ත ලෙස පාවාදීම් බැඳී තිබූ දීර්ඝ හා දුෂ්කර තත්ත්වයන් ඔස්සේ ගමන් කිරීමට විජේට සිදු විය. එහෙත්, ගෝලීය ධනවාදයේ පද්ධතිගත අර්බුදයෙහි කොන්දේසි යටතේ සමස්ත ලෝකයට ම පෙර ඇඟවුමක් ලෙස සිද්ධීන් විසින් වේගයෙන් හෙලිදරවු කරමින් පවතින, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ නව විප්ලවවාදී නැගී සිටීමක් දැකීමට ඔහු ජීවත් වූයේ ය.

විජේ ඩයස් සහෝදරයා ශ්‍රී ලංකාව තුල ට්‍රොට්ස්කිවාදය සඳහා සටනේ අනුස්මරනීය චරිතයකි. ඔහුගේ ජීවිතය හා උරුමය දැන් සමාජවාදය සඳහා අරගලයේ ඉතිහාසයට පිවිසෙයි. ලෝක සමාජවාදී විප්ලවය වියයුතු සහ කලයුතු මෙම දශකය තුල කම්කරුවන් හා තරුන ජනයා ආවේශ ගැන්වීමට ද, විශේෂයෙන්ම ඔවුන් දේශපාලනික ව දිශාගත කිරීමට ද ඒවා සේවය කරනු ඇත.

වැඩිදුර කියවන්න

Loading