කොලඹ කජීමාවත්තේ විශාල ගින්නකින් පැල්පත් නිවාස දුසිම් ගනනක් විනාශ වෙයි

(මෙය Sri Lanka: Massive fire destroys dozens of shanty homes in Kajeemawatte, Colombo මැයෙන් 2022 සැප්තැම්බර් 30 පල වූ ලිපියේ පරිවර්තනය යි.)

උතුරු කොලඹ පිහිටි කජීමාවත්තේ අඟහරුවාදා හටගත් අතිවිශාල ගින්නනකින් පුද්ගලයන් සිය ගනනකට උන්හිටි තැන් අහිමි කරමින් පැල්පත් නිවාස 60කට අධික සංඛ්‍යාවක් විනාශ විය. මෙම ව්‍යසනය යලි වතාවක් පෙන්නුම් කරන්නේ, ලංකාවේ බලයේ සිටි ආන්ඩු දුගීන්ට ශිෂ්ට සම්පන්න නිවාස සම්පාදනය කිරීම ප්‍රතික්ෂේප කිරීම යි.

කොලඹ කජීමාවත්තේ පැල්පත් නිවාස ගින්නකින් විනාශ වේ [Photo: WSWS]

ගින්න පටන් ගැනීමෙන් පැය බාගයකට පසුව ගිනි නිවන හමුදාවේ වාහන පැමිනිය ද ජල හිඟය නිසා ගිනි නිවන භටයන් ගින්න මැඩපැවැත්වීමට දැරූ ප්‍රයත්නයන්ට බාධා පැමිනුනි. ගිනි නිවන රථ දොලහක් පැමිනිය ද ගින්න හටගත් ස්ථානයට ප්‍රවේශ වීමට ඉඩ තිබුනේ ඉන් දෙකකට පමනක් බව නිවැසියෝ වාර්තා කල හ.

පසුගිය මාස 18 තුල මෙම ප්‍රදේශය ගිනිගත් තුන්වැනි අවස්ථාව මෙය යි: පලමුවැන්න 2021 අප්‍රේල් මාසයේ දී හටගත් අතර, දෙවනුව මේ වසරේ මාර්තු මාසයේ දී ප්‍රදේශය ගිනිගත්තේ ය.

අතිශයින් දුගී පවුල් 300ක් පමන කජීමාවත්තේ පිහිටි ප්‍රමිතියෙන් තොර නිවාසවල තදබදවී ජීවත් වෙති. පොදු වැසිකිලි හා ජල නල මාර්ග භාවිතා කිරීමට ඔවුන්ට බලකෙරී ඇති අතරම, සුදුසු විදුලිබල සැපයුමක් ද ලබාදී නැත. අඟහරුවාදා ගින්නෙන් විනාශ වූ නිවාසවල සාමාන්‍ය ප්‍රමානය වර්ග අඩි 200ක් (වර්ග මීටර 19ක් පමන) වේ. බොහෝ නිවාසවල පවුල් දෙක තුනක් ජීවත් වෙති. ලෑලි වලින් තනා ටකරම් සෙවිලිකල මෙම නිවාස ගින්නට හා ගංවතුරට ඉතා පහසුවෙන් ගොදුරුවනසුලු ය.

මෙම ප්‍රදේශයේ වාසය කරන සිංහල, මුස්ලිම් හා දෙමල වැසියන්ගෙන් බොහෝ දෙනා, දෛනික කම්කරුවන්, ත්‍රී-රෝද රථ රියැදුරන්, වීදි වෙලෙන්දන් හෝ මාලු හා එලවලු වෙලඳපොලවල වැඩ කරන්නෝ වෙති. අඟහරුවාදා ගින්නෙන් දිවි බේරාගත් අයට ඔවුන්ට සතුව තිබූ බොහෝ දේ අහිමි වී ඇත. ඔවුන්ට එදින රාත්‍රී ආහාරය හෝ පසු දින උදේ ආහාරය ලැබී නැත.

ව්‍යසනය හා ඉන්පසු තත්ත්වය විස්තර කල ගින්නෙන් බේරුනු ඇතැම් අය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කරුනු පැහැදිලි කලහ.

සැමියා හා පුතාගේ පවුල සමග ජීවත් වන 68 හැවිරිදි ජුලියට් පුෂ්පරානිගේ නිවස සම්පූර්නයෙන් විනාශ වී ඇත. පුද්ගලයින් 8 දෙනෙක් මේ නිවසේ ජීවත් වූ හ.

දිනකට රුපියල් 2,000-2,500 වැටුපකට, සිමෙන්ති ගබඩාවක කම්කරුවෙක් ලෙස වැඩකරන ඇගේ පුතු පවුලේ එක ම ආදායම් උපයන්නා ය. උප්පැන්න සහතික හා අනෙකුත් වැදගත් ලේඛන ඇතුලු සියල්ල ඔවුනට අහිමි විය.

ලෝසවෙඅ වාර්තාකරුවෙක් සමග ජුලියට් පුෂ්පරානි කතා කරයි. [Photo: WSWS]

“ගින්න පැනනැගුනේ (නිවසේ) පිටුපස්ස පැත්තෙන්. මගේ ලේලිය, ඇගේ දරු දෙදෙනා හා මම පමනක් ඒ අවස්ථාවේ එහි සිටියා” යි පුෂ්පරානි කඳුලු සලමින් පැවසුවා ය.

“මගේ අත්බෑගය ගැනීමට මට පුලුවන් වුනා, අපි ඔක්කොම දිවුවා. අත්බෑගය තුල තිබුන නිසා මගේ හැඳුනුම්පත බේරුනා. අපේ සියලු ඇඳුම් ගිනිගත්තා, මොකොවත් ඉතුරු වුනේ නැහැ. ගෑස් සිලින්ඩරය පස්සෙ පිපුරුවා.”

සුදුසු නිවාස සම්පාදනය නො කිරීම ගැන ආන්ඩුව හෙලා දුටු ඇය මෙසේ කීවා ය: “අපි මෙහි අවුරුදු නවයකට වැඩි කාලයක් ජීවත් වෙනවා, ඒත් අයිතිකාරයන් නැති ව තට්ටු නිවාස ගොඩාක් තිබෙනවා. අපිට ඒවායේ ජීවත්වීමට පුලුවන් කම තිබුනා. අපට වෙන විසඳුමක් නැහැ.”

මීට වසර තුනකට පෙර, නාගරික සංවර්ධන අධිකාරිය (යූඩීඒ) කජීමාවත්ත පැල්පත් වාසීන් කොටසකට නිවාස ලබා දෙන බවට පොරොන්දු වුවත්, කිසිවක් ඉටු වී නැත.

33 හැවිරිදි ප්‍රදීප් ගොඩනැගිලි කම්කරුවෙකි. දෙදරු විවාහකයෙක් වන ඔහු, වසර 10ට අධික කාලයක් මෙම ප්‍රදේශයේ ජීවත් වී තිබේ. පසුගිය වසරේ ගින්නෙන් ඔහුගේ නිවස විනාශ විය. “මිනිසුන්ටමෙම අපායෙන් අයින් වෙන්න ඕනි. නිවසක් ලබාගැනීමට රුපියල් 100,000ක ආරම්භක වාරිකයක් ගෙවල ඊට පස්සෙ මාසික බදු මුදලක් ගෙවන්න ඕන. මේ විශාල මුදල ගෙවන්න බැරි පුද්ගලයින් බොහෝ දෙනෙක් ඉන්නවා.”

ත්‍රී-රෝද රථ රියැදුරෙක් වන මුසම්මිල් තුන්දරු විවාහකයෙකි. ඔහු අවුරුදු නවයකට අධික කාලයක් කජීමාවත්තේ ජීවත් වී ඇත. “ගින්නට සැබෑ හේතුව නො දන්නවා වුවත්, ගෙවල් 65ක් විතර විනාශ වෙලා කියල මම හිතනවා” යි ඔහු කීවේ ය. ගිනි නිවන භටයන්ගේ ජලය අවසන් වීම නිසා ඔහුගේ නිවස විනාශ වූ බව මුසම්මිල් සඳහන් කලේ ය.

“ගින්නෙන් පලා යාමට හැම කෙනෙක් ම සමත් වුවත්, සමහර බඩු බාහිරාදිය ගැනීමට පුලුවන් වුනේ කිහිප දෙනෙකුට විතරයි. මගේ දරුවන්ගේ ඇඳුම් ඔක්කොම විනාශ වෙලා. සමහර පුද්ගලයන් පලා ගියේ ඔවුන්ගේ දරුවෝ එක්ක විතරයි.”

දුලාජ් දර්ශන අසල පිහිටි මාවත්ත පාසලේ 7 ශ්‍රේනියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි ශිෂ්‍යයෙකි. ඔහු දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයෙකි. “මගේ පොත් ඔක්කොම ගිනිගත්තා. මට බේරගන්න පුලුවන් වුනේ මගේ ඇඳුම් ටික විතරයි. මාස දෙකකට විතර පස්සෙ මම ආයෙ පාසල් යනවා. මගේ සහෝදරියගේ පොතුත් ගිනිගත්තා” යි දර්ශන කීවේ ය.

දෙදරු විවාහකයෙක් වන 40 හැවිරිදි කමල් අවුරුදු 10ට අධික කාලයක් මෙම ප්‍රදේශයේ ජීවත් වී ඇත. ඔහු කුඩා සමාගමක රියැදුරකු ලෙස වැඩකරයි. ඔහුගේ නිවසට ආසන්න වීමට පෙර ගින්න නිවී ගියත්, බොහෝ පැල්පත් වාසීන් මුහුන දෙන තත්ත්වය ගින්නෙන්, ලංකාවේ ආර්ථික අර්බුදය හා අධික උද්ධමනය හේතුවෙන් තවත් නරක් වනු ඇතැයි ඔහු කීවේ ය.

'නිතරම බඩු මිල ඉහල යනවා, ඒත් අපේ පඩි වැඩි වෙන්නේ නැහැ. මම මාසෙකට රුපියල් 30,000-40,000 විතර හම්බ කලත්, ආහාරවලට හා පාසල් වියදම්වලට ඒක කොහොමට වත් සෑහෙන්නේ නැහැ. පසුගිය අවුරුදු එකහමාරේ සිද්ද වුනු මේ මිල ඉහල යාම් නිසා අපට තදින් පහර වැදී තිබෙනවා. ඉස්සර රුපියල් 5,000-7,000ක් විතර වැයවුනු භාන්ඩවලට දැන් අපි රුපියල් 15,000ක් ගෙවනවා” ඔහු සඳහන් කලේ ය.

'මම උදේට හොඳට කෑම ගන්නවා, ඒත් රුපියල් 400ක් ඉතුරු කරගන්න දවල් ආහාරය නො ගෙන රෑට පමනක් ආහාර ගන්නවා. දැන් අපි දවසට ම කන්නෙ වේල් දෙකක් විතරයි. බිත්තර මිල අධිකයි, අපි මාලු කන්නෙ සතියකට වතාවක් විතරයි, අපේ දරුවන්ට පෝෂ්‍යදායී ආහාර දෙන්න අපිට බැහැ. හරක් මස් කිලෝවක් දැන් රුපියල් 2,200ක් වෙන නිසා අපට පුලුවන් වෙන්නෙ රුපියල් 300කට කුඩා මස් ප්‍රමානයක් ගන්න විතරයි” යි ඔහු කීවේ ය.

අසල පිහිටි තට්ටු නිවාසවල නිවාස 1,200ක් පමන පවතින බව කජීමාවත්ත නිවැසියෝ පෙන්වා දුන් හ. ඉන් 400ක් පමන තවමත් හිස් ය. මෙම නිවාසවල කජීමාවත්තේ පවුල් 300 පදිංචි නො කිරීම ගැන ඔවුහු යූඩීඒට දොස් පැවරූ හ. වසර තුනකට පෙර 2019 දී, කජීමාවත්ත නිවැසියන් යලි පදිංචි කරන බවට යූඩීඒ පොරොන්දු වූ නමුත්, පැල්පත් වාසීන් “අනවසර පදිංචිකරුවන්” ලෙස නම් කල බලධාරීහු, ඔවුන්ට නිවාස සම්පාදනය නො කිරීම සාධාරනීකරනය කිරීම සඳහා එය යොදාගත් හ. පසුගිය මහා මැතිවරනය සමයේ දී ද නිවාස ලබා දෙන බවට සමහර පවුල් වෙත පොරොන්දු දෙනු ලැබි ය. එහෙත් ඒ කිසිවක් ඉටු නො වී ය.

කජීමාවත්තේ ගින්නෙන් සමහර කාන්තාවන්ට හා ලමුන්ට නිවාස අහිමි කෙරුනි. [Photo: WSWS]

මේ වසර මුල දී, නිවැසියන් කන්ඩායමක් යූඩීඒ වෙත ගොස්, තමන් නිවාස ලැබීමට සුදුස්සන් වන බව සනාථ කරන ලේඛන භාර දුන් හ. කජීමාවත්තෙන් නිවැසියන්ට නුදුරේ ම ඉවත් වීමට සිදු වන බව ප්‍රකාශ කරමින්, බලධාරීහු ඔවුන්ට තර්ජනය කල හ.

කලින් හටගත් ගිනිගැනීම් දෙකෙන් පසුව නිවාස නැති අයට වාසස්ථාන සපයන බවට දේශපාලඥයන් ව්‍යාජ ලෙස පොරොන්දු වූ බවත්, යලි වතාවක් එවැනි හිස් පොරොන්දු දෙනු ඇති බවත්, අඟහරුවාදා ඇති වූ ගින්නේ දිවි බේරාගත් අය ලෝසවෙඅ වාර්තාකරුවන්ට පැවසූ හ.

යූඩීඒ හා පොලීසිය යලි යලිත් කජීමාවත්ත නිවැසියන්ට හිරිහැර කර ඇත. 2016 පෙබරවාරියේ දී, සමහර නිවාසවලට විදුලිය හා ජලය විසන්ධි කල බලධාරීන්, ඒවා කඩා දැමීමට තැත් කලේ ය. විරෝධතා මධ්‍යයේ මෙම සැලසුම් අත්හැර දැමීමට ආන්ඩුවේ බලධාරීන්ට සිදු විය. මාර්තු මාසයේ දී පුද්ගලයන් 128 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත්තේ, ඔවුන් නීති-විරෝධී ලෙස විදුලිය ලබාගෙන ඇති බවට චෝදනා කරමිනි.

ඉහල යන උද්ධමනය හා නරක අතට හැරෙන සමාජ කොන්දේසි නිසා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කලරමින් අප්‍රේල් මාසයේ සිට පැන නැගුනු මිලියන සංඛ්‍යාත ජනයාගේ විරෝධතාවන්ට කජීමාවත්ත නිවැසියෝ ද සහභාගි වූ හ.

රාජපක්ෂ බලයෙන් පහ කල ද ව්‍යාජ-වාම කන්ඩායම්වල පිටුබලය ලත් වෘත්තීය සමිති, පලල් ලෙස වෛරයට පාත්‍ර ව සිටින රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන් ක්‍රියාවට දැමීම ආරම්භ කිරීමට මාවත පාදමින් මෙම අරගල පාවාදුන් හ.

අඟහරුවාදා ගින්නෙන් පසුව, හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ අවමගුලට සහභාගි විමට ටෝකියෝ වෙත ගොස් සිටින වික්‍රමසිංහ, ගින්නෙන් බේරුනු අයට සහන සලසන ලෙස ලංකාවේ බලධාරින්ට උපදෙස් දී ඇති බව, මාධ්‍ය පලල් ලෙස වාර්තා කලේ ය.

ඇත්තෙන්ම සිදුවෙමින් පවතින්නේ, කොලඹ පැල්පත් ප්‍රදේශ සුද්ධ කර, දේපොල වෙලඳාම් වර්ධකයන්ට හා මහා ව්‍යාපාරික ආයෝජන සඳහා ඉඩම් ලබා දීමට පවතින දීර්ඝ-කාලීන සැලසුම්වල කොටසක් ලෙස, කජීමාවත්තේ වැසියන් ඉවත් කිරීම සඳහා ආන්ඩුව පියවර ගනිමින් සිටීමයි.

නිවැසියන් සඳහා “අනාගත සැලසුම්” සාකච්ඡා කිරීම පිනිස, ඇමතිවරුන් හා මන්ත්‍රීන් කිහිප දෙනෙක් හා අනෙකුත් නිලධාරීන් සමග විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු රැස්වීමක් අඟහරුවාදා පැවැත්වීමට අගමැති දිනේශ් ගුනවර්ධන ක්‍රියා කලේ ය.

“ස්ථීර වාසස්ථාන ස්ථාපිත කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවන්නන්ට අන්තර්-කාලීන ජනපදයක් ලෙස මෙම ස්ථානය යූඩීඒ විසින් පවත්වාගෙන යාම නැවැත්වීමේ හැකියාව” සොයා බලන ලෙස, ගුනවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. “අනවසර පදිංචි වීම්” ගැන විමර්ශනය කරන ලෙස ද ඔහු බලධාරීන්ට කීවේ ය.

මෙම අදහස් ප්‍රතිරාවය කරමින් ගින්න ගැන මෙන් ම, ඊනියා අනවසර පදිංචි වීම් ගැන ද විමර්ශනයක් අවශ්‍ය බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රනතුංග කියා සිටියේය. සමහර වැසියන් බදුල්ලේ සිට පැමින ඇති බව කියමින් ඔහු සඳහන් කලේ ඔවුන්ට අදාල ප්‍රදේශ තුල නිවාස සම්පාදනය කල යුතු බවයි.

තම ආයතනය “කොලඹ දිස්ත්‍රික්කයේ පැල්පත් නිවාස 68,000කට නිවාස සම්පාදනය කිරීමට ක්‍රියා කරමින් සිටිය (ද) එසේ නිවාස ලබා දීමට නම් අවම වසයෙන් නිවාස 200,000ක් අවශ්‍ය බව” යූඩීඒ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රනවීර කීවේ ය. “එය සිදු වුව හොත් යූඩීඒ පාඩු ලබන ආයතනයක් බවට පත් වේවි” යයි ඔහු තවදුරටත් පැවසීය.

වෙනත් වචනවලින් කියන්නේ නම්, ආන්ඩුව හා නිවාස බලධාරීන් අතර සාකච්ඡාව පවතින්නේ, කජීමාවත්තේ ගින්නෙන් බැටකන අයට සහන සම්පාදනය කිරීම කෙරෙහි නො ව, ඔවුන් හා කොලඹ අනෙකුත් පැල්පත් වාසීන් ඉවත් කරන්නේ කෙසේ ද යන්න ගැන යි. සියලු අතීත “පැල්පත් නිදහස් කිරීම්” වැඩපිලිවෙලවල් මෙන් මෙය ද පොලීසිය විසින් ප්‍රචන්ඩත්වය යොදාගෙන සිදු කරන බලහත්කාරී ඉවත් කිරීම් වනු ඇත.

කොලඹ කජීමාවත්ත පැල්පත් ප්‍රදේශයේ ගින්නෙන් විනාශ වුනු නිවාස. [Photo: WSWS]

ලංකාවේ ධනපති පන්තියට, දහස් දහස් ගනන් ජනයා මුහුන දෙන නිවාස අර්බුදය විසඳිය නො හැක. ධනවාදයේ ගෝලීය අර්බුදය විසින් තීව්‍ර කරමින් පවතින පෙර නුවූ ආර්ථික ඇද වැටීමකට මුහුන දෙන වික්‍රමසිංහ පාලනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතට හැරී මෙම අර්බුදය ම්ලේච්ඡ ලෙස මහජනයා මත පටවයි.

අනෙක් සියලු සමාජ ප්‍රශ්න මෙන්ම නිවාස ප්‍රශ්නය ද විසඳනු ලැබිය හැක්කේ, ධනවත් අතලොස්සක ප්‍රතිලාභ සඳහා නොව බහුතරයේ ප්‍රතිලාභය සඳහා, ආර්ථිකය කම්කරු පන්තියෙහි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ප්‍රතිසංවිධානය කිරීම පිනිස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීමටත්, ලාභ පද්ධතිය අහෝසි කිරීමටත් කරන අරගලයකින් පමනකි.

Loading