පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ටෙලිකොම් කම්කරුවන් පෙරට පැමිනිය යුතුයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලීකරනයට එරෙහිව, දෙසැම්බර් 9 දා, කොලඹ දී පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයෙන් පසු මසකට වැඩි කාලයක් ගතවී ඇති නමුත්, උද්ඝෝෂනය ඉදිරියට ගෙනයාමේ කවර හෝ සංයුක්ත පියවරක් සමිති නිලධරය විසින් ප්‍රකාශයට පත්කොට නොමැති බව එහි කම්කරුවෝ පවසති.

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයෝ 2022 දෙසැම්බර් 8 වැනි දින කොලඹදී පෞද්ගලීකරනයට එරෙහිව විරෝධතාවයේ නිරත වෙති. [ඡායාරූපය: ලෝසවෙඅ]

පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීමේ බලගතු අවශ්‍යතාව සහ අධිෂ්ඨානය ටෙලිකොම් කම්කරුවන් විසින් නැවත නැවතත් පෙන්නුම් කර ඇත. දිවයිනේ විවිධ පලාත්වලින් කොලඹට පැමිනි කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් 9 දා පැවැත්වූ උද්ඝෝෂනයට පෙර, නොවැම්බර් 25 සහ 28 යන දිනයන්හි ද, එම කම්කරුවෝ, කොලඹ, ගාල්ල, මාතර, අනුරාධපුරය, ත්‍රිකුනාමලය සහ කල්මුනේ ඇතුලු නගර කිහිපයක තම කාර්යාල ඉදිරිපිට විරෝධතා දැක්වූ හ.

මෙම විරෝධතා කැඳවා තිබුනේ ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව (ටෙවෘසඑ) විසිනි. එම 'එකමුතුව', සියලු විදුලි සංදේශ සේවකයින්ගේ සංගමය (සිවිසංසේසං), පොදුජන ප්‍රගතිශීලී ටෙලිකොම් සේවක සංගමය (පොප්‍රටෙසේසං), ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේසං), සමගි සේවක සංගමය (සසේසං) සහ ජාතික සේවක සංගමය (ජාසේසං) ඇතුලු වෘත්තීය සමිති 20 කින් සමන්විත වෙයි.

වෘත්තීය සමිති, විරෝධතා කැඳවීමට පෙලඹුනේ, පුද්ගලීකරනය හමුවේ තර්ජනයට ලක්ව ඇති රැකියා හා කොන්දේසි කෙරෙහි කවර හෝ තැකීමක් නිසා නො ව, පුද්ගලීකරනයට සහ දැවැන්ත උද්ධමනයට එරෙහිව කම්කරුවන් අතර වැඩී ඇති කෝපය, හුදු විරෝධතා කීපයක් තුල දියකර හැරීමේ අරමුනෙනි.

පසුගිය වසරේ අප්‍රේල් මුල පැන නැගී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව බිඳ වැටීමට තුඩු දුන් වර්ගයේ තවත් කම්කරු පන්තික නැගිටීමක් ගැන, ධනපති පාලකයන් මෙන්ම, ධනපති ක්‍රමයට සෑම අතින්ම බැඳී සිටින සමස්ත සමිති නිලධරයම බියපත්ව සිටිති.

මෙම සමිති සියල්ල ගැටගැසී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු හා පුද්ගලීකරන න්‍යාය පත්‍රය සඳහා සහාය දක්වන හෝ එය සැබවින්ම ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ), එක්සත් ජාතික පක්ෂය (එජාප), සමගි ජන බලවේගය (සජබ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු පාර්ලිමේන්තු සංස්ථාපිතයේ පක්ෂ සමග ය. ඔවුන්, පුද්ගලීකරනය ඇතුලු ධනපති ප්‍රහාරයන්ට එරෙහිව අව්‍යාජ සටනක් සංවිධානය කරනු ඇති බවට කවර හෝ විශ්වාසයක් කම්කරුවන් විසින් තබාගතයුතු නැත.

පුද්ගලීකරනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති පවත්වාගෙන යන නිහඬතාවය පිලිබඳව, සියලු විදුලි සංදේශ සේවකයින්ගේ සංගමයේ උප සභාපති ජගත් ගුරුසිංහගෙන් විමසූ අවස්ථාවේ, ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේ, “වඩාත් ප්‍රබල බලකිරීමක්” සදහා සෙසු වෘත්තීය සමිති හා එක්ව ව්‍යාපාරයක් ගොඩනගමින් සිටින බවයි. එම වෘත්තීය සමිති අතරට, “බැංකු ක්ෂේත්‍රයේ, ලංකා ගුවන් සේවයේ, රක්ෂන සංස්ථාවේ සහ තැපැල් වෘත්තීය සමිති” ඇතුලත්වන බවත් පලමු වටයේ සාකච්ඡා පැවැත්වූ බවත් ඔහු තවදුරටත් සඳහන් කලේය.

පුද්ගලීකරනයට එරෙහිව පුලුල් ව්‍යාපාරයක් ගොඩනගමින් සිටින බවට ගුරුසිංහ කරන ප්‍රකාශයන් හි සත්‍ය-අසත්‍යභාවය කෙසේ වෙතත්, වෘත්තීය සමිති මත පාදක වූ එවන් ව්‍යාපාරයක් මගින් කෙරෙන “වඩාත් ප්‍රබල බලකිරීමක්” මගින්, සැබැවින්ම, ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙල ආපසු හැරවිය හැකිද? කම්කරුවන් මෙම ප්‍රශ්නය කෙරෙහි දැඩිව අවධානය යොමුකලයුතු වෙයි.

කෝවිඩ්-19 වසංගතයෙන් සහ එක්සත් ජනපදය ප්‍රමුඛ නැටෝ බලයන් විසින් රුසියාවට එරෙහි ව යුක්‍රේනය තුල ගෙනයන යුද්ධයෙන් වඩාත් ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදයක ගිලී සිටින වික්‍රමසිංහ ආන්ඩුවට සහ අනෙකුත් ධනපති පක්ෂ වලට, ජාමුඅ න් අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9 ක හදිසි නය ලබා ගැනීම සහ ඒ වෙනුවෙන් ජාමූඅ අනවා ඇති විධානයන් ක්‍රියාත්මක කිරීම හැර අන් විකල්පයක් නැත.

ලංකාවේ පමනක් නොව, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ සමස්ත ගෝලීය ධනපති ආර්ථිකය අදදින හසුරුවනු ලබන්නේ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනය විසිනි. එක්සත් ජනපද මධ්‍යම බැංකුව හෙවත් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සභාපති ජෙරෝම් පවෙල් පසුගිය දා ස්වීඩනයේ ස්ටොක්හෝම් හි දී කල කතාවකින් මෙය වඩාත් පැහැදිලිව අනාවරනය විය. ඔහු මෙසේ කීවේය:

'අපගේ තීරන සම්බන්ධයෙන් දේශපාලන ඇඟිලිගැසීම් නොමැතිවීම, කෙටිකාලීන දේශපාලන සාධක නොසලකා අවශ්‍ය පියවර ගැනීමට අපට ඉඩ සලසයි.'

පවෙල් ම පෙන්වාදෙන පරිදි, 'නොසලකා' සිටියයුතු මෙම 'කෙටිකාලීන දේශපාලන සාධක' වනාහි, මහබැංකුව විසින් ගනු ලබන 'ජනප්‍රිය නොවන' පියවරයන්ට එරෙහිව මතුවන මහජන විරෝධය යි.

මාක්ස්වාදී ආර්ථික විශ්ලේෂක නික් බීම්ස් විසින්, ජනවාරි 13 දා ලෝසවෙඅ ලියන ලද ලිපියකින් පෙන්වාදුන් පරිදි, පවෙල් වෙනත් වචන වලින් කියා සිටින්නේ, 'කම්කරුවන්ගේ වැටුප් තලා දමනු වස් සිතාමතාම විරැකියා රේට්ටුව ඉහල දමා' මහජනතාව මත ආර්ථික 'වේදනාව' පැටවීමට දරන ප්‍රයත්නයේදී, මහජන විරෝධතා නොතකා, සංගතවල, කොටස් වෙලඳපොලේ සහ මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා මත, මහ බැංකුව ඝෘජුව ක්‍රියාත්මක විය යුතු බවයි.

ලොව ප්‍රධානතම ආර්ථිකය වන එක්සත් ජනපදයේ සිට ලංකාව දක්වා සියලු මහ බැංකු ක්‍රියාත්මක වන්නේ මෙම පිලිවෙත මතයි. ජාමූඅ අනවා සිටින නය ප්‍රතිව්‍යූහකරනයේ දි, 'ජනප්‍රිය නොවන' තීන්දු ගැනීමට නොපසුබටවන බවට, ජනාධිපති වික්‍රමසිංහ සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ යලියලිත් සපථ වන්නේ එබැවිනි. නය ප්‍රතිව්‍යූහකරනයට අයත් ප්‍රධාන අංගයක් වන රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය එවන් 'ජනප්‍රිය නොවන' තීන්දුවකි.

පුද්ගලීකරනය වනුයේ 'පාඩු ලබන' රාජ්‍ය ව්‍යවසායන් පමනක් බවට වික්‍රමසිංහ කරන ප්‍රකාශ මුලුමනින්ම අසත්‍ය ය. ශ්‍රී ලංකා ටෙලිකොම් මේ සම්බන්ධයෙන් කැපී පෙනෙනම උදාහරනය යි. වාර්තාවන්ට අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2022 පලමු මාස නවය සඳහා රුපියල් බිලියන 79.6 ක ධනාත්මක සමස්ත ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී සියයට 3.9 ක ඒකාබද්ධ වර්ධනයකි. පලමු මාස නවය සඳහා බදු ගෙවීමට පෙර ලාභය, පසුගිය වසරේ එම කාලය හා සසඳන විට සියයට 136.1 ක සැලකිය යුතු වර්ධනයක් බවද එම වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු තම ආයතනයේ ලාභ වර්ධනය කර ගැනීමේදී යොදාගත් ක්‍රමවේදයන් පැහැදිලි කරමින් මෙසේ පවසයි: 'අපගේ ප්‍රතිඵල වලට මූලික වශයෙන් හේතු වී ඇත්තේ පිරිවැය පාලනය කිරීමේ ලා කලමනාකරනයේ මැදිහත්වීම යි. එනම්, බලශක්ති පිරිවැය අඩු කිරීම, සමාගම සතු පරිශ්‍රයන් වෙත මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සහ ඝෘජු විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීම ස්ථාවරව පවත්වාගෙනයාම සඳහා ආන්ඩුවේ ප්‍රතිපත්තියට යටත්ව වත්කම් විකුනා මුදල් ඉපැයීම යි.'

ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරනයත් සමග මෙම 'පිරිවැය පාලනය' වඩාත් තීව්‍රවනු ඇත. එහිදී මූලිකම එල්ලය වනු ඇත්තේ, වැටුප් කප්පාදුව, වැඩ වේගවත් කිරීම සහ රැකියා කප්පාදුවයි.

මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා මත ඝෘජුව ක්‍රියාත්මක වන වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ලොවපුරා ධනපති පාලකයන් විසින් එල්ල කරන පුද්ගලීකරනය ඇතුලු ප්‍රහාර, ධනපති ආන්ඩු වලට බලපෑම් යෙදීමෙන් පරාජය කල නොහැකි බව සෑම රටකම කම්කරුවන් අත්දැකීමෙන්ම වටහා ගනිමින් සිටිති

ධනපති ක්‍රමයේ ආන්තික අර්බුදයෙන් නිපන් මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින්, ගෝලීය ධනවාදයට එරෙහිව ගෙනයන දේශපාලන සටනක් තුලින් පමනි. ඒ වනාහි, කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ නිෂ්පාදන මාධ්‍යයන් ජනසතුකොට, මානව අවශ්‍යතා මත සමස්ත ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගැනීම එල්ල කරගත් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

නමුත්, ධනපති ක්‍රමයට බැඳීගත් එහි ආරක්ෂකයන් වන වෘත්තීය සමිති කම්කරු පංතියේ එවන් ස්වාධීන දේශපාලන සටනකට මුලුමනින්ම එරෙහි ය. ඔවුහු සමාජවාදයට පක්ෂපාතී බවක් ව්‍යාජව පෙන්නුම් කරන අතරේ, එය දුර ඈතට කල් තබමින් ධනපති ක්‍රමය රැක දීමටත්, එමගින් ධනපති ප්‍රහාර කම්කරුවන් මත එල්ල කිරීමටත් විවෘතවම සහයෝගය දෙති.

සමිතිවල මෙම ද්‍රෝහී භූමිකාව තහවුරු කරමින්, ලංකාවේ ආර්ථික අර්බූදය 'ක්‍රමානුකූලව විසඳිය යුතු බව' ටෙලිකොම් සමිති නායක ගුරුසිංහ ලෝසවෙඅ ට කියා සිටියේ ය. ලෝක ධනවාදය මුහුන දී සිටින ගැඹුරු අර්බුදයේ ප්‍රකාශනයක් වන ලංකාවේ අර්බුදය, හුදු 'දූෂනය සහ නාස්තිය' ට සිඳවූ ඔහු, වෘත්තීය සමිති ඒකාබද්ධව, 'අක්‍රමිකතා හා දූෂනය මගින් පිටරට රඳවා ඇති ඩොලර් ගෙන්වා ගැනීමට ලේඛනයක් පිලියෙල කරමින්' සිටින බව පැවසීය. 'අක්‍රමිකතා හා දූෂනය' ධනවාදයේ අත්‍යන්ත අංග ලක්ෂනයක් බව ගුරුසිංහ ඇතුලු සමිති නිලධරය සහ ව්‍යාජ-වාම සංවිධාන දැනුවත්ව වසන් කරති.

මිලියන සංඛ්‍යාත කම්කරුවන් විරැකියාවට, දරිද්‍රතාවට සහ සාගින්නට ඇද දමමින් ද, කම්කරු-පීඩිත මහජනයා කෝවිඩ් වසංගතයට ගොදුරු කරමින් ද, න්‍යෂ්ටික ලෝක යුද්ධයක් තුලට සමස්ත මනුෂ්‍ය වර්ගයා වේගයෙන් ඇදගෙන යමින් සිටින ලෝක ධනවාදය අහෝසිකොට, ජාත්‍යන්තර සමාජවාදය ස්ථාපිත කිරීම දවසේ න්‍යාය පත්‍රයට ඇතුලුව තිබියදී ගුරුසිංහ මෙසේ පැවසීය: 'අඩියෙන් අඩිය පෙරට යායුතුයි. සමාජවාදය කෙලින්ම ඉදිරිපත් කරන්න බැහැ. එය ඉලක්කයක් ලෙස තියාගන ක්‍රමානුකූලව ඉදිරියට යායුතුයි.'

මේ වනාහි, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ-වාම සංවිධාන ධනවාදය ආරක්ෂා කිරීමට තොරොම්බල් කරන කුප්‍රකට සූත්‍රයම යි. 'කිසිදු ධනපති පක්ෂයක් සමග සාකච්ඡා නොකරන' බවට පාරම් බෑ ගුරුසිංහ, මෙම ව්‍යාජ-වාම සංවිධාන “සැබෑ වාමාංශික පක්ෂ” ලෙස නම් කරමින් ඒවා සමග සාකච්ඡා කරන බව පැවසීය. මෙය කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය වීමට එරෙහිව ඇටවෙන තවත් උගුලකි.

ධනපති පක්ෂ, ව්‍යාජ-වාම පක්ෂ සහ සමිති නිලධරය සමග එක්ව පුද්ගලීකරනය ඇතුලු ජාමුඅ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කල නොහැකි බව කම්කරුවන් වටහාගත යුතුය. තම සටන ඉදිරියට ගෙන යාමටනම්, මෙම සියලු පක්ෂ සහ සමිති වලින් වෙන්ව, සාමාන්‍ය කම්කරුවන්ගෙන් සමන්විත, ඔවුනගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තීන්දු තීරන ගැනෙන සහ ඒවා ක්‍රියාවට දැමෙන, ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමට ටෙලිකොම් කම්කරුවන් මූලිකත්වය ගත යුතුය.

අනෙකුත් කම්හල්, වැඩබිම් සහ වතුයායන් තුල ද, ගම්බද ප්‍රදේශ සහ කම්කරු නිවහන් ප්‍රදේශ තුල ද මෙවන් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සටන් වදී. මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සසප කැඳවුම් කරයි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම එහි අරමුනයි.

වැඩිදුර කියවන්න

Loading