දැවැන්ත බදු අයකිරීම් හරහා සිදු කෙරෙන වැටුප් කප්පාදුව පරාජය කරමු!

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත ජනවාරි 1 දින සිට දියත් කර ඇති ආන්ඩුවේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන්, සෞඛ්‍ය,, බල ශක්ති, බැංකු සහ විශ්ව විද්‍යාල ඇතුලු ක්ෂේත්‍ර ගනනාවක වෘත්තිකයෝ බරපතල වැටුප් කප්පාදුවකට මුහුන දී සිටිති. මෙය සිදු කෙරෙන්නේ අහස උසට නැග ඇති උද්ධමනය හේතුවෙන් වැටුප්වල සැබෑ වටිනාකම දැවැන්තව කැපී ඇති පසුබිමකය. සැබෑ තත්වය වසන් කෙරෙන නිල සංඛ්‍යාලේඛන වලට අනුව පවා දෙසැම්බර් මස උද්ධමනය සියයට 57කි.

සෞඛ්‍යය ක්ෂේත්‍රය ගතහොත්, නව බදු අයකිරීම් වලට අනුව, රජයේ වෛද්‍ය නිලධාරියෙකුගේ සාමාන්‍ය වැටුපෙන් සියයට 6 සිට 36 දක්වා මුදලක් උපයන විට ගෙවන බදු ලෙස රජය විසින් කපා ගැනේ. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියේ සාමාන්‍ය වෛද්‍ය නිලධාරියෙකුගේ මාසික වැටුප රු 114,000 වන අතර නව බදු ඉහල දැමීම් සමඟ රු 11,000 මුදලක් බදු ලෙස ගෙවීමට සිදුවේ. විශ්‍රාම යාමට ආසන්න පලමු ශ්‍රේනියේ වෛද්‍ය නිලධාරියකු ලබන වැටුප රු161,000 පමන වන අතර, ඉන් රු 37,000 ක බදු මුදලක් ඔහු හෝ ඇය විසින් රජයට ගෙවිය යුතු වෙයි. එය පෙර පැවති බදු සමඟ සැසඳූ විට සියයට සියයට 1284 ක ඉහල යාමකි.

මෙම දැවැන්ත බදුබරට එරෙහිව ඉහත දැක්වූ ක්ෂේත්‍රයන්ට අයත්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුලු වෘත්තිකයෝ දැනටමත් අරගලයට පිවිස සිටිති. ජනවාරි 20 දා කොලඹ මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට රැස්වූ ඔවුහු නව බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටිමින් විරෝධතා දැක්වූහ. මෙය කැඳවූ, වෘත්තීය සමිති 15 ක සන්ධානයක් වන 'වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකතුව' විසින් ජනවාරි 23 න් ආරම්භ වූ සතිය 'කලු සතියක්' ලෙස ප්‍රකාශයට පත් කෙරුනි.

මෙම විරෝධතා මගින් පෙන්නුම් කෙරෙන්නේ, ලංකාව මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයේ සියලු බර මහජනතාව මත පටවා ඉන් ගොඩඒමට යත්න දරන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආන්ඩුව ඇතුලු ධනපති පාලක පංතියේ රුදුරු කප්පාදු පිලිවෙත් වැඩ කරන ජනයාගේ පහල සිට ඉහල ස්ථර දක්වා බලපා ඇති ආකාරය යි.

ලංකාවේ ආර්ථික අර්බුදය වනාහි ලෝක ආර්ථිකය මුහුන දී සිටින ගැඹුරු අර්බුදයේ ආන්තික ප්‍රකාශනයකි. චීනය පවත්වාගෙන ගිය 'ශුන්‍ය කෝවිඩ්' පිලිවෙත පසුගිය දෙසැම්බරයේ අත් හැරීමත් සමග ඉමහත් වේගයෙන් ව්‍යාප්ත වන කෝවිඩ් වසංගතය සහ රුසියාවට එරෙහිව උග්‍රකර ඇති ඇමරිකානු-නේටෝ යුද්ධය මඟින් මෙම අර්බුදය තව තවත් උග්‍ර වීමට නියමිතය.

ලොවපුරා ආන්ඩු, මහ ධනපති සංගත වලට මුදල් සැපයීම සඳහා දැවැන්ත පරිමානව මුදල් අච්චු ගැසීම් හේතුවෙන් ඉහල ගිය උද්ධමනයත්, ආර්ථිකය මන්දගාමීකොට මිලියන සංඛ්‍යාත කම්කරුවන් රැකියාවලින් දොට්ට දමා වැටුප් ඉල්ලීම් පාගා දැමීම එල්ල කරගත් ඉහල පොලී රේට්ටු පැනවීමත් හේතුවෙන්, පීඩිත කම්කරුවන්ගේ පමනක් නොව, වෘත්තිකයන් හා කුඩා ව්‍යාපාරිකයන් ඇතුලු මධ්‍යම පන්තික ස්ථරවල පවා ජීවන කොන්දේසි ඉතා වේගයෙන් පහතට ඇද වැටෙමින් පවතී.

ඊට ප්‍රතිකූලව, මහා ව්‍යාපාරික සංගත හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය කරා සමාජ ධනය වඩා වේගයෙන් ඇදීගොස් ඇත. ගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත සමාගම්වල ඉපැයීම් සියයට 87 ක ප්‍රබල වර්ධනයක් වාර්තා වෙයි.

උද්ධමනය හා බදු ඉහල දැමීම් මඟින් වැටුප් කැපීමට ලක්ව සිය සමාජ හා ජීවන තත්වයන් කඩා වැටීම හේතුවෙන්, අප ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් වෙනත් රටවල රැකියා සඳහා ගොස් ඇති බැවින්, දිගින් දිගටම පැවැති වෛද්‍ය හිඟය වඩාත් උග්‍ර අතට හැරී ඇත. ඉන් පීඩාවට ලක්ව ඇත්තේ රෝගීන් හා වැඩි වැඩියෙන් බර පැටවී ඇති වෛද්‍ය නිලධාරීන් ඇතුලු අප සියලු දෙනායි.

2023 අයවැයෙන් ඉදිරිපත් කෙරුනු රෝහල් වල පුද්ගලික වාට්ටු ඇති කිරීමේ වැඩපිලිවෙල හරහා සමස්ත මහජන සෞඛ්‍ය සේවයටම එල්ල කර ඇති ප්‍රහාරය වෛද්‍ය හිඟය හේතුවෙන් වඩාත් තියුනු වනු ඇත.

මෙම ධනපති ප්‍රහාරයන් පරාජය කිරීමේ ලා වෛද්‍යවරුන් ඇතුලු වෘත්තිකයන් පෙන්වා ඇති සටන්කාමිත්වය ආන්ඩුවට එරෙහි පුහු විරෝධතා තුල දියකර හැරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු අදාල සමිති ක්‍රියා කරමින් සිටී. මෙම ප්‍රහාරයන් ආන්ඩුවට යොදන බලපෑමකින් ආපසු හැරවිය හැකි නොවන බව, එම ප්‍රහාර විධානය කරන ජාමූඅ හි ප්‍රතිචාරයන්ගෙන් යලියලිත් ප්‍රකාශයට පත්වෙයි.

තම විධානයන් අකුරටම ක්‍රියාත්මක කරනතෙක්, ආන්ඩුව අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9 ක හදිසි ඇපනය ලබා නොදෙන බව ජාමූඅ ස්ථිරසාරව කියා සිටී. බදු ප්‍රතිපත්තිය පමනක් සැලකුවහොත්, එය කියා සිටින්නේ, හුදෙක් වෘත්තිකයන්ගෙන් පමනක් නොව, රු 41,667 ට වැඩි මාසික ආදායමක් ලබා ගන්නා සියලු දෙනාගෙන් මෙම 'උපයනවිට ගෙවීමේ බදු' අයකලයුතු බවයි. අර්බුදයේ පතුලේ ගිලී සිටින වත්මන් ආන්ඩුවට සහ බලයට පත්වන ඕනෑම ආන්ඩුවකට මෙම රුදුරු කප්පාදු පිලිවෙත් අනුයමින් ජාමූඅ හි සරන පැතීම හැර අන් විකල්පයක් නොමැත. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සියලු විපක්ෂ, ජාමූඅ දෙසට හැරීම හැර වෙනත් විසඳුමක් නොමැතිබව ප්‍රසිද්ධියේම පවසති.

මේ අනුව, නව බදු පිලිවෙත ඇතුලු ප්‍රහාරයන් පරාජය කිරීම වනාහි, ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයට එරෙහි සටනක් බව ඉතා පැහැදිලිය. එය සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනකි. එය කල හැක්කේ ධනපති ප්‍රහාර වලින් බැටකන සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන් සහ අනෙකුත් පීඩිතයන් ඒකාබද්ධ කරගත් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුලින් පමනි.

ධනපති ක්‍රමයට බැඳීගත් වෘත්තීය සමිති එවන් සටනකට ඉඳුරාම එරෙහි ය. ඒ වෙනුවට ධනපති ආන්ඩු සමග කරන සාකච්ඡා මඟින් තම ප්‍රශ්න විසඳාගත හැකිවෙතැයි යන ප්‍රලාපය ඔවුහු කම්කරුවන් අතර වපුරති. බදු පිලිවෙතට එරෙහිව වෛද්‍යවරුන් 15,000ක් අත්සන් කල ලිපියක් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය (රවෛනිස) විසින් ජනාධිපති වික්‍රමසිංහට භාර දුන්නේ මෙම මිත්‍යාව තුල වෛද්‍යවරුන් සිරකොට ඔවුනගේ සටන දියකර හැරීමේ අරමුනෙනි.

මෙම අතිශයින්ම සීමිත විරෝධතාවයන්ට පවා වෛද්‍ය නිලධාරීන්ගේ පුලුල් සහය ලැබීම තුලින් ප්‍රකාශයට පත්ව ඇත්තේ තම සමාජ කොන්දේසි වලට එල්ල කර ඇති රුදුරු ප්‍රහාරයට එරෙහිව සටන් වැදීමට වෛද්‍යවරුන්ට පවතින වුවමනාවයි.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව සියලු සටන්කාමී වෛද්‍යවරුන්හට කියා සිටින්නේ, රවෛනිස ඇතුලු සමිති විසින් වපුරන ශ්‍රේනිවාදී භේද ප්‍රතික්ෂේප කරමින්, තම සටන, හෙදියන්, පරිපූරක සේවකයින්, සෞඛ්‍ය කාර්ය සහායක වැනි සියලු සෞඛ්‍ය සේවකයින්ගේ මෙන්ම ධනපති ආන්ඩුව ක්‍රියාවට දමන ජාමූඅ හි කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිව සටනට පිවිසෙමින් සිටින විදුලි සංදේශ, රක්ෂන, ඛනිජ තෙල්, විදුලි බල ආදී සියලු ක්ෂේත්‍රවල කම්කරු සටන් සමඟ ඒ්කාබද්ධ කරමින් මෙහෙයවිය යුතු බවයි.

මෙම ඒකාබද්ධ සටන ඉදිරියට ගෙන යා හැක්කේ, සියලු ධනපති පක්ෂවලින්, ඒවායේ වෘත්තීය සමිති ආවතේවකරුවන්ගෙන් සහ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන ව්‍යාජ-වාම පක්ෂ වලින් ස්වාධීන ව, කම්කරුවන් විසින් ගොඩනගාගනු ලබන ක්‍රියාකාරී කමිටු මගිනි. සෑම රෝහලකම, වැඩපොලකම, නිවස්නා ප්‍රදේශයකම එවන් ක්‍රියාකාරි කම්ටු ගොඩ නැගීමට පෙරට එන ලෙස අපි සෞඛ්‍ය කම්කරුවන්ගෙන් සහ අවශේෂ කම්කරු සගයන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා එම කමිටු ඒකාබද්ධව සටන් වැදිය යුතු අතර, මේ වනවිට ලොවපුරා වේගයෙන් වර්ධනය වෙමින් පවත්නා පන්ති සටන් ජාත්‍යන්තරව ඒ්කාබද්ධ කෙරෙන ජාත්‍යන්න්තර කම්කරු සන්ධානයක් ගොඩ නගා ගැනීම මඟින් අපේ සටන ශක්තිමත් කර ගත යුතුය.

කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒමේ සටනේ කොටසක් ලෙස, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයන්ට මෙන්ම අනෙකුත් සියලු සේවකයන්ට ශිෂ්ඨසම්පන්න ලෙස ජීවත්වීමට සරිලන වැටුපක් ලබා ගැනීම සඳහා පහත ඉල්ලීම් යටතේ අපි එක්ව සටන් වදිමු.

  • සෞඛ්‍ය සේවය ඇතුලු රාජ්‍ය සේවයේ අවම මාසික වැටුප රුපියල් 75,000 ක් කරනු!
  • ඉහල යන ජීවන වියදමේ අනුක්‍රමනයට අනුව වැටුප් ඉහල දමනු!
  • වැටුප් මත බදු පටවා වැටුප් කැපීම වහා නතර කරනු!

අප සමඟ සම්බන්ධ වීමට ඇමතුමකින් හෝ කෙටි පනිවිඩයකින් අපව අමතන්න:

ජංගම දුරකතනය: 0773562327

ඊ මේල් ලිපිනය: healthworkers-sl@wsws.org

Loading