ජාමූඅ නියමයෙන් පනවා ඇති බදු වැඩිකිරීම්වලට එරෙහිව ලංකාව පුරා විරෝධතා පැන නගී

[මෙය Protests erupt across Sri Lanka against IMF-dictated tax hikes මැයෙන් 2023 ජනවාරි 28 දින පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග  අනුව වික්‍රමසිංහ ආන්ඩුව විසින් වැඩි කරන ලද බදු, දීමනා කප්පාදුව  , ඉහල බැංකු නය පොලී අනුපාත සහ අනෙකුත් සමාජ ප්‍රහාර වලට එරෙහිව දස දහස් ගනන් ලංකාවේ  කම්කරුවෝ මෑත සතිවල  වැඩවර්ජන හා විරෝධතා දැක්වීම්වල නිරත වූහ.

බදු වැඩි කිරීමට එරෙහිව වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයෝ 2023 ජනවාරි 20 වැනි දින මහනුවර රෝහලෙන් පිටත උද්ඝෝෂන කරති.

* ජනවාරි 20 දා, දහස් ගනන් ලාංකික වෘත්තිකයෝ--වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, බදු නිලධාරීන්, විශ්ව විද්‍යාල ගුරුවරුන් සහ බැංකු සේවකයින්—මේ මාසයේ සිට ක්‍රියාත්මක වූ නව බදු ප්‍රතිපත්තිවලට එරෙහි ව කොලඹ කොටුවේ මුදල් අමාත්‍යාංශ කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ. එදින දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක ද වෛද්‍යවරුන්ගේ  විරෝධතා පැවැත්වුනි.

*ජනවාරි 23 දා, බදු ඉහල දැමීම් ඉවත්කර ගන්නා ලෙස සහ ඉහල යන ජීවන වියදමට සහන දෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයින් 5,000 ක් පමන කොලඹ වරායේ ප්‍රධාන පිවිසුම ඉදිරියේ විරෝධතාවයක නිරත විය.

* දින දෙකකට පසු, සියලු ශ්‍රේනිවල මහ බැංකු සේවකයින් කලු ඇඳුම් ඇඳ ගෙන, ගොඩනැගිල්ල ඉදිරිපිට කලු කොඩි ඔසවමින් බැංකු පරිශ්‍රයෙන් පිටත රැස්වූහ. එදින ම, පෞද්ගලික සහ රාජ්‍ය බැංකු සේවකයෝ සිය ගනන්  දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙවැනි විරෝධතාවලට සම්බන්ධ වූහ.

* ඊයේ (27 දින), ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයෝ කොලොන්නාව තෙල් බෙදා හැරීමේ මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

නව ආදායම් බදු ප්‍රතිපත්තිය අතිකාල ඉපැයීම්වලට සෘජු ව ම බලපාන අතර, ඉන් සේවකයන්ගේ ශුද්ධ වැටුප (කපාගැනීම් අඩු කල පසු ඉතිරි වන වැටුප) විශාල ලෙස අඩු කෙරෙයි. එක් කොලඹ වරාය සේවකයෙක් සඳහන් කලේ, ඔවුන් ඉහල ජීවන වියදමට සහ නව බදු අනුපාත වල පීඩනයට මුහුන දීම සඳහා කොඳු කැඩෙන තරම් අතිකාල වැඩ කරමින් සිටින බවයි.

ඉහල බදු මසකට රුපියල් 100,000 ට වඩා උපයන සියල්ලන්ට අදාල වන අතර, ඔවුන්ගේ වැටුප අනුව සියයට 36 දක්වා බදු අඩු කෙරේ. පසුගිය මාසයේ සියයට 59 දක්වා ඉහල ගිය අධි උද්ධමනය මධ්‍යයේ, මෙම බදු දරාගත නොහැකි ය. 

ඕනෑ ම මොහොතක මර්දනය දියත් කිරීමට සූදානම්ව සිටින ආන්ඩුව, විරෝධතාවලට එරෙහි ව දැඩි ලෙස සන්නද්ධ කෙරුනු  පොලිස් භටයන් යොදවා තිබුනේ ජල ප්‍රහාරක රථ ද සූදානමේ තබමිනි. ජනවාරි 20 දා, දැවැන්ත පොලිස් භට පිරිසක්, කොලඹ කොටුවේ මුදල් අමාත්‍යාංශ කාර්යාලයට පැමිනෙමින් සිටි වෘත්තිකයන්ගේ පෙලපාලිය හරස් කලහ. අසල පිහිටි ගාලු මුවදොර පිටියට පැමිනීමට උත්සාහ කල විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ බස් රථයක් පොලිසිය බලහත්කාරයෙන් හරවා යැවීය. පසුගිය වසරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහ කල කම්කරුවන් සහ දුප්පතුන් මිලියන ගනනකගේ  නැගිටීමේ දී ප්‍රධාන විරෝධතා ස්ථානය මෙය විය.

2023 ජනවාරි 26 වැනි දින, රජයේ බදු වැඩි කිරීමට විරෝධතාවය පල කරන ශ්‍රී ලංකා මහ බැංකු සේවකයෝ [Photo by CBSL employee]

පසුගිය දින ගනනාවේ අරගල පැන නැගුනේ , පෞද්ගලීකරනයට සහ රැකියා කප්පාදුවලට විරුද්ධ වෙමින් සහ අත්‍යවශ්‍ය  භාන්ඩවල මිල වැඩිවීම්වලට මුහුන දීම සඳහා ඉහල වැටුප් ඉල්ලා සිටින විවිධ රාජ්‍ය  අංශයේ කම්කරුවන් දෙසැම්බර් මාසයේ සිට ආරම්භ කරන ලද විරෝධතා මාලාවකින් පසු ව ය. දෙසැම්බර් 11 වැනිදා තැපැල් සේවකයන් 27,000 කට අධික පිරිසක් එක්දින ජාතික වැඩවර්ජනයක් දියත් කල අතර, දෙසැම්බර් 13 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (එෆ්යූටීඒ) සාමාජිකයන්ගේ එක්දින ජාතික වැඩවර්ජනයක් සහ විරෝධතා පා ගමනක් ද ජනවාරි 9 වනදා රාජ්‍ය අංශයේ සෞඛ්‍ය  සේවකයින්ගේ එක්දින ජාතික වැඩ වර්ජනයක් ද මේ අරගල අතර විය.

සඳුදා (23) සිට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිසං), ලංකා විදුලිබල මන්ඩල ඉංජිනේරු සංගමය, එෆ්යූටීඒ, සහ ලංකා බැංකු සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති 15 කින් සමන්විත වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව “කලු සතිය” නමින් විරෝධතාවක් ආරම්භ කලේ ය. එම සමිති සිය සාමාජිකයින්ට කලු ඇඳුම් සහ අත් පටි පැලඳීමට කැඳවුම් කලේ ය. බදු ප්‍රතිපත්ති වෙනස් නොකලහොත් ඊලඟ සතිය තුල ඉදිරි ක්‍රිියාමාර්ග ආරම්භ කරන බවට වෘත්තීය සමිති නිලධාරීන් ආන්ඩුවට අනතුරු අඟවා තිබේ.

වෘත්තීය සමිති මෙම සීමිත සහ විසිරුනු විරෝධතා සංවිධානය කර ඇත්තේ තම සාමාජිකයින්ගේ නැගෙන කෝපය පාලනය කිරීම සහ අපසරනය කිරීම සඳහා ය. නව ආදායම් බදු අනුපාතය ඉවත් කර ගන්නා ලෙස ආන්ඩුවට බලපෑම් කල හැකි බව ඔවුහු ව්‍යාජ ලෙස ප්‍රකාශ දෙති.

“සාධාරන බදු” ක්‍රමයක් සඳහා ආයාචනා කරමින්, සාමාජිකයින් 15,000 ක් විසින් අත්සන් කරන ලද පෙත්සමක් රවෛනිසං ආන්ඩුවට බාර දී ඇත. එසේ ම, පසුගිය සතියේ පොලිසිය සමඟ ඇති වූ ගැටුමෙන් පසුව එෆ්යූටීඒ ප්‍රකාශකයෙකු මාධ්‍යට පැවසුවේ ඔවුන් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා නොසිටින බවත් අවශ්‍ය වන්නේ “සාධාරන” බදු ප්‍රතිපත්තියක් බවත් ය. අනෙකුත් වෘත්තීය සමිති නිලධරයන් විසින් ද එවැනි ආයාචනා කර ඇත.

2023 ජනවාරි 23 වැනි දින ඉහල ආදායම් බදුවලට විරෝධය පල කරමින් උද්ඝෝෂනය කරන කොලඹ වරාය සේවකයන්ට එරෙහිව පොලිසිය බලමුලු ගැන්වීම. [ඡායාරූපය: WSWS]

පසුගිය සතියේ කොලඹ වරාය කම්කරුවන්ගේ විරෝධතා කැඳවනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පාලනය කරන සමස්ත ලංකා වරාය පොදු කම්කරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වරාය සේවා සංගමය සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පාලනය කරන වරාය ප්‍රගතිශීලී කම්කරු සංගමය විසිනි. ලබන සතියේ තවත් විරෝධතා සංවිධානය කරන බවට ඔවුන් තර්ජනය කර ඇත.

එහෙත්, බදු අනුපාත සහ අනෙකුත් කප්පාදු පියවරවල කිසිදු වෙනසක් සිදු නොකරන බව ජනාධිපති වික්‍රකමසිංහ පැහැදිලි කර ඇත.

වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමෙන් පසු ව ප්‍රවාහන ඇමති බන්දුල ගුනවර්ධන හෙලි කලේ, මාසික වැටුප් මත බදු පැනවීම රුපියල් 45,000 සිට ආරම්භ කිරීමට ජාමූඅට අවශ්‍ය වූ බවයි.  ඔහු පැවසුවේ ආන්ඩුවට එය ඉතා අසීරුවෙන් රුපියල් 100,000 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවයි. ඔහු මාධ්‍යයයට පැවසුවේ ආන්ඩුව ජාමූඅ ඉල්ලීම් සියල්ල ක්‍රියාවට නැංවිය යුතු බවත්, නැතිනම් පොරොන්දු වූ නය “නොලැබෙන” බවත් ය.

මේ සතියේ මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, බදු වැඩි කිරීම් බැංකුවේ විෂය පථයට අයත් නොවන නමුත් ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් “වේදනාකාරී තීරන” අවශ්‍ය බව අවධාරනය කලේ ය.

රුපියල අඛන්ඩ ව අවප්‍රමානය කිරීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය  මත එකතු කල අගය අනුව බදු, ආදායම් බදු ඉහල දැමීම රාජ්‍ය  ව්‍යවසාය පුද්ගලීකරනය, රාජ්‍ය අංශයේ රැකියා සහ වැටුප් විනාශ කිරීම සහ සමාජ සහනාධාර කප්පාදු කිරීම ද ජාමූඅ ඉල්ලීම්වලට ඇතුලත් ය.

මෙම කුරිරු ප්‍රතිපත්ති, පවුල් සිය දහස් ගනනක් මුහුන දෙන, පවතින සමාජ ව්‍යසනය තීව්‍ර කරයි, බොහෝ දෙනෙක් සාගින්නට හා මන්දපෝෂනයට මුහුන දෙති. එමෙන් ම ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සම්පත් හිඟකම නිසා සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙමින් තිබේ. මෙම සමාජ විනාශකාරී ක්‍රිියාමාර්ගවල අරමුන වන්නේ, භාන්ඩාගාරයේ මුදල් පෙට්ටගම් පිරවීම සහ පැහැර හැර ඇති නය ගෙවන බවට ජාත්‍යන්තර නය හිමියන්ට සහතික වීමයි.

සමගි ජන බලවේගයේ (සජබ) සහ ජවිපෙහි විපක්ෂ මන්ත්‍රීවරු පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ආන්ඩුවේ “අසාධාරන බදු ප්‍රතිපත්තිය” හෙලා දකිමින් අනුපාත අඩු කරන ලෙස ආයාචනා කලහ. මේවා, මහජන කෝපය ගසාකෑමට සහ වැඩකරන ජනතාව පාර්ලිමේන්තු ක්‍රමයට ගැටගසා ගැනීමට කරන වාචාල කතා පමනකි. පක්ෂ දෙකම ජාමූඅ ප්‍රතිපත්තිවලට මුලුමනින්ම කැප වී සිටින අතර ඔවුන් පිහිටුවන ඕනෑ ම ආන්ඩුවක් නිර්දය ලෙස එම පියවර ක්‍රියාත්මක කරනු ඇත.

වික්‍රමසිංහ තන්ත්‍රය මෙන්ම, මෙම “විරුද්ධ” පක්ෂ සහ වෘත්තීය සමිති ද වර්ධනය වෙමින් පවතින අරගලවල නව රැල්ල නිසා භීතියට පත්ව සිටිති. පසුගිය වසරේ රාජපක්ෂ ආන්ඩුව බිඳ දැමූ කම්කරුවන්ගේ සහ දුගීන්ගේ මහජන ව්‍යාපාරය, අන්තර්කාලීන ධනේශ්වර තන්ත්‍රයක් සඳහා වන සජබ සහ ජවිපෙහි ඉල්ලීම් තොරොම්බල් කල වෘත්තීය සමිති විසින් පාවා දෙන ලදී.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගන්නා සහ තමන් විසින් පාලනය කරනු ලබන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මගින් කප්පාදුවට එරෙහි සටන සියතට ගන්නා ලෙස කම්කරුවන් ගෙන් ඉල්ලා සිටී. මෙම කමිටු වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීන ව ගොඩනැගිය යුතු ය. අපි පහත ඉල්ලීම් ඉදිරිපත් කරමු:

  • ජාමූඅ කප්පාදු ප්‍රතිපත්ති එපා! රැකියා සහ වැටුප් කප්පාදු එපා!
  • සියල්ලන්ට ම ජීවන වියදමට අනුකූල යහපත් වැටුපක්! සම්පූර්න විශ්‍රාම වැටුප් අයිතිය!
  • අවශ්‍ය සියලු ම දෙනාට සහනාධාර!

මෙම දේශපාලන අරගලය, ජීවිතයට අත්‍යවශ්‍ය දෑ නිෂ්පාදනය හා බෙදා හැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී  පාලනයට නතු කරන සමාජවාදී වැඩපිලිවෙලකින් සවිබල ගැන්විය  යුතුය. ඒ සඳහා බැංකු, විශාල සමාගම් සහ වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කල යුතු ය. සියලු ම විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරනු!

මෙම ඉදිරිදර්ශනය වෙනුවෙන් දේශපාලන අරගලයක් දියත් කිරීම සඳහා සසප,ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රනවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවුම් කරයි. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටු වීමට මග සකසනු ඇත. 

අප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සසපට බැඳෙමින් මෙම වැඩපිලිවෙල සඳහා සටන් කරන ලෙසයි.

Loading