බදු වැඩි කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වරාය සේවකයින් දහස් ගනනක් විරෝධතාවයේ යෙදෙති

[මෙය Thousands of Sri Lankan port workers protest against tax increases මැයෙන් 2023 පෙබරවාරි 2දා ඉංග්‍රීසියෙන් පල කෙරුනු වාර්තාවේ පරිවර්තනයයි.]

ආන්ඩුවේ ආදායම් බදු ඉහල දැමීම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටීමටත්, ඉහල යන උද්ධමනයට විරෝධය දැක්වීමටත් වරාය සේවකයෝ 6,000 කට වැඩි පිරිසක් සඳුදා දින කොලඹ වරායේ ප්‍රධාන දොරටුවෙන් පිටත පැයක දිවා ආහාර විවේකයේදී උද්ඝෝෂනය කලහ.

2023 ජනවාරි 30 වැනි දින කොලඹ වරාය සේවකයෝ රජයේ ආදායම් බදු වැඩි කිරීමට එරෙහිව දිවා ආහාර වේල තුල විරෝධතාවයට එක්වීමට [වැඩබිමෙන්] එලියට එන අයුරු. [ඡායාරූපය: ලෝසවෙඅ]

රජයට අයත් වරාය පර්යන්තවල කම්කරුවන් මෙන්ම පුද්ගලික අංශයට අයත් කලම්බු ඩොක්යාර්ඩ් සමාගමේ සේවකයින් 1,500ක් විරෝධතාවයට සම්බන්ධ වූහ. එය පසුගිය සති දෙක තුල වරාය සේවකයින් විසින් මෙම ගැටලු මුල් කරගනිමින් පවත්වන ලද දෙවන විරෝධතාවය විය.

ජනවාරි 20 දා සිට ශ්‍රී ලංකාව පුරා ආදායම් බදු අනුපාතවලට එරෙහිව වැඩ වර්ජන සහ විරෝධතා මාලාවක් පැන නැඟී ඇති අතර, ඒවාට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, බැංකු සේවකයින් සහ ඛනිජ තෙල් සේවකයින් ද ඇතුලුව කම්කරුවන් දස දහස් ගනනක් සම්බන්ධ වී ඇත.

නව බදු අනුපාත වනාහි නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 2023 කප්පාදු අයවැයේ කොටසකි. රාජ්‍ය අංශයේ රැකියා දහස් ගනනක් විනාශ කිරීම, රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම, සහනාධාර කප්පාදුව සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා අයවැය මගින් ආන්ඩුවේ වියදම් තියුනු ලෙස කප්පාදු කෙරේ. මෙම පියවරයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඩොලර් බිලියන 2.9 ක ඇපදීමේ නයක් සඳහා වූ විධානවලට අනුකූල ව සිදුකෙරේ.

කම්කරුවන් මෙම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට ඔවුන්ගේ අධිෂ්ඨානය පෙන්නුම් කර ඇති නමුත් වෘත්තීය සමිති හිතාමතාම, ආදායම් බද්දට මෙම විරෝධතා සීමා කර ඇත්තේ ආන්ඩුවේ සියලු කප්පාදු පියවරයන්ට එරෙහිව රටපුරා ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමේ බලාපොරොත්තුවෙනි.

දැනට පවතින කොවිඩ්-19 වසංගතය, අධි උද්ධමනය - දැන් සියයට 50 ක් ඉක්මවා ඇත - පුලුල්ව පැතිරී ඇති සාගින්න සහ මන්දපෝෂනය, රැකියා අහිමිවීම්, මහජන සෞඛ්‍ය සේවය ඛාදනය වීම සහ තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම මගින් ඔවුන්ගේ ජීවිතවලට අත්කරදී ඇති විනාශය මගින් කම්කරු පන්තිය ක්‍රියාවන්ට තල්ලු කරනු ලැබේ.

කොලඹ ආන්ඩුවේ මර්දනකාරී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ද මහජන වෛරය වැඩි වෙමින් පවතී. සිසුන් රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කිරීමත්, විරෝධතාවන්හි නිරත වන කම්කරුවන් සහ සිසුන් ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සඳහා දැඩි ලෙස සන්නද්ධ පොලිසිය විශාල වශයෙන් යෙදවීමත් මෙයට ඇතුලත් වේ.

ජාත්‍යන්තරව කම්කරු පන්ති අරගල නැගීමක කොටසක් වන ශ්‍රී ලංකාව පුරා නව විරෝධතා සහ වැඩ වර්ජන රැල්ල, වික්‍රමසිංහ තන්ත‍්‍රය මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු පක්ෂ හා වෘත්තීය සමිති ද භීතියට පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නිලධරය මෙම වර්ධනයන්ට ප්‍රතිචාර දක්වා ඇත්තේ, තව තවත් විරෝධතා මගින් ආන්ඩුවට තම ආදායම් බදු ඉහල දැමීම ඉවත් කර ගැනීමට බල කෙරෙනු ඇති බව අවධාරනය කිරීමෙනි.

ඒ සමගම, විපක්ෂයේ සමගි ජන බලවේගයට (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) කම්කරුවන් යටත් කිරීමට වෘත්තීය සමිති උත්සාහ කරයි. තම නායකත්වය යටතේ ගොඩ නැගෙන නව ආන්ඩුවක් තුල මහජනතාව මුහුන දෙන මංමුලා සහගත සමාජ අර්බුදය විසඳන බවට මෙම ධනේශ්වර පක්ෂ ව්‍යාජ ලෙස ප්‍රකාශ කරති.

සඳුදා විරෝධතාවයේදී වරාය වෘත්තීය සමිති නායකයෝ නැවතත් මෙම මිත්‍යාවන් ප්‍රවර්ධනය කලහ.

ජවිපෙට අනුබද්ධිත සමස්ත ලංකා පොදු වරාය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන ප්‍රකාශ කලේ ආන්ඩුව “ඉදිරි සති දෙක ඇතුලත” බදු වැඩි කිරීම සංශෝධනය නොකලහොත් “රනිල්ට [වික්‍රමසිංහ] ගෙදර යා හැකි” බවයි.

වරාය වෘත්තීය සමිති, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මන්ඩල සේවකයින් සමඟ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔහු පැවසීය. පසුගිය සතියේ ගොරකාන වරාය කම්කරුවන්ට පැවසුවේ නව ශ්‍රී ලංකා ආන්ඩුවකට - එනම් ජවිපෙ පාලනය යටතේ - මාවත විවර කරමින් වික්‍රමසිංහ පාලනය ඉල්ලා අස්විය යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) අනුබද්ධිත ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නායක ප්‍රසන්න කලුතරගේ විරෝධතාකරුවන්ට පැවසුවේ ආන්ඩුව මහා ව්‍යාපාරිකයන්ට දුන් මුදල් ආපසු ගන්නේ නම් “අපි බදු ගෙවීමට සූදානම්” බවයි.

“අපි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් තෝරමු, මැතිවරනයක් පවත්වමු, එතකොට අපි බලමු බදු ගෙවන්න පුලුවන්ද කියලා” යැයි සජබ ට අනුබද්ධිත වරාය වෘත්තීය සමිතියක නායක උදේනි කලුතන්ත්‍රී රැස්ව සිටි පිරිසට කීවේය.

ජනවාරි 30 වැනි දින කොලඹ වරායේ ප්‍රධාන දොරටුවෙන් පිටත දහස් ගනන් වරාය කම්කරුවෝ පෙල ගැසෙති. ඔවුන් නව ආදායම් බදු අනුපාත ඉවත් කර ගන්නා ලෙස වික්‍රමසිංහ ආන්ඩුවට බල කරමින් සිටියහ. [ඡායාරූපය: ලෝසවෙඅ]

වික්‍රමසිංහ රෙජීමය ආදායම් බදු වැඩිකිරීම සිදු කරන්නේ ජාමූඅලේ විධානයන් මත බවත්, අනාගත සජබ හෝ ජවිපෙ ආන්ඩුවක් යටතේද එම විධානයන් ක්‍රියාවට නංවනු ඇති බවත් මෙම වාචාල ප්‍රකාශ මගින් වසන් කෙරෙයි.

මෙම පක්ෂ සියල්ල ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට කැපවී සිටින අතර වික‍්‍රමසිංහ ආන්ඩුව සමග ඔවුන්ට ඇති කවර හෝ මතභේදයක් උපායික වේ. ඔවුන්ගේ ප්‍රධාන උත්සුකය වන්නේ ශ්‍රී ලංකාවේ ධනේශ්වර ප්‍රභූවට මාරාන්තික තර්ජනයක් වන කම්කරු පන්ති විරෝධය මැඩලීමට වත්මන් වික්‍රමසිංහ පාලනයට නොහැකිවේද යන්නයි.

ජාමූඅ හි විධාන ක්‍රියාත්මක කිරීමට තමන් අධිෂ්ඨාන කරගෙන සිටින බව ජනාධිපති වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව නැවත නැවතත් අවධාරනය කර ඇත. පසුගියදා පැවති බෞද්ධ භික්ෂූ රැස්වීමක් අමතමින් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ තම 2023 අයවැය වෙනස් නොවන බවයි.

වැඩි කල ආදායම් බදු සහ ඒ හා සමාන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකලේ නම්, “විදේශීය රටවල් අපට සහාය නොදක්වයි. ඔවුන් සමඟ තර්ක කිරීම ඉතා අපහසුය. වසර තුනක කාලය තුල රාජ්‍ය ආදායම සියයට 75කින් ඉහල නැංවිය යුතුයි,” ඔහු පැවසීය.

මෙලෙස රාජ්‍ය ආදායම දැවැන්ත පරිමානයෙන් වැඩි කරගනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ ධනේශ්වර ප්‍රභූව විසින් ගොඩගසා ගන්නා ලද සුවිසල් නය වෙනුවෙන් විදේශ ආයෝජකයන්ට සහ බැංකුවලට ආපසු ගෙවීම සඳහා බව වික්‍රමසිංහ පැහැදිලි කලේ නැත.

රාජ්‍ය අංශයේ රැකියා දස දහස් ගනනක් කප්පාදු කිරීමේ ආන්ඩුවේ අධිෂ්ඨානය සංඥා කරමින්, කැබිනට් ඇමති බන්දුල ගුනවර්ධන අඟහරුවාදා මාධ්‍ය වෙත පැවසුවේ, 'ස්වයං විශ‍්‍රාම යාන්ත‍්‍රනයක්' ක‍්‍රියාවට නංවමින් ආන්ඩුව සියලුම රාජ්‍ය ආයතනවල රැකියා කප්පාදුව වේගවත් කරන බවයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින් සඳුදා වරාය කම්කරු විරෝධතාවට මැදිහත් වූයේ, අත්පත්‍රිකා සිය ගනනක් බෙදා හරිමින් සහ මෙම ආන්ඩුවේ ප්‍රහාරවල මූලයන් පැහැදිලි කරමිනි.

වෘත්තීය සමිති විසින්, මෙම ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව ඒකාබද්ධ කාර්මික හා දේශපාලන අරගලයක් වර්ධනය කිරීමෙන් කම්කරුවන් වලක්වනු ලබන්නේ කෙසේද සහ ඇයිද යන්නත්, වෘත්තීය සමිති වලින් ස්වාධීනව ක‍්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවයත් සසප සාමාජිකයෝ පැහැදිලි කලහ.

සසප සටන් කරන්නේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත්වලට කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරනුවස්, ගම්බද දුගීන් පෙලගස්වා ගනිමින්, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමක් සඳහා ය. මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා සසප සෑම වැඩපොලකම, වතුකරයකම සහ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයකම ගොඩනගන ක්‍රියාකාරී කමිටු වලින් තේරී පත් වූ නියෝජිතයින් මත පදනම්ව කම්කරු හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවුම් කර ඇත.

මෙම ඉදිරිදර්ශනයට සතුරු, සමහර කෝපයට පත් වෘත්තීය සමිති නිලධරය, සසප සාමාජිකයින් වරාය කම්කරුවන්ට කතා කිරීම නැවැත්වීමට උත්සාහ කලහ. කෙසේ වෙතත් කම්කරුවෝ නිලධරයන්ගේ වාරනය ප්‍රතික්ෂේප කරමින් සසප උද්ඝෝෂකයින්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කලහ.

නාවික අංශයේ වසර 20කට වැඩි පලපුරුද්දක් ඇති වරාය අධිකාරියේ සේවකයෙක් සසප උද්ඝෝෂකයන්ට මෙසේ පැවසීය: “ආන්ඩුව ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ සතියේ මුලික වැටුපෙන් සහ අනෙකුත් දීමනා වලින් රුපියල් 4,000ක් [ඇමරිකානු ඩොලර්10] කැපුනා. ලබන මාසේ මේක තවත් වැඩි වෙයි.”

එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වීමට බලකෙරුනු පසුගිය වසරේ මහජන විරෝධතා සහ වැඩවර්ජන ගැන ඔහු සඳහන් කලේ “කම්කරුවන්ට අව්‍යාජ නායකත්වයක් ලබා දුන්නේ නම් කම්කරු පන්තියේ ආන්ඩුවක් ඇති වෙන්න තිබුනා,“ යනුවෙනි.

“මම හිතන්නේ වෘත්තීය සමිති මේ ආකාරයෙන් අරගලය වැලැක්වීමට කටයුතු කලේ ඔවුන් දැනටමත් පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ නියෝජනය කරන නිසායි. ඇත්ත කතාවනම් ඒගොල්ල [වෘත්තීය සමිති] [අපගේ අරගලවලට] සැබෑ බාධක වෙලා ඉන්නෙ,“

නව ආදායම් බදු අනුපාත තම වැටුපෙන් රුපියල් 86,000ක් (ඩොලර් 235ක්) කපා හරින ලද බව ඩොක්යාඩ් සමාගමේ තරුන නිර්මාන කෙටුම්පත්කරුවෙක් [ඩ්‍රාෆ්ට්මන්] පැහැදිලි කලේය. “ජනතාවගේ අවශ්‍යතා සැපයීමේදී වික්‍රමසිංහ අසමත් වෙලා තියෙනවා,” නමුත් නව පාර්ලිමේන්තුවක “අවංක මිනිසුන්” නව කන්ඩායමක් සමාජ අර්බුදය විසඳනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය.

පුද්ගලික අංශය සතු කොලඹ ඩොක්යාඩ් සමාගමේ සේවකයෙක් මෙසේ පැවසුවේය: 'අපගේ සමාගමේ සියලුම සේවකයින්ගේ වැටුප් මෙම ආදායම් බදු වැඩිකිරීම් නිසා කැපෙනවා' යනුවෙනි. ආන්ඩුවට එරෙහි අප්‍රේල්-ජූලි මහජන විරෝධතා ගැනද ඔහු සඳහන් කලේ, “ජනතාව ඉස්සරහට ආවත් නායකයෝ බයයි. වෘත්තීය සමිති නායකයෝ දේශපාලකයන් එක්ක ඩීල් දාලා [ගනුදෙනු ඇති කරගෙන] තියෙනවා,”

Loading