ඉදිරිදර්ශන

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 25වැනි සංවත්සරය ගැන

(මෙය On the 25th anniversary of the World Socialist Web Site මැයෙන් 2023 පෙබරවාරි 14දා පල වූ ලිපියේ පරිවර්තනය යි.)

අදින් වසර විසිපහකට පෙර, 1998 පෙබරවාරි 14දා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකිරීම ආරම්භ කලේ ය. එහි පලමු වසර තුල, සතියකට දින පහක් ලෝසවෙඅ පලකරන ලදී. 1999 මාර්තුවේ දී, ලෝසවෙඅ එහි සතියක පලකිරීම්වලට හයවැනි දිනයක් එක් කරගත්තේ ය. එය ආරම්භ කල දිනයේ පටන්, නියමිත පලකිරීම්වලින් එක් දිනක් හෝ මගහැරී නැත. ඉංග්‍රීසි භාෂාව පමනක් ගත් විට, වෙබ් අඩවිය මත පලකරන ලද ලිපි සංඛ්‍යාව ආසන්න වසයෙන් 100,000ක් වේ. එහෙත් ලෝසවෙඅ භාෂා 29කින් පලකරනු ලැබේ. යමෙක් මේ සියලු භාෂාවන්ගෙන් පලකරන ලද ලිපි සියල්ල සලකා බලන්නේ නම්, පලකරන ලද සමස්ත ලිපි සංඛ්‍යාවට තවත් දසදහස් ගනනක් එකතු කල යුතු වනු ඇත.

නිසැකව ම, ලෝසවෙඅ යනු, ලෝකයේ පවතින අන්තර්ජාලය මත පදනම් ව පලකෙරෙන, වැඩියෙන් ම කියවනු ලබන මාක්ස්වාදී-සමාජවාදී ප්‍රකාශනය යි. ගූගල් හා අනෙකුත් ප්‍රධාන සෙවුම් යන්ත්‍ර විසින් ලෝසවෙඅ වෙත පිවිසීම් වැලැක්වීම සඳහා දරන අනවරත හා තහවුරු වී ඇති ප්‍රයත්නයන් නො තකා, ලෝසවෙඅ සෑම දිනක් පාසා ම, ආසන්න වසයෙන් දෛනික පාඨක පිවිසීම් 70,000ක් වාර්තා කරයි. 2022 දී බලන ලද සමස්ත ලෝසවෙඅ පිටු සංඛ්‍යාව 25,995, 248කි. මේ වසරේ පලමු මාසය තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිටු පිවිසීම් 1,882, 673ක් වාර්තා කලේ ය.

ලෝසවෙඅහි ශ්‍රාවකය ජාත්‍යන්තර වේ. එහි පාඨකයන්ගෙන් ආසන්න වසයෙන් සියයට 40ක් එක්සත් ජනපදයෙන් පිටත ජීවත් වෙති. එහි පාඨකත්වය, සියලු වැඩිහිටි වයස් කන්ඩායම් අතර මනාව පැතිර ඇත. ලෝසවෙඅ පාඨකයන්ගෙන් සියයට 17.36ක් වයස 18 හා 24 අතර පසුවෙති. එනම්, ඔවුන් ඉපදී ඇත්තේ, ලෝසවෙඅ ආරම්භයෙන් පසුව ය. සියයට 26.66ක් 25 සිට 34 දක්වා වයස් කාන්ඩයට අයත් වෙති. මෙම මෙම වයස් කාන්ඩ විකාසය තුල සිටින අයට, ඔවුන්ගේ සමස්ත වැඩිහිටි ජීවිතය පුරා ලෝසවෙඅ වෙත පිවිසීමට හැකියාව ලැබී ඇත. සියයට 17.91ක් අයත් වන්නේ 35 සිට 44 දක්වා වයස් කාන්ඩයට ය. සියයට 14.74ක් 45 සිට 54 දක්වා වයස්වල පසුවෙති. සියයට 12.97ක් 55 සිට 64 දක්වා කාන්ඩයට අයත් වෙති. අවසානයේ, ලෝසවෙඅ පාඨකයන්ගෙන් සියයට 10.36ක වයස අවුරුදු 65ට වඩා වැඩි ය.

වෙබ් අඩවිය මත පල කිරීම්වල සම්පූර්න පරිමාව සහ එහි ශ්‍රාවකයේ සාර්වර්ත්‍රභාවය, අත්‍යසාමාන්‍ය ජයග්‍රහනයකි. එහෙත් අද දින අප සමරන්නේ, ප්‍රමානාත්මකව ගනු ලැබිය හැකි දේවලට වඩා එහා ගිය, ලෝසවෙඅහි මූලිකාංගයන් ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයෙහි ඉතිහාසය තුල අතිශයින්ම අර්ථභාරී ප්‍රකාශනයක තැන ගනී. එය පලකිරීමේ ශතවර්ෂ කාල වනාහි, විසිවැනි ශතවර්ෂයේ අවසන් අවුරුදුවල සහ විසි එක්වැනි ශතවර්ෂයෙහි ආරම්භක දශකයන් තුල ප්‍රධාන දේශපාලනික, සමාජ-ආර්ථික, සංස්කෘතික හා බුද්ධිමය සිද්ධීන්ට ජාත්‍යන්තර මාක්ස්වාදී-සමාජවාදී-ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දක්වන ලද ප්‍රතිචාරයන්හි වාර්තාවට නො අඩු දෙයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කරන විට පලකරන ලද ප්‍රකාශයක් තුල, එහි කර්තෘ මන්ඩලය අතිශය නවීන සන්නිවේදන මාධ්‍යයක් හරහා පෙනී සිටින නව ප්‍රකාශනයේ මූලධර්ම හා අභිප්‍රායය අර්ථකථනය කලේ ය. එය මෙසේ විස්තර කලේ ය:

'මූල්‍යමය අර්බුදයන්ගේ සිට මිලිටරිවාදය හා යුද්ධය පුපුරා යාම දක්වා වන මහා සිද්ධීන්, පන්ති සම්බන්ධතාවල වර්තමාන තත්වය බිඳ දමද්දී, අරගලය තුලට තල්ලු කෙරෙන්නාවූ වැඩකරන ජනතාවගේ පුලුල් වන සාමාජිකත්වයට ලෝසවෙඅ දේශපාලනික දිශාවනතියක් සම්පාදනය කරනු ඇත. විරැකියාවට, පහත් වැටුප් මට්ටම් වලට, කප්පාදු පිලිවෙත්වලට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කිරීම්වලට එරෙහි ව සෑම රටක් තුල ම යෝධ සටන් පැන නගිනු ඇතැයි අපි පූර්වාපේක්ෂා කරමු. එහෙත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධාරනය කරන්නේ, මෙම අරගලවල සාර්ථකත්වය, මාක්ස්වාදී ලෝක දෘෂ්ටියක් විසින් මග පෙන්වනු ලබන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක වර්ධනය සමග අවියෝජනීය ලෙස බැඳී ඇති බව යි.

'මෙනයින්, ඓතිහාසික ඥානයේ, සංස්කෘතික විවේචනයේ, විද්‍යාත්මක බුද්ධි ප්‍රබෝධයේ හා විප්ලවවාදී මූලෝපායේ විශ්වකෝෂීය ගැඹුරක් අත්කර දීමට ලෝසවෙඅ පරිශ්‍රමය දරනු ඇත. නවීන සමාජවාදී කම්කරු ව්‍යාපාරයක පුනරුත්පත්තිය සඳහා අත්‍යවශ්‍ය වන දේශපාලනික හා සංස්කෘතික කථිකාවේ මට්ටම ඉහල දැමීම එහි අරමුන යි.'

ලෝක සමාජවාදී වෙබ් අඩවිය එය වසර 25කට පෙර ඉදිරිපත් කල ඉදිරි දර්ශනයට අවංක ව පැවතී ඇත.

ගෙවී ගිය ශතවර්ෂ කාලෙහි සියලු මහා කැලඹීම්, ලෝසවෙඅ විසින් වාර්තා කර, මාක්ස්වාදී විශ්ලේෂනයට භාජනය කෙරී ඇත: එනම්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ම්ලේච්ඡ “සදාකාලික යුද්ධ,” වෝල් වීදියේ ආර්ථික කඩා වැටීම්, ගෝලීය පන්ති අරගලයේ පෙරලීම්, ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම, ෆැසිස්ට්වාදී ව්‍යාපාරවල යලි ඉස්මතු වීම, විප්ලවවාදී නැගිටීම්, ප්‍රති-විප්ලවවාදී ප්‍රචන්ඩත්වය, සමාජීය යටිතල පහසුකම් නො තැකීම සහ ලාභය පසුපස විනාශකාරී හඹා යාම විසින් ජනනය කරන ලද ස්වාභාවික හා පාරිසරික ව්‍යසනයන්, විනාශකාරී වසංගතය යනාදිය යි.

කම්කරු පන්තියෙහි සමාජ කොන්දේසි අධ්‍යයනය කර ඇති ලෝසවෙඅ, වඩාත් ම සංවර්ධිත හා අව සංවර්ධිත යන දෙවර්ගයේ ම ධනපති රටවල් ඇතුලත පවතින සමාජ අසමානතාවේ රුදුරු මට්ටම සහ එහි විනාශකාරී විපාක හෙලිදරවු කර තිබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි ලේඛනාගාරය එහි ආවරනයේ පරිමාවට පමනක් නො ව, එහි අන්තර්ඥානයේ ගැඹුර හා දුරදක්නාසුලු බව පිලිබඳ ව ද සාක්ෂි දරයි. දේශපාලන ඉදිරි දර්ශනයේ විද්‍යාවක් ලෙස මාක්ස්වාදයේ තීරනාත්මක භූමිකාව එහි වැඩකටයුතු මගින් සනාථ කරයි. පසුගිය ශතවර්ෂ කාලෙහි ප්‍රධාන සිද්ධීන්ට ලෝසවෙඅහි ප්‍රතිචාරය කාලයාගේ පරීක්ෂාවට බඳුන් වී සනාථ කෙරී තිබේ.

දෛනික සිද්ධීන් කාලීන විශ්ලේෂනයට භාජනය කර තිබෙන අතර ම, විශේෂයෙන් ම ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය සමග සම්බන්ධ මාක්ස්වාදයේ ප්‍රෝඩාකාරී විකට රූපය සහ පශ්චාත්-නූතනවාදයේ අතාර්කිකත්වය ඇතුලු විශ්ව විද්‍යාල තුල ඉදිරිය දමනු ලබන ධනේශ්වර දෘෂ්ටිවාදයේ බොහෝ රූපාකාරයන්ට එරෙහි ව මාක්ස්වාදය ආරක්ෂා කිරීමටත්, සමාජවාදය සඳහා කම්කරු පන්තිය ගෙන යන අරගලයට එරෙහි මධ්‍යම-පන්තික ව්‍යාජ-වාම විරුද්ධවාදීන්ගේ ප්‍රතිගාමී ස්වයං-තෘප්ත අනන්‍යතා දේශපාලනය තුල ඒවායේ ප්‍රකාශවීම් හෙලිදරවු කිරීමටත් පවතින වගකීම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් පැහැර හැර නැත.

ලෝසවෙඅහි න්‍යායික වැඩකටයුතුවල ද කම්කරුවන්ගේ දේශපාලනික හා සමාජීය පන්ති විඥානය වර්ධනය කිරීමට එහි කැපවීමේ ද අත්‍යවශ්‍ය අංගයක් ලෙස, සංස්කෘතික විවේචනයට එය දී ඇති අවධානය පැවතිනි; චිත්‍රපට හා අනෙකුත් කලාත්මක ආරක නිෂ්පාදන පිලිබඳ විමර්ශන දහස් ගනනක් මෙන් ම, සමාජීය අදහස් දැක්වීමේ අඛන්ඩ ගලායාමක් තුල එම කැපවීම ප්‍රකාශනය අත්පත් කරගෙන ඇත. සංස්කෘතිය පිරිහෙලා පසුගාමීත්වය ප්‍රවර්ධනයෙන් සහ උත්කර්ෂයට නැංවීම මගින්, අපාලිත ප්‍රචන්ඩත්වය, පීඩනය, සූරාකෑම සහ ධනේශ්වර සමාජයේ අසාධාරනත්වය කෙරෙහි කම්කරු පන්තිය දක්වන සංවේදීතාවට වලකැපීම සඳහා, පාලක පන්තිය සහ මාධ්‍යය හා විනෝදාස්වාද කර්මාන්තය තුල සිටින එහි දුෂ්- සහායකයන් දරන අනවරත ප්‍රයත්නයන්ට එරෙහිව සම්මුති විරහිත අරගලයක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් දියත් කර ඇත.

අතීතයෙහි ශ්‍රේෂ්ඨ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී විප්ලව අපකීර්තියට පත් කිරීමට ද, එමගින්, ධනවාදය පෙරලා දමා පීඩනයේ හා සූරාකෑමේ සියලු රූපාකාරවලින් මානවයාගේ විමුක්තිය උදාකරගැනීම දෙසට මානව වර්ගයාගේ ගමනෙහි ඓතිහාසික ගමන් පථය තුල බහා, සිය වර්තමාන අරගල හඳුනාගැනීමේ මාධ්‍යයන් කම්කරු පන්තියට අහිමි කිරීම පිනිස ද පාලක පන්තිය විසින් සිදු කරන ඉතිහාසය මුසාකරනය කිරීමට විරුද්ධ ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය යුද වැදී සිටියි.

ජාත්‍යන්තර කමිටුවෙහි ශාඛාවන් මුද්‍රිත පුවත්පත් පල කිරීමේ සිට අන්තර්ජාලයට සංක්‍රමනය කිරීමේ සූදානම 1997 දී ආරම්භ කරන ලදී. ඒ සමයේ, ලෝක පරිමාන වෙබ් යන්න පැවතුනේ එහි ලදරු අවධියේ ය. නව මාධ්‍යයේ අර්ථභාරය හඳුනාගත් මුද්‍රිත මහා පරිමාන පුවත්පතක් ලෝකය තුල පැවතුනේ නැත. ප්‍රධාන ධනපති මුද්‍රිත පුවත්පත් විශ්වාස කලේ, අන්තර්ජාලය ඔවුන්ගේ මුද්‍රිත ප්‍රකාශනයන්ගේ සුලුපහේ අතිරේකයක් වනු ඇති බව යි. සුලු-ධනේශ්වර රැඩිකල්වාදී හා ව්‍යාජ-වාම සංවිධාන එක්කෝ නව මාධ්‍යය හාස්‍යයට ලක්කලහ, නැතහොත් එය අවධානයට ගත්තේ ම නැත.

එහෙත්, ඓතිහාසික භෞතිකවාදී ගුරුකුලයේ මනාව පදනම් ව සිටි ජාත්‍යන්තර කමිටුව, කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය වර්ධනය කිරීම කෙරෙහි, අන්තර්ජාලය සතු විභවය හා දේශපාලනික ගම්‍යයන් හඳුනාගත්තේ ය. හජාජාක, නව සන්නිවේදන තාක්ෂනයේ තීරනාත්මක ලක්ෂන දෙකක් හඳුනාගත්තේ ය. පලමු ව, අන්තර්ජාලයෙහි වර්ධනය, විප්ලවවාදී සමාජවාදී අදහස් සහ දේශපාලනය සඳහා සුවිශාල නව ශ්‍රාවකයක් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට නිර්මානය කිරීම ද සම්පාදනය කිරීමද සිදු කරනු ඇත. දෙවනු ව, නව තාක්ෂනය ජාතික දේශසීමා හරහා පැතිරී, සන්නිවේදනය ජාත්‍යන්තරකරනය කරනු ඇත. ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල ගෝලීය පරිමානයකින් සම්බන්ධීකරනය කිරීමට හා දිශාගත කිරීමට, එම තාක්ෂනය විසින් අත්‍යසාමාන්‍ය අවස්ථාවන් ස්ථාපිත කිරීමට නියමිත විය. සන්නිවේදනයන්ගේ විප්ලවය, ලෝක සමාජවාදී විප්ලවය වර්ධනය කිරීම සඳහා පෙර නුවූ විරූ භෞතික උත්තේජනයක් සම්පාදනය කරනු ඇති බව හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හඳුනාගත්තේ ය.

1998 පෙබරවාරියේ ලියූ ලෝසවෙඅ ආරම්භක ප්‍රකාශය තුල, එහි කර්තෘ මන්ඩලය මෙසේ ලිවී ය:

'ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජාත්‍යන්තර පරිමාවකින් ලෝක කම්කරු පන්තිය උගන්වා ගැනීමේත් ඒ්කාාබද්ධ කිරීමේත් පෙර නොවූ විරූ අවියක් වනු ඇතැයි අපි විශ්වාස කරමු. අන්තර්ජාතික සංගත, ජාතික දේශසීමා හරහා, ශ්‍රමයට එරෙහිව යුද්ධය සංවිධානය කරන අයුරින්ම, ප්‍රාග්ධනයට එරෙහි විවිධ රටවල අරගල සම්බන්ධීකරනය කිරීමට ලෝසවෙඅ වැඩකරන ජනයාට උදවු කාරක වනු ඇත. සියලු ජාතීන්ගේ කම්කරුවන්ට, ඔවුන්ගේ අත්දැකීම් සැසඳීමට සහ පොදු මූලෝපායක් විදාරනය කරගැනීමට ඉඩ ලබා දෙමින්, ලෝසවෙඅ ඔවුනොවුන් අතර සාකච්ඡාවට පහසුකම් සලසනු ඇත. අන්තර්ජාලය ප්‍රසාරනය වෙද්දී, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලෝක ශ්‍රාවකය වර්ධනය වනු ඇතැයි හජාජාක අපේක්ෂා කරයි. වේගවත්, භූගෝලීය සන්නිවේදන රූපාකාරයක් ලෙස අන්තර්ජාලය සුවිශේෂ ප්‍රජාතන්තුවාදී හා විප්ලවීය ඇඟවුම් දරා සිටී. සුවිසල් ශ්‍රාවකයකට ලෝකයේ පුස්තකාල හා ලේඛනාගාරවල සිට කෞතුකාගාර දක්වා ලෝකයේ බුද්ධිමය සම්පත් කරා ප්‍රවේශ වීමේ හැකියාව ලබා දීමට එයට හැකි ය.

'මේ දක්වා, මාධ්‍ය බහ්වාධිකාරයන් හා ආන්ඩු අන්තර්ජාලය කරා ප්‍රවේශය සීමා කිරීමට සමත් වී නැති අතර, ලිපිලේඛන ප්‍රකාශයට පත්කිරීමේ පිරිවැය ද සාපේක්ෂ ව අඩු මට්ටමක පවතී. සමාජයේ පුලුල් කොටස් අලලා ගන්නා පරිදි නිවාස, පාසල් සහ වැඩපොලවලට පරිගනක බහුලව ගලා යාම හේතුවෙන් කෝටි සංඛ්‍යාත ජනකායත් සමග අඩු වියදමෙන් සන්නිවේදනයේ යෙදීමේ හැකියාව විවර වෙයි.

'දැන් දේශපාලන ජීවිතයට සපැමිනෙන නව පරම්පරාවක්, අන්තර්ජාල මාධ්‍යය හරහා බොහෝ සෙයින් අධ්‍යාපනගත කෙරෙනු ඇත. දැනට මත්, පුද්ගලයින් මිලියන 80-100කට අන්තර්ජාලය වෙත ප්‍රවේශවීමේ පහසුකම් පවතින අතර, මෙම සංඛ්‍යාව ඊලඟ වසර දෙක පුරා වේගයෙන් වර්ධනය වීමට නියමිත ය. නවීන ආර්ථික ජීවිතය සඳහා මෙම තාක්ෂනයෙහි වැදගත්කම සලකන කල, එය වඩ වඩා පුලුල් වනු ඇති බවත්, භාවිතයට පහසු වනු ඇති බවත් අපි පූර්වාපේක්ෂා කරමු.'

කර්තෘ මන්ඩලයේ මෙම පුරෝකථනය ඉක්මනින් ම සනාථ විය. ලෝසවෙඅ දියත් කරන ලද 1998 දී මිලියන 80 සිට 100 දක්වා වූ අන්තර්ජාලය භාවිතා කරන්නන් සංඛ්‍යාව, ක්ෂනික ව බිලියන ගනනක් දක්වා වැඩුනි. අද දින, ලෝසවෙඅ දියත් කිරීමෙන් වසර 25කට පසුව, වාමාංශික යයි කියාපාන අනෙකුත් එක් සංවිධානයක් වත් මෙම තාක්ෂනයට ඒ හා සමාන ආකාරයෙන් ප්‍රතිචාර නො දැක්වූයේ මන්දැයි පාඨකයන් පුදුම විය හැකි ය. ගෝලීය පන්ති අරගලයෙහි වර්ධනය සඳහා අන්තර්ජාලයෙහි විභවය ඔවුන් දැක නො ගත්තේ, ඔවුන් මනාපය දැක් වූ හෝ අපේක්ෂා කල දෙය එය නො වූ බැවිනි.

එහෙත්, ජාත්‍යන්තර කමිටුව මෙම විප්ලවවාදී විභවය පිලිබඳ ව ලේසර් උපකරනයක් මෙන් නාභිගත විය. 1998 පෙබරවාරි ප්‍රකාශයෙන් යලිත් උපුටා දක්වතොත්:

'බුද්ධිමය ජීවිතය මත පල්ලියේ පාලනය බිඳ දැමීමේ දී ද වැඩවසම් ආයතනවලට වලකැපීමේ දී ද පුනරුදය සමගින් ආරම්භ වී අවසානයේ බුද්ධි-ප්‍රබෝධය සහ ප්‍රන්ස විප්ලවය තුල ප්‍රකාශනය සොයාගත් ශ්‍රේෂ්ඨ සංස්කෘතික පිබිදීම පෝෂනය කිරීමේ දී ද පහලොස්වැනි ශතවර්ෂයේ දී ගුටන්බර්ග් විසින් මුද්‍රන යන්ත්‍රය සොයාගැනීම තීරනාත්මක භූමිකාවක් ඉටු කලේ ය. එම නිසා, අද දින, විප්ලවවාදී චින්තනයෙහි පුනර්ජීවනයක් සඳහා, අන්තර්ජාලයට පහසුකම් සැපයිය හැකි ය. කම්කරු පන්තියේ ද ලොව පුරා සියලු පීඩිතයන්ගේ ද විමුක්තිය සඳහා වන උපකරනයක් ලෙස මෙම තාක්ෂනය යොදාගැනීම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අපේක්ෂාව යි.'

'ලෝක සමාජවාදී වෙබ් අඩවිය අද දින ගෝලීය සන්නිවේදනයේ විප්ලවවාදී අභිවර්ධනයන් භාවිතයට ගනී. එහෙත්, ලෝසවෙඅහි බලය, දරා සිටීමේ ශක්තිය හා සාර්ථකත්වය තද්භව වන්නේ, එය උපයෝගී කරගන්නා තාක්ෂනයෙන් නො ව, එය පදනම් වන මාක්ස්වාදී විධික්‍රමය, සමාජවාදී ක්‍රියා මාර්ගය හා ඓතිහාසික ඉදිරි දර්ශනය යනාදියෙනි.'

මේ වසර සලකුනු කරන්නේ, ලෝසවෙඅ ආරම්භ කිරීමේ 25වන සංවත්සරය පමනක් නො වේ. ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ, 1923 ඔක්තෝබරයේ දී වාමාංශික විරුද්ධ පාර්ශවය ආරම්භ කිරීමේ සිට ශතසංවත්සර වර්ෂය වන්නේ ද මෙම වසර යි. එමගින් සලකුනු වූයේ, ලොව පුරා කම්කරු පන්තියේ ගනන් නැති පරාජයන්ට තුඩු දුන්නා වූ ද අවසානයේ 1991 දී සෝවියට් සංගමය බිඳ විසුරුවා ධනවාදය පුනස්ථාපනය කිරීමට තුඩු දුන්නා වූ ද සමාජවාදය සාපරාධී ලෙස පාවාදීම් සිදු කල සෝවියට් නිලධරයෙහි ප්‍රති-විප්ලවවාදී ජාතිකවාදී ක්‍රියා මාර්ගයටත්, ස්ටැලින්වාදයටත් එරෙහි අරගලයේ ආරම්භය යි.

1923 දී වාමාංශික විරුද්ධ පාර්ශවයේ සිට 1938 දී හතරවන ජාත්‍යන්තරය ද 1953 දී ජාත්‍යන්තර කමිටුව ද ආරම්භ කිරීමේ පටන් පැනනැගි මාක්ස්වාදයට හා ට්‍රොට්ස්කිවාදයට එරෙහි සකලාකාර අවස්ථාවාදී සංශෝධනයන්ට විරුද්ධව සියලු අරගල හරහා, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ගෙවී ගිය වසර 75 තිස්සේ සමුච්ඡය කරගන්නා ලද න්‍යායික හා දේශපාලනික ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය සහිත ව සිටියෝ නම්, සාපේක්ෂ ව සංඛ්‍යාවෙන් සුලු වුව ද 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කරන ලද ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී කේඩරයෝ ය. ලෝසවෙඅ ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තා වූ ද එහි වර්ධනය සඳහා සටන් කලා වූ ද සහෝදරවරු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයෙන් තරයේ ම අධ්‍යාපන ගත වී සිටියා වූ, එමෙන් ම හතරවන ජාත්‍යන්තරය ගොඩ නැගීමට ඒවන විටත් දශක ගනනක් තම ජීවිත කැප කලාවූ සහෝදරවරු වෙති.

එහෙත්, ශතවර්ෂ කාලකට පෙර ලෝසවෙඅ ආරම්භ කල තැන් පටන්, වයස්ගත පරම්පරාවේ ප්‍රයත්නයන් ශක්තිමත් කෙරී ඇති අතර, අන්තර්ජාලය පිරික්සද්දී සමාජවාදය, මාක්ස්වාදය හා ට්‍රොට්ස්කිවාදය සමග පලමු හමුවීම සිදු කර, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සොයාගත් බොහෝ දෙනෙක් ඇතුලත්, ලොව පුරා තරුන සහෝදරවරුන් විසින් එම උත්සාහයන් ඉදිරියට ගෙන යනු ලැබ ඇත. නුදුරු අනාගතයේ දී තරුන කම්කරුවන් හා තරුන ශිෂ්‍යයන් මිලියන ගනනක් දෙනා සමාජවාදයට හා දේශපාලන අධ්‍යාපනයට ඒ මාවත ම අනුගමනය කරනු ඇත්තාහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජයග්‍රහනයන් සැමරීමටත් ඒ පිලිබඳ ව ආඩම්බර විමටත් අපට සෑම අයිතිවාසිකමක් ම ඇත. එහෙත්, අපි ඊට හිස නමා අපේ පුටු මත විවේක නො ගනිමු. මානව වර්ගයාගේ ඉතිහාසයෙහි විශාලතම අර්බුදය දැන් පවතින්නේ අප මත ය. යුක්‍රේනය තුල යුද්ධය පුපුරා යාම හුදු අනතුරු ඇඟවීමකට වඩා වැඩි දෙයකි. විසිවැනි ශතවර්ෂයේ ලෝක යුද්ධ දෙකෙහි භයංකාරත්වයන් පවා දැවැන්තව ඉක්මවා යන පෙර නුවූ මට්ටමක ව්‍යසනයක් දිග හැරෙමින් පවතින්නේ මානව ශිෂ්ටාචාරයේ පැවැත්මට ම තර්ජනය කරමිනි.

අධිරාජ්‍යවාදී හා ධනපති ආන්ඩුවලට සිහිබුද්ධිය පහලවනු ඇතැයි ද ඔවුන් සිය ගමන් මග ආපසු හරවනු ඇතැයි ද [මිලිටරි] ගැටීම් පහල දමනු ඇතැයි ද ලාභ හා භූ-දේශපාලනික ආධිපත්‍යය ලුහුබැඳීම ඔවුන් පසෙකට දමනු ඇතැයි ද යන අපේක්ෂාව මත මානව වර්ගයාගේ පැවැත්ම පරදුවට තැබීම තරම් විශාල වරදක් තවත් තිබිය නො හැකි ය.

පාලක පන්තීන් සිය පිලිවෙත් මානව ජීවිතය මත ඇති කරන බලපෑම නොතකා හැරීම, වසංගතයට ඔවුන් දක්වන ප්‍රතිචාරය විසින් දැනට මත් හෙලිදරවු කෙරී ඇත. එය, හිටපු බ්‍රිතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන් “මල සිරුරු ගොඩගැහුනාවේ“ යනුවෙන් කියූ වචන තුල සම්පින්ඩනය කෙරුනි. ඒ අනුව මල සිරුරු ගොඩගැසී ඇත. එසේ ක්‍රියා කරන්නේ, 2020 පටන් කෝවිඩ්-19 හේතුවෙන් පුද්ගලයින් මිලියන 25කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමිවීමේ සහ වසංගතයෙන් අඛන්ඩව සිදුවන මරන හා අබලතාවයන්ගේ පිරිවැය මුලුමනින් ම නො තකා හරිමිනි. අද දින පවා, අපි තුර්කිය හා සිරියාව තුල දිගහැරෙමින් පවතින බියකරු තත්වයන් අත් දකිමින් සිටින්නේ, උදාසීනත්වය, නො තැකීම සහ මානවයන්ට වැදගත් වන සියල්ල පුද්ගලික ධනය හා බලය ලුහුබැඳීමට යටත් කිරීමේ ප්‍රතිඵලයක් වන තවත් “ස්වාභාවික ආපදාවක්” හේතුවෙනි.

යුද්ධය වේවා, දේශගුන වෙනස හෝ වඩා භයානක තවත් වංසගතයක් පුපුරා යාම වේවා, ව්‍යසනය දෙසට වේගයෙන් යන ගමන නැවැත්විය හැක්කේ එක් බලවේගයකට පමනි. මානව වර්ගයාගේ ප්‍රගතිශීලී උද්ගමනය යලි පන ගැන්විය හැක්කේ එක් බලවේගයකට පමනි. එම බලවේගය නම් ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. මෙම විකල්පය හා සංවර්ධනයේ අවශ්‍ය මාවත මනෝරාජික සිහිනයක් නො වේ. එහි සැබෑ ඉස්මතු වීම හා ඓතිහාසික විභවය, දැන් වර්ධනය වන කම්කරු පන්තියේ ගෝලීය අරගල තුලින් දෘශ්‍යමාන ව පෙර ඇඟවී තිබේ. පාලක පන්තිය ෆැසිස්ට්වාදය හා යුද්ධය කරා ධාවනය කරන එම වෛෂයික සමාජ-ආර්ථික පරස්පර-විරෝධයන් ම, ගෝලීය කම්කරු පන්තිය විප්ලවය හා සමාජවාදය දෙසට ප්‍රචාලනය කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වැඩකටයුතු තීන්දු කරන හා ධාවනය කරන ඉදිරි දර්ශනය වන්නේ මෙය යි.

වෙබ් අඩවියේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අප සමග එක්වන ලෙස අපි ලෝසවෙඅහි සියලු පාඨකයන්ට හා ආධාරකරුවන්ට ආයාචනා කරමු.

ඇත්ත වසයෙන් ම, අපට ඔබේ මූල්‍යාධාර අවශ්‍ය ය. පන්ති අරගලයේ ප්‍රසාරනය වන ගෝලීය පරිමානය මධ්‍යයේ, වෙබ් අඩවියෙහි පාඨකත්වය වර්ධනය වීම, ලෝසවෙඅ මත වඩවඩා ඉහලයන ඉල්ලීම් පනවයි. එහි ප්‍රායෝගික හා දේශපාලන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීමට, ලෝසවෙඅහි කර්තෘ මන්ඩලය පුලුල් කරනු ලැබිය යුතු ය. පාඨකයන් මිලියන ගනනක් ප්‍රවේශ වන සංකීර්න වෙබ් අඩවියක් පවත්වාගෙන යාම සඳහා ලෝසවෙඅ එහි තාක්ෂනික හා වැඩසටහන් කරන කාර්යය මන්ඩලය ශක්තිමත් කල යුතු ය.

එම නිසා, ලෝක සමාජවාදී වෙබ් අඩවියට හැකි උපරිම මූල්‍යමය ආධාරය දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලමු. ආධාර දීම සඳහා wsws.org/donate වෙත පිවිසෙන්න. හැකි නම්, ලෝසවෙඅ වෙත මාසික ව ආධාර දීමට පොරොන්දු වන්න.

වෙබ් අඩවියේ පාඨකත්වය ප්‍රසාරනය කරගැනීමේ දී ද ඔබගේ සහාය අපි ඉල්ලා සිටිමු. වෙබ් අඩවිය මත පලවන ලිපි ඔබේ සහෝදර කම්කරුවන්ට, මිතුරන්ට හා සහෝදර ශිෂ්‍යයන්ට යවන්න. ලෝසවෙඅහි නිතිපතා පාඨකයන් හා ප්‍රතිපදානකරුවන් වන ලෙස ඔවුන් උනන්දු කරන්න. වැදගත් දේශපාලන හා සමාජ වර්ධනයන් පිලිබඳ ව මෙන් ම ලෝකයේ ඕනෑ ම කොටසක පන්ති අරගල පිලිබඳ වාර්තා කරමින් පාඨකයන් එවන ලිඛිත ප්‍රතිපදානයන් අපි ඉත සිතින් පිලිගනිමු.

තව ද අතිශයින් ම වැදගත් පියවර ලෙස, සමාජවාදය සඳහා අරගලය සමග එක්වීමේ තීන්දුව ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලමු. ට්‍රොට්ස්කිවාදය ශතවර්ෂයක් සමරන මේ වසරේ, ඔබේ රටෙහි පවතින, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂය හෝ සමාජවාදී සමානතා කන්ඩායම අමතා සම්බන්ධ වන්න. ඔබේ කලාපය හෝ රට තුල සමාජවාදී සමානතා කන්ඩායමක් ස්ථාපිත කිරීමේ වැඩකටයුතු ආරම්භ කල හැක්කේ කෙසේදැයි යන්න ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට හෝ සම්බන්ධ වීමට wsws.org/join වෙත යන්න.

2023 තීරනාත්මක වසරක් වනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි හඬ වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දේශපාලන ආනුභාවය හා සංසරනය ප්‍රසාරනය කිරීමේ දී කාලය අපතේ නො හැරිය යුතු ය. සමාජවාදය සඳහා කම්කරු පන්තිය ගෙන යන ගෝලීය සටනේ දී, මිලියන ගනන් පාඨකයන් හා ආධාරකරුවන් මිලියන ගනන් සාමාජිකයන් හා ක්‍රියාකාරී සටන්කරුවන් බවට පත්විය යුතු ය.

Loading