පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීමට එරෙහි ව ඉරිදා පැවැත්වූ විරෝධතාවට එල්ල කල පොලිස් ප්‍රහාරය සසප හෙලාදකියි

(මෙය Sri Lankan SEP denounces police attack on Sunday protest against cancellation of local election මැයෙන් 2023 පෙබරවාරි 28දා පල වූ ලිපියේ පරිවර්තනය යි.)

10,000ක පමන සහභාගීත්වයෙන් ඉරිදා කොලඹ පැවැත්වූ මහජන විරෝධතාවට වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය, සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් තරයේ හෙලාදකියි. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන ජබලවේගය (ජාජබ) විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාව පවත්වන ලද්දේ, මාර්තු 9දා පැවැත්වීමට නියමිත ව තිබූ පලාත් පාලන මැතිවරනය ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස අවලංගු කිරීමට ආන්ඩුව ගත් තීන්දුවට විරෝධය පලකිරීම පිනිස යි.

පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීමට විරෝධය පලකිරීම පිනිස, 2023 පෙබරවාරි 26දා ජාජබ පැවැත්වූ විරෝධතාවට එරෙහි ව කොලඹ නගර සභාව අසල දිගේලි කරනු ලැබ සිටින කැරලි මර්දන පොලීසිය (ඡායාරූපය: ලෝසවෙඅ)

මින් පෙර සිදු කරන ලද කඩාපැනීම්වල දී මෙන් ම, කඳුලු ගෑස් හා ජල ප්‍රහාරක සමගින් සන්නද්ධ පොලිස් භටයින් දහස් ගනනක් දිගේලි කිරීමට, ආන්ඩුව පියවර ගත්තේ ය. වික්ටෝරියා උද්‍යානයේ සිට ලිප්ටන් වටරවුම වෙත පාගමනින් විරෝධතාකරුවන් පැමිනි අතර, එහි දී පොලීසිය ඔවුන්ට කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කලේ ය. දුසිම් ගනනක් තුවාල ලබද්දී 20ක් පමන රෝහල්ගත කෙරුනි. ඉන් එක් අයෙකු වන ජාජබ පලාත් පාලන මැතිවරන අපේක්ෂක නිමල් අමරසිරි, ප්‍රහාරයේ දී ලද තුවාල හේතුවෙන් ඊයේ රෝහලේ දී මිය ගියේ ය.

මෙම ප්‍රචන්ඩ ප්‍රහාරය සඳහා, වික්‍රමසිංහ ආන්ඩුව හොඳින් සූදානම් ව සිටියේ ය. ජාජබ එහි විරෝධතාව නිවේදනය කල වහා ම, කොලඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ගිය පොලීසිය, ජාජබ/ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පුද්ගලයින් 26 දෙනෙකු මත තහනමක් ලබාගැනීමට සහ කොලඹ නගරයේ ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වීමෙන් වැලැක්වීමට ක්‍රියා කලේ ය. විරෝධතා අතරතුර දී, මෙම පුද්ගලයින් ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ආන්ඩුවේ අනෙකුත් ගොඩනැගිලිවලට ඇතුලුවීමට සැලසුම් කරන බව පොලීසිය කියාපෑවේ ය.

ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලු මුවදොර පිටියට ඇතුලුවීමෙන් සහ මගී හා වාහන ගමනාගනයට බාධා කිරීමෙන්, රාජ්‍ය හා පුද්ගලික දේපොලට හානි කිරීමෙන් හෝ ප්‍රචන්ඩ ක්‍රියාවල නියැලීමෙන් වලකින ලෙස දිසානායක ඇතුලු පිරිසට විධානය කරමින් උසාවිය නියෝගයක් නිකුත් කලේ ය.

මහජන විරෝධතා වැලැක්වීම පිනිස, ගොතන ලද චෝදනා මත උසාවි නියෝග ලබාගැනීම පොලීසිය සාමාන්‍යයෙන් කරන දෙයකි. විරෝධතා බිඳ දැමීම පිනිස, ප්‍රචන්ඩ පොලිස් ප්‍රහාර එල්ල කිරීම සාධාරනීකරනය කිරීමට උසාවි නියෝග යොදාගනු ලැබේ.

රාජ්‍ය අංශයේ ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහග කිරීම සහ පුද්ගලීකරනය කිරීම්, රැකියා හා වැටුප් කප්පාදු, ඉහල ආදායම් බදු සහ සමාජ සුභසාධන කපාහැරීම් ඇතුලත් වන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග පරිදි වික්‍රමසිංහ ආන්ඩුව ඉදිරිපත් කල 2023 අයවැයට එන කිසිදු විරුද්ධත්වයක් ආන්ඩුව නො ඉවසන බව, ඉරිදා එල්ල කල ප්‍රචන්ඩ පොලිස් ප්‍රහාරය වැඩි දුරටත් අවධාරනය කරයි. වැඩකරන ජනයාගේ සමාජ තත්ත්වය මතට වික්‍රමසිංහ එල්ල කරන ප්‍රහාරය කෙරෙහි වැඩෙන විරුද්ධත්වය මධ්‍යයේ, ඔහු පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීමට විධානය කලේ ය.

2023 පෙබරවාරි 26 ඉරිදා දින කොලඹ දී පොලීසියේ කඳුලු ගෑස් හා ජල ප්‍රහාරවලින් මිදී යාමට උත්සාහ දරන ජාතික ජන බලවේගයේ ආධාරකරුවෝ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

ජවිපෙ/ජාජබ සහ ඔවුන්ගේ ධනපති-ගැති න්‍යාය පත්‍රය සමග පවතින මූලධර්මාත්මක සහ දීර්ඝ-කාලීන වෙනස්කම් නො තකා, ඉරිදා විරෝධතාවන්ට එල්ල කල පොලිස් ප්‍රහාරය සසප විසින් හෙලාදකියි.

ජවිපෙ/ජාජබට වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුව සමග තිබෙන වෙනස්කම් මුලුමනින් ම උපායික ය. වික්‍රමසිංහ පාලන තන්ත්‍රය මෙන් ම, ඔවුහු ද ජාමූඅ වැඩපිලිවෙලට මුලුමනින් ම කැපවී සිටිති. පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීමට ඔවුන් විරුද්ධ වන අතර ම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වල ආරක්ෂකයන් ලෙස ඔවුන්ගේ පෙනී සිටීම ව්‍යාජ ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අනුකම්පා විරහිත ලෙස ප්‍රහාර එල්ල කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහ එජාප ආන්ඩුවල පාර්ශවකරුවන් හෝ ආධාරකරුවන් ලෙස ජවිපෙ මින් පෙර ක්‍රියා කර ඇත.

ආන්ඩුවට එරෙහි නැගෙන කෝපය ගසාකා, පලාත් පාලන මැතිවරනයේ දී ඡන්ද දිනාගෙන, මහා මැතිවරනයක් සඳහා තල්ලුව දීමට ජවිපෙ/ජාජබ උත්සාහ කරමින් සිටී. ජාමූඅ විධානයන් ක්‍රියාවට දැමීමට වික්‍රමසිංහ ආන්ඩුව අසමත් වේ යයි උත්සුක වන ජාජබ, තමන්ගේ ම ආන්ඩුවක් තනාගෙන, තමන්ට “මහජන වරමක්” තිබෙන බව කියාපාමින්, එම වැඩපිලිවෙල ම ක්‍රියාවට දැමීමට අපේක්ෂා කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂකයන් ලෙස මවාපාමින්, තමන් බටහිර අධිරාජ්‍යවාදී බලයන්ට ආයාචනා කරන බව ජවිපෙ කීවේ ය. ජවිපෙ “යුරෝපා සංගමයේ, එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් සංවිධානවල රාජ්‍යතාන්ත්‍රිකයන්ට” වික්‍රමසිංහ පලාත් පාලන මැතිවරනය අහෝසි කිරීම ගැන “කරුනු පැහැදිලි කරන” බව, පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පසුගිය බදාදා ප්‍රකාශ කලේ ය.

වෙනත් වචනවලින් කියන්නේ නම්, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව යුද්ධයක් දියත් කරන සහ මීට පෙර මැද පෙරදිග හා ඇෆ්ගනිස්තානයේ මිලියන ගනන් මරා දැමූ බලයන් ම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය “ආරක්ෂා කරනු ඇත” යි යන මිථ්‍යාවන් ජවිපෙ ඉදිරියට දමමින් සිටී.

පෙබරවාරි 20දා නිකුත් කල සසප ප්‍රකාශයක්, වික්‍රමසිංහ පාලන තන්ත්‍රයෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියා, “ජාමූඅ විසින් විධානය කරන ආන්ඩුවේ රුදුරු කප්පාදු පියවරයන්ට එන විරුද්ධත්වය මැඩීම සඳහා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත එල්ල කරන පලල් ප්‍රහාරවල කොටසක්” බව විස්තර කලේ ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව පලවා හැරීමට ක්‍රියාකල, පසුගිය වසරේ මහජන නැගිටීම වැනි ව්‍යාපාරයක් බවට, කම්කරු පන්තියේ වැඩෙන විරෝධය වර්ධනය වනු ඇතැයි යන භීතියෙන්, වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ පාලන තන්ත්‍රය ඇලලී සිටී.

පලල් පරාසයක අංශයන් “අත්‍යවශ්‍ය සේවා” ලෙස ප්‍රකාශයට පත්කරමින්, සඳුදා රාත්‍රීයේ වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කලේ ය. එය වනාහි ඛනිජ තෙල්, වරාය, විදුලිබල, බැංකු, සෞඛ්‍යය සහ අනෙකුත් මූලික අංශවල වෘත්තීය සමිති මාර්තු 1දාට කැඳවා ඇති එක් දින මහා වැඩ වර්ජනය නැවැත්වීමට ගන්නා ලද මංමුලා සහගත උත්සාහයක් විය.

ඉරිදා විරෝධතාවට ආන්ඩුව කල ප්‍රචන්ඩ කඩාපැනීම සහ එහි “අත්‍යවශ්‍ය සේවා” වැඩ වර්ජන තහනම කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. වැඩකරන මහජනයාට එරෙහි ව පන්ති යුද්ධය මුදාහරිමින් සිටින ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව, ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයේ දී කිසිවකින් නො නවතිනු ඇත.

කම්කරු පන්තිය තමන්ගේ ම අවශ්‍යතා සඳහා, දේශපාලනික ව සූදානම් වීම සහ සටන් වැදීම අවශ්‍ය ය. ඒ සඳහා, හුදෙක් වික්‍රමසිංහගේ පලාත් පාලන මැතිවරන අවලංගුවට පමනක් නො ව, ආන්ඩුවේ සියලු මර්දන පියවරයන්ට එරෙහි ව කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලුගැන්වීම අවශ්‍ය කරයි. මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වන සටන, සමාජ අයිතීන් සඳහා වන අරගලය සමග නො වෙන් කල හැකි ලෙස බැඳී තිබේ.

2023 පෙබරවාරි 26දා වික්‍රමසිංහ ආන්ඩුවේ පලාත් පාලන මැතිවරන අවලංගුවට එරෙහි ජාජබ විරෝධතාවේ කොටසක් (ඡායාරූපය: ලෝසවෙඅ)

කම්කරු පන්තියෙහි ස්වාධීන ව්‍යාපාරයක වර්ධනය සඳහා පවතින ප්‍රධානතම බාධකය වන්නේ වෘත්තීය සමිති ය. පසුගිය වසරේ ආන්ඩු-විරෝධී මහජන නැගිටීමේ දී ඔවුන් කල පරිදි ම, කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහි ව, වික්‍රමසිංහ ආන්ඩුව සහ ධනපති පන්තිය සමග දේශපාලනික හා කාර්මික ගැටීමක් වැලැක්වීමට, වෘත්තීය සමිති මංමුලා සහගත ලෙස වැඩකරමින් සිටිති.

හෙට පැවැත්වෙන ජාතික වැඩ වර්ජනය හුදෙක් එක් දිනකට සීමා වන අතර, එය ඉහල ආදායම් බදු රේට්ටුවලට විරෝධය පෑමට සීමා කරනු ලබද්දී, කම්කරු පන්තියේ සියලු කොටස් අඩංගු කර නො ගනී. ආන්ඩුවේ සමාජීය ප්‍රහාරයන්ට එන ජාතික පරිමාන හතුරුකම සීමා කොට, එම ජාමූඅ වැඩපිලිවෙලට ම කැප වී සිටින සජබ හා ජවිපෙ/ජාජබ වැනි පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂවලට දේශපාලනික ව ගැටගැසීම එහි අභිප්‍රායය යි.

පසුගිය වසරේ දී ආන්ඩු-විරෝධී මහජන නැගිටීම පුපුරා ගිය තැන් පටන්, සසප නිකුත් කරන ලද ප්‍රකාශ ගනනාවක් තුල ම විග්‍රහ කල පරිදි, කම්කරුවන් සටන තමන්ගේ ම අතට ගැනීමට අවශ්‍ය ය. තමන්ගේ සමාජීය හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සඳහා සටන් වැදීමට, සෑම කම්හලක, වැඩපොලක, වත්තක සහ නාගරික හා ගම්බද නිවහන් ප්‍රදේශයක ම, ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් ක්‍රියාකල යුතු ය.

ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා ගෙන යන අරගලයෙහි කොටසක් ලෙස, සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පදනම දැමීමට, දිවයින පුරා ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරාපත් කරගන්නා නියෝජිතයන් පදනම් වන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප සටන් කරමින් සිටියි.

මෙම උද්ඝෝෂනයෙහි කොටසක් ලෙස, මාර්තු 5 ඉරිදා දින සවස 4ට සසප ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වනු ඇත. සියලු කම්කරුවන්, තරුනයන්, ගම්බද පීඩිතයින් සහ වෘත්තිකයින්ට අපි ඇරයුම් කරන්නේ, දේශපාලනික ක්‍රියා මාර්ගය සහ ඉදිරි දර්ශනය පිලිබඳ මෙම වැදගත් සාකච්ඡාවට සහභාගි වන ලෙස යි. ඒ සඳහා මෙතැනින් ලියාපදිංචි වන්න.

Loading