ජවිපෙ-ජාජබ, හිටපු හමුදා නිලධාරීන් සහ ව්‍යාපාරික නියෝජිතයන් වැලඳ ගනියි

[මෙය Sri Lanka’s JVP-NPP collaborates with ex-military officers and business representatives යන මැයෙන් 2023 මාර්තු 06 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ), ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ රනශූරයන් ලෙස පෙනී සිටිමින්, හදිසි මහ මැතිවරනයක් සඳහා වන සිය උද්ඝෝෂනය තීව්‍ර කරමින් සිටී.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 2023 පෙබරවාරි 11 වන දින ජවිපෙ-ජාජබ විසින් කැඳවුම් කරන ලද විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ රැස්වීම අමතමින්. විශ්‍රාමික ඉහල හමුදා නිලධාරීහු සහ තාක්ෂනඥයෝ ජවිපෙ නායකයා පිටුපස අසුන්ගෙන සිටිති. [ඡායාරූපය: ලෝසවෙඅ]

ජාජබ සහ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) යන දෙකම උත්සාහ කරන්නේ, වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව නැගෙන මහජන විරෝධය ගසාකෑමට යි. සති දෙකකට පෙර, ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනතාවගේ අති මූලික ඡන්ද අයිතිය උල්ලංඝනය කරමින්, ආන්ඩුව පලාත් පාලන මැතිවරනය වැලැක්වීය.

ජාජබ සහ සජබ යන දෙකම මහ මැතිවරනයක් ඉල්ලා සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ඇති ඔවුන්ගේ ආදරය නිසා නොව, මාස අටකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බිඳ හෙලූ, කම්කරු පන්තියේ මහජන අරගල යලි පැනනැගීම වැලැක්වීමට වික්‍රමසිංහ පාලනයට නොහැකි වනු ඇතැයි, ඔවුන් බියපත්ව සිටින බැවිනි. ජාමූඅ විසින් නියම කරන ලද එම පියවරයන්ම ක්‍රියාවට නංවනුවස්, නැගී එන මහජන කෝපය පාර්ලිමේන්තු මැතිවරන දේශපාලනයට හා නව ධනේශ්වර ආන්ඩුවක් දෙසට අපසරනය කිරීමට පක්ෂ දෙකටම අවශ්‍ය වේ.

ජාජබ යනු, 2015 දී ජවිපෙ විසින් දියත් කරන ලද පාර්ලිමේන්තු පෙරමුනක් වන අතර, එය, ශාස්ත්‍රාලිකයන්, වෘත්තිකයන් සහ කුඩා ව්‍යාපාරිකයින් ස්ථරයක් ඇතුලු ඉහල මධ්‍යම පන්තික කොටස් වාත්තු කර සාදා ගත්තකි. 1983 ආරම්භකොට 26 වසරක් පුරා ගෙනගිය දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට සහ විවිධ ධනේශ්වර සභාග ආන්ඩුවලට සහාය දැක්වූ සහ ඒවාට සහභාගී වූ ජවිපෙහි අපකීර්තිමත් අතීතය වසන් කිරීමට මෙම සංවිධානය යොදා ගැනේ. අනුර කුමාර දිසානායක ජවිපෙ සහ ජාජබ යන දෙකේම නායකයා ලෙස ක්‍රියා කරයි.

ජාජබ, ජනවාරි මාසයේදී, ව්‍යාපාරික නියෝජිතයින් හමුවී තම පිලිවෙත් මගින් ඔවුන්ගේ ලාභ ඉහල නංවන ආකාරය පැහැදිලි කලේය. පසුගිය මාසයේ එය විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහ සොල්දාදුවන්ගේ සමුලුවක් පැවැත්වීය. ජාජබ බලයට පැමිනියහොත්, කම්කරුවන් හා දුගීන් මත පටවනු ඇත්තේ කවර ආකාරයේ නිර්දය ධනපති ගැති පාලන තන්ත්‍රයක් ද යන්න, මෙම සිද්ධීන් දෙකෙන් අනාවරනය වේ.

මහා ව්‍යාපාරිකයන් සඳහා පොරොන්දු

“ජාතික ආර්ථික සංසදය” නම් වූ ව්‍යාපාරික හමුවක් ජනවාරි 24 වැනිදා කොලඹ තරු හතරේ ගලධාරි හෝටලයේදී පැවැත්විනි. මහා ව්‍යාපාරික නියෝජිතයින්ගේ සිට කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් දක්වා 500 ක පමන පිරිසක් එයට සහභාගී වූහ.

රැස්වීමේ ප්‍රධාන අරමුන වූයේ තම පක්ෂය සහ එහි ආර්ථික ප්‍රතිපත්ති පි ලිබඳව “ව්‍යාපාරික ප්‍රජාවට ඇති කවර හෝ සැකයක් දුරු කිරීම” බව දිසානායක සහභාගීවූවන්ට පැවසීය.එසේ පැවසුවේ, සමාජවාදය සඳහා සටන් කරන බවට අතීතයේ සිටම ජවිපෙ විසින් කරන ලද ව්‍යාජ ප්‍රකාශ ඔහුගේ මතකයේ තිබූ හෙයිනි.

“ජනතාව අතර ආර්ථික ප්‍රතිලාභ සමානව බෙදා හැරීම” යන සංකල්පය “මනෝරාජික අදහසක්” බව ඔහු ප්‍රකාශ කලේය: “සමහරු කියනවා අපි බලයට ආවොත් ප්‍රධාන සංගත රාජසන්තක කරනවා කියලා. මේවා [කියාපෑම්] අමූලික බොරු.”

කොලඹ කේන්ද්‍ර කර ගත් නිෂ්පාදන ආර්ථිකය දුර බැහැර ප්‍රදේශවලට ව්‍යාප්ත කරන බවටත්, මෙම ප්‍රදේශවල ආයෝජකයින්ට නිසි යටිතල පහසුකම් සලසන බවටත් ඔහු සහභාගිවූවන්ට සහතික විය.

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර ඇතුලු අනෙකුත් සියලුම ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට පුද්ගලික ආයෝජකයින්ට පූර්න අවස්ථා ලබා දෙමින්, “බලශක්ති සහ මූල්‍ය” අංශවල පමනක්, රජය නිරත වනු ඇතැයි ඔහු තවදුරටත් පැවසීය. වෙනත් වචන වලින් කිවහොත්, නිදහස් මහජන අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ ඉතිරිව ඇති දේ ද දංගෙඩිය මත තබනු ඇත.

“අපි කෙටි කාලයක් සඳහා අපගේ ජීවන රටාව වෙනස් කල යුතුයි,” යයි අවධාරනය කරමින් ඔහු මෙසේ පැවසීය, “අපට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය නම්, අපි එය කල යුතුමයි. වේදනාකාරී ක්‍රියාමාර්ග ගැනීමට අපට බල කෙරෙනු ඇති.”

දිසානායක මෙම “වේදනාකාරී ක්‍රියා” විස්තර නොකල නමුත් ඒවා දැන් වික්‍රමසිංහ ආන්ඩුව විසින් පනවනු ලබන ජාමූඅ පියවරයන්ම ය. මිනිසුන් 'වේදනාකාරී' පියවරයන් විඳදරාගත යුතු අතර තම ජීවන රටාව වෙනස් කල යුතුයයි වික්‍රමසිංහ භාවිතා කල වාක්‍ය ඔහු ද භාවිතා කලේය. මන්ද යත්, ධනවාදයට ආර්ථික අර්බුදය සඳහා ඇත්තේ එකම විසඳුමක් පමනි: එනම් වැඩකරන ජනතාව මත බර පැටවීම යි.

ඔක්තෝබර් 17 වන දින ස්වර්නවාහිනී රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට සහභාගි වූ දිසානායක, රට විදේශ නය ගෙවීම පැහැර හැර ඇති බැවින් “ජාමූඅ වෙත යාම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති” බව පැවසීය. 2008 දී ග්‍රීසියට බලපෑ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා, 'දෛනික ආහාර පරිභෝජනය දිනකට බනිස්ගෙඩි දෙකකට' සීමා කිරීම ඇතුලු 'වේදනාකාරී' පියවරයන් අවශ්‍ය කෙරුනු බව ඔහු වෙනත් සාකච්ඡා මන්ඩපයක දී පැවසීය.

දිසානායක, ජාතික ආර්ථික සංසදයට සහභාගිවූවන්ට මෙසේ සහතික විය: “'අපව මේ අර්බුදයෙන් ගලවා ගන්න' යැයි පවසමින් ජනතාව නව ආන්ඩුවක් බලයට පත් කරන්නේ නම්, ජනතාව එවැනි ආන්ඩුවකට යම් කාලයක් ලබා දෙනු ඇති. එවැනි තත්වයක් තුල අපට අපේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කල හැකියි!”

කෙසේ වෙතත්, ජාමූඅ විසින් නියම කරන ලද දරාගත නොහැකි පිලිවෙත් වලට එරෙහිව කම්කරුවන් සහ දුගීන් අනිවාර්යයෙන්ම අරගලයට එනු ඇත. ඕනෑම ධනේශ්වර ආන්ඩුවක් මෙන් ම , ජාජබ පාලන තන්ත්‍රයක් ද, වෘත්තීය සමිති උපකරනයන් ද පොලිසිය සහ මිලිටරිය ද මුදා හරිමින් මෙම අරගල යටපත් කිරීමට උත්සාහ කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූල හේතුව රටේ “දේශපාලන සංස්කෘතිය” බවත්, එය අනුප්‍රාප්තික ආන්ඩු යටතේ, දූෂනය, වංචාව, මිත්‍ර සංග්‍රහය සහ නාස්තියෙන් ඇලලී ඇති බවත් දිසානායක රැස්වීමට පැවසුවේ ය. මෙය තුරන් කරන, දූෂනයෙන් තොර පිරිසිදු මිනිසුන්ගෙන් ජාජබ සමන්විත බවට ඔහු තර්ක කලේය.

යථාර්ථය නම්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ අර්බුදය, කොවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් උත්සන්න කර ඇති ගෝලීය ධනවාදයේ ගැඹුරු ඓතිහාසික අර්බුදයේ නිෂ්පාදිතයකි.

ජවිපෙ හමුදාවේ සහාය ඉල්ලා සිටී

පෙබරවාරි 11 වන දින, ජාජබ විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ පහල ශ්‍රේනිවල නිලධාරීන් 1,000 කගෙන් සමන්විත සමුලුවක් කොලඹ මහරගම පිහිටි ජාතික තරුන සේවා සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. විශ්‍රාමික කාන්තා බ්‍රිගේඩියර්වරියක් සමුලුවට පැවසුවේ ජාජබ මෙම ස්ථර අතර “ත්‍රිවිධ හමුදාවේ සාමූහිකයක්” පිහිටුවීම සඳහා වැඩ ආරම්භ කර තිබූ බවයි.

2023 පෙබරවාරි 11 වන දින ජවිපෙ-ජාජබ විසින් කැඳවනු ලැබූ විශ්‍රාමික ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ රැස්වීමේ කොටසක්. [ඡායාරූපය: ලෝසවෙඅ]

“නීතියේ විධානය සහ ස්වෛරීභාවය යටතේ ආර්ථික වර්ධනය වේගවත් කරන” “නිදහස් අරගලයේ නව මාදිලියකට” පක්ෂය ඇතුලු වී ඇති බව ප්‍රධාන කථිකයා වූ දිසානායක ප්‍රකාශ කලේය.

ප්‍රේක්ෂකාගාරයේ සිටි බොහෝ සොල්දාදුවන් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ලේ වැකි වර්ගවාදී යුද්ධයේ කොටස්කරුවන් වූ අයයි.. සමහරු ආබාධිත වූවන්‍ය .

ඒ අතරම, උතුරේ දෙමල ජනයා සහ දකුනේ මියගිය සොල්දාදුවන්ගේ පවුල් මුහුනදෙන දුක්ඛිත තත්වය ගැන කනස්සල්ලක් මවා පාමින්, උතුරේ සහ දකුනේ ජනතාවට “ඔවුන්ගේම කතා ඇති” බව දිසානායක පැවසීය.

යථාර්ථය නම්, සෑම විටම සිංහල ජනතාවාදයේ සහ ස්වෝත්තමවාදයේ ගිලී සිටින ජවිපෙ දශක තුනකට ආසන්න කාලයක් පුරා යුද්ධයේ දෘඪතරම සහායකයා ලෙස කටයුතු කලේය. එය නැවත නැවතත් මිලිටරිය ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටි අතර එහි අපරාධ හා කුරිරුකම් ආරක්ෂා කලේය.

දිසානායක සම්මන්ත්‍රනයට සහභාගි වූ හමුදා සාමාජිකයින්ට සෘජුවම ආයාචනා කලේ, ඔවුන් පක්ෂයේ වැඩකටයුතුවල ප්‍රමුඛතම කොටසක් වනු ඇති බව පවසමිනි. “අපි බලාපොරොත්තු වන වෙනසේ ප්‍රමුඛතම කාර්යය කරන්න පුලුවන් ඔබට.....ඔබ සංවිධානාත්මක බලවේගයක්. මෙය වෙනස් කිරීමට එවැනි බලවේගයක් අවශ්‍යයි.....ඔබගේ වෘත්තීය අරමුනු සහ දේශපාලන අරමුනු අතර වෙනසක් නෑ. ......හමුදාව පුහුනු කරන ලද මානව සම්පතක්......එය සෑම ක්ෂේත්‍රයකම පැතිරුනු සංවිධානයක්.'

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ නැගෙනහිර පලාතේ හිටපු ආඥාපතියෙකු වන අරුන ජයසේකර අනාගත ජාජබ ආන්ඩුවක ආරක්ෂක ඇමතිවරයා වනු ඇති බව ද දිසානායක නිවේදනය කලේය. ජයසේකර සම්මන්ත්‍රන වේදිකාවේ වාඩිගෙන සිටියේය.

විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුන ජයසේකර 2023 පෙබරවාරි 11 වන දින විශ්‍රාමික ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ රැස්වීමේදී ජාජබ හි ආරක්ෂක සැලැස්ම ගෙනහැර දක්වමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුන ජයසේකර 2023 පෙබරවාරි 11 වන දින විශ්‍රාමික ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ රැස්වීමේදී ජාජබ හි ආරක්ෂක සැලැස්ම ගෙනහැර දක්වමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

ජාජබ ආන්ඩුවක් එහි වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේදී, දේශපාලන ඇඟිලිගැසීම් වලට ඉඩ නොදෙනබව සහතික කරනුවස්, මිලිටරිය මත දැඩි ලෙස වාරු වන බව ජයසේකර පැහැදිලි කලේය. 'නීතියේ සහ විධානයේ ආධිපත්‍යය සමාජයක පැවැත්මේ ප්‍රධාන සාධකය ලෙස අපි පිලිගන්නවා' යැයි ඔහු පැවසීය.

දේශපාලන ඇඟිලි ගැසීම් යන්නෙන් ඔහු අදහස් කලේ කුමක්ද යන්න ජයසේකර විස්තාරනය නොකලත්, ජාජබ ආන්ඩුවක් යටතේ කම්කරු පන්තික විරුද්ධත්වයකට ඉඩක් නොතබන බව පැහැදිලිය.

හිටපු සොල්දාදුවන් වෙත මෙම පෙර නොවූ විරූ හැරීම සහ ජාජබ ආන්ඩුවක් යටතේ මිලිටරියේ භූමිකාව පිලිබඳ දිසානායකගේ අවධාරනය කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. ඕනෑම කම්කරු පන්තික නැගිටීමක් මැඩපැවැත්වීමට පාලක පන්තිය මිලිටරිය සූදානම් කරමින් සිටින බවට තවත් සංඥාවකි.

ජාජබ ට විප්ලවවාදී වැඩපිලිවෙලක් ඇති බවත් සියලු පුද්ගලික දේපල අහෝසි කරන බවත් ප්‍රකාශ කරමින් සජබ නායක සජිත් ප්‍රේමදාස පෙබරවාරි 17 දා ජාජබ හෙලා දුටුවේය. එම ප්‍රකාශය මහා ව්‍යාපාරිකයන්ගෙන් සහ මධ්‍යම පන්තියේ කොටස් වලින් ජාජබට ලැබෙන සහයෝගය වැලැක්වීමේ මංමුලා සහගත උත්සාහයකි.

ප්‍රේමදාසගේ චෝදනාවෙන් කෝපයට පත් දිසානායක, එම චෝදනා 1980 ජවිපෙ ලේඛනයකින් උපුටා ගත් යල්පැන ගිය “මඩගැසීම්” ලෙස හෙලා දුටුවේය. “‘සමාජවාදී කඳවුරේ’ බිඳවැටීම ඇතුලුව ලෝකයේ විශාල වෙනස්කම් සිදුවී තියෙනවා. සන්නිවේදනය සහ තාක්ෂනය පිමි වලින් වෙනස් වෙලා. අද තියෙන්නේ 1980 ට වඩා වෙනස් ලෝකයක්” යැයි ඔහු පැවසීය.

'අපි නම්‍යශීලී දේශපාලන ව්‍යාපාරයක්, එය ලෝකයේ, සමාජයේ සහ ආර්ථිකයේ සිදුවන වෙනස්කම් හොඳින් වටහාගෙන, ඒවා උකහා ගන්නා, ඒ අනුව වෙනස්කම් කල හැකි දේශපාලන ව්‍යාපාරයක්,' ඔහු පැවසීය.

දිසානායකට ජවිපෙ හි සැබෑ ඉතිහාසය පැහැදිලි කිරීමට නොහැකි විය. 1966 දී සුලු ධනේශ්වර රැඩිකල් කන්ඩායමක් ලෙස ආරම්භයේ සිටම, ජවිපෙ පදනම් වූයේ මාඕවාදයේ, කැස්ත්‍රෝවාදයේ සහ සිංහල ජනතාවාදයේ විෂ කැවූ දෘෂ්ටිවාදී මිශ්‍රනයක් මත ය. එයට මාක්ස්වාදයට හෝ සමාජවාදයට කිසිදු සම්බන්ධයක් නොතිබූ නමුත් ජනතාව රැවටීමට සමාජවාදී වාක්‍ය ඛන්ඩ භාවිතා කලේය.

ඇත්ත වශයෙන්ම 1980 ගනන්වල සිට ලෝකයේ විශාල වෙනස්කම් සිදුවී ඇත. නිෂ්පාදනයේ ගෝලීයකරනය විසින් ජාතික ආර්ථික නියාමනය සඳහා වූ පදනම ඛාදනය කෙරින. නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රවල බිඳවැටීමට, සෝවියට් සංගමය දියකර හැරීමට සහ ලොව පුරා ධනේශ්වර ජාතිකවාදී සංවිධානයන්හි තියුනු දකුනට හැරීමකට එය තුඩු දුනි.

අනෙකුත් බොහෝ සුලු ධනේශ්වර රැඩිකල් කන්ඩායම් මෙන්ම ජවිපෙ ද ප්‍රතිචාර දැක්වූයේ, එහි ගරිල්ලා සටන් ඇඳුම් සහ සමාජවාදී වාගාලාප, සුවපහසු පාර්ලිමේන්තු ආසන සඳහා හුවමාරු කර ගනිමින් ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට ඒකාග්‍ර වීමෙනි.

පසුගිය වසරේ එය අන්තර්කාලීන ධනේශ්වර පාලන තන්ත්‍රයක් සහ මහ මැතිවරනයක් යෝජනා කරමින් ආන්ඩු විරෝධී මහජන නැගිටීම දේශපාලනිකව පීලි පැන්නීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේය. ඊට සමාන යෝජනා සජබ විසින් ද ඉදිරිපත් කරන ලදී. මෙම න්‍යාය පත්‍රය වෘත්තීය සමිති හා විවිධ ව්‍යාජ වාම කන්ඩායම් විසින් වැලඳ ගෙන මහජන ව්‍යාපාරය පාවා දෙමින් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට ඔසවා තැබුවේය.

ජාමූඅ නියෝග ක්‍රියාත්මක කිරීමට නව ධනේශ්වර ආන්ඩුවක් සඳහා වන ජවිපෙ-ජාජබ ප්‍රතිගාමී ව්‍යාපාරය කම්කරුවන් හා තරුනයන් ප්‍රතික්ෂේප කල යුතුය. ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා තරුනයින් සඳහා ඇති එකම ඉදිරි මාවත, සමාජවාදී සමානතා පක්ෂය විසින් ඉදිරියට ගෙන එන විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සටන් කිරීම යි.

සෑම වැඩපොලකම, කම්හලකම සහ වතුයායකම, සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනවූ තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම සහ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩ නැගීම සඳහා සසප කම්කරුවන්ට කැඳවුම් කරයි. එවන් සම්මේලනයක්, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී වැඩපිලිවෙලකට කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා ගම්බද දුගීන් පෙලගස්වාගත්, කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී ව්‍යාපාරයකට පදනම නිර්මානය කරනු ඇත.

Loading