සසප හා සසජාතශි පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීමට එරෙහි ව සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය අප්‍රේල් 3දා කොලොන්නාවේ දී සාර්ථක එලිමහන් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වී ය.

2023 අප්‍රේල් 3දා කොලොන්නාවේ දී පවත්වන ලද සසප/සසජාතශි පලාත් පාලන මැතිවරන රැස්වීම

“ජනාධිපතිගේ පලාත් පාලන මැතිවරන මර්දනයට එරෙහි වනු! ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!” යන තේමාව යටතේ පවත්වන ලද මෙම රැස්වීම, ප්‍රදේශයේ කම්කරුවන්, තරුනයන් හා නාගරික දුගීන් ආකර්ශනය කරගත්තේ ය. පක්ෂයෙහි ෆෙස්බුක් පිටුව හරහා සජීවී ව විකාශනය කරන ලද මෙම රැස්වීමේ වීඩියෝව, මේ දක්වා 1,200ට අධික පිරිසක් විසින් නරඹා ඇත.

පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ආන්ඩුවට එරෙහි ව වර්ධනය වන මහජන විරෝධයට ප්‍රතිචාර වසයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස මැදිහත් වී තිබේ. සිය ජනාධිපති ධූරයේ හෝ ආන්ඩුවේ අඛන්ඩ පැවැත්මට පලාත් පාලන මැතිවරනයෙන් ඍජු බලපෑමක් නො වුන ද සිය දේශපාලන සගයන් ලබන මැතිවරන පරාජයක පලල් සමාජ බලපෑම පිලිබඳ ව වික්‍රමසිංහ කැලඹී සිටියි.

රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන මන්ඩල සභික ඩබ්ලිව්. ඒ. සුනිල්, පලාත් පාලන මැතිවනරය කල් දැමීම, සියලු වැඩකරන ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරන ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාවක් බව කීවේ ය. පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීමට ගන්නා වික්‍රමසිංහ ගන්නා අත්‍යසාමාන්‍ය හා අඛන්ඩ උත්සාහයන් විග්‍රහ කල ඔහු, “එය කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමක්” බව සඳහන් කලේ ය.

“පලාත් පාලන මැතිවරනයේ දී ලබන පරාජයක්, රට තුල දේශපාලන අස්ථාවරත්වය ගැඹුරු කොට, ධනේශ්වර පාලනය වැඩි දුර අර්බුදයකට තල්ලු කරන බවට බිය වන ජනාධිපති වික්‍රමසිංහ හා ඔහුගේ ආන්ඩුව, මැතිවරනය කල් දැමීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරමින් සිටිනවා” යි ඔහු කීවේ ය.

කොලොන්නාව නගර සභාවට තරඟ වදින පක්ෂ අපේක්ෂක කන්ඩායමට නායකත්වය දෙන සසප දේශපාලන මන්ඩල සාමාජිකා විලානි පීරිස්, වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ පාලන තන්ත්‍රයේ අඛන්ඩ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර විමර්ශනය කලා ය. පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීම මෙම ක්‍රියා දාමයේ ම කොටසක් බව ඇය කීවා ය.

කොලොන්නාව නගර සභා සසප අපේක්ෂක කන්ඩායමේ නායිකා විලානි පීරිස්

කම්කරුවන්, තරුනයන් හා ගම්බද ජනයා පසුගිය වසරේ සිදු කල මහජන නැගිටීම හිටපු ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව බලයෙන් පහකල ද වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධාන විසින් එම මහජන ව්‍යාපාරය දේශපාලනික ව පීලිපැන්නවූ බව පීරිස් පෙන්වා දුන්නා ය.

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට විරුද්ධ වූ මෙම සංවිධාන, සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් කැඳවුම් කල අන්තර්වාර ධනේශ්වර ආන්ඩුවක් සඳහා වූ ඉල්ලීම පිටුපසට එම ව්‍යාපාරය අපසරනය කල බව ඇය කීවා ය. එක්සත් ජනපද-ගැති හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් පැටවීම පිලිබඳ දීර්ඝ ඉතිහාසයක් සහිත රනිල් වික්‍රමසිංහට බලයට ඒමට මෙමගින් මාවත පාදා දුන්නේ ය.

“දේශපාලන තත්ත්වය පිලිබඳ තීරනාත්මක තක්සේරුවක් සම්පාදනය කරමින්, කම්කරු පන්තියට විප්ලවවාදී සමාජවාදී ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කල එක ම සංවිධානය වූයේ සසප යි” යි ඇය සඳහන් කලා ය.

සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු, ආන්ඩුව විසින් අත්තනෝමතික ලෙස ගුරු මාරු මන්ඩලය අවලංගු කිරීමට විරුද්ධ ව විරෝධතා දැක්වූ ගුරුවරුන්ට එරෙහි ව, වික්‍රමසිංහ මෑත දී සිදු කල ප්‍රජාතන්ත්‍ර-විරෝධී තර්ජනවල අර්ථභාරය පැහැදිලි කලේ ය.

සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු

“(වැඩ වර්ජිත) ගුරුවරුන්ට ලමුන් ප්‍රාන ඇපයට ගැනීම පිලිබඳ ව ජනාධිපතිවරයා චෝදනා කල ද ආහාර, ප්‍රවාහනය හා පොත්පත්වල මිල ගනන් අහස උසට නැග්ගීම මගින්, ශිෂ්‍යයන්ට පාසල් හැර යාමට බල කර ඇත්තේ ආන්ඩුව මිස ගුරුවරුන් නො වේ” යි ප්‍රනාන්දු කීවේ ය.

ඩොලර් බිලියන 3ක ජාමූඅ ඇප අනුමත වීමෙන් පසුව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත වික්‍රමසිංහ තීව්‍ර කරමින් සිටින ප්‍රහාරය මධ්‍යයේ, ලංකාව තුල දේශපාලන තත්ත්වය තීරනාත්මක හැරුම් ලක්ෂ්‍යයක පවතින බව, ප්‍රධාන කතාව කල සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර කීවේ ය.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයාගේ කතාව

පුද්ගලීකරනයට විරුද්ධ ව ඛනිජ තෙල් කම්කරුවන් මෑත දී සිදු කල වැඩ වර්ජන ක්‍රියාවට ප්‍රතිචාර ලෙස ආන්ඩුව විසින් මිලිටරිය දිගේලි කිරීම ගැන ජයසේකර සඳහන් කලේ ය. ඔහු මෙසේ කීවේ ය: “ජාමූඅ කප්පාදුවට එරෙහි වන ඕනෑ ම වැඩ වර්ජනයකට ආන්ඩුව ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේදැයි යන්න පිලිබඳ ව මෙය සමස්ත කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්.”

විෂඝෝර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) වෙනුවට සියලු ක්‍රියාවන් අඩංගු කරගන්නා “ප්‍රති-ත්‍රස්ත පනත” ගෙන ඒමට වික්‍රමසිංහ ගන්නා පියවරයන් ගැන අදහස් දක්වමින් ජයසේකර මෙසේ සඳහන් කලේ ය: “අනුප්‍රාප්තික ආන්ඩු, ඒවායේ දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධ වත්, කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන්ගේ අරගල මැඩීමටත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන තිබෙනවා. එහෙත් දැන්, ධනේශ්වර පාලනයේ අර්බුදය සහ කම්කරුවන්ගේ අරගල ඉහල මට්ටමකට එලැඹෙද්දී, එම පනත ප්‍රමානවත් නො වන බව ආන්ඩුව දැකගන්නවා. එයට වඩ වඩා විෂඝෝර හා මර්දනීය නීතියක් අවශ්‍ය යි.”

මෙම නව පියවරයන් යටතේ, ආන්ඩුවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ඕනෑම රටක ආන්ඩුවක හෝ ජාමූඅ වැනි ජාත්‍යන්තර සංවිධානයක කප්පාදු පිලිවෙත් විවේචනය කරන හෝ ඒවාට විරෝධය පලකරන ඕනෑ ම අයෙකු ත්‍රස්තවාදී චෝදනා ගෙන ආ හැකි බව ඔහු තව දුරටත් පෙන්වා දුන්නේ ය.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර

“තම මූලික සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමටත්, ආන්ඩුවේ පියවරයන්ට විරෝධය පලකිරීමටත්, දැන් අරගලයට පිවිසෙමින් සිටින කම්කරු පන්තිය, වික්‍රමසිංහ ආන්ඩුව සමග ඍජු ඝට්ටනයකට එලඹෙමින් සිටිනවා. දැන් ලංකාව තුල වර්ධනය වෙමින් පවතින්නේ, කම්කරු පන්තිය හා ධනපති පාලක පන්තිය අතර විප්ලවවාදී ගැටුමක්. මෙම ගැටුම සඳහා කම්කරු පන්තිය දේශපාලනික ව, න්‍යායික ව හා සංවිධානාත්මක ව සූදානම් වීම අවශ්‍ය යි” යි ජයසේකර සඳහන් කලේ ය.

සජබ, ජවිපෙ හා දෙමල ජාතික සන්ධානය (දෙජාස) වැනි පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂවලට, ජාමූඅ නියෝග කරන ආන්ඩුවේ කප්පාදු පියවරයන් සමග මූලික මතභේදයන් නොමැති බව ජයසේකර පෙන්වා දුන්නේ ය.

ලංකාව තුල පන්ති අරගලයේ තීව්‍ර වීම, ගෝලීය ප්‍රපංචයක කොටසක් බව පෙන්වා දුන් කථිකයා, ජාත්‍යන්තර පරිමාන ව කම්කරුවන් තමන්ගේ ආන්ඩුවල රාජ්‍ය මර්දන පියවරයන් සමග ඍජු ගැටුමට පිවිසීම තීව්‍ර වෙමින් පවතින බව සඳහන් කලේ ය.

“ධනපති දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂවලටත්, ඔවුන්ගේ වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම ඒජන්තයින්ටත් එරෙහි ව, විප්ලවීය සමාජවාදී ක්‍රියා මාර්ගයක් සමගින් සසප මෙම තියුනු දේශපාලන වර්ධනයන් තුල මැදිහත් වෙමින් සිටිනවා. 

“එවකට පැවති රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධ ව පැනනැගි මහජන නැගිටීම තුල දී, පසුගිය වසරේ ජූලි මාසයේ මැද භාගයේ සසප විසින් දියත් කරන ලද කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන උද්ඝෝෂනය අපි අඛන්ඩ ව ගෙන යනවා. කම්කරුවන්ගේ හා පීඩිත ජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට ආන්ඩුව එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහි අපේ උද්ඝෝෂනයෙහි හරි මැදට අපි මෙය ගෙනැවිත් තිබෙනවා” යි ඔහු කීවේ ය.

වෘත්තීය සමිතිවලින් ද සියලු ධනේශ්වර පක්ෂවලින් ද ස්වාධීන ව, සෑම වැඩපොලක, කම්හලක, වත්තක හා නිවහන් ප්‍රදේශයක මත්, ගම්බද දුගීන් අතරත් තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කරන කැඳවුම, කම්කරුවන්ට ඔවුන්ගේ අරගලය තමන්ගේ ම අතට ගත හැකි එක ම මාවත බව ජයසේකර සඳහන් කලේ ය.

රාජපක්ෂ පාලන තන්ත්‍රයට එරෙහි මහජන විරෝධතා සමයේ, පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධාන සහ වෘත්තීය සමිති ඉටුකල භූමිකාව යලි සිදුකරමින්, වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට විරුද්ධ වන බව ඔහු විස්තර කලේ ය.

පෙසප යෝජනා කරන “මහජන සභා” ගැන සඳහන් කරමින්, මෙම සංවිධාන වනාහි ධනේශ්වර ආන්ඩුවලට හා පාර්ලිමේන්තුවට සීමිත ප්‍රතිසංස්කරන පතා පීඩනය යෙදීම ඉලක්ක කරගන්නා, දේශපාලනික උගුල් බවට කථිකයා අනතුරු ඇඟවී ය. මෙම ඉදිරි දර්ශනයට විපරීත ව, සසප යෝජනා කරන ක්‍රියාකාරී කමිටු යනු, ජාමූඅ නියෝග පරිදි වික්‍රමසිංහ ක්‍රියාවට දමන සමාජ ප්‍රහාරයන්ටත්, ධනපති ලාභ පද්ධතියටත් එරෙහි ව සටන් කරන කම්කරු පන්තියේ ස්වාධීන හා ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කරන අවයව බව ජයසේකර කීවේ ය.

සිය කතාව නිමාවකට ගෙන ආ ජයසේකර, සසප යෝජනා කරන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය (ඩීඑස්සී)  “ගම්බද පීඩිතයින් රැලි කරගනිමින්, කම්කරු පන්තියේ ස්වාධීන මහජන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කොට, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම ඉලක්ක කරගන්නා” බව සඳහන් කලේ ය.

“කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනැගීමට කරන මෙම අරගලය, දකුනු ආසියාවේත්, ජාත්‍යන්තර වත්, සමාජවාදය සඳහා කරන පලල් අරගලයක කොටසක්. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ගොඩනැගීමේ මෙම උද්ඝෝෂනය පෙරට ගෙන යාමට සසපට බැඳෙන ලෙස අපි කම්කරුවන්, තරුනයන්, බුද්ධිමතුන් හා ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

ඩබ්.ඒ. සුනිල්, විලානි පීරිස් සහ කපිල ප්‍රනාන්දු යන සහෝදරවරු පැවැත් වූ කතාවන්
Loading