කොලොන්නාව වැසියෝ ජාමූඅ විසින් නියම කරන ලද ආන්ඩුවේ කප්පාදු හෙලා දකිති

[මෙය Sri Lanka: Kolonnawa residents denounce government’s IMF-dictated austerity යන මැයෙන් 2023 ‌මාර්තු 29 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සති අන්තයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ සහ ආධාරකරුවෝ, අප්‍රේල් 3 දා පැවැත්වීමට නියමිත තම පක්ෂයේ ප්‍රසිද්ධ රැස්වීම සඳහා කොලඹ අවට නගරයක් වන කොලොන්නාවේදී උද්ඝෝෂනය කලහ. මෙම එලිමහන් රැස්වීම නම් කර ඇත්තේ “ජනාධිපතිගේ පලාත් පාලන මැතිවරන මර්දනයට එරෙහිවනු! ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!' යනුවෙනි.

සසප මැතිවරන උද්ඝෝෂකයින් කොලොන්නාව දිස්ත්‍රික්කයේ සාලමුල්ලේදී පෙර පැවති ප්‍රචාරක ව්‍යාපාරයකදී පදිංචිකරුවන් සමග කතා කරමින් [ඡායාරූපය: ලෝසවෙඅ]

කොලඹ කොලොන්නාව නගර සභාව, නුවරඑලියේ මස්කෙලිය ප්‍රාදේශීය සභාව සහ යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාව යන පලාත් පාලන ආයතන තුනට සසප අපේක්ෂකයින් 53 ක් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ කලින් සැලසුම් කර තිබූ මාර්තු 9 පලාත් පාලන මැතිවරනය ජනාධිපති වික්‍රමසිංහ විසින් අවලංගු කරන ලදී. එය අප්‍රේල් 25 දක්වා කල් දමා ඇත.

උද්ඝෝෂකයෝ, පවුල් 200 ක් පමන වාසය කරන මහල් 11 කින් යුත් මහල් නිවාසයක් වන, සංහිද සෙවනෙහි පදිංචිකරුවන් සමඟ කතා කලහ. ඔවුන් කොලොන්නාව හන්දියේදී ද කම්කරුවන් සමඟ සාකච්ඡාවේ යෙදුනි. මහල් නිවාසවල පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් කුඩා පෞද්ගලික සමාගම්වල සහ හෝටල්වල සේවය කරන අතර අනෙක් අය අසල එලවලු සහ මාලු වෙලඳපොලේ දෛනික වැටුප් කම්කරුවන් වේ, ඇතැම් කාන්තාවෝ ගෘහ සේවිකාවන් ලෙස සේවය කරති. මහල් නිවාසවල සිටි බොහෝ තරුනයන් රැකියා විරහිතයන් ය.

කතා කල අයගෙන් බොහෝ දෙනෙක් වික්‍රමසිංහ ආන්ඩුවේ සමාජ ප්‍රහාර සහ ඔවුන් තම ජීවිත විනාශ කල ආකාරය හෙලා දුටහ. ඩොලර් බිලියන 2.9 ක ඇපදීමේ නය සඳහා පූර්ව කොන්දේසියක් ලෙස ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවර මාලාවක් පනවා ඇත. බොහෝ දෙනා කියා සිටියේ තමන් පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ කිසිවක් විශ්වාස නොකරන බව ය.

උද්ඝෝෂකයින් තම පක්ෂ ප්‍රකාශයන් පුලුල් ලෙස බෙදා හල අතර, “ජනාධිපතිගේ පලාත් පාලන මැතිවරන මර්දනයට එරෙහිවනු! ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!' සහ 'ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!' යන ප්‍රකාශන ද ඊට ඇතුලත් විය.

දරුවන් තිදෙනෙකුගේ මවක් පැවසුවේ, තමන් රුපියල් 30,000 ක මාසික ආදායමකට ගෘහ සේවයේ යෙදෙන බවයි. “මේ මුදල කෑම බීම, පාසල් ගාස්තු වගේ වියදම්වලට ප්‍රමානවත් නැහැ. අපේ ගෙදර කුලිය රුපියල් 5600යි, මාසික විදුලි බිල රුපියල් 1800 සිට රුපියල් 3750 දක්වා වැඩිවෙලා. ජල බිල රුපියල් 700 සිට 1200 දක්වා වැඩිවෙලා,” ඇය පැවසුවාය.

“පසුගිය මාර්තු මාසේ මට රුපියල් 30,000 කින් මාසෙකට ජීවත් වෙන්න පුලුවන් වුනාට දැන් අපිට රුපියල් 60,000 කින්වත් ජීවත් වෙන්න බැහැ. පසුගිය වසරේ රුපියල් 2,536 ක් වූ පාසල් [පහසුකම්, සේවා] ගාස්තු මාර්තු 27 වැනිදා රුපියල් 4,500 දක්වා වැඩි කල නිසා, මම පාසල් යන දරුවන් තිදෙනෙකු සමඟ ලොකු සටනක් කරමින් ඉන්නෙ. ඒ කියන්නේ මේ තුන්දෙනාට රුපියල් 13,500 ක් වියදම් කරන්න වෙනවා. මට තවමත් මගේ දරුවන්ට [ලිපි ද්‍රව්‍ය] පොත් මිලදී ගැනීමට බැරි වුනා. කුඩාම පුතාට පමනක් රුපියල් 6,000 ක් වැය වන අතර නව පාසල් වාරය හෙට (සඳුදා) ආරම්භ වෙනවා,” ඇය තවදුරටත් පැවසුවාය.

මහල් නිවාසයේ පවුල් කිහිපයකට තම දරුවන් පාසල් යැවීම නතර කිරීමට සිදු වූ බව ඇය පැවසුවාය. “දෙමව්පියන්ට පොත් ගන්න බැරි නිසා ඉස්කෝලෙන් අයින් වෙච්ච ලමයි කොටසක් මෙතන ඉන්නවා. මේ තත්වයට මුහුන දෙන පවුල් තුනක් ගැන මම දන්නවා.”

ශ්‍රී ලංකාවේ සියලුම පාර්ලිමේන්තු පක්ෂ හෙලා දකිමින් ඇය මෙසේ පැවසුවාය: “කොයි පක්ෂය බලයට ආවත් එකයි, ඔවුන් කියනවා අපි නය ගත්තා, ඒ නිසා අපි මේ නය ආපසු ගෙවිය යුතුයි කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය දුප්පතුන්ට ප්‍රතිලාභයක් නෙවෙයි, එයින් ප්‍රතිලාභ ලැබෙන්නේ ඔවුන්ට [දේශපාලකයන්ට] පමනක් වන අතර ඔවුන් ජනතාවට අයිති, හැකි සෑම දෙයක්ම විකුනනු [පුද්ගලීකරනය කරනු] ඇත.

වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව සෑම කම්හලකම, වැඩබිමකම, වතුකරයේ, අසල්වැසි ප්‍රදේශවල සහ ග්‍රාමීය ප්‍රදේශවල කම්කරුවන්ට හා ගම්බද දුප්පතුන්ට ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සසප කරන ඉල්ලීම උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම සඳහා කම්කරුවන් බලමුලු ගැන්වීමට සහ ග්‍රාමීය දුගීන් ඒ වටා පෙලගස්වා ගැනීමට, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ පක්ෂයේ උද්ඝෝෂනය ගැන ද ඔවුහු සාකච්ඡා කලහ.

මෙම පැහැදිලි කිරීමට ප්‍රතිචාර දක්වමින් තිදරු මව මෙසේ පැවසුවාය‍: “කම්කරුවන් වශයෙන් අපට එක්සත් විය හැකි නම්, මෙම වැඩසටහන සාක්ෂාත් කරගත හැකියි. එහෙම නැතිව මේ තත්වය මේ විදියටම පැවතුනොත් අපේ දරුවන්ට අනාගතයක් නැහැ. ඔබ අද පැහැදිලි කල දේ වෙනත් පක්ෂයක් කරනවා මා අසා නැහැ.”

සසප උද්ඝෝෂකයෝ විවාහක එක් දරුවෙකු සිටින තරුන කම්කරුවෙක් සමඟ කතා කලහ. ඔහු සතියකට දින හයක් බෙදාහැරීමේ සේවා ආයතනයක (delivery service company) සේවය කලත් මසකට උපයන්නේ රුපියල් 60,000 ක් පමන වේ. ඔහු ආන්ඩුව හෙලා දකිමින් මෙසේ පැවසීය: “මම උපයන දේ දැන් ප්‍රමානවත් නැහැ. අපේ විදුලි බිල තුන් ගුනයකින් වැඩි වෙලා, මිනිස්සු බඩගින්නේ ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය අපට ප්‍රයෝජනයක් වී නැහැ—අපට එය ගෙවීමට සිදුවනු ඇති—නමුත් දේශපාලකයින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට එය භාවිතා කරනවා. අපි අවසානයේ නයගැතියි, නමුත් සෑම දේශපාලකයෙක්ම පොහොසත් වෙලා.”

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හරින ලද පසුගිය වසරේ මහජන නැගිටීම ගැන සඳහන් කල ඔහු, වික්‍රමසිංහ ආන්ඩුව විසින් මහජන ව්‍යාපාරයට සම්බන්ධ වූවන් මර්දනය කිරීම හෙලා දුටුවේය.

“රට මංකොල්ල කෑ අය සැපසේ ජීවත් වෙනවා,” ඔහු පැවසීය, “නමුත් පසුගිය වසරේ අරගලයට අත දුන් තරුනයන් දඩයම් කරනවා. ඒ අය කරපු දේ හරි, අපි වෙනුවෙන් සටන් කලා. කිසිදු ජනවරමක් නොමැතිව වික්‍රමසිංහ බලයට පත් වූ අතර පාර්ලිමේන්තුවේ ඉන්න අපට විරුද්ධ අය ඔහුව පත් කර ගත්තා. දේශපාලකයෝ ඔක්කොම යාලුවෝ.”

අවිවාහක තරුනයෙක් වන සමීර උද්ඝෝෂකයන් සමඟ කතා කලේය. මීට පෙර ඉදිකිරීම් කම්කරුවෙකු ලෙස සේවය කර ඇති ඔහුට ගොඩනැගිලි කර්මාන්තය අර්බුදයට පත්වීමත් සමඟ රැකියාව අහිමි වී තිබේ. ඔහු දැන් ජීවත්වීම සඳහා එලවලු විකුනයි. 'මෙම වෙලඳාමේ විශාල තරඟයක් පවතින අතර සමහර විට මට පාඩු විඳීමට සිදු වෙනවා,” යැයි ඔහු පැවසීය. “පවතින දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි, එසේ නොවුවහොත් අප කාටවත් අනාගතයක් නැහැ.”

කොලඹ තරු පහේ හෝටලයක අරක්කැමියෙකු ලෙස සේවය කරන තරුන කම්කරුවෙක් මෙසේ පැවසීය: “සංචාරක කර්මාන්තය යථා තත්වයට පත් වී ඇති බවට ආන්ඩුව පුරසාරම් දොඩන නමුත්, ඊලඟ අර්බුදයේ දී ඕනෑම වේලාවක මෙම කර්මාන්තය අතුගෑවී යා හැකියි. මීට පෙර හෝටල් ක්ෂේත්‍රයේ විශාල රැකියා අහිමිවීම් සිදු වුනා, එබැවින් අපිට ජීවත්වීමේ අරගලයක නිරත වෙන්න සිදු වුනා. පවතින දේශපාලන ක්‍රමයට මම සම්පූර්නයෙන්ම විරුද්ධයි.”

සසප උද්ඝෝෂකයෝ, පාසල් බෑග් නිෂ්පාදනය කරන සමාගමක සේවය කර දිනකට රුපියල් 1500 ක් උපයන අවිවාහක තරුනයෙකු සමග කතා කලහ. කිසිම දේශපාලන පක්ෂයක් ගැන විශ්වාසයක් නැති බව ඔහු පැහැදිලි කලේය. මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනය ආන්ඩුව විසින් අවලංගු කිරීම පිලිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය: 'ජනතාව ආන්ඩුවට ඡන්දය දෙන්නේ නැහැ, මැතිවරනය පැවැත්වුනත් කිසිවක් වෙනස් නොවනු ඇති.'

තරුන ශිෂ්‍යාවක් සහ ඇගේ මව, ආන්ඩුව විසින් අධ්‍යාපනය හා සෞඛ්‍යය කප්පාදු කරන අතරම ආරක්ෂාව සඳහා අරමුදල් වැඩි කිරීම විවේචනය කලහ. පාලකයන් තම ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වන්නේ, දේශපාලනඥයන් වැඩ කරන හැටි දන්නා ජනතාවට බිය නිසා යැයි ශිෂ්‍යාව පැවසීය. 'අරගල වර්ධනය වන විට, දේශපාලකයන් සැලකිලිමත් වන්නේ තමන්ගේ ආරක්ෂාව ගැන මිස ජනතාවගේ ආරක්ෂාව ගැන නොවේ.'

Loading