ජාමූඅ විසින් නියම කරන ලද නය ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික අස්ථාවරත්වය ගැඹුරු කරනු ඇත

[මෙය IMF-dictated debt restructuring will deepen economic instability in Sri Lanka යන මැයෙන් 2023 මැයි 10 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), ශ්‍රී ලංකා ආන්ඩුව සිය කුරිරු කප්පාදු වැඩපිලිවෙලේ මීලඟ පියවර ලෙස දේශීය නය ප්‍රතිව්‍යුහගත කල යුතු යැයි නියම කර ඇත. මෙයින් අදහස් කරන්නේ ආන්ඩුවේ නය බර අඩු කර ගැනීම සඳහා, දේශීය නය හිමියන්ගේ නය ප්‍රතිව්‍යුහගත කිරීමට ආන්ඩුව ඔවුන් සමඟ කටයුතු කල යුතු බවයි.

2022 සැප්තැම්බර් 1 බ්‍රහස්පතින්දා, කොලඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර්, (දකුනේ) සහ ශ්‍රී ලංකාව සඳහා වූ දූත මන්ඩල ප්‍රධානී මසහිරෝ නසාකි. [AP Photo/Eranga Jayawardena]

මහ බැංකුවට අනුව, ශ්‍රී ලංකාවේ දේශීය නය රුපියල් ට්‍රිලියන 15 ක් (ඩොලර් බිලියන 47 ක්) පමන වන අතර, මුලු විදේශ නය රුපියල් ට්‍රිලියන 12.5 කි. ආන්ඩුවට ප්‍රධාන දේශීය නය දෙන්නන් වන්නේ පුද්ගලික සහ රාජ්‍ය බැංකු (රුපියල් ට්‍රිලියන 8.5 ක්) වන අතර ඉතිරිය බැංකු නොවන මූලාශ්‍රවලින් වේ.

මෙම බැංකු නොවන මූලාශ්‍රවලින් එකක් වන සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්), රටේ ප්‍රධාන විශ්‍රාමික අරමුදල වේ. එය සිය රුපියල් ට්‍රිලියන 3.5 ක අරමුදලෙන් සියයට 95 ක් පමන රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇත.

දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම කම්කරුවන්ගේ ඉතුරුම් කෙරෙහි හානිකර බලපෑමක් ඇති කරනු ඇත. විශ්‍රාමික රජයේ සේවකයන්ට අමතර ව මාසික විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ඇති විශ්‍රාමිකයන්ගෙන් බහුතරයක් තම විශ්‍රාම වැටුප් අරමුදල් වානිජ බැංකුවල තැන්පත් කර ලැබෙන පොලියෙන් ජීවත් වෙයි. පුද්ගලික අංශයේ හෝ රාජ්‍ය ව්‍යවසායක අංශයක කම්කරුවකුගේ විශ්‍රාම වැටුප නිර්මානය වන්නේ කම්කරුවාගේ මාසික වැටපුට අනුරූප ව නෛතික ව නියම කරන ලද මාසික දායකත්වයන් හාම්පුතා සහ කම්කරුවා විසින් ඊපීඑෆ් අරමුදල තුල තැන්පත් කරනු ලැබීමෙනි.

විපක්ෂයේ සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මැයි 9 දා පාර්ලිමේන්තුවට පැවසුවේ, රුපියල අවප්‍රමානය වීම සහ වසරකට ගෙවන සෘන සැබෑ පොලී අනුපාතය හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත ඇමරිකන් ඩොලර් වටිනාකම—2021 අවසානයේ පැවති ඩොලර් බිලියන 15.8 සිට—2022 දී ඩොලර් බිලියන 9.5ක් දක්වා පහත වැටී ඇති බවයි.

ශ්‍රී ලංකා ආන්ඩුවට ප්‍රධාන දේශීය නය දෙන්නන් වන්නේ රාජ්‍ය බැංකු වන අතර ඒවා වඩාත් විශ්වාසදායක සහ ස්ථාවර මූල්‍ය ආයතන ලෙස වැඩකරන ජනතාව විසින් සලකනු ලැබේ. ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුලු මෙම බැංකු, භාන්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මිලදී ගැනීමෙන් ආන්ඩුවට නය දී ඇත.

ජාමූඅ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ක්‍රිෂ්න ශ්‍රීනිවාසන් පසුගිය සතියේ හොංකොං මාධ්‍ය හමුවක දී පැවසුවේ, ඩොලර් බිලියන 3ක ඇප නය වැඩසටහනට පසුගිය මාසයේ නිල අනුමැතිය ලැබීමට පෙර, දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ ජාමූඅ නියෝග වික්‍රමසිංහ ආන්ඩුව පිලිගෙන ඇති බවයි. ආන්ඩුව මේ මාසයේ දී පුලුල් නය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආකෘතියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

'ඔබ දේශීය නය ප්‍රතිව්‍යුහගත කරන විට, මූල්‍ය ස්ථායීතාවයද ආරක්ෂා කර ගැනීමට වග බලා ගත යුතුය... නය තිරසාරභාවය ශ්‍රී ලංකාව තුල විශාල අභියෝගයක්' යැයි ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් මූනට ම ප්‍රකාශ කලේ ය.

තමන්ගේ වත්කම් කෙරෙහි ගෘහස්ථ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම ගැන සැලකිලිමත් වන සංගත අංශයෙන් සහ ධනේශ්වර පන්තියේ අනෙකුත් කොටස් වලින් කනස්සලුසහගත ප්‍රකාශයන් නිකුත් කෙරී ඇත. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කල යුතු බවට ආන්ඩුවට අනතුරු අඟවා ඇති සජබ වැනි පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂවල අදහස් වලින් මෙම චකිතය පිලිබිඹු වේ.

රටේ පෙර නොවූ විරූ මූල්‍ය කඩාවැටීම තුල ශ්‍රී ලංකාවේ සංගත බැංකු ඉතා අධික ලාභ ලබා ගරා ගනිද්දී, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු මෙම අර්බුදයේ බර පටවා ඇත්තේ කිව නොහැකි තරම් දුක් විඳිමින් සිටින කම්කරු ජනතාව මත ය.

කොරොනා වෛරස් වසංගතයේ ආරම්භයෙන් පසු ව, මහ බැංකුව වානිජ බැංකුවලට රුපියල් බිලියන සිය ගනනක් නිකුත් කලේ ය. මෙම මුදල් අඩු මිල පොලී අනුපාත යටතේ මහා ව්‍යාපාරිකයන්ට නය ලබා දීමට යොදා ගනු ලැබුනි.

මහ බැංකුවට අනුව, 2021 දී බැංකු කර්මාන්තයේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 172 ක් වූ අතර 2022 දී ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාව වන විට රුපියල් බිලියන 150 කට වඩා වැඩි විය. පෞද්ගලික බැංකු ද එහි ඵල නෙලා ගත්තේ ය. හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව 2022 වසරේ ශුද්ධ ලාභය ලෙස පිලිවෙලින් රුපියල් බිලියන 15 ක් සහ රුපියල් බිලියන 13 ක් උපයා ගෙන ඇත.

බැංකු ක්‍ෂේත්‍රයේ පවතින ලාභදායිත්වය පිලිබඳ කනස්සල්ල සමනය කිරීමට උත්සාහ කරන මහ බැංකුව දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඕනෑම අහිතකර බලපෑමකින් දේශීය බැංකුකරුවන්ගේ ලාභය ආරක්ෂා කරන බවට ඔවුන්ට සහතික වී ඇත.

අඟහරුවාදා ප්‍රසිද්ධ සාකච්ඡාවක දී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙසේ ප්‍රකාශ කලේ ය: “ඕනෑ ම ආකාරයක නය ප්‍රශස්තකරනයක දී, අපි බැංකු පද්ධතියේ ස්ථායීතාවය මෙන් ම මහජන තැන්පතු ආරක්ෂා කිරීමත් සහතික කර ආරක්ෂා කරනවා.”

මහ බැංකුව “මහජන තැන්පතු” ආරක්ෂා කරන බවට මහ බැංකු අධිපති ප්‍රකාශ කලත්, ඔහුගේ සැබෑ සැලකිල්ල බැංකු කර්මාන්තයේ ලාභය මිස විශ්‍රාම වැටුප් අරමුදල් හෝ කුඩා ඉතුරුම් තැන්පත් කරන්නන් සම්බන්ධයෙන් නොවේ. කම්කරුවන්ගේ ජීවන ඉතුරුම් ආන්ඩුව විසින් ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ සහ තම දේශීය නය අඩු කිරීමට යොදා ගනු ලැබීමේ සැබෑ අනතුරක් තිබේ.

අප්‍රේල් 21 දා, බ්ලූම්බර්ග්, කොලඹ පදනම් කරගත් ආයෝජන උපදේශන ආයතනයක් වන රිලයන්ස් කැපිටල් හි ප්‍රධාන විධායක නිලධාරිනී සුහිනි ප්‍රනාන්දුගෙන් උපුටා දැක්වී ය: “නය ප්‍රතිසංස්කරනය හරහා තල්ලු කිරීමේ එක් ක්‍රමයක් වනුයේ ජාතියේ ප්‍රධාන විශ්‍රාමික අරමුදල් සතු බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුව එය, ජාතියේ දල මූල්‍ය අවශ්‍යතා අඩු කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන අතර ම අවම ආර්ථික බලපෑමක් ඇති කරනු ඇත.”

වෙනත් වචන වලින් කිවහොත්, දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන ජාමූඅ නියෝග, මහා ව්‍යාපාරිකයන්ගේ බැංකු ප්‍රාග්ධනයට බලපෑමක් නොකර සාක්ෂාත් කරගත හැක්කේ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් සූරාකෑමෙන් ය. මෙය ශ්‍රී ලංකාව සඳහා ජාමූඅ හි දූත මන්ඩල ප්‍රධානියා වන පීටර් බෲවර් විසින් කලින් සඳහන් කරන ලද 'කුරිරු අත්හදා බැලීමේ' තවත් අංගයක් වනු ඇත.

ජාමූ අරමුදලේ කප්පාදුවට වෙනත් විකල්පයක් නොමැති බව ප්‍රකාශ කල වික්‍රමසිංහ ආන්ඩුව සහ සියලු විරුද්ධ පාර්ලිමේන්තු පක්ෂ දැන් වැඩකරන ජනතාවට එරෙහි ව මුදා හරින සියලු සමාජ ප්‍රහාර අනුමත කලා පමනක් නොව‍, සංගත ලාභ 'අස්ථාවර' නොකිරීමට ද කැප ව සිටිති.

ජාමූ අරමුදලේ නියෝග 'යලි හෙට්ටු කිරීමකට' හෝ 'ජනතාවගේ කැමැත්ත ඇතිව කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමකට' පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ-වම්මු විසින් කරනු ලබන ඉල්ලීම් මගින් කම්කරුවන් නොමග නොයා යුතු ය. මෙම මංමුලා සහගත සහ නරුම කැඳවුම් සැලසුම් කර ඇත්තේ ජාමූඅ වැඩසටහනට එරෙහිව නැගෙන මහජන කෝපය අපසරනය කර හැරීමට ය.

සටන් කොට දිනා ගත් විශ්‍රාම වැටුප් හා ඉතුරුම් රැක ගැනීමටත්, රැකියා, වැටුප් හා සමාජ කොන්දේසි මත උග්‍රවන ප්‍රහාරයට එරෙහිව සටන් කිරීමටත්, කම්කරු පන්තිය සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් ව සියලු ම පාර්ලිමේන්තු පක්ෂ හා වෘත්තීය සමිති වලින් ස්වාධීන ව සංවිධානය විය යුතු ය.

එබැවින්, රැකියා ස්ථානවල, කම්හල්වල, වතුකරයේ සහ ග්‍රාමීය ජනතාව අතර තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන් හා ග්‍රාමීය දුගී ජනතාවගෙන් ඉල්ලා සිටී. සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කම්කරු පන්තියේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට මෙම ක්‍රියාකාරී කමිටු මගින් තේරී පත් වූ නියෝජිතයින් මත පදනම් ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගිය යුතු ය.

එවැනි ආන්ඩුවක් බැංකු සහ වතු ඇතුලු ප්‍රධාන සංගත ජනසතු කරමින්, ඒවා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පාලනය යටතට පත් කරනු ඇත. සුපිරි ධනවතුන්ගේ ධනය අල්ලා ගනු ඇති අතර විදේශ නය ප්‍රතික්ෂේප කරනු ඇත. මෙම අරගලය ගෝලීය වශයෙන් සමාජවාදය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක කොටසක් විය යුතු ය.

Loading