වර්ජනයේ නිරත ගුරුවරුන්ට රුදුරු ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති වික්‍රමසිංහ තර්ජනය කරයි

(පහත පල වන්නේ Sri Lankan president threatens protesting teachers with draconian attacks යන හිසින් 2023 අප්‍රේල් 26 පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි)

පසුගිය සතියේ බදාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, උසස් පෙල විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් වර්ජනය කර සිටින පාසල් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සතියක අවසාන නිවේදනයක් නිකුත් කලේ ය. සතියක් ඇතුලත විභාග ඇගයීම් සඳහා වාර්තා කිරීමට ගුරුවරුන් අපොහොසත් වුවහොත්, අධ්‍යාපනය හදිසි නීති මගින් ආවරනය වන අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී වික්‍රමසිංහ අනතුරු ඇඟවූයේ ය. 'පසුගිය වතාවේ ප්‍රශ්න පත්‍ර බැලීම සිදු කල සියලුම දෙනා මෙවර ද අදාල සේවයේ නිරත විය යුතු“ යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

වික්‍රමසිංහගේ තර්ජනය වනාහි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු හරහා ඔවුනගේ සමාජ අයිතීන්ට එල්ල කරන ම්ලේච්ඡ ප‍්‍රහාරයට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් සමඟ තම ආන්ඩුව ගනුදෙනු කරන්නේ කෙසේද යන්න පිලිබඳව සමස්ත කම්කරු පන්තියට කරන ලද අනතුරු ඇඟවීමකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධීක්ෂනය යටතේ විභාග උත්තර පත්‍ර බැලීම සඳහා පාසල් ගුරුවරුන් දස දහස් ගනනක් සම්බන්ධ වෙති.

වැටුප් මත බදු වැඩි කිරීමට හා තවත් ප්‍රහාරවලට විරෝධය දැක්වීම සඳහා මාර්තු 9 දා සිට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (වීආසස) විසින් රටපුරා වැඩවර්ජනයක් කැඳවනු ලැබීය. විආසස අප්‍රේල් 12 දින සිය වැඩ වර්ජනය අවසන් කල ද, ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම අඛන්ඩව වර්ජනය කර පවතී.

විභාග පිලිතුරුපත්‍ර ඇගයීම වර්ජනය කර සිටින පාසල් ගුරුවරුන් ඉල්ලා සිටින්නේ පිලිතුරුපත්‍ර ඇගයීමේ දෛනික දීමනාව රුපියල් 1750 සිට 3000 දක්වා වැඩි කරන ලෙසයි. එක් වාර්තාවකට අනුව, උත්තර පත්‍ර බැලීම සඳහා ගුරුවරුන් 19,000 ක් අවශ්‍ය වුවත් අඩු ගෙවීම් හේතුවෙන් ඒ සඳහා අයදුම් කර ඇත්තේ 12,000 ක් පමනි. ඒ අතරින් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගනිතය වැනි විෂයයන් සඳහා අයඳුම් කර ඇති සංඛ්‍යාව කොහෙත්ම ප්‍රමානවත් නැත.

ගුරුවරුන්ගේ ඉල්ලීම්, කම්කරු පන්තියේ සැබෑ ආදායම් පහත දැමීම ද ඇතුලත් වික‍්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත‍්‍රය සමග සෘජුව ගැටේ. ජාමූඅ ප්‍රකාශයක මෙසේ සඳහන් කර තිබේ: “රාජ්‍ය අංශයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වියදම්වල වර්ධනය සීමා කිරීමට බලධාරීන් උපාය මාර්ග සකස් කරනු ඇත. ... [ඔවුන්] වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩිවීම 2023 දී උද්ධමනයට වඩා බෙහෙවින් අඩු මට්ටමකට සීමා කිරීමට තීරනය කර ඇත“.

“ඔබට දරුවන්ගේ අධ්‍යාපනය නවත්තන්න බෑ” ගුරුවරුන් හෙලා දකිමින් වික්‍රමසිංහ කියා සිටියේ ය. ජනාධිපති වශයෙන් මෙන්ම අගමැති වශයෙන් ද අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමට වික්‍රමසිංහ වගකිව යුතුය. ඔහු දැන් උසස්පෙල සිසුන් ගැන කිඹුල් කඳුළු හෙලන්නේ, ආන්ඩුවේ කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස මෑත විභාගවලදී විදුලි සැපයුම් කපා දමා තිබූ තතු යටතේය.

අනුප්‍රාප්තික ආන්ඩුවල අඛන්ඩ කප්පාදුව විසින් 60,000 ක පාසල් ගුරු හිඟයක් නිර්මානය කර ඇත. කප්පාදුව හේතුවෙන් පහසුකම් නොමැතිවීම පිලිබඳව විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවයේ නිරත වූ විට රජය ඔවුන්ට අමානුෂික ලෙස පහර දීමට පොලිසිය යොදවා තිබේ.

ආන්ඩුව විසින් ගුරු මාරු මන්‌ඩලය විසුරුවා හැරීමට එරෙහිව, 2023 මාර්තු 22 වැනි දින කොලඹ දී ශ්‍රී ලංකාවේ ගුරුවරු විරෝධතාවයක නිරත වෙමින්. [ඡායාරූප: ලෝසවෙඅ]

වික්‍රමසිංහගේ අප්‍රේල් 19 තර්ජනය අධ්‍යාපනිකයන්ට එරෙහි ප්‍රහාර මාලාවක වඩාත්ම මෑතකාලීන තර්ජනය පමනි. මාර්තු 23දා, “ගුරු මාරු මන්ඩල” අහෝසි කිරීමේ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරනයට එරෙහිව ගුරුවරුන් කොලඹ පැවැත් වූ විරෝධතාවයෙන් දිනකට පසු, තම ආන්ඩුවට අධ්‍යාපනය “අත්‍යවශ්‍ය සේවාවක්” කල හැකි බවට වික්‍රමසිංහ අනතුරු ඇඟවීය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ලියූ පරිදි, “වික්‍රමසිංහගේ තර්ජනය පැහැදිලිව පෙන්නුම් කරන්නේ, ජාමූඅ කප්පාදු පැනවීමේ දී රාජ්‍ය මර්දනය යොදා ගැනීමට ආන්ඩුව පසුබට නොවන බවයි“.

ආන්ඩුව මෑත ම වර්ජන ක්‍රියාමාර්ග අවහිර කිරීමට අත්‍යාවශ්‍ය සේවා නියෝග නිකුත් කර ඇත. මාර්තු 1 දා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම කම්කරුවන් මිලියන භාගයක් සම්බන්ධ වැඩ වර්ජනයකට හා විරෝධතාවලට පෙර දින, ආන්ඩුව, වර්ජනය කිරීම තහනම් කරමින්, බස්, දුම්රිය, ගුවන් ගමන්, වරාය සහ ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කලේ ය. පසුගිය වසරේ විදුලිබල, තෙල් හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල සේවකයින් ද අත්‍යාවශ්‍ය සේවා නියෝගවලට යටත් කෙරුනි.

මෙවර ජනාධිපතිවරයා තවත් ඉදිරියට ගියේ ය. 'මම [විරෝධතා කරන ගුරුවරුන්ට] නඩු පවරනවා, ඔවුන්ගේ දේපල රාජසන්තක කරනවා' යනුවෙන් ඔහු තර්ජනය කලේ ය. වික්‍රමසිංහගේ දේශපාලන වාර්තාවට අනුව කම්කරු පන්තිය මෙය බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. වික්‍රමසිංහ දේශපාලන බෞතීස්මය ලැබුවේ, එක්සත් ජාතික පක්‍ෂ (එජාප) ආන්ඩුව රාජ්‍ය අංශයේ කම්කරුවන් ලක්ෂයක් පමන දොට්ට දැමූ, 1980 ජූලි මහා වැඩවර්ජනය අතරතුරදී ය. 1989-1990 කාලපරිච්ඡේදය තුල එජාප ආන්ඩුව 60,000ක් පමන ඝාතනය කරමින් ගම්බද තරුනයින්ට එරෙහිව සංහාරයන් මුදාහරින විට වික්‍රමසිංහ එජාප ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරයෙකු ද විය.

පාසල් ගුරුවරුන් කෙරෙහි කොලඹ ආන්ඩුවේ සතුරුකම අහම්බයක් නොවේ. 2021 ජූලි සිට ඔක්තෝබර් දක්වා මාස තුනක් ඇදී ගිය 250,000 කට ආසන්න ගුරු විදුහල්පතිවරු විසින් දියත් කල, මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පැවති දීර්ඝතම වැඩ වර්ජනය පාලක ප්‍රභූව අමතක කර නැත. වැටුප් වැඩි කිරීම ආන්ඩුව විසින් අඛන්ඩව ප්‍රතික්ෂේප කිරීම ගුරුවරුන් අතර දැඩි සටන්කාමීත්වය සහ අධිෂ්ඨානය ඇති කිරීමට හේතු වූ නමුත්, ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම්වලින් තුනෙන් එකක් පමනක් අදියර දෙකකින් ගෙවන බවට එවකට අගමැති මහින්ද රාජපක්ෂ දුන් පොරොන්දුවක් මත වෘත්තීය සමිති අරගලය පාවා දුන්හ.

වික්‍රමසිංහගේ රුදුරු තර්ජනයට දේශපාලන සංස්ථාපිතය පුරා සහයෝගය ඇත.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ), විශේෂ බදු සහන ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විආසස හෙලා දුටුවේය. සජබ යේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනි කවිරත්න, විආසස සිසුන් ප්‍රාන ඇපකරුවන් ලෙස තබා ගන්නේ කෙසේදැයි විමසූ අතර, වර්ජනය කිරීමෙන් ලක්ෂ 12ක සිසුන්ගේ අනාගතය අනතුරේ හෙලා ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට චෝදනා කලා ය. වික්‍රමසිංහ සමග සජබ පෙල ගැස්ම ගලා එන්නේ මෙම පක්ෂ දෙකම ජාමූඅ කප්පාදු පියවරයන්වලට දෙන සහයෝගය තුලිනි.

ඉහල යන ජීවන වියදමට සහ රුදුරු කොන්දේසිවලට එරෙහිව ලොව පුරා කම්කරු පන්තියේ වැඩෙන රැඩිකලීකරනයේ කොටසක් ලෙස ශ්‍රී ලාංකීය කම්කරු ජනතාව අරගලයට තල්ලු කෙරෙමින් පවතී. ඊට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව ආඥාදායක පියවර වේගයෙන් ක්‍රියාවට දමමින් සිටී.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන්ට එරෙහි ප්‍රහාරය, වැඩකරන ජනතාවගේ ඕනෑම විරුද්ධත්වයක් යටපත් කර දැමීමේ සහ ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයේ කොටසකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරවලින් තොරව කොලඹ ආන්ඩුවට අතිශයින් අප්‍රසාදයටපත් කප්පාදු ඉල්ලීම් ක‍්‍රියාවට නැංවිය නොහැක.

සසප අප්‍රේල් 17දා ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ අනතුරු ඇඟවීය, “ජාමූඅ වැඩපිලිවෙල රටේ නීතිය බවට පත් කිරීමේ වික්‍රමසිංහගේ සැලැස්ම කම්කරු පන්තියට හා දුගීන්න්ට එරෙහි භයානක තර්ජනයක් වන අතර ආන්ඩුවේ දැඩි පියවරයන්ට එරෙහි ඕනෑම ක්‍රියාවක් නීති විරෝධී කරයි“. නව ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පත සැලසුම් කර ඇත්තේ “ත්‍රස්තවාදයට” එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් මහජන විරුද්ධත්වය කුරිරු ලෙස මර්දනය කිරීමට බව ද එය අනතුරු ඇඟවීය.

Loading